සම්මානනීය ප්‍රවීණ අංග රචනා ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු ද වූ වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අද (මාර්තු 01) පස්වරු 4.00 ට බොරැල්ල සුසාන භූමියේ දී සිදුකෙරේ.
මේ සටහන ඒ නිමිත්තෙනි.
වසර 68ක් වූ වසන්ත විට්ටච්චිගේ අතිශය අර්ථ පූර්ණ ජීවිතයේ හරි අඩකටත් වඩා ප්‍රමාණයක් අපට පෙනුණු මානයේ දිග හැරුණු එකකි. අපි රඟහල් තුළ ද රඟහල් වශයෙන් හැඳින්විය නොහැකි භූමි ප්‍රදේශ තුළ ද දීර්ඝ කාලයක් එක්ව වාසය කළෙමු. රූපවාහිනී හෝ සිනමා කැමරාවන් ද සමඟ සීතල කඳු මුදුන්වල හෝ සම පුපුරා යන තරමේ උණුසුම් ශුෂ්ක වැලි තීරුවල ද, තරු පහේ හෝටලවල පටන් පිළිකුල් සහගත ගුබ්බෑයම්වල ද මනුෂ්‍ය ජීවිතය නිර්මාණය කළෙමු. හරි වැරදි දෙකෙහිම වුව එකට සිටියෙමු. හැම ජයග්‍රහණයකදී මෙන්ම හැම පරාජයකදීමත් සෙවණැලි මෙන් අත් නොහැර සිටියෙමු. අපි සුළු අමනාපයකදී ඊට එයට වඩා වැඩි තැනක් නොදීමු. එහෙත් වරක් මා අතින් මේ සද්චාරිත්‍රය බිඳිණි. ඒ එළැඹුණු නිර්මාණයකදී විට්ටච්චි මගේ අංග රචකයා නොවීමය. එහෙත් එසේ වුවද එහිද ඔහු තම නළු භූමිකාව ඉටු කරමින් සිටියේය. දෛවය ටොකු අනිනවා කියන්නේ මේවාටය.
විට්ටච්චි වෙනුවට මා තෝරා ගත් අංග රචකයා දිනක් මා සමග අමනාප වී බඩුමුට්ටු ද එතැනම තබා දර්ශන තලයෙන් අතුරුදන් වූයේය. කෝපය පිට කරගත් පසුව ශෝකයෙන් යුතුව නේපථ්‍යාගාර කුටියට පිවිසුණු මා දුටුවේ පුදුම දර්ශනයකි. කිසිවක් සිදු නොවුණා සේ වැඩේ අතට ගෙන තිබූ විට්ටච්චි නළු නිළියන්ට අංගරචනා කරමින් සිටියේය. මට මුහුණ ආවරණය කර ගනිමින් ඒ අසලින් යන්නට සිදුවිය. විට්ටච්චි වෙන අයට නෑසෙන සේ ද මට පමණක් ඇසෙන සේ ද මෙසේ කීවේය.
“බැට්න් එක අතාරින්නේ නෑ කියන්නේ මේවට තමයි”.
කලා ක්ෂේත්‍ර, විශේෂයෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය කලා ක්ෂේත්‍ර විශාල මිත්‍රත්ව ජන ඝනත්වයන් සහිත ප්‍රදේශ වේ. එහෙත් එහිද සිටින්නේ සාමාන්‍ය සමාජයේම මිනිසුන් බැවින් එහිදී සපුරාම මිත්‍රයන් සොයා ගැනීම අසීරුය. එහිදී සපුරාම මිත්‍රයකු සොයා ගැනීම ඔබේ වාසනාව හෝ දෛව අංකය මත හෝ පදනම් වන්නක් නොවේ. ඔබේ නිර්මල ආත්මය සැක බිය රහිතව නිරාවරණය කළ හැකි මිනිසකු හෝ මිනිසුන් පිරිසක් සම්මුඛ වීම ම වේ.
ආර්ථික වශයෙන් අතිශය දුෂ්කර වූද , දේශපාලනික වශයෙන් අතිශය මර්දනීය වූද අවදානම් සමාජයක් ස්ථාපිත වී තිබුණු වකවානුවක ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව නමැති අනතුරුදායක ක්‍රීඩාවේ යෙදීමත් ඒ වෙනුවෙන් කිසිදු පක්ෂ දේශපාලනයකට නොගෑවුණු හිතුවක්කාර තරුණ නාට්‍ය “ඔන්සෝම්බොලයක්” (ensemble - නාට්‍ය මුළුව) පවත්වාගෙන යෑමත් සපුරාම මිත්‍රයන්ට හැර වෙනත් අයකුට හැකි වූයේයැයි නොසිතමි.
ලියුම්කරු ද ඇතුළත් මේ “ඔන්සෝම්බලයේ” වසන්ත විට්ටච්චි නිත්‍ය සාමාජිකයෙක් විය. ජැක්සන්, කමල්, ශ්‍රියන්ත, එච්.ඒ., මහේන්ද්‍ර, ග්‍රැන්විල්, සැනට්, මාලි, ජූඩ්, ලලිත්, ලින්ටන්, උදිත ආදීන් ඇතුළත් වූ මේ පිරිස අපගේ ඉංග්‍රීසි නාට්‍ය සගයා වූ රිචඩ් ද සොයිසා විසින් හඳුන්වන ලද්දේ “හොඳ නරුමයන් පිරිසක්” වශයෙනි. ඔන්සෝම්බලයේ නිර්මාණයක් වූ “මෝරා” නාට්‍යයේ එන අවසාන සත්‍යවාදියාගේ චරිතය නිරූපණය කිරීම සඳහා රිචඩ් කැමැත්තෙන් සිටි අතර එක්තරා දෛවෝපගත සිදුවීමක් හේතුවෙන් එය වැළකී ගියේය.
ඔන්සෝම්බල සගයන්ගෙන් විශ්වවිද්‍යාලයට ගියේ ජැක්සන් පමණය. අනෙක්හු විශ්වයට ගියහ. ජර්මානු සංස්කෘතික ආයතනය, ඇමෙරිකානු මධ්‍යස්ථානය, සෝවියට් සංස්කෘතික කේන්ද්‍රය, ප්‍රංශ මිත්‍රත්වය ආදියෙන් තම ඥානමය දැනුම උකහා ගත් ඔවුන්ගේ වාදපිටි වූයේ කොළඹ නගරයේ ප්‍රකට සහ අප්‍රකට අවන්හල්ය. මාසයකට විසි වතාවකට වැඩියෙන් දිවයින පුරා සංචාරය කරන නාට්‍ය බසය තුළය. මේ අයගෙන් සියල්ලෝම පාහේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය රංග කලා ගුරුවරුන්ගෙන් ශිල්ප හදාරා තිබුණහ. තවත් ඇතැමෙක් විදේශ රංග කලා අධ්‍යයනය සඳහා විදේශ ශිෂ්‍යත්වලාභීහු වූහ. ඒත් මේ හැමදෙනා තුළම වූ විශේෂ ලක්ෂණය වූයේ මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාලද සිල්වා ආදි වශයෙන් වූ තම ගෝත්‍ර ප්‍රවරයන්ට හැම විටම ගරු කිරීමය. ඔවුන් ද තම අප්‍රමාණ ගුරුවරුන් වශයෙන් පිළිගැනීමය. වසන්ත විට්ටච්චි, ජැක්සන්, ශ්‍රියන්ත, එච්.ඒ. වැන්නන් ඒ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන් විසින් නොපමාව තම කලා ප්‍රකාශනයන් සඳහා යොදාගනු ලැබිණි. ඊට අමතරව වසන්ත විට්ටච්චිත්, එච්. ඒ. පෙරේරාත් විසින් සෝවියට් සංස්කෘතික කේන්ද්‍රයේ පවත්වනු ලැබූ නාට්‍ය වැඩමුළුවලින් සහ දිවයින පුරා පැවැත්වූ නාට්‍ය වැඩමුළුවලින් බිහි කරනු ලැබූ අප්‍රමාණ සිසු සිසුවියෝ සිටිති. ඔවුහු අද ද ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් වශයෙන් අපගේ ශ්‍රව්‍ය දෘෂ්‍ය කලා කෙත් බබළවති.
වසන්ත තම වැඩමුළු මගින් කළ එක්තරා වැදගත් කාරියක් මම දනිමි. ඔහු සැම විටම තම සිසුවාගේ පරිකල්පනය පුළුල් කළේය. (expand of imagination) පරිකල්පනයෙන් තොර අභ්‍යාසලාභියා ඉක්මනින්ම අනුකරණය වැළඳ ගනී. ඔහු වේදිකා තාක්ෂණය තම වහලෙකු කොට ගන්නවා වෙනුවට එහි වහලෙකු බවට පත්වෙයි. වසන්ත ඒ වෙනුවට තම හෘදය සංවේදීභාවයත් තමා පිළිබඳ අවබෝධයත් යෝජනා කළේය. මිනිසා යනු අනෙකක් නොව තමාගේ සිතිවිලි සහ තමාගේ සංවේදනාය යන්න ඔහු හොඳහැටි දැන සිටියේය. විභාව නමැති තමන්ගේ හැඟීම් ගමන් කරන යානා දෙස රූපණ ශිල්පියකු වශයෙන් ඔහු සැම විටම බලා සිටියේය. නිරීක්ෂණය කළේය. අන්‍යයන්ගෙන් ණයට ගත් හැඟීම් (borrowed emotions) ප්‍රතික්ෂේප කළ හේ අතිශය අව්‍යාජ හැඟීම් ප්‍රකාශකයකු බවට පත්ව සිටියේය. ඒ සඳහා ඔහු පෝෂණය ලැබූයේත්, අනුප්‍රාණය ලැබුවේත් තම දයාබර දියණියත්, භාර්යාවත් කෙරෙහි වූ අප්‍රමාණ සෙනෙහසින් යැයි විටෙක ඔහුට හොරා ඔහුගේ කඳුළු දැක ඇති මම සිතමි.
ඔහු තමා කෙදිනක හෝ යා යුතු බව දැන සිටි මිනිසෙකි.
ඉතින් ඔහු ගියේය.
මම ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
(***)
ප්‍රවීණ නිර්මාණවේදී
- ජයන්ත චන්ද්‍රසිරි
(ඡායා: දයාන් විතාරණ)