තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා ක්‍රම අතර උපමා උපමේය භාවිතය ද ජනප්‍රිය අංගයක්ව පැවැති බව පැහැදිලිව දක්නට ලැබේ.
ඒ සඳහා පුද්ගලයන් නිතර දකින යම් යම් භෞතික වස්තූන් භාවිත කොට ඇති බවද රහසක් නොවේ. එසේ දක්වා ඇති උපමා රූපක තේරුම් ගැනීමට හෝ දැක ගැනීමට ප්‍රයත්න දැරිය යුතු දෑ නොවේ. අනුවණයා ඇතැම් විට කිසියම් පඬිවරයකු ඇසුරු කරන්නේ නමුදු තම බාල ස්වභාවය නිසා එම ඇසුර නිසරු කර ගන්නා අයුරු දක්වා ඇත්තේ ජන ජීවිතය හා නිරන්තර සමීපතාවක් ඇති හැන්ද නම් වූ උපකරණය උපමාකොට ගෙනය. හැඳිවල විවිධ ප්‍රභේද ඇත. වටිනාකම්වල ද විවිධ විෂමතා ඇතිවා පමණක් නොව විශේෂයෙන්ම ආහාර පාන සැකසීම මෙන්ම ආහාර පාන පරිභෝජනය සඳහා ද භාවිත කරනු ලැබේ.
මෙහිදී දක්වා ඇති උපමාවට අයත් “හැන්ද” ආහාර සැකසීම සඳහා යොදාගන්නා ලද්දක් මතුනොව සූපවේදයේ දී එය “හැඳිගෑම” යන නමින් හඳුන්වන බව නොරහසකි. කිසියම් අහරක් ක්‍රමවත් මෙන්ම රසවත් කරලීම සඳහා එය හේතුවන අතර අපේ සාමාන්‍ය ජනවහරෙහි “හැඳි නොගා හදන හොද්දක” නීරස බව මෙන්ම අක්‍රමවත් බව දක්වා ඇත්තේ අවවාද නොකර සාදනු ලබන දූ දරුවන්ගේ අක්‍රමවත් බවද පෙන්නුම් කරමිනි.ඒ අනුව කොතරම් රසවත් ගුණවත් ආහාර වර්ග සැකසීම සඳහා උපයෝගී වෙමින් ඒවායෙහි ඇලී ගැලී රැඳී ඇත්තේ නමුදු එසේ සකසන කිසිදු ආහාරයක රසයක් හෝ ගුණයක් එම හැන්දට නොදැනීමේ ස්වභාවය පෙන්නුම්කොට ඇත්තේ බාලයන් කොතරම් නැණවතුන් ඇසුරු කළත් ඔවුන්ගෙන් ලබාගත යුතු ගුණය හෙවත් සාරවත් වූ ශක්තිය නොලබන බව පෙන්නුම් කරමිනි.
එසේ අනුවණයා විසින් ප්‍රඥාවන්තයන්ගේ ඇසුරින් ලැබිය යුතු යහපත් බව නොලැබීමේ බාල ලක්ෂණවලින් පෙන්නුම් කරන්නේ මතුනොව නැණවතුන් ඇසුරින් දෙලොව සරුකර ගන්නා නැණවතුන් පිළිබඳව දැනුම පුළුල් කිරීම සඳහා යොදා ඇති උපමා රූපකය ද අතිශය අපූර්ව වූවකි.ඕනෑම අයෙකුට තම සිරුර අතිශය සමීප වූවක් මිස දුරස් වූවක් නොවන්නේ මතුනොව එහි පිහිටා ඇති විවිධ ඉන්ද්‍රිය පිළිබඳව ද ඇත්තේ ඉතා හොඳ අවබෝධයකි. එම ඉන්ද්‍රියන් මිනිස් සිරුරෙහි දැනීම, පෙනීම, ඇසීම මෙන්ම ස්පර්ශ පිළිබඳව පමණක් නොව රස හා නීරස හඳුනා ගැනීම සඳහා ද උපයෝගි වේ. ඒ අනුව මුඛය හා බැඳී ඇති දිව ඉන්ද්‍රියක් වශයෙන් බහුවිද කාර්ය සමූහයක් සඳහා උපයෝගී වන අතර මූලිකතම කාර්යයක් ලෙස රස ගුණ හඳුනාගැනීම දැක්විය හැකිය.
ඒ අනුව මධුර, තිත්ත, කටුක, අම්ල ආදී විවිධ රස හඳුන්වා දෙනු ලබන්නේ දිවෙන් බව කිසිවෙකුටත් රහසක් නොවේ. එසේනම් ඈත දුර යා යුතු නොසිතිය යුතු අපිට ඉතා සමීප ශාරීරිකව පුමුඛ ඉන්ද්‍රියක් උපමාකොට ගනිමින් තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දී ඇත්තේ නැණවතා මොහොතකට හෝ නැණවත් ඇසුරකින් ලබන ලොව්තුරු සදහම් අවබෝධය ක්ෂණිකව දිවට දැනෙන රසයක් මෙන් මනාව ග්‍රහණය කරගන්නා බවයි. රසය නම් වූ ලෞකික සංකල්පය සදහම් රසය නම් වූ ලෝකෝත්තර අවබෝධය ඇතිකිරීම සඳහා රසය හා සම්බන්ධ උපකරණයක් හා සමීපතම ශාරීරික ඉන්ද්‍රියක් භාවිත කරමින් සිදුකර ඇති මගපෙන්වීම අපූර්ව වූවකි.
මෙම දෙසුමට අයත් ගාථාද්වයෙන් ප්‍රථම ගයෙහි “යාවජීවං අපි පයිරු පාසති” යන්නෙහි අදහස වන්නේ බාලයා විසින් දිවි ඇති තෙක් පඬිවරුන් ඇසුරු කළත් “ධම්මං න විජානාති” ධර්මය දැනනොගන්නා බව වන්නේ මතුනොව “සූපරසං දබ්බී” යන්නෙහි තේරුම වන්නේ ව්‍යංජන ආදියෙහි රස ඒවා සෑදීමට උපකාරි වන “හැන්ද” නොදන්නා බවයි. එසේම ධම්මපද පාලියට අයත් පහත ගාථා ධර්මයෙහි “විඤ්ඤූ” යන්න නුවණැත්තන් හඳුන්වන යෙදුමක් වන්නේ මතුනොව මනා සිහියෙන් යුතුව හොඳ නොහොඳ වටහාගෙන ක්‍රියා කිරීම ඔහුන්ගේ ලක්ෂණයයි.
“මුහුත්තමපි චේ විඤ්ඤු
පණ්ඩිතං පයිරු පාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා”
“ධම්මං” යන්නෙන් සුවාසූ දහසක් වන “පරියත්ති, පටිපත්ති, පටිවේද” යන තෙවලා දහම අදහස් කෙරෙන අතර “ජිව්හා යථා” යන්නෙන් පෙන්නුම් කෙරෙනුයේ දිව නමැති ඉන්ද්‍රිය වහා රස ගුණ හඳුනා ගන්නා බවයි. එනම් නුවණැතියන් නුවණැතියන්ගේ ඇසුරින් ඉතා ඉක්මනින් ලොව්තුරු දහම අවබෝධ කරගන්නා බව ප්‍රකාශිතය.
මෙම තථාගත දේශනය සඳහා පාදක වූ පුද්ගල චරිත කිහිපයක් පිළිබඳව දක්නට ලැබෙන අතර ඉන් එක් චරිතයක් වන්නේ “උදායි” නම් වූ තෙර නමකි. මෙම භික්ෂුව දෙවිරම් වෙහෙර වැසි භික්ෂුවක වන අතර සිරුරින් පෙනුමින් මනාව වර්ධනය වී තිබූ නමුදු නුවණින් හා දැනුමින් කිසිදු වර්ධනීය ලක්ෂණයක් නොපෙන්වූයේය. එනිසාම උඩඟුකමින් මෙන්ම අනුවණකමින් ද යුතුවූයේ තම නොහැකියාවන් ද නොපිළිගන්නා ලදි. බොහෝ තෙරවරුනගේ දේශනා හා සාකච්ඡා දෙස බලා සිටිමින් එම තෙරවරුන් පිටත්ව ගිය පසු උදායී තෙරුන් ද මනා දහම් දැනුමක් ඇත්තෙකු සේ හුවා දක්වමින් දහම් දෙසීම සඳහා පිවිසෙන්නේ තමා පිළිබඳව තොරතුරු නොදන්නා පිරිස් ඉලක්කකොට ගෙනය. මෙබඳු අඥානයීය වූ දැනුමින් හිස් ශ්‍රමණ ප්‍රතිරූපකයන් වර්තමානයෙහි ද ධර්මය අවිචාරවත්ව ප්‍රකාශ කරමින් මහත් ශාසනික අර්බුධ ඇතිකරමින් උදායි තෙරුන්ගේ චරිතය නිරූපණය කරනා අයුරු දැකගත හැකිය.
උදායි තෙරුන්ගේ ස්වභාවය දැක මුළාවට පත් ඇතැම් තෙරවරුන් ධර්මය අසනු රිසිව දම් දෙසුම් සඳහා එළැඹෙන්නේ විනය හා අභිධර්මය පිළිබඳ දැනගනු රිසිව මෙම තෙරුන්ගෙන් විමසන ලද්දේ කිසිදු දහම් දැනුමක් නැති උදායි ලැජ්ජාවට පත්ව නිහඬ වූයේ සෙසු භික්ෂුන්ගේ දෝෂාරෝපණයට ද ලක්වූයේ මතුනොව මෙම සිදුවීම බුදුරදුන්ට ද දැනුම් දෙන ලදි. එහිදී තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ අනුවණයා නිරන්තරයෙන් නුවණැත්තන් සමඟ සිටියත් “හැන්ද” ගෙවී ගියත් සැකසෙන ආහාරයෙහි රස නොදන්නාක් මෙන් දහම් රසය දැනගත නොහැකි වන බවය. මෙහි අනෙක් සිදුවීම ද ඉතා ප්‍රකට සිදුවීමක් වන භද්දවග්ගිය කුමාරවරු තිස්දෙනෙකු පිළිබඳ සිදුවීම ඊට පාදකකොටගෙන ඇත. විනෝදකාමී එම කුමාරවරු තම භාර්යාවන් හෝ භාර්යාවන් කරගැනීම අදහස් කළ කුමාරිකාවන් සමඟ වනෝද්‍යානයකට ඇතුළු වූයේ විනෝදය සඳහාමය.
එහිදී බිරිඳක් නොසිටි එක් කුමරෙකු රූමත් කතක් ආදේශකව පමුනුවා ගනු ලැබුයේ මතුනොව ඇය වෙසඟනක් පමණක් නොව සෙරක් ද වූවාය. කල් යල් බලා සුපුරුදු වෘත්තියෙහි යෙදුන ඇය සියල්ලන්ගේ බඩු බාහිරාදිය රැගෙන පලායන ලද්දේ සියල්ලෝම ඇය සෙවීම සඳහා වනලැහැබ පීරමින් ගමන්කරන්නේ රුක් සෙවණක විවේකීව වැඩසිටින භාග්‍යවතුන්වහන්සේ දැක සමීපව පලාගිය ස්ත්‍රිය පිළිබඳව විමසන ලදහ. එවිට තථාගතයන්වහන්සේ කුමාරවරුන්ගෙන් ප්‍රශ්නකරනුයේ වඩා උතුම් වන්නේ අනුන් ගැන සෙවීම ද නොඑසේනම් තමන් ගැන සෙවීමදැයි විමසාලූහ. ඔවුන්ගේ පිළිතුර වූයේ තමන්ගැන සෙවීම වඩා උසස් කාර්යයක් බවයි. ඒ අනුව බුදුරදුන් ඔවුන්ට දම් දෙසන ලද්දේ සියල්ලෝම පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණ පැවිදිව මහරහත් බවට පත්වීමේ භාග්‍යය ලබන ලද පුවත දම්සභා මණ්ඩපයෙහි කතාබහට ලක්වූයේ ය. ඒ අනුව භාග්‍යවතුන්වහන්සේ එම තිස්දෙනා පිළිබඳ සිදුවීම පාදකකොට ගෙන දම් දෙසනුයේ පෙරත් තමන්වහන්සේ විසින් දේශිත ධර්මය අසා මොවුහු වහා දහමට අවනත වූ ආකාරය පැහැදිලි කරන ලදහ. නුවණැතියන් මොහොතක කාලයක් වුවද ධර්මය දන්නා පඬිවරයෙකු ඇසුරුකරන්නේ නම් වහා දිවට රස දැනෙන්නාක් මෙන් ධර්මය මැනවින් හඳුනාගනු ලබන්නේ සියලු රසයන් දිව හඳුනන්නාක් මෙන් බව මෙහිදී ප්‍රකාශ කෙරිනි.
මෙම සංසිද්ධින් දෙක පිළිබඳව විමසාබැලීමේදී පැහැදිලි වන්නේ උදායි නම් භික්ෂුව වැඩසිටියේ තථාගතයන්වහන්සේගේ නිත්‍ය නේවාසික විහාරස්ථානය වූ සැවැත්නුවර ජේතවන මහාවිහාරයේමය. එනම් මෙම තෙරුන් දෙව්රම් වෙහෙර සද්ධි විහාරිකයෙකුව නිතර බුදුන් දකින, ධර්මය අසන සම්බුදු සිසිලස විඳින භික්ෂුවක්ව සිටියේ නමුත් මසින් වැඩුනා මිස නුවණින් නොවැඩුන බාලයෙකු බවයි. දහම් දැනුම නැතිවුවද උඩඟුකමත්, මෝඩකමත් වර්ධනය කරගත්තේ මතුනොව දන්නා බව පෙන්වීමට උත්සාහ දරමින් වංචනිකව හැසිරී ඇති අයුරු දක්නට ලැබේ. භාග්‍යවතුන්වහන්සේ ජීවමානව සිටියදී මතුනොව එකම වෙහෙරක වසමිනුත් ධර්මය දැකිය නොහැකිවූ මෙබඳු පුද්ගලයන් තවත් කොතෙකුත් සිටින්නට ඇත.
ඒ අනුව එබඳු අඥානයන් පිළිබඳ බුදු නෙත යොමුව ඇත්තේ ඉතා සානුකම්පිතව බව පෙනීයයි. මෙහිදී අපේ හෙළ කවියන්“ඉඳ ඉඳ එක වෙහෙර.....”යනාදීන් දක්වා ඇති හද සසල කරවන පද්‍යය නැවත මතකයට නැගෙන්නේ නිරායාසයෙනි. භද්දවග්ගිය කුමාරවරු උදායි තරම් තථාගතයන්වහන්සේට සමීප වූවන් නොවන්නේ මතුනොව ඔවුන්ට භාග්‍යවතුන්වහන්සේ මුනගැසෙනුයේ අහඹු ලෙසය. එමෙන්ම එය ඉතා හදිසි හමුවීමක් වන අතර තථාගතයන් වහන්සේ විසින් යොමුකරන ලද ප්‍රශ්නයට ලබාදෙන ලද පිළිතුරෙහිම ඔවුනගේ නැණවත් බව ගැබ්ව තිබූ බව පෙනේ. සත්පුරුෂ නැණවතෙකුගේ මොහොතක ඇසුර නුවණැතියන්ගේ ධර්මාවබෝධය සඳහා හේතුවන බව මෙම සංසිද්ධින්ගෙන් මනාව ප්‍රකට කෙරේ. දක්වා ඇති උපමාරූපකය ඒ සඳහා කෙතරම් උචිත වන්නේදැයි එම සිදුවීම පිළිබඳව නැවත ආවර්ජනයෙන් වටහාගත හැකිවනු ඇත.
ඇසළ පුරපොහෝ දිනයෙහි සියලු ථෙරවාදී විහාරස්ථානයන්හි ආරම්භ කරන ලද මහා සාරභාර අසිරිමත් පිංකමක නිමාව වූ කඨින පූජාවන් සිදුකළහැකි අවසන් දිනය වන්නේ ද ඉල් පුරපොහෝ දිනය වූ අද දිනයයි. අදින් පසු එම නමින් කිසිදු පූජාවක් සිදුකිරීමට කිසිදු විනයානුකූල අනුමැතියක් හිමි නොවන අතර චීවර මාසයෙහි අවසන් දිනය ද වනු ඇත. ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදුව ඇති අද දිනයෙහි මෙතේ බෝසතාණන් විවරණ ලැබීම, ප්‍රථම රහත් සැටනම ධර්මප්‍රචාරය සඳහා ගමන් ඇරඹීම, තථාගතයන්වහන්සේ ජටිල දමනය සඳහා උරුවේලාවට වැඩමවීම මෙන්ම පසුවස් පවාරණය ද සිදුකළ යුතුව ඇත්තේ අද දිනයේ දී ය. අගසව් සැරියුත් මහරහතන්වහන්සේගේ පරිනිර්වාණය වැනි සංවේගදායි සිදුවීමක් ද සිදුවී ඇති අද දිනයෙහි ඉහත ශාසනික සිදුවීම් මෙන්ම චීවර මාසයෙහි විවිධ පුණ්‍ය කර්මයන්ට සම්බන්ධව සිදුකරගත්පුණ්‍ය ධර්මයන් ද නැවත නැවතත් සිහිපත්කර ගනිමින් සාංසාරික ජීවිතයෙන් අත්මිදීම සඳහා අදිටන් කරගතයුතුව ඇත.
(***)