1815 පෙබරවාරි 18 වැනිදා ලක් ඉතිහාසයේ ඉතා සුවිශේෂී දිනයකි. ඒ දිනය ලක් ඉතිහාසයට එක් වී තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජකම් කළ අන්තිම දිනය වශයෙන් මෙන්ම රජකම නැති වූ දිනය වශයෙන්ය. විජය රජතුමාගෙන් ඇරඹි ලංකා රාජ වංශය නැති වී ගිය දිනය ලෙසින් ද මේ දිනය හැඳින්විය හැකිය.
1815 පෙබරවාරි 10 වැනිදා මහනුවර රජ වාසලෙන් පළා ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් ඔහුගේ බිසෝවරුත් නෑදෑයනුත් ගමන් ගනිමින් සිටියේ මීමුරේ ගම්මානය බලාය. 1815 පෙබරවාරි 18 වැනි දිනය වන විට රජතුමාගේ මව, බිසෝවරුන් දෙදෙනකු හා නෑදෑයන් මීමුරේ ගම්මානයට ආසන්න වෙමින් හංවැල්ල දක්වා ගමන් කර තිබිණ. කුමන හේතුවක් මත හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් රජතුමාගේ රන් දෝලි බිසව වූ වෙන්කත රෙංගජම්මාටත් රිදී දෝලියේ බිසව වූ වෙන්කත ජම්මාල්ටත් මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ විසූ අප්පුරාල ගම්මුලාදෑනියාගේ වලව්වේ නවාතැන් ගන්නට සිදු විය.
1815 පෙබරවාරි 18 වැනිදා අප්පුරාල ගම්මුලාදෑනියාත් ඔහුගේ බිරිඳත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් ඔහුගේ බිසෝවරුන්ටත් කන්නට බොන්නට දෙමින් ඉතා හොඳින් සලකා ඇත්තේ අති මහත් ගෞරවයකිනි. සැලකුම් ලබනා අතරතුරේ දී රජතුමා කල්පනා කර ඇත්තේ මීමුරේ ගම්මානයට යන ආකාරය පිළිබඳවය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇල්ලීමේ මහ මොළකරු වූයේ ජෝන් ඩොයිලිය. 1815 පෙබරවාරි 18 වැනිදා ජෝන් ඩොයිලිත් ඔහු සමග පැමිණි පිරිසත් ළැගුම් ගෙන සිටියේ තෙල්දෙනියේ ස්ථානයකය. රජතුමා සැඟවී සිටින තැනක් ගැන තොරතුරු සොයා ගන්නට ඩොයිලි වෙහෙසෙමින් සිටියේය. ඔත්තුකරුවන්ගෙන් ඔහුට විවිධ තොරතුරු ලැබෙමින් පැවතිණ.
ඩොයිලි තොරතුරු සොයමින් සිටින අතරතුරේ දී එක්නැළිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිසක් මැදමහනුවර දෙසට ගමන් කරමින් සිටියහ. ගමන් කරමින් සිටින අතරතුරේ දී අහම්බෙන් කොලුගැටයකු වෙලක් මැදින් දුවනවා පිරිසට දක්නට ලැබිණ. පිරිසෙන් කිහිප දෙනෙක් දුව ගොස් කොලුවා අල්ලාගෙන එක්නැළිගොඩ මොහොට්ටාල වෙතට රැගෙන ආහ. බියට පත් වී සිටි කොලුවා පිරිසට වැඳ වැටෙන්නට විය.
‘හාමුදුරුවනි, මා මරණ්ඩ එපාය. දෙවි හාමුදුරුවෝ වැඩ සිටින තැන මම පෙන්නා දෙංඤාය.’ යනුවෙන් කොලුවා පැවසුවේ බියෙන් ගැහෙමිනි.
කොලුවා කියූ දෙය ඇසූ පිරිස අතිමහත් පුදුමයකට පත් වූහ. නොසිතූ නොපැතූ ලෙසින් රජතුමා සැඟවී සිටින ස්ථානය පිළිබඳ තොරතුරු පිරිසට දැන ගන්නට අවස්ථාවක් උදා වී තිබිණ.
එක්නැළිගොඩ මොහොට්ටාල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වලව්වේ මිදුලට ඇදගෙන ආවේය. ඉන් පසු අසළ සිටියවුන්ට ඇසෙන සේ හඬ අවදි කළේ මහත් වීරත්වයක් මවා පාමින්ය.
‘මූ ඌරෙක් වගේ බැඳලා කුදලාගෙන යන්ට කිරිඳි වැල් ගෙනෙවු ” එක්නැළිගොඩගේ හඬින් රජතුමා වෙව්ලා ගියා විය හැකිය.
මොහොතකින් කිහිප දෙනෙක් වැල් සොයාගෙන පැමිණියහ. දෙඅත් පිටිතලා හයා බැඳ දැම්මේ අනුකම්පා විරහිතවය. ඉන් පසු ඔවුහූ රජතුමා බෝමුරේ වෙල පහළට ඇති අඩි පාර දිගේ ඇදගෙන යන්නට වූහ.
බෝමුරේ වල්යායේ පහළ කොටසට යද්දී රජතුමාට පයින් යා ගත නොහැකි තත්වයක් උදා වී ඇත. රජතුමා වෙල්යායේ එක් තැනක බිම ඇද වැටී ඇත. වෙල්යායේ බිම වැතිරී සිටි රජතුමාට කිසිත් කර කියා ගත නොහැකි තත්වයක් උදා වී ඇත.
ඒ වන විටත් රජතුමා අල්ලාගත් ආරංචිය දැනගත් ඉංග්‍රීසිහූ රජතුමා සිටින තැනට පැමිණෙමින් සිටියහ. රජතුමාට හිරිහැර කරනවුන්ට බැණ වැදී ඉංග්‍රීසිහූ රජතුමා තම භාරයට ගත්තෝය.
ඉන් පසු ඉංග්‍රීසිහූ රජතුමාත් බිසෝවරු දෙදෙනාත් දෝලාවලට නංවාගෙන තෙල්දෙණිය බලා ගමන් ගන්නට වූහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් බිසෝවරු දෙදෙනාටත් එදින රැය ගත කරන්නට සිදු වී ඇත්තේ තෙල්දෙණියේ ඩොයිලි විසින් ලබා දුන් කාමරයකය. ඩොයිලි රජතුමාට හා බිසෝවරු දෙදෙනාට ඉහළම පහසුකම් ලබා දෙන්නට ක්‍රියා කර ඇත. එසේම ඔවුන් ආරක්ෂා කරන්නට ද ක්‍රියා කර ඇත. සැම විටම රජතුමාටත් බිසෝවරුන්ටත් ගෞරවයෙන් සැලකීමට ඔහු ක්‍රියා කර තිබේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට පත් වීමෙන් පසුව බෝමුරේ රජතුමා සැඟවී සිටි වලව්වට සිදු වූයේ කුමක් ද? අදටත් එය ප්‍රශ්නයකි. එක් ජනප්‍රවාදයක සඳහන් වන්නේ වලව්ව ගිනි තබා විනාශ කළ බවය. තවත් ජන ප්‍රවාදයකින් කියවෙන්නේ කාලයාගේ ඇවෑමෙන් වලව්ව විනාශ වී ගිය බවකි.
1903 වර්ෂයේ මහනුවර දිසාපති ලෙස ක්‍රියා කර ඇත්තේ ජෝන් පෙන්රි ලුවිස්ය. ජෝන් පෙන්රි ලුවිස් 1907 සිට 1910 දක්වා වසර හතරක කාලයක් ද මහනුවර දිසාපති ලෙස ක්‍රියා කර ඇත. ලුවිස් පුරා විද්‍යා තොරතුරු සොයා බැලීමට දැඩි ආශාවක් දැක් වූ පුද්ගලයෙකි. තම රාජකාරි කටයුතු වෙනත් නිලධාරීන්ට පවරා පුරා විද්‍යා තොරතුරු සෙවීමට ගිය අවස්ථා පිළිබඳ තොරතුරුද හෙළිදරව් වී තිබේ.
ලුවිස් දිසාපති 1907 වර්ෂයේ දිනක ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සැඟවී සිටි වලව්ව තිබූ බිම බලන්නට ගොස් තිබේ. එහි ගිය ඔහුට වලව්ව තිබූ බිමට අයිතිවාසිකම් කියූ අයෙක් ද හමු වූයේය. එසේ හමු වී තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වලව්වේ සැඟවී සිටිය දී රජතුමාට ඉමහත් ලෙස ගෞරවයෙන් සැලකූ අප්පුරාල ගම්මුලාදෑනියාගේ දියණියකගේ බුණුපුරෙකි. ඔහු කෝරාළ පදවියක් හොබවමින් සිටි අයෙකි.
ජෝන් පෙන්රි ලුවිස් අගනා කාර්යයක් කරන්නටද අමතක කර නැත. ශිලාමය ස්ථම්භයක් සාදවා එය රජතුමා සැඟවී සිටි වලව්ව තිබූ ස්ථානයේ ස්ථාපනය කරන්නට ක්‍රියා කිරීම එම කාර්යයයි. 1908 දෙසැම්බර් මාසයේ දිනක ස්ථම්භය ස්ථාපනය කර තිබේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සැඟ වී සිටි ස්ථානය ඉතා සුවිශේෂී ස්ථානයක් වුවත් වර්තමානයේ එම ස්ථානය ලේසියෙන් නැරඹීමට අවස්ථාවක් නැත. දෙස් විදෙස් සංචාරකයන්ට එම ස්ථානය ලේසියෙන් පහසුවෙන් සොයා ගන්නට ද අවස්ථාවක් නැත.
මේ සම්බන්ධයෙන් ගම්වැසියන් කිහිප දෙනෙකුත් නිලධාරිනියකුත් දැක් වූ අදහස් මෙසේය.
බෝමුරේ උඩුපිටියේ පදිංචි ජී.පී.ජී. තිලකරත්න :-
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන දැන් අවුරුදු 209 ක් ගෙවිලා ඉවරයි. ඒත් තවමත් රජතුමා ඇල්ලූ ස්ථානයට ලේසියෙන් පහසුවෙන් වාහනයක් ගමන් කරන්ට පාරක් නොමැති වීම ඉතා කනගාටුදායක තත්වයක්.
සමහර අය හිතාගෙන ඉන්නවා මැදමහනුවර කියන්නේ මහනුවර මැද තියෙන ස්ථානයක් කියලා. එය ඉතා වැරදි වැටහීමක්. මහනුවර - මහියංගනය මාර්ගයේ කිලෝ මීටර් 32 ක් දුර ගියාමයි මැදමහනුවර හමු වන්නේ. මැදමහනුවර උඩතැන්න ප්‍රදේශයෙන් තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇල්ලූ ස්ථානයට යන පාර ආරම්භ වෙන්නේ. උඩතැන්නේ ඉඳලා බෝමුරේ උඩුපිටියට කිලෝමීටර් 2 ක් විතර දුරක් තියෙනවා. පාරේ සමහර තැන් කොන්ක්‍රීට් කරලා තියෙනවා. සමහර ස්ථාන කොන්ක්‍රීට් කරලා නෑ.
මේ පාර ඉතාමත්ම පටුයි. ගොඩක් තැන්වල වාහන දෙකක් එහා මෙහා කර ගන්ට තරම්වත් ඉඩක් නෑ. පාරේ එක පැත්තක විශාල කන්දක් තියෙන්නේ. ඒ කන්ද මග හරවලා පාර ප්‍රතිසංස්කරණය කරන එක තමයි සුදුසු.
උඩතැන්නේ සිට උඩුපිටියට අමාරුවෙන් කවුරු හරි වාහනයක් ධාවනය කළොත් ඒ අයට විශාල ගැටලුවකට මුහුණ දෙන්ට වෙනවා. මොකද උඩුපිටියේ වාහන හරවන්න ඉඩකඩ තියෙන තැනක් නෑ. ඒ නිසා උඩුපිටියේ වාහන හරවන්න තැනක් සෑදිය යුතුයි.
මේ පාරෙන් ගම් ගොඩකට යන්ට පුළුවන්. ගල්ලැහැවත්ත, වතුලියද්ද, අම්බාලේ, දුනුවිල, වේඬරුව ඇතුළු ගම් ගණනාවකට මේ පාරෙන් ගමන් කරන්ට පුළුවන්.
බෝමුරේ උඩුපිටියේ පදිංචි සරත් කුමාර රණසිංහ:-
දෙස් විදෙස් සංචාරකයන් මැදමහනුවරට ඇවිල්ලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇල්ලූ ස්ථානයට යන පාර හොයාගන්ට ගොඩක් වෙහෙසුණ අවස්ථා ගැන අහන්නට ලැබිලා තියෙනවා. උඩතැන්නේ පාර ආරම්භ වෙන ස්ථානයේ ‘ශ්‍රී වික්‍රම රාජසිංහ මාවත’ යනුවෙන් සඳහන් පුවරුවක් සවිකළ යුතුයි.
බෝමුරේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී කේ. භාග්‍යා ප්‍රනාන්දු:-
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇල්ලූ ස්ථානය පිළිබඳ තොරතුරු ලොවට ගෙන යාමේ අරමුණින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා වසර 209 ක් පිරුණු 2024 පෙබරවාරි 18 වැනිදා ‘ශ්‍රී වික්‍රම රාජසිංහ ස්මාරක පරිශ්‍රය සුරැකීමේ සංවිධානය’ නමින් ගම්වැසියන් පිරිසක් එක්කාසු වී සංවිධානයක් පිහිටුවා ගත්තා. මේ ස්ථානය දියුණු කරන්ට බලාපොරොත්තු වෙන අයට ඒ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන කටයුතු කරන්ට අවස්ථාව තියෙනවා. මේ ඓතිහාසික ස්ථානය සංරක්ෂණය කිරීම කාගේත් යුතුකමක්.
(***)
සටහන හා ඡායාරූප - හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ