සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසු පවත්වන පළමු මැතිවරණය වන නිසාය. රට ඉදිරියට ගමන් කරන දිශානතියේ ස්වභාවය මෙම මැතිවරණයෙන් තීන්දු වෙනු ඇත. මෙවර ජනාධිපතිවරණය යම් මටටමකට අවුල්සහගත බව මගේ නිරීක්ෂණයයි.
ඊට හේතුව මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු ද? යන කාරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කර ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබීමය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් එම ව්‍යාකූලත්වය තීව්‍ර වීමට හේතු විය. එම කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ද අවශ්‍ය බව ප්‍රකාශ විය. ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වුව හොත් ජනාධිපතිවරණය පැවැත්වීම කල් යා හැකි බවට ද මත ඉදිරිපත් විණි. මෙපරිදි 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන එමින් නිර්මාණය කළ ව්‍යාකූලත්වය ද 2024 ජනාධිපතිවරණය තීරාණාත්මක වීමට හේතු වේ.
ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකය වෙන්නේ ජනතාවයි. රට කුමන මාර්ගයක ගමන් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ජනතාවගේ ඡන්ද බලයයි. එහෙත් පෙර සඳහන් කළ ව්‍යාකූලත්වය නිසා රටේ මූලික ප්‍රශ්න පවා යම් දුරකට ජනතාවට අමතක වී ඇත්ද යන සැකය මතු වේ. මහජන අරගලයෙන් පසු අන්තර්වාර ආණ්ඩුවක් කෙටිකාලීනව පිහිටුවා ඉන්පසු මහ මැතිවරණයකට ගොස් අලුත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට දේශපාලන පක්ෂ සහ දේශපාලන විචාරකයන් අතර සාකච්ඡාවක් තිබුණි. එහෙත් එය සාර්ථක නොවීය. එබැවින් බලයේ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට ගියේය. අරගලයෙන් පසු සිදු වූ එකම වෙනස වූයේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වීම පමණි. මේ අනුව පැහැදිලි වෙන්නේ 2020 මහ මැතිවරණයෙන් පසු බලයට පත්වූ ආණ්ඩුව තවම බලයේ සිටින බවය.
මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන්ගේ ප්‍රමුඛ අවධාරණය ආර්ථිකය වීම ගැන පුදුම විය යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා 2022 වන විට ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය. විදුලිය කපා හැරීම, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල තිබූ හිඟය ආදියෙන් අපි එම දුෂ්කරතා අත්වින්දෙමු. 2022 මහජන අරගලය ආරම්භ වූයේ ගොවි ජනතාවගෙනි. ඊට හේතු වූයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් තීරණයයි. කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වෙන ජනයා එම තීරණයෙන් නොයෙක් ගැටලුවලට මුහුණ දුන් අතර ඔවුහු ඊට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සෝය. අරගලය ආරම්භ වූයේ එසේය. ඉන්පසු සමාජයේ සෙසු ජන කණ්ඩායම් ද ඊට එක් වූහ. අරගලය ගෝල්ෆේස් පිටියේ දී එහි උච්චස්ථානයට පැමිණිය ද එයට නායකත්වයක් නොතිබුණි. අරගලයට නිමිත්ත වූ ආර්ථික ප්‍රශ්නයට අපි දිගුකාලීන විසඳුම් සෙවිය යුතු වෙමු.
ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව අරගලයේ දී ද ප්‍රකාශ වූයේය. මා පෙනී සිටින්නේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීම වෙනුවෙනි. රට මුහුණ දෙන සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්නවලට එය එක් විසඳුමක් බව මම විශ්වාස කරමි. දරුණු ආර්ථික අර්බුදයක් ඇති වීමට විධායක ජනාධිපති ධුරයත් හේතුවක් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නැවතත් විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩි කර ගත්තේය. එයින් 19 වැනි සංශෝධනයෙන් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී වටාපිටාව අවහිර කළේය. නැවතත් ජනාධිපති ධුරයේ බලතල ශක්තිමත් කළ නිසා ජනාධිපතිවරයා කිසිවකුගේ අදහස් නොවිමසන අත්තනෝමතික බලකේන්ද්‍රයක් බවට පත් විය. එහෙත් කැබිනට් නැතිනම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ දී කැබිනට් මණ්ඩලයේ දී සියලු සාමාජිකයන්ගේ සාමූහික කැමැත්තෙන් ගන්නා තීන්දු තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනේ. එම ආණ්ඩුක්‍රමය යටතේ රටේ නායකයා වන්නේ අගමැතිවරයායි. අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ දී රටේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීමට සිදු වේ. මේ තත්වය විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක දී දැකගත නොහැකිය. ජනාධිපතිවරයා ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේත් නැත. ජනතා මතයට ඇහුම්කන් දෙන්නේත් නැත. මේ තත්වය ගෝඨාභය රාජපක්ෂගෙන් ද දක්නට ලැබුණි.
අනෙක් අතට ජනාධිපතිවරයා සම්බන්ධ මහජන විශ්වාසය කඩ වූ විටෙක ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ඇති ක්‍රමවේදය ඉතා සංකීර්ණය. එනම්, දෝෂාභියෝග යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කර බලයෙන් ඉවත් කිරීමය. එම ක්‍රියාවලියට අවම තරමින් වසර දෙකක්වත් ගතවේ. එමෙන්ම ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ සීමිත හේතු කිහිපයක් මත පමණි. එසේ වුවද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක දී අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය අහිමි වූ විට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් අගමැතිවරයා බලයෙන් ඉවත් කළ හැකිය. එවිට නව අමාත්‍ය මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් අලුතින් පත් කෙරේ. විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක දී එපරිදි පහසුවෙන් ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ නොහැකි හෙයින් ජනතාව පාරට බැස ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමට අරගල කළේය.
වර්තමාන ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවස්ථා කිහිපයකදීම උත්සාහ ගැනිණි. මහජන මුදල් වැය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කළ ද ඒවා සම්මත කර ගැනීමට නොහැකි වූයේය. එහෙත් එම උත්සාහය ඉතා වැදගත් බව මගේ අදහසයි. ඒවා නිසා මහජන මුදල් නාස්ති වූවා යැයි කිව නොහැකිය. 1970 බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව වසර දෙකක් ඇතුළත එනම්, 1972 දී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මත කළේය. 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසරක් ඇතුළත දී 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මත කළේය. 1994 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කිරීමෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් යෝජනාමාලාවක් ඉදිරිපත් කළ අතර එය ගැන සාකච්ඡා කිරීමෙන් පසු තවත් යෝජනාමාලාවක් 1998 දී ඉදිරිපත් කෙරුණි. ඒවා ගැන පුළුල්ව සාකච්ඡා කිරීමෙන් පසු 2000 වෙනවිට නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළේය. එහෙත් ඒ වෙද්දී 1994 දී පැවති දේශපාලන පසුබිමට වඩා වෙනස් තත්වයක් නිර්මාණය වී තිබිණි. නොයෙක් ප්‍රශ්න නිසා ආණ්ඩුවේ පැවැත්ම ද අර්බුදකාරී විය. එම සන්දර්භයේ එකී ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට නොහැකි විය.
යහපාලන ආණ්ඩුව (2015-2019) කාලයේත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කළේය. එහෙත් එය අවසන් කිරීමට නොහැකි වූයේ එම ආණ්ඩුව ද 2018 වෙනවිට දුර්වල වූ නිසාය. නව ව්‍යවස්ථාවක් අවම තරමින් වසර දෙකකදීවත් අවසන් කළ යුතුය. මගේ අදහස අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මාස හයක් වැනි කාලයක දී සිදු කළ හැකිය. එය කිරීමෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යම් කාලයක් ගත්තාට ප්‍රශ්නයක් නැත. ජනාධිපති ක්‍රමය රටට නුසුදුසු බවට ප්‍රබල මතයක් සමාජයේ තිබේ. දැන් සිටින නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරයි ද යන්න සැක සහිතය. ජනතාව ඒ සඳහා බල කළ යුතුය. මෙවර ජනාධිපතිවරණයේ දී සියලු ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් විධායක ජනාධිපති ධුරය වසරක කාලයක් ඇතුළත අහෝසි කරන බවට වන එකඟතාවක් ලබාගත යුතුය. එය පළමු සිස්ටම් චේන්ජ් එකක් විය යුතුය.
ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට සමගාමීව වංචා, දූෂණ සහ නාස්තිය නතර කළ යුතු බව ද මම පිළිගනිමි. ඒ සියලු දේ කිරීමට නම් මා පෙර සඳහන් කළ ක්‍රමයේ වෙනස ඇති කළ යුතුය. එවිට සෙසු ප්‍රතිසංස්කරණ කිරීමට අදාළව රාමුවක් සැපයේ. එවැනි රාමුවක් ඇතුළත සංවාද කිරීම, බලපෑම් කිරීම කළ හැකිය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය තිබිය දී ඒ ආකාරයේ රාමුවක් ගොඩ නැගෙන්නේ නැත. ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීම වී.එෆ්.එස්. නමැති සමාගමකට පැවරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර තිබියදීත් ඊට අදාළ ක්‍රියාමාර්ග නොගැනීම සහ ඉන්දියාවේ අදානි සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සුළං බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා අනුමතය දීම යනාදී සිදුවීම්වලින් මතු වන සැකය නම්, වර්තමාන ආණ්ඩුව දූෂණයට සම්බන්ධ ද යන්නය. දේශපාලනිකව නිවැරැදි තීන්දු තීරණ ගත්තේ නම් මේ ආකාරයේ ප්‍රශ්න උද්ගත වෙන්නේ නැත. එහෙත් නිසි ක්‍රමවේදයක් සකස් කළ විට මෙවැනි ප්‍රශ්න මතුවීමට ඇති ඉඩ සීමිතය.
2019 සිට මේ දක්වා රට පාලනය කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ මහජන මතය උරගා බැලෙන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත් වෙනු ඇත. 2022 මහජන අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ගැන ජනතාව සිතිය යුතුය. මිනිස්සු තවමත් දුක් විඳිති. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉදිරිපත් වීම යම්දුරකට මර්දනය කර ඇති හෙයින් එළිපිට සිදුවෙන අරගලයක් පෙනෙන්නට නැත. වාර්තා වෙන තොරතුරුවලට අනුව, මිලියනයකට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය සබඳතා විසන්ධි කර තිබේ. හේතුව, විදුලි ගාස්තු වැඩි නිසා ජනතාවට එය ගෙවිය නොහැකි වීමය. ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වාර්තා මගින් පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවා ද දුර්වල වී ඇත. මේ සන්දර්භයේ මිනිස්සු තවමත් විඳවති. පසුගිය අවුරුදු දෙකක කාලයේ දී ආර්ථිකය සම්බන්ධයෙන් සිදු වී ඇත්තේ ණය ගෙවීම සඳහා සහන කාලයක් හිමිවීම පමණි. යළි ණය ගෙවන්නට නම් විදේශ විනිමට වැඩියෙන් ඉපැයිය යුතුය. ඒ සඳහා නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුය. මේ දේවල් කළ හැකි හොඳ වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමකට මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව බලය ලබා දිය යුතුය.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)