​ජනතා සිහින සැබෑවේද?


තවත් වසර පහක කාලසීමාවකට අදාළව නව විධායක විධායක ජනාධිපතිවරයකු ජනතාව විසින් පත් කර ගනු ලැබ අවසන්ය. නව ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ දැනට යම් ස්ථාවරත්වයකට පත්ව ඇති ආර්ථිකය තිරිසාර ලෙස යළි ගොඩනැංවීම සහ මැදිකාලීනව වේගවත් ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට අදාළව ආර්ථීකය සූදානම් කිරීම වේ. මේ සඳහා ජයගත යුතු අභියෝග ගණනාවකි. එ‍වායින් සමහරක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීම අපේක්ෂිතය.

 

ආර්ථිකය හොඳින් කියවා ගැනීම

නව ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රයේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ වර්තමාන ආර්ථික තත්වය දේශීයව මෙන්ම ගෝලීයව ද නිවැරැදිව තේරුම් ගැනීම වේ. විශේෂයෙන්ම වර්තමාන ආර්ථික අර්බුදය, එය විසඳීම සඳහා ගනු ලැබූ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් මොනවාද යන්න මෙන්ම ඊට අදාළව ඇති කරගෙන ඇති දේශීය මෙන්ම විදේශීය එකඟතා පිළිබඳවද හරියාකාරව දැනුවත් වීම මෙහිලා ඉතා වැදගත් වේ. ඒ හා සමානව රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පැහැදිලිව සන්නිවේදනය කිරීමද ඉතා වැදගත්වේ. ඒ මක්නිසාද යත් එසේ නොවුණහොත් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ඇතුළු විවිධ පාර්ශව ආර්ථිකයට අවාසි සහගත අයුරින් හැසිරීමට ඇති අවස්ථා බහුල වීමයි. එ් අතරම, දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවතින අයවැය හිඟය සහ ‍ගෙවුම් ශේෂ හිඟය ක්‍රමානුකූලව විසඳීමට කඩිනමින් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන්ම දැනට ඉතා ඉහළ මට්ටමක පවත්නා රාජ්‍ය ණය බර පහත හෙළීමට එක් පැත්තකින් ආර්ථික වර්ධනය ඉහළ දැමීම මෙන්ම අනෙක් පැත්තෙන් දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් පවත්වාගෙන යාමද වැදගත්ය. මෙම තත්ත්වය ක්‍රමානුකූලව යහපත් අතට පත්කර ගැනීම සඳහා අවශ්‍ය වන කෙටිකාලීන, මැදි කාලීන සහ දිගු කාලීන පියවර මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍ය වනු ඇත. විශේෂයෙන්ම පවතින තත්වය අයහපත් ආකාරයට වර්ධනය වීමට තුඩුදිය හැකි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත් වේ. ‍එමෙන්ම, ආර්ථික අර්බුදය අවස්ථාවේ සිට මේ දක්වා ප්‍රතිපත්තිකරණයට සහ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා සඳහා සාභාගි වූ ප්‍රතිපත්ති සම්පාදනයේ නියුතු නිලධාරින්ගෙන් වත්මන් ආර්ථික තත්වය සහ අනාගත අභියෝග පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කර ගැනීමක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. දැනට ක්‍රියාත්මකව පවතින ප්‍රතිපත්ති රාමු වෙනස් කිරීමට යාමේදී ඒ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සහ ඒ ඒ අංශවල දැනට කටයුතු කරන සහ එවැනි අංශ පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් ඇති අයවලු‍න් සම්බන්ධ කර ගැනීම ඉතාමත්ම වටී.

මෙහිදී ආර්ථික ස්ථායීතාවට ප්‍රමුඛස්ථානය ලබා දීම ඉතා වැදගත්වේ. පසුගිය වසර දෙකේදී ක්‍රියාත්මක කළ දැඩි ස්ථායීකරණ පියවර හේතුවෙන් දැනට ආර්ථිකයේ සාර්ව ආර්ථික ස්ථායීකරණයක් දැකිය හැකි වුවත් අභි‍යෝගය වන්නේ වර්ධනය වන්නා වූ ආර්ථිකයක තිරසාරව ආර්ථික ස්ථායීකරණය පවත්වා ගෙනයාම වේ. එසේ නොවුණහොත් වන්නේ පහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව දිගින් දිගටම කටයුතු කිරීමටය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් බව මූලික වශයෙන්ම අවධාරණය කළ යුතුය. ග්‍රීසිය, ආජන්ටිනාව ඇතුළු බොහොමයක් රටවලින් උගත හැකි පාඩමක් නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැටුමකට හෝ එකගතා බිද වැටීමකට ඉඩ සැලසීම නිසා ඇතිවිය හැකි අයහපත් තත්වය ඉතා දැඩි බවයි. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි සාකච්ඡා කිරීමට එළඹෙන්නේ නම් එවැන්නක් ඉතා කල්පනාකාරීව කළ යුතුය. ඒ මන්දයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැතිව අනෙකුත් පාර්ශ්වවල සහයෝගය ලාබාගැනීමට නොහැකි වීමයි. 2015 ග්‍රීසියේ බලයට පැරණි වාමාංශීක රජයට අත්වූ ඉරණම මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම ඉරා දමන බව පවසමින් බලයට පැමිණි රජයට සිදුවූයේ පෙරටත් වඩා දැඩි කොන්දේසි යටතේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරිමට‍ය. එසේම ණය සහ ආධාර ලබා දෙන අනෙකුත් ද්වි පාර්ශිවික මෙන්ම බහු පාර්ශ්වික කණ්ඩායම් සමගද සහයෝගයෙන් කටයුතු කිරීම වත්මන් ආර්ථික අර්බුදය තිරසාරව විසඳාගැනීමට ඉමත් අස්වැසිල්ලක් වේ. ණය පැහැර හැරීමත් සමග ජාත්‍යන්තයේ ලංකාවේ ප්‍රතිරූපයට සැලකිය යුතු හානියක් සිදුව ඇත. එම නිසා ඉතා ඉක්මනින් කළයුතු වන්නේ එසේ බිඳ වැටෙන ලද ප්‍රතිරූපය යළි සැකසීමට අදාළ කටයුතු කිරීමවේ. ඒ සඳහා සාර්ථකව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම ඉතා වැදගත්ය. යම් හෙයකින් ඒ සඳහා තවත් කාලයක් ගතවුවහොත් සිදු වන්නේ ආපසු ණය ලබා ගැනීමට ගෙවීමට සිදුවන පොලිය ඉහළ යාම පමණක් නොව විදේශීය ආයෝජන ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාද සීමා වීමය.

 

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම

පසුගිය රජය විසින් හඳුන්වා දුන් බොහොමයක් ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන ඒවා වේ. උදාහණයක් වශයෙන් නව මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, ආර්ථික පරිවර්තන පනත මෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ පනත සඳහන් කළ හැකිය. එවැනි පනත් මගින් අපේක්ෂා කළ ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම හෝ තවත් වර්ධනීය අයුරින් ඉදිරියට ගෙනයාම ආර්ථික අර්බුදයට තුඩුදුන් මූල හේතු තිරසාරව විසඳා ගැනීමට යෝග්‍ය වේ. එමෙන්ම තවත් අංශ ගණනාවක අර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ශ්‍රම වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ අංශ වන අතර දැනට යෝජිත විසඳුම් පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කිරීම සහ නිසි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.

ජාත්‍යන්නතර මූල්‍ය අරමු‍දලේ කොන්දේසි ලෙස පෙනුණද යෝජිත බොහොමයක් ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් කාලයක් තිස්සේ හදුනාගත් ඒවා වන අතර එවැනි ප්‍රතිසංස්කරණ නොකර සිටීම හෝ කිරීම කල්දැමීමෙන් සිදුවන්නේ අප නැවත වරක් අර්බුදයට යාම හෝ ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ඇති අවස්ථා නැති විමය.

 

සුබසාධන වැඩසටහන් නිවරැදිව ඉලක්කගත කිරීම

නව රජය මගින් මැතිවරණ සමයේ ලබා දුන් සුබසාධන පොරොන්දු ගණනාවක් ඇත. ඒ අතර දිළිදු ජනයාගේ මාසික අස්වැසුම දීමනාව වැඩි කිරිම, VAT  බද්ද ඇතැම් භාණ්ඩවලට අදාළව අඩුකිරීම හෝ සහමුලින්ම ඉවත් කිරිම, උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීම, ඉන්ධන සහ විදුලි ගාස්තු අඩු කිරීම, වැඩිහිටි ගිණුම් සඳහා දැනට ඇති පොලියට වඩා ඉහළ පොලියක් ගෙවිම, සේවා වියුක්ත උපාධිධාරීන් සේවයට බඳවා ගැනීම සහ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි දෑ ප්‍රමුඛවේ. මෙම යෝජනා සමහරක් රාජ්‍ය වියදම ඉහළ යන ඒවා වන අතර අනෙක්වා රාජ්‍ය අදායම පහළ යන ඒවා වේ.

බොහෝ අවස්ථාවලදී අලු‍තින් බලයට පැමිණෙන ආණ්ඩු කරන්නේ තම මැතිවරණ ප්‍රතිපත්තියේ ඇති ඇතැම් යෝජනා බලයට පත්වු විගස ඉටුකිරීමට යාමයි. එහෙත් වර්තමාන ආර්ථික තත්ව තුළ බලයට පැමිණි රජයට එවැනි බොහෝ යෝජනා එකවර කිරීමට හැකියාවත් නොමැති බව තේරුම් ගැනීම වැදගත්ය. මෙම නිසා යෝජිත සමහරක් වෙනස්කම් කිරීමට යාමේදී ඉතා සැලිකිලිමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත් අතර එසේ ලබා දෙන සුබසාධන දීමනා නිසි ආකාරයට ඉලක්කගත පාර්ශවවලට පමණක් ලබාදීම සහතික කිරිම වැදගත්ය. විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක අස්වැසුම වැඩසටහන නිසි ලෙස ඉලක්කගත කොට ක්‍රියාත්මක කිරීමෙන් සෑබෑ දුප්පතුන්ට එම සුබසාධන දීමනා ලබාදිය හැකිය. එසේ කිරීමෙන් රාජ්‍ය අයවැයට අනවශ්‍ය තෙරපුමක් ඇතිවීම වළක්වා ගත හැකි මෙන්ම දුප්පත්කම පහත හෙළීමේ හැකියාවද පවතී. විශේෂයෙන්ම රාජ්‍ය වියදම වැඩි වීමකට තුඩුදෙන ක්‍රියාමර්ග ගැනීමේදී ඊට අවශ්‍ය රාජ්‍ය ආදායම සොයා ගන්නේ කේසේද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම අවශ්‍යවේ. එසේම සුබසාධන දීමනා හරහා රට තුළ සහනාධාර මත යැපෙන මහන්සිවී වැඩ නොකරන පිරිසක් බිහිවීම වළක්වා ගැනීමද වැදගත් වේ. සහනාධාර දීමනා නිසා ශ්‍රම වෙළෙදපොළ සහභාගීත්වයට ඇති කරන බලපෑම පිළිබඳවද ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

 

ආයෝජන පරිසරය යහපත් කිරීම

ආයෝජන සහ ව්‍යාපාර පරිසරයට අදාළ ශ්‍රී ලංකාවේ තත්වය යහපත් නොවන බව ගෝලීයව පළවන දර්ශකවලින් නිතර කියවෙන්නකි. එවන් අයහපත් ආයෝජන පරිසරයක් තුළ දේශීය හෝ විදේශීය ආයෝජන පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් නැත. තවදුටත් රාජ්‍ය අයෝජන වැඩි කිරීමේ හැකියාවක් ද නොමැත. ‍එවන් තත්වයක් තුළ යහපත් අයෝජන සහ ව්‍යාපාරික පරිසරයක් සකස් කිරීමට අවශ්‍යවන්නා වු ආර්ථික, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ කිරීම අත්‍යවශ්‍ය වේ. මැතිවරණ වේදිකාවේදී පො‍රොන්දු වූ පරිදි වංචාවට සහ දූෂණයට එරෙහිව පියවර ගැනීම මෙන්ම නීතියේ ආධිපත්‍ය සෑමට සමානව සහතික කිරීම මෙහිලා ඉතා වැදගත්ය. විශේෂයෙන්ම දැනටමත් නීතිගතව ඇති දූෂණ විරෝධී පනත නිසියාකරව ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම සහ අවශ්‍ය අනෙක් පියවර කඩිනමින් ගැනීම මෙහිලා වැදගත් වන කරුණු වේ. එමෙන්ම, සාර්ව ආර්ථීක ස්ථායීතාව පවත්වා ගැනීම මෙන්ම ප්‍රතිපත්තිකරණයට අදාළව සංගත සහ අඛණ්ඩභාවයක් පවත්වා ගෙනයාමද කළයුතුය. ‍විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීම වැදගත්ය. ඒ සඳහා ආර්ථික පරිවර්තන පනත තුළ යෝජනා කර ඇති නව ආයතනික ව්‍යුහය පිහිටුවීමද මෙහිලා ඉතා වැදගත් වන බව කිව යුතුය.

 

අපනයන ප්‍රවර්ධනයට ප්‍රමුඛතාව

අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කල් නොයෙවා කළ යුතු කටයුත්තකි. ආනයන-ආදේශන කාර්මීකරණයක් පිළිබඳවූ යෝජනා මැතිවරණ ප්‍රකාශනවල අන්තර්ගතව පැවතියත් එවැන්නක් තරගකාරී අංශ අභිමුඛව පමණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම වඩා යෝග්‍යවේ. අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ‍අපනයන දශකය වැනි තේමාවක් යටතේ රට තුළ අපනයන සඳහා දිරිගන්වනසුලු නව ‍ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙයි. අපනයනකරුවන් මුහුණදෙන ගැටලු‍ හඳුනාගෙන ඒ සඳහා ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් ලබාදීම ඉතා වැදගත්ය.

1990 මුල් කාලයේ ඵලදායිතාව නැංවීමේ ඉලක්ක සඳහා ඵලදායිතා දශකයක් නම් කිරීම මෙහිලා සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම 2028 න් පසු කාලයේදී ණය ගෙවීමේ හැකියාව ඇති කර ගැනීම සඳහා අපනයන ඉපයීම් වැඩිකර ගැනීම කළයුතුව පවතී. එසේ නොවුණහොත් නැවත වරක් ණය අර්බුදයක් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී. ණය අර්බුදයට මුහුණදුන් බොහොමයක් රටවල අත්දැකීම වන්නේ විටින් විට එවැනි අර්බුද ඇති වීමට ඉඩකඩක් පවතින බවයි. ඒ නිසා එවැනි අවදානමක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීම ඉක්මනින්ම කළයුතුව ඇත. අපනයන ප්‍රවර්ධනය සඳහා විදේශ වෙළෙදපොළ අවස්ථා ගොඩනැගීම මෙන්ම විදේශ ආයෝජන ප්‍රවර්ධනයද ඉතාමත් වැදගත්ය. විශේෂයෙන්ම විදේශ වෙළෙඳ ගිවිසුම් හරහා එවැනි අවස්ථා උදාකර ගැනීම මෙන්ම දේශීයව සැපයුම් අංශයට අදාළව ඇති බාධා ඉවත් කිරීමට පියවර ගැනීමද කඩිනමින් කවයුතුව ඇත.

 

නව ආර්ථික සැලසුමක් සකස් කිරීම

මැතිවරණ ප්‍රකාශනවල අන්තර්ගතව ඇති කරුණුද ඇතුළත් කොට නව ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළයුතුය. පසුගිය දශක කිපය තුළ අප විසින් කරනු ලැබූ බරපතළ වරදක් නම් ජාතික සංවර්ධන සැලසුමකින් තොරව කටයුතු කිරීමවේ. අප අවට රටවල් දෙස අවධානය යොමු කිරීමේදී පෙනෙන කරුණක් වන්නේ බොහොමයක් රටවල අවුරුදු 20-30 කට අදාළව ජාතික සංවර්ධන සැලසුම් මත ක්‍රියාත්මක විමයි. එවැනි සංවර්ධන සැලසුමක් සකස් කිරීමෙන් ආර්ථිකයේ සෑම පාර්ශවකටම ඉතා හොඳ මගපෙන්වීමක් කිරීමට හැකියාව ලැබේ. මෙවන් ජාතික සංවර්ධන සැලස්මක් සකස් කිරිමේදී පුළුල් ජනතා සාභාගීත්වයක් සහිතව කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

 

(***)