​වතුකර ජනතා අයිතිය


තමන්ගේ කියා  කිව හැකි  නිවසක් හෝ බිම් අඟලක් හෝ නැති බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. ඔවුනට ස්ථිර ලිපිනයක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක් කුලී නිවෙස්වල ජීවත් වෙති. තව පිරිසක් මව්පියන් හෝ සහෝදර සහෝදරියන් සමඟ එකම නිවසේ ජීවත් වෙති.

මෙවැනි පිරිස් බොහෝ  විට කලින් කලට එක් නිවසකින් තවත් නිවසකට පදිංචියට යති. ඥාතීන් සමඟ එකට සිටින්නන්ටද බොහෝ විට කලෙකදී මෙසේ වෙනම නවතානැත් සොයාගෙන යන්නට සිදුවේ. ඒ අනුව ඔවුන්ටද බොහෝ විට ස්ථිර ලිපිනයක් නැත.

එහෙත් රටේ ජීවත්වන ප්‍රජාවක්ම, එසේ අන් තැනකට යන්නටද නොකිව, තමන්ගේ කියා කිව හැකි නිවසක්ද නැතිව  එනිසාම ස්ථිර ලිපිනයක්ද නැතිව වසර 200ක්ම සිටීම වෙනස්ම තත්ත්වයකි. ප්‍රජාවකට මෙම තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගයක් හෝ නැතිවීම ඛේදජනකය. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ නඩුවක් මේ තත්ත්වය රටටම දැනුම් දෙන්නකි.

වතුකරයේ ජීවත් වන ප්‍රධාන වශයෙන්ම දෙමළ කතා කරන හා ඉන්දීය සම්භවයෙන් පැවත එන කම්කරු ප්‍රජාව වෙනුවෙන් මෙම මූලික  අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ මාවතගම, මුවන්කන්ද වත්තේ ජීවරත්නම් සුරේෂ් කුමාර් නමැති අයෙකි. පසුගිය මාර්තු 30 වැනිදා  ගොනු කරන ලද මෙම පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ ස්ථිර ලිපිනයක් නැති නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තමන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබෙන හෙයින් එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කරන ලෙසත් වතුකරයේ සිටින කම්කරු ප්‍රජාවට ස්ථිර ලිපින ලබාදෙන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙසත්ය.

ඔහු එහිදී වතුකරයේ ප්‍රජාව පසුගිය වසර 200  තුළ මෙරට  ආර්ථිකයට කළ දායකත්වය ගැනද සඳහන් කොට ඇත. තේ, රබර් හා පොල් මෙරට ප්‍රධාන අපනයන ආදායම් මාර්ග බවත් ඒ සඳහා මෙම ප්‍රජාව විශාල ශ්‍රමදායකත්වයක් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ස්ථිර ලිපිනයක් නැති නිසා  වතුකරයේ ප්‍රජාවට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රශ්නද ඔහු එහි සඳහන් කරයි. තමන්ගේ නමට එන ලිපියක් තැපැල් හලේ ලියුම්කරු තමන්ගේ නිවසට ගෙනැවිත් නොදෙන බවත්, වත්තේ කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ නමට  එන සියලු ලිපි පොදි ගසා ලියුම්කරු වත්තේ කාර්යාලයට භාර දෙන බවත් වතු අධිකාරිවරයා කිසිදු වගකීමක් නැති කවුරුන් හෝ අයකුට ඒවා වත්තේ අදාළ අයට ලබා දෙන්නට පවරන බවත් ඔහු සඳහන් කරයි. මෙසේ වත්තේ වතු කම්කරුවකුගේ නමට එන ලිපියක ලිපිනයේ ඔහුගේ නම හා වත්තේ නම පමණක් සඳහන් වන බැවිනි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ රටේ විවිධ පළාත්වලට වතු 277ක් ඇති බවත්, ඒවායේ ජීවත් වන 400,000ක් පමණ වන ජනතාවට නිවසක නිල අයිතිය හෝ එනිසාම ස්ථිර ලිපිනයක් හෝ නැති බවත් සුරේෂ්කුමාර් සිය පෙත්සමේ සඳහන් කොට ඇත.

වතුකරයේ ජීවත් වන ජනතාවට වඩා ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමේ සිටින පුද්ගලයෝ කොතෙකුත් රටේ සිටිති.   එහෙත් වතු කම්කරුවාට වත්තෙන් පිටවී යාම දුෂ්කරය. එසේ ගියහොත් ඔහුට ඉන්නට නිවසක් නැතිවේ. මේ නිසා ඔවුනට තමන් වැටී ඇති වළෙන් ගොඩ එන්නට නොහැකිව තිබේ. අප මෙහිදී ඉස්මතුකොට දක්වන්නේ මෙසේ ප්‍රජාවක්ම ආර්ථික උගුලක වැටී ස්ථිර ලිපිනයක් ඉල්ලා සිටීමේ අපූරු තත්ත්වයයි.

පවුලකට ලිපිනයක් නැතිවීම ලිපි ලැබීමට ඇති බාධාවක් පමණක් ​ෙනාවේ. ඉතා දැඩි හා පහත් පෙළේ නිලධාරිවාදයක් ඇති රටක මෙය වෙනත් බොහෝ ප්‍රශ්නවලට මඟ පාදන්නකි. රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජංගම දුරකතන භාවිතය පැතිර පවතින තත්ත්වය තුළ තැපෑලෙන් ලියුම් ලැබෙන්නේ කලාතුරකිනි. එහෙයින් එය එතරම් ප්‍රශ්නයක් නොවේ.

එහෙත් තමන් ජීවත් වන වත්තෙන් පිටත රැකියාවකට ඉල්ලුම් කිරීමේදී උපතක් හෝ මරණයක් හෝ ලියාපදිංචි කිරීම හා ඒවා ලියාපදිංචි කොට සහතිකයක් ලබා ගැනීමේදී, විභාගයකට පෙනී සිටීමේදී, බැංකු ගිණුමක් ඇරඹීමේදී, ළමයකු පාසලකට ඇතුළත් කිරීමේදී, පොලිස් පරීක්ෂණවලදී, ජාතික හැඳුනුම්පතක් හෝ සමෘද්ධි වැනි සහනාධාර හෝ සේවක අර්ථසාධක  ප්‍රතිලාභ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ ආදිය ලබා ගැනීමේදී ස්ථිර ලිපිනයක් ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත් මෙම නඩුවේදී නීතිපතිවරයා ඉතා සුබදායි ආකාරයෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.  ඉකුත් මැයි 27 වැනිදා මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්ක ද සිල්වා මහතා වතුකම්කරුවන්ට ලියාපදිංචි ස්ථිර ලිපිනයක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනට කරුණු අධ්‍යයනය කරමින්  යන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

වතුකරයේ ජනතාව මෙරට ආර්ථිකයට දායක වූවාද දායක වූවා නම් ඒ කොතරම්ද, ඔවුන්ට වඩා ආර්ථික අතින්  පහළ මට්ටමේ වන පිරිස් රටේ සිටීද යනාදී කරුණු කෙසේ වෙතත් ස්ථිර ලිපිනයක්  සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීමට කිසිවකුටත් විරුද්ධ විය නොහැකිය.  එසේ කිසිවකු විරුද්ධ වන්නේද නැත. මෙතැන ප්‍රශ්නය වන්නේ වතු ප්‍රජාවටම  ස්ථිර ලිපිනයක් නැති වීමේ විකාරසහගත තත්ත්වයයි.

වතුකරයේ ඉපදුණද වෙනත් ක්ෂේත්‍රවලට ඇදී ගිය ඉතා සුළු පිරිසක් හැර අති බහුතරයකට බිම් අඟලක් හෝ නැත. එහෙත් 1980 ගණන්වල මැදභාගයේදී ඇඟලුම් කර්මාන්තය හා බටහිර ආසියානු රැකියා වෙළෙඳපොළ ආදායම අතින් වැවිලි කර්මාන්තය පසුකර යන්නට පටන් ගන්නා තෙක්  මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයත් ප්‍රධාන විදේශ විනිමය උපයන්නාත් වූයේ වැවිලි ආර්ථිකයයි. ඒ සම්බන්ධයෙන්  වතුකරයේ  කම්කරුවන්ගේ දායකත්වය පිළිබඳව කිසිවකුටත් ගැටලුවක් තිබිය නොහැකිය. වර්තමානයේදී ද වැවිලි කර්මාන්තය මෙරටේ ආර්ථිකයේ ප්‍රධාන අංශයකි. එම ජනතාව වසර 200ක්ම තමන්ගේ යැයි කිව හැකි නිවසකටත් එමඟින් ලිපිනයකටත් හිමිකම් කිව නොහැකි තත්ත්වයක සිටීම මෙරට ආර්ථිකයේ මෙන්ම දේශපාලන ක්‍රමයේද විකෘතියකි.

බ්‍රිතාන්‍යය පාලකයන් මුලින්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙරටට මෙම කම්කරුවන් දහස් ගණනින් ගෙන ආවේ 1823 පෙබරවාරි මාසයේදීය. ඔවුහු මුලින් මුහුදු යාත්‍රා මඟින් මන්නාරමටත් එතැන් සිට පා ගමනින් මාතලේ ප්‍රදේශයටත් එතැනින් මහනුවරටත් කැඳවා ගෙන එනු ලැබූ පසුව කෝපි වගාව සඳහා කඳුකරයේ විවිධ ප්‍රදේශවලට යවනු ලැබූහ. මන්නාරමේ සිට මාතලේ දක්වා වූ ගමනේදී මාර්ග එළි පෙහෙළි කරගෙන වන සතුන්ට හා විවිධ රෝග පීඩාවලට මුහුණ දෙමින් ඔවුන් පැමිණි බවද මෙම උවදුරු නිසා මුලින්ම එසේ පැමිණි පිරිසෙන් සියයට 40ක්ම අතරමඟදී මියගිය බවත් කියවේ.

මුල් කාලයේ සිට අනූව දශකය දක්වාම මෙම ජනතාව ජීවත් වූයේ අඩි දහයේ දහයේ තනි කාමරයක් හා ඊට වඩා කුඩා මුළුතැන් ගෙයක් සහිත ලැයින්වලය. පවුලේ සාමාජිකයන් ගණන කොපමණ වුවද  ඔවුන්ගේ නිවහන එයයි. ඇතැම් විට අලුත විවාහ  වූ දරුවන්ටද මාපියන් සමග එම තනි කාමරයේ ජීවත් වන්නට සිදුවිය. ලැයිම්වලට විදුලිය ලැබුණේ වසර විස්සකට පමණ පෙරය. එතෙක්  ඔවුන්ගේ එකම ආලෝකය කුප්පි ලාම්පුවයි. පවුල් දහසකට පමණ එක් වැසිකිළියක් තිබිණි. ඒවාට ජල පහසුකම් නොවීය.

එදා පමණක් නොව බොහෝ තත්ත්වයන් වෙනස් වී ඇති අද පවා වතුකරය මාතෘ මරණ, ළදරු මරණ, මන්දපෝෂණය ආදී සමාජ දර්ශකවලින් ඉතා පහළ මට්ටමක පවතී. අනූගණන් දක්වා වතු පාසල්වල තිබුණේ පහ වසර දක්වා  වූ පන්ති පමණි. හෘද රෝගීන් වුවද රෝහල්වලට ගෙන යන ලද්දේ වත්තේ තේ දළු හෝ රබර් කිරි ප්‍රවාහනය කරන ලොරියෙනි.  

දේශපාලන හේතුමත 1948 දී හා 1949 දී වතුකම්කරුවන් ඇතුළු ඉන්දීය සම්භවයෙන් පැවත එන්නන්ගේ පුරවැසිභාවය හා ඡන්ද බලය  අහෝසි කිරීම නිසා ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් දරුණු විය.

එහෙත් අසූගණන්වලින් පසු මේ තත්ත්වය එක්තරා දුරකට වෙනස් වී ඇත. වතු ඉතා සුළු සංඛ්‍යාවක යුගල නිවාස ඉදිවිය. පසුව මෑතකදී යම් යම් තැන්වල වතුකම්කරු පවුල්වලට පර්චස් 7 බැගින් ඉඩම් ලබා දෙනු ලැබ තිබේ. ඇතැම් වතුවල ඇති මුඩු ඉඩම්ද කුඩා කට්ටි වශයෙන් ඔවුනට දෙනු ලැබ තිබේ.  පවුල් එක්ලක්ෂ හැත්තෑ හය දහසක් තවමත් ලැයිම්වල ජීවත් වන බව  වතුකරයේ විශාලතම වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

1988 දී වතුකරයේ පැවැති පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයද විසඳිණි. මුල් කාලයේ ලැයිම් නිවාසවලට විදුලිය දීම වතු පාලකයන් ප්‍රතික්ෂේප කළද දැන් ඒවාට විදුලිය ලැබේ. පාසල්වලද දැන් අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා පන්ති පැවැත්වේ. විදුලිය ලැබීමත් සමග රූපවාහිනී ජංගම දුරකතන භාවිතය ඉහළ ගොස් ඇත. අධ්‍යාපනය  වෙතට යොමුවන ළමයින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. ඒ සමගම වතුකරයෙන් ඉවත්වී වෙනත් රැකියාවලට යොමුවන තරුණයන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.

එහෙත් දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා ඔවුන් කරන අගලය ඔවුන්ගේ ආර්ථික මට්ටම කියාපායි. රුපියල් 1000ක වැටුපක් ලැබුණද මාසයේ දින 30ම කිසිවකුටත් වැඩ කළ නොහැකිය. අනෙක් අතට වතුකරයේ කම්කරුවන් නිතිපතා වැඩ නොලැබේ. වැසි කාලයේදී රබර් වතු කම්කරුවන්ටද නියං කාලයේදී තේ වතු කම්කරුවන්ටද  වැඩ ලැබෙන්නේ ඉතා අඩුවෙනි.

මෑතක් දක්වා වතුකරයේ කම්කරුවන් ඇතුළු ඉන්දීය සම්භාවයක් ඇති පිරිස් හඳුන්වනු ලැබුවේ ඉන්දියානු දෙමළ යනුවෙනි. ඔවුන් එම  හැඳින්වීමට කැමැති නැත. ඒ ඔවුන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියන්ය යන පදනමිනි. තමන් ශ්‍රී ලංකා දෙමළ යනුවෙන් හැඳින්වීමටද ඔවුන් කැමති බවක් නොපෙනේ. ඒ ඔවුන්ද උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ කොටසක් යැයි පෙනී යන හෙයිනි. ඒ නිසා ඔවුන් මෑතක සිට තමන් හඳුන්වා ගන්නේ මලයග දෙමළ යනුවෙනි. මලයගම් යනු දෙමළෙන් කඳුකරය හෝ කඳුරට යන්නයි.

ස්ථිර  ලිපිනයක් සඳහා වූ ඔවුන්ගේ අරගලයද ඔවුන් ඉන්දීය අනන්‍යතාවෙන් මිදී ශ්‍රී ලාංකික සමාජයට අනුගතවීමට දරන උත්සාහයේ කොටසකැයි සැලකිය හැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)