​සමාජ මාධ්‍ය නියාමනය


වත්මන් ජාතික රාජ්‍ය සැකැස්ම යන්න එහි නිර්මාපකයන් වන අප පවතින හැඩයෙන් පවත්වාගෙන යායුතු බව අප තවදුරටත් සිතන්නේ නම් එම රාජ්‍ය තුළ පවතින තොරතුරු නිෂ්පාදනය හා ගලායෑම කළමනාකරණය කිරීමේ හැකියාව ද එමගින් අත්පත්කරගත යුතුය යන්න අනිවාර්යක් වී ඇති සෙයකි. එය රාජ්‍ය නඩත්තු කිරීමේ මූලික කොන්දේසියක් ලෙස පිළිගත යුතු අතර, තොරතුරු නිෂ්පාදනය හා ගලායෑම රාජ්‍ය කළමනාකාරිත්වයෙන් ගිලිහෙන්නේ නම්, රාජ්‍ය හා එහි කොටස්කරුවන් වන පුරවැසියන් විසින් එහි පවතින හැඩය අත්හැර දැමීමේ අවදානම ද බාරගත යුතු ය. එනම් අප වෙනත් රාජ්‍ය සැකැස්මක් හෝ අරාජික ලෝකයක් හෝ ගැන හිත හදාගත යුතුය.

ආණ්ඩුව පසුගියදා අලු‍ත් පනතත් හඳුන්වා දීම සඳහා එය ගැසට් කර තිබුණේ ය. ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ පනත් කෙටුම්පතය. මේ වන විට එම කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් සිය විරෝධතාව දක්වා ඇති අතර තවදුරටත් එම විරෝධය වර්ධනය වන ආකාරයක් දක්නට ලැබේ.

මුලින්ම කිවයුතු වන්නේ මෙම කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ යුතුව තිබිය දී මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෙවත් පොලිස් අමාත්‍යාංශය විසින් ගෙන ඒම මගින් ආණ්ඩුව ඉහත විරෝධතාකරුවන්ට සහාය වන ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉඩ ලබා දී ඇති බවයි. මන්ද යත්, මාර්ගගත ක්‍රම කළමනාකරණය පොලිසිය විසින් කිරීමට යාම වැනි අදහසක් මේ ඔස්සේ ඇති වී නව පනත පිළිබඳ මහජන විස්වාසය මුල් අවස්ථාවේදීම අහෝසි වී යාමේ අනතුරක් එහි තිබේ. කෙනෙකු අසනු ඇත්තේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පාලනය කිරීමට යන්නේ පොලිසිය විසින් ද යන්නයි. ඒ අනුව, පනතක් කොතරම් සාධනීය වුවත්, හා රටට අවශ්‍ය වුවත් එය මහජන ඇසෙහි එසේ නොවන බව ඒත්තු ගැන්වීමට ඊට එරෙහි වන්නන්ට හැකියාව ලබා දී තිබේ.

මේ වන විට ලෝකය පුරා රටවල තොරතුරු නිෂ්පාදනය හා විකාශය කිරීම පිළිබඳ නව නීති හඳුන්වා දීම පිළිබඳ අලු‍ත් ක්‍රියාමාර්ග දැකගත හැකිය. ඇතැම් රටවල් මේ වන විට එවන් නීති හඳුන්වා දී ක්‍රියාත්මක ද කර තිබේ. ඊට හේතුව, නව පන්නයේ තොරතුරු සම්පාදක ආකෘති ලොව පුරා බිහි වී ව්‍යාප්ත වීමයි. කොටින්ම සමාජ මාධ්‍ය ජාලාවල පුපුරායන සුළු නැගී සිටීමයි. අද වන විට ලෝක තොරතුරු පද්ධතියේ අතිවිශාල කොටසක් සමාජ මාධ්‍ය විසින් අත්පත් කරගෙන ඇති බව නොරහසති. සාම්ප්‍රදායික මාධ්‍ය පවා මේ වන විට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් පවතින්නේ තමන්ගේ සමාජ මාධ්‍ය පැවැත්ම පුළුල් කර ගැනීමටයි. එසේ නොමැති වුවහොත් තමා තරගයෙන් පරදින අනතුරක් ඔවුන්ට දැනී තිබේ. මේ වන විට, ලංකාවේ පවා වෙනදා විද්‍යුත් මාධ්‍ය විසින් ඒකාධිකාරයක් ලෙස පවත්වාගෙන ගිය වෙළෙඳ දැන්වීම් ආධිපත්‍යය ඉතා ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය මගින් අත්පත්කර ගනිමින් තිබේ.

මේ නව ප්‍රවණතාව මගින් කියාපාන්නේ කුමක්ද? එනම්, මහජනතාව මේ වන විට සිය තොරතුරු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සමාජ මාධ්‍ය වෙත වැඩි වැඩියෙන් ගොඩවෙමින් තිබෙන බවයි. අද වන විට, ලංකාවේ සක්‍රීය අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ.

සමාජ මාධ්‍යයේ මෙවන් සාපේක්ෂ ක්ෂණික නැගීමක පදනම වන්නේ, පසුගිය දශක දෙක තුළ සිදු වූ ගෝලීය සන්නිවේදන තාක්ෂණයේ සුවිසල් වර්ධනයයි. එම වර්ධනය තුළ කැපී පෙනෙන අංශ කීපයක් ම දක්නට ලැබේ. අංක එක වන්නේ, මහා තාක්ෂණ සමාගම් බිහිවීමයි. ඒවා අතර, ගූගල්, මෙටා, ටික්ටොක් වැනි තවත් දුසිම් ගණනක් වේදිකා නිර්මාණය වී තිබේ. එකම සමාගම විසින් මිනිස් අවශ්‍යා මත පදනම්ව විවිධ වේදිකා ද නිර්මාණය කර තිබේ. උදාහරණයක් ලෙස, ගූගල් සමාගම විසින් යූටියුබ් ද හා මෙටා විසින් ෆේස්බුක් හා වට්ස්ඇප් ද පෙන්වා දිය හැකි ය. පසුගිය වසංගත සමයේ ලොව පුරා ව්‍යාප්ත වූ සූම් ජාලය තවත් එවැනි සමාගමකි. ඉහත බොහෝ සමාගම් අ​ෙමරිකා එක්සත් ජනපදය මූලික කරගෙන පැනනැගි අතර, ඒවාහි මූලස්ථාන පිහිටුවා ඇත්තේ ද එරටය. මෙම සමාගම්වල හිමිකාරිත්වය බටහිර ලෝකයේ විවිධ පුද්ගලයින් අතර බෙදී ගිය එකකි. කෙසේ වෙතත්, අතිශයින් ප්‍රසිද්ධ ටික් ටොක් ජාලය චීන ව්‍යාපාරිකයකුට අයත් වන අතර එහි ද මූලස්ථානය ඇමරිකාවේ හා සිංගප්පුරුවේ පිහිටා ඇත. මෙම සමාගම් පිළිබඳ විශේෂය නම්, ඒවා ජාතික රාජ්‍ය ඉක්මවා ක්‍රියාකරන සංවිධාන වීමයි. එම සමාගම්වලට අයත් පරිශීලකයින් සංඛ්‍යාව ගණන් කළ හැක්කේ බිලියනවලිනි. නිදසුනක් ලෙස යූටියුබ් පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2.7කි. එය දෙවැනි වන්නේ බිලියන 2.9ක් ඇති ෆේස්බුක් වෙත පමණි.

ලොවින් අඩකටත් වඩා මෙම ජාලයන් තුළ සිටීම හරහා අපට තේරුම්ගත හැක්කේ කුමක් ද? එනම් මේවාට ගෝලීය තොරතුරු හා දත්ත ජාලය පාලනය කිරීමේ දී පවතින අති දැවැන්ත බලාධිකාරයයි. එය සරල දෙයක් නොවේ. තොරතුරු හා දත්ත පාලනය යනු සමාජ පාලනයට හා සංවිධානයට සමාන ලෙස සිතිය හැකි තත්ත්වයකි. වර්තමානයේ රටවල් පාලනය කරන්නේ මෙම සමාගම් විසින් මුදාහරිනු ලබන හා කාන්දු කරන හා පෙනෙන්නට සලස්වන තොරතුරු හරහා බව සිතීමට තරම් අපට සාධක තිබේ. මෙම ජාලයන්හි ඇල්ගොරිදමයන් කොතරම් සූක්ෂම ද යත්, අප කන බොන, අඳින පළඳින මෙන්ම සිතන දෙය ද සංවිධාන කිරීමේ හැකියාව තිබේ. ඇතැම් විට එය වෙළෙඳ අභිලාෂවලින් එහාට ගිය දේශපාලන අභිලාෂයක් ද ලෙස අර්ථකතනය කළ හැකිය.

මේ අනුව, අපට පැහැදිලි වන්නේ, මෙම ව්‍යාප්තිය හමුවේ තවදුරටත් අපගේ ජාතික සීමා අදාළ නොවන බවයි. නැතිනම් ඒවා වැදගැම්මකට නැති ඒවා බවට පත්කර ඇති බවයි. අපගේ පැරැණි මාදිලි ඔස්සේ කරන කුදුමහත් කටයුතු සියල්ල කල් ඉකුත් වී ඇති සෙයක් දක්නට ලැබේ. මෙහිදී අපට විකල්ප දෙකක් හමුවේ. පළමුවැන්න වන්නේ, සපුරා මේ නැගී එන නව සමාජ සංවිධායකයාට අවනත වීමයි. ඔවුන්ගේ බලපරාක්‍රමය ඒ අයුරින්ම පිළිගැනීමයි. ඒ වෙනුවෙන් රාජ්‍ය බිලිදීමයි. දෙවැන්න නම් එය කළමනාකරණය කිරීමේ කිසියම් ව්‍යුහයක් හඳුන්වා දීමයි. එනම්, මෙම ජාල හරහා අනාරක්ෂිත බවට පත් කර ඇති පුරවැසින්ට කිසියම් ආරක්ෂක දැලක් හඳුන්වා දීමයි. එය අවම ක්‍රියාමාර්ගයකි. මන්ද ඉහත දැවැන්ත සමාගම් විසින් කර තිබෙන සමාජ විනිවිදීම නැවැත්වීමට හෝ ඊට සමාන වීමට ඇති හැකියාව මේ වන විටත් ජාතික රාජ්‍ය විසින් අහිමි කරගෙන තිබේ.

බ්‍රිතාන්‍ය, ජර්මනිය, සිංගප්පූරුව වැනි රටවල් මේ වන විටත් සමාජ මාධ්‍ය සඳහා නව නීති හඳුන්වා දී තිබේ. අන් සියලු රටවල් එසේ නව නීති හඳුන්වා දීමට ආසන්න හෝ යුහුසුළුව වැඩ කරමින් තිබේ. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය නීතියට අනුව, ලොව කුමන රටක සිට ක්‍රියාත්මක වුව ද කිසියම් මහා පරිමාණ සමාජමාධ්‍ය ජාලයක් බ්‍රිතාන්‍ය පුරවැසියාට ප්‍රවේශ වීමට හැකියාව පවතී නම්, එම සමාගම එකී නව නීතියට අනුගත විය යුතු ය. එසේ කරමින්, බ්‍රිතාන්‍ය නියාමක විසින් සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කළ යුතු බවට නියෝග කරන අඩංගු එසේ ඉවත් කළ යුතු ද වේ. එසේ නොකරන්නේ නම්, අදාළ සමාගම විසින් ඩොලර් මිලියන 22ක දඩයකට හෝ වාර්ෂික ගෝලීය අලෙවියෙන් 10%ක් දඩ ලෙස ගෙවිය යුතුය. අවනත නොවන සමාගම්හි විධායක නිලධාරීන්ට සිරදඬුවම් ද නියම කර තිබේ. ජර්මනිය මීට එහා ගොස් ඇති අතර, සිංගප්පූරුව ඊට ද එහාය.

සංවර්ධිත ලෝකයේ රටවල් සමාජ මාධ්‍ය සමාගම් සමග කරන කේවල් කිරීම ඒ ආකාරයෙන්ම කිරීමට ලංකාවට හැකියාවක් නැත. මන්ද අපගේ ආර්ථිකය සාපේක්ෂව ඉතා කුඩා වන අතර, දැඩි නීති හඳුන්වා දීමත් සමගම මෙම සමාගම් රටින් ඉවත් වීමට තර්ජනය කළ හැකිය. ඒ හරහා සමාජ දේශපාලන කැළඹිලි පවා රටක ඇතිවිය හැකිවේ. මන්ද මේ වන විට රටවල බොහෝ පුරවැසියන් සමාජ ජාලාවලට ඇබ්බැහි වී සිටින්නන් බවට පත්ව ඇත. ඒ අනුව, මැද මාවතක් තෝරා ගනිමින්, සමාජ මාධ්‍ය සඳහා කිසියම් ආකාරයක නියාමනයක් සිදුකිරීම බැහැර කළ නොහැකි අවශ්‍යතාවකි.

නියාමනය යනු නිෂේධනාත්මක දෙයක් නොවේ. එය සාධනීය දෙයකි. එය වාරණයෙන් වෙන්කොට හඳුනාගත යුතු ය. නියාමනය හරහා කරන්නේ, කෙනෙකුගේ තොරතුරු ප්‍රකාශ කිරීම පිළිබඳ නිදහසේ සීමාව අනෙකාගේ මුහුණේ නාසය අසලින් අවසන් වන බව සහතික කිරීමයි. පුරවැසියන් විසින් තමාගේ නිදහස භාවිත කිරීම, තම සහෝදර පුරවැසියෙකුගේ නිදහස උල්ලංඝනය නොකරන බව තහවුරු කිරීමයි. එවන් නියාමනයක් අප වැනි රටක පුරවැසියන්ට සමාජ මාධ්‍ය සුරක්ෂිත අවකාශයක් කරනු නියතය.

 

(***)

සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ