වසර දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට හදිසියේ ජනතා හිස මතට කඩා වැටුණු දරුණු ආර්ථික අර්බුදයයි.
එම අර්බුදය ඔවුන්ගෙන් අති බහුතරයකගේ ජීවිත අන්ත දුෂ්කර තත්වයකට පත් කළ අතර ඔවුන්ගේ ජීවිත අවුල් ජාලාවක් විය. තමන් පිළිබඳවත් තම දරුවන් පිළිබඳවත් ඔවුන් මැවූ සිහින කිසිදා ඉටුකර ගැනීමට නොහැකි බව ඔවුනට පෙනී ගියේය. කිසිදු පෙර සුදානමක් නොතිබුණ ද අර්බුදයෙන් ගොඩනැගුණු ආවේගය අවසානයේ දී මහා ජනතා නැඟිටීමක් බවට පත්විය.
2022 අප්‍රේල් මාසයේ සිට ජුලි මාසය දක්වා මාස හතරක් පැවැති මේ මහජන විරෝධය අරගලය නමින් ලොකු කුඩා සෑම දෙනා අතර ප්‍රචලිත විය. පිළිගැනීමට ලක්විය. එහි උච්ඡ අවස්ථාවේ දී ඊට මුහුණ දීමට නොහැකිව ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ විධායක ජනාධිපතිවරයා විදේශයකට පැන ගියේය.
අරගලයේ ක්ෂණික ඉලක්කය ‘‘ගෝඨා ගෝ හෝම්’’ (ගෝඨා ගෙදර යනු) යන සටන් පාඨයෙන් කියවිණි. එහි දීර්ඝ කාලීන ඉලක්කය වූයේ ‘‘සිස්ටම් චේන්ජ්’’ය. (සමාජ, ආර්ථිකය හා දේශපාලන ක්‍රමයේ වෙනසකි.)
ජනාධිපතිවරයා විදේශයකට පලා යාමෙන් ක්ෂණික ඉලක්කය ඉටුවිය. එහෙත් අරගලය සංවිධානාත්මක සටනක් නොව ස්වායත්ත වූ සටනක් වූයෙන් පළමු හා දෙවැනි ඉලක්ක අතර සබඳතාවක් ගොඩ නඟා ගැනීමට අරගලකරුවන්ට නොහැකි විය. එහෙයින් ඔවුහු පළමු ඉලක්කය ඉටු වූ පසු වේදිකාවෙන් බැස යන්නට සිත් සාදා ගත්හ.
ඉන් ප්‍රයෝජනය ගත්තේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසනයක් පමණක් හිමිව සිටි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රසිංහ මහතාය. ඔහු 2022 මැයි මාසයේ දී ඇගමැති ධුරයටත් ජූලි මාසයේ දී ජනාධිපති ධූරයටත් පත්විය.
එජාපය ද මුල් කාලයේ සිටම අරගලයට සහයෝගය දැක්වූ පක්ෂයකි. අගමැති වූ පසුත් වික්‍රමසිංහ මහතා ගෝඨාගෝගම යනුවෙන් අරගලකරුවන් විසින් නම් කරන ලද ගාලුමුවදොර පිටියේ අරගල භූමියට අවශ්‍ය පහසුකම් සලසන්නට තම පක්ෂයේ නායිකාවක වූ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට හා තම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
ඔහු සැබැවින්ම එසේ උපදෙස් දුන්නේද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ඒ වනවිටත් ඔහුගේත් අරගලකරුවන්ගේ ක්ෂණික අරමුණ නම් එකක්ම විය යුතුය. ඒ ඔහු අගමැති ධුරයට පත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නෙරපීමය. එයද මාස දෙකකින් ඉටුවිය. ඒ අනුව ඔහු තමන්ගේ දෙවැනි අරමුණ වූ ‘‘ සිස්ටම් චේන්ජ්’’ කිරීම කරනු ඇතැයි අරගලකරුවන්ගෙන් පිරිසක් හෝ අපේක්ෂා කළේ නම් එය සාධාරණය.
එහෙත් අරගලකරුවන්ගෙන් බහුතරය එසේ අපේක්ෂා කළේ නැත. ඔහු ද පහර දී අරගලකරුවන් අරගල භූමියෙන් පලවා හැරියේය. ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කේන්ද්‍ර කොටත් වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. එය අලුත් වැඩ පිළිවෙළක් නොව රාජපක්ෂ මහතා මූල්‍ය අරමුදලෙන් සහාය පැතීමට පෙර එම අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ කළ වැඩ පිළිවෙළක් විය. රාජපක්ෂ මහතා විසින්ම පත් කරන ලද නිලධාරීන් හා ඇමැතිවරුන් පිරිසක් ඔහු විසින්ම තෝරා ගන්නා ලද ජාත්‍යන්තර උපදේශක ආයතනවල උපදෙස් මත එම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගියහ.
එය මූලික වශයෙන් බදු හා විදේශ ණය මත ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළකි. ණය ගෙවීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරගත යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවයි. තවමත් එවැන්නක් ආණ්ඩුවට තිබෙන බවත් නොපෙනේ. කෙසේ වෙතත් සැප්තැම්බර් මස 21 වැනිදාට නියමිත ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ මේ අතීත හා වර්තමාන ණය කන්දරාව ගෙවීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරීමයි.
ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් 12 වැනිදා ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ණය ගෙවීම අත්හිටවූයේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කේන්ද්‍ර කොටගත් වැඩ පිළිවෙළ යටතේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ජූනි 26 වැනිදා අත්සන් කරන ලද ගිවිසුම යතේ එම ණය හිමියන්ගෙන් ගත් ණය ගෙවීඹ 2028 දක්වා කල් දමාගත හැකි විය. එහෙත් ඉන්පසු මේ ණය ගෙවිය යුතුය. තමන්ගෙන් ගත් ණය ශ්‍රී ලංකාව 2027 සිට තමන්ට ගෙවිය යුතු යැයි මූල්‍ය අරමුදල ද මීට පෙර පවසා තිබිණි.
සිස්ටම් චේන්ජ් කෙසේ වෙතත් මේ ණය ගෙවීමට තව මාස දෙකකින් බලයට පත්වන ජනාධිපතිවරයාට වැඩ පිළිවෙළක් නැති වුවහොත් තවත් වසර තුනක් හෝ හතරක් ඉක්ම ගිය තැන තවත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට රටට සිදුවනු ඇත.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවැනි වට පිටාවකය. එසේ වුවද මේ අනතුර ජනතාව හෝ මෙරට දේශපාලනඥයන් හෝ තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ.
මෙතෙක් මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වුණේ දොකොන් සටනක් වශයෙනි. පළමු වතාවට එය මෙවර තුන් කොන් සටනක් හෝ සිව් කොන් සටනක් හෝ වන්නට යන බවක් පෙනේ.
මෙහිදී පසුගිය මාස කිහිපයක් තිස්සේ සාකච්ඡාවට භාජන වූ කරුණක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) කෙසේ ජනාධිපතිවරණයට මුහුණ දෙනු ඇත්ද යන්නයි. 2022 සිට වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව ගෙන එන ලද සියලු යෝජනාවලට පොහොට්ටුව සහාය දුන් හෙයින් පොහොට්ටුව හා එජාපය එක්ව ජනාධිපතිවරණයට මුහුණ දෙනු ඇතැයි බොහෝ දෙනා සිතූහ.විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී මුළු රටෙන්ම ඡන්ද ලක්ෂ තුනක්වත් ලබාගත නොහැකි වූ එජාපය පොහොට්ටුවේ සහාය අපේක්ෂා කළේය.
එහෙත් දැන් වික්‍රමසිංහ මහතා ස්වාධීනව තරග කරන්නට ඉදිරිපත් වී සිටී. පොහොට්ටුව ද වෙනම තරග කරන්නට ඉකුත් සඳුදා (ජුලි 29) තීරණය කළේය. එහෙත් පොහොට්ටුවට තවමත් තම අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර ගැනීමට නොහැකි වී තිබේ. සමහර විට පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඇතිව හෝ නැතිව හෝ තම ලකුණ යටතේම තරග කරන්නට කලින්ම තීරණය කර තිබුණා විය හැකිය.
සමහර විට ජනාධිපතිවරයා තම විරෝධය නොතකා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සමීප දේශපාලන සබඳතා පැවැත්වීම නිසාත් එම මන්ත්‍රීවරුන් පිරිසක් දින කිහිපයකට ඉහතදී පක්ෂ නායකත්වයෙන් ස්වාධීනව වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කිරීම හා වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කිරීම හා වික්‍රමසිංහ මහතා තමන් සමග කිසිදු එකඟතාවක් ඇති කර නොගෙන ඉකුත් 26 වැනිදා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඇප තැන්පත් කිරීම නිසාත් ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා පොහොට්ටුවට තනිව තරග කිරිමේ තීරණය ගන්නට සිදුවුවාද විය හැකිය.
මේ අතර පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනකු රැස්වී ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාට සහය දෙන්නට ඉකුත් අඟහරුවාදා (30) තීරණය කළ බව වාර්තා විය. ඔවුන් මෙසේ සහය පළ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ බව නිවේදනය කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයයි. මීට පිළිතුරු වශයෙන් පොදුජන පෙරමුණේ සහ සමඟි ජන බලවේගයේ නායකයන් තර්ක කරන්නේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ එක්වුවත් පාක්ෂිකයන් එසේ වෙනස් නොවන බවයි.
ජනතාව අරගලයෙන් පසු තම ප්‍රාදේශීය නායකයන් හා පක්ෂ සමඟ පෙර තිබූ බැඳීම් නොතකා දේශපාලන වශයෙන් සිතන්නට පෙළඹී ඇති බව සත්‍යයකි. පසුගිය මැතිවරණවල දී සියයට තුනක් පමණ ඡන්ද ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අනෙක් පක්ෂධවලට බියක් ගෙන දෙන තරමට වර්ධනය වී ඇත්තේ ඒ නිසාය. එහෙත් ජාතික සම්පත් විකිණීම,බලය බෙදීම, බැදුම්කර වංචාව ආදිය පිළිබඳව පොහොට්ටුව තම ආධාරකරුවන් තුළ ගොඩනඟා තිබූ මතවාද තීරණ ගැනීමේදී එම ආධාරකරුවන්ට බලපෑමක් නොකරනු ඇත්ද?
පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ දේශපාලනඥයන් මෙවැනි අවස්ථාවල දී තීරණ ගන්නේ ජනතාව ගැන හෝ ප්‍රතිපත්ති ගැන හෝ සිතා නොව තමන්ගේ ඉදිරි පැවැත්ම ගැන සිතාය. එහෙයින් ජනාධිපතිවරයාට සහාය පළකළ මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ දී පොහොට්ටුවට වඩා එජාපය තුළ තම පැවැත්ම සුරක්ෂිත යැයි සිතනවා විය යුතුය. වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ඉකුත් බදාදා ප්‍රකාශ කළ පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පිලද සිතන්නට ඇත්තේ එසේය.
පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු සොයා ගතහොත් ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට ඔවුන් මෙතෙක් කල් සහයෝය දුන් වික්‍රමසිංහ මහතාම පත්වීමට ඉඩ තිබේ. පොදුජන පෙරමුණ 2022 දී වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සාධාරණීකරණය කළේ රට ආර්ථික වශයෙන් ගොඩ ගත හැක්කේ ඔහුට පමණකැයි කියමිනි. එහෙත් එම පෙරමුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බදු අඩු කළ ජනාධිපතිවරයා (ගෝඨාභය රාජපක්ෂ මහතා) පලවා හැර බදු වැඩි කළ ජනාධිපතිවරයා (වික්‍රමසිංහ මහතා) යළි පත් කර ගැනීමට තම පක්ෂයේ පිරිසක් ඉදිරිපත් වී සිටින බව දැන් කියති.
ඔහුට අමතක වූ හෝ ජනතාවට අමතක වී යැයි ඔහු සිතන කරුණනම් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සියලු යෝජනා හා අණ පනත් සම්මත වූයේ පොහොට්ටුවේ ඡන්දවලින්ය යන්නයි. අවසානයේ දී අරගලකරුවන්ට සිදුවූ දේ පොහෝට්ටුවට ද සිදුවිය. අරගලය හා පොහොට්ටුව වික්‍රමසිංහ මහතාට කරපිංචා කොළයක් විය.
මේ කිසිදු කරුණක් හෝ දේශපාලන ගනුදෙනුවක් හෝ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අදාළ ඒවා නොව ඒ පක්ෂය හෝ මේ පක්ෂය බලයට ඒම සඳහා කරන කියන කාරණාය. වඩා වැදගත් වන්නේ ආර්ථිකය කරන කියන කාරණාය. වඩා වැදගත් වන්නේ ආර්ථිකය ගොඩ ගැනීමයි. එහි ප්‍රධාන අංගයක් වන්නේ විදේශ ණය ගෙවීමයි. ජාතික ජන බලවේගය හා සමඟි ජනබලවේගය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කේන්ද්‍රකරගත් වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බව පවසයි.
එහෙත් එය දැනට කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා ණය ලබා ගන්නා වැඩ පිළිවෙළකි. එයද 2027 දී අවසන් වන සිව්වසරක වැඩ පිළිවෙළකි. එතැනින් එහාට ණය ගෙවිය හැකි තවදුරටත් ණය ගැනීම අඩුකළ හැකි ඒ සඳහා විදේශ විනිමය ඉපැයිය හැකි, එසේම ජාත්‍යන්තර හා දේශීය වශයෙන් පැන නැගිය හැකි අනපේක්ෂිත ආර්ථික කම්පනවලට මුහුණ දිය හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුය. ‘‘සිස්ටම් චේන්ජ්’’ විය හැක්කේ එමඟින් පමණි.
එවැනි වැඩ පිළිවෙළක් තිබෙන්නේ කුමන පක්ෂයකට ද? එවැන්නක් දැනට නැතත් එවැන්නක් ඉදිරියේ දී හෝ සකස් කොට ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා අවශ්‍යතාවක් ඇති පක්ෂය කුමක්ද? ආදිය ගැන සිතා තීරණයක් ගන්නට ජනතාවට දැන් තත්වයන් විසින් බලපෑම් කෙරෙමින් තිබේ.
(*** එම්.එස්.එම්. අයුබ්)