‘ඉතිහාසය නමින් සීමාවක් තබාගැනීම වරදක්’


 

ඊළාම්වාදයේ සිටුවරු, කුමාරවරු සහ ගැත්තෝ, කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ, අඩසඳ කළුවර, ආදර සිරිත, දෙහදක්, ගිරි සිරස, නිමිත්ත, සුකුමාළ, අකුරෙන් අකුරට, වංශයෙන් වංශයට, රජස්, නුවරින් නුවරට, මතක පද, සිවගිරියෙන් සීගිරියට ඇතුළු කෘති රැසක් ලියා පළ කළ සුජිත් අක්කරවත්තගේ නවතම කෘතිය ගිරි මුදුනයි. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කළ සංවාදයක සටහනකි.

 

 

 

 

 

 

 

 

 

 

 

ගිරිමුදුන යනු ඉතිහාසය නැවත විමසීමකි.

●    ඔබේ නවතම කෘතිය වන ගිරිමුදුන රචනා කිරීමේ මූලික අරමුණ කුමක්ද ?

ඉතිහාසය කියන විෂය මගේ කුතුහලය අවුලන්නට පටන් ගත්තේ කුඩා වියේමයි. එනිසා මට ඉතිහාසයට පිපාසාවක් ඇති වුණා. ජීවිතයේ ලද වාසනාව තමයි මේ රටේ බිහිවී සිටි අද්විතීය ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් වූ යුග පුරුෂ පඬිවරුන් සමඟ මට බැඳීමක් ඇතිවීම. මේ පඬිවර පිරිස අතර ශාස්ත්‍රාලයීය විද්වතුන් වගේම සොබා වියතුන් සිටියා. කොහොමත් ලංකාවේ ඉතිහාස විෂය ගැඹුරට පෑදුවේ ශාස්ත්‍රාලයීය විද්වතුන්ටත් වඩා සොබා වියතුන්. මට ගැටවර වියේම තේරුණා සමාජයක ප්‍රතිභාව අවදි කිරීමේ ධාතුව ඉතිහාසය බව. ඉතින් මම හැදෑරුවා, කියෙව්වා, පර්යේෂණ කළා, ලිව්වා. තිස් වසරක කාලයක් ඉතිහාස විෂය හැදෑරුවම මට පෙනුණා ලංකාවේ ඉතිහාසය නමින් සමාජය තුළ තියෙන්නේ එක දහරාවක අර්ථකතන කියලා. ඉතිහාසය හැම මානයකින්ම බලමින් ඉතිහාසඥයන් බහුවිධ විය යුතුයි. ඉතින් එක පිලක මතය නොව හැම දහරාවකම මත එකට ගෙන තබා ගොතා සිදු වූ දෙයත්, සිදුවන දෙයත් මතුකර ගන්න මම මේ නව කෘති පෙළ හරහා උත්සහ දැරුවේ. මම මගේ විෂයට ආදරය හා ගෞරවය, වීමංසාව සහිතව එහි යෙදෙන්නේ. ඉතිහාසය නමින් එක අර්ථකතනයක් පමණක් දිගින් දිගට ලිවීම අපේ ජාතික ඉතිහාසය පටු කිරීමක්. මේ පටුබව බිඳ දමා නව පර්යේෂණය දෙසට ඉතිහාසය හැරවීමට මම කල්පනා කළා. එහි ආසන්නම උත්සහය තමයි මගේ “ගිරිමුදුන” කෘතිය.

●   ඉතිහාසඥයන් ඉතිහාසය ලියන්නේ එය විෂයයක් ලෙස අධ්‍යනය කරමින්. ඒත් ඔබ ඇයි තිබෙන ඉතිහාසය නැවත ප්‍රශ්න කරන්නේ ?

 මම මෙතනදී මතු කරන්න ඕනා කරුණක් තියෙනවා. මම කරන්නේ ඉතිහාසය ප්‍රශ්න කරන එක නෙමෙයි. තියෙන ඉතිහාසය මතු කරන එකයි. තියෙන ඉතිහාසය කියන්නේ හැමදාම අහපු ඉතිහාසය නොවේ. බොහෝ දුර්දශා යුගවල ඉතිහාසය යටපත් උණා. රජතුමා හෝ ආණ්ඩුව ඉතිහාසය උගන්වන්න හා ප්‍රචාරය කරන්න වගකීම අතට ගත්තම එය හොඳ දෙයක් විදිහට පෙනුණත් ඉන් සිදුවුණේ රජතුමාගේ හෝ ආණ්ඩුවේ මතය පමණක් මතුවීමයි. කොහොමත් ලංකාවේ ඉතිහාස රචනයේ ශාස්ත්‍ර සම්ප්‍රදාය ඇතිවුණේ රජවරුන්ගෙන්, ආණ්ඩුවෙන් නොවේ. මහානාම හාමුදුරුවෝ ඉතිහාසය ලිව්වේ රාජ්‍ය අනුග්‍රහයෙන් නොවේ. මනුෂ්‍යත්වයේ පොදු මහා සමාජ අරමුණ මත. ඒත් දොළොස්වැනි සියවසේ “ චූල වංශය” රචනා වීමත් එක්ක ඉතිහාසය රජ පවුල්වල කතාවලට සීමා වුණා. බහුවිධ මනුෂ්‍යයන්, විරුවන් යටපත් වුණා. මේ නිසා පවතින ආණ්ඩුව හෝ රජතුමා අමනාප චරිත, සංකල්ප, සංසිද්ධි යටපත් වුණා. බැහැර කරවූවා. ඉතින් ඉතිහාසය කියන්නේ රජතුමන්ලාගේ ලියවිල්ල හෝ ආණ්ඩුවේ ලියවිල්ල පමණක් නොවේ. මේ නිසා රාජ්‍ය ලේඛණාගාරය පිටමං කළ ඉතිහාසය මේ රටේ ඉතිහාසවේදීන් වෙන වෙන විදිහට ලියා තබා තිබෙනවා.

දෙවනුව ඉතිහාසය ශාස්ත්‍රීයවත්, ගුරුකුල වශයෙනුත් ස්වීය පර්යේෂණයේ නියැලෙමින් හදාරමින් තමයි මම ලියන්නේ. අනික ඉතිහාසය ලියවුණු මුල් භාෂාව පාලි භාෂාව හා සංස්කෘත භාෂාව. ඒත් ඉතිහාසය ලියන අති බහුතරයක් ඉතිහාස බසවූ පාලි සංස්කෘත ඥානයෙන් තොරවයි ඉතිහාසඥයන් වෙන්නේ. අනික ඉතිහාසය ලිවීමට ඉතිහාසය නිර්මාණය කරන සමාජීය මානව ක්‍රියාකාරීත්වයේ සිටිය යුතුයි. මහානාම තෙරිඳු ඇති කළේ එවන් පුළුල් ඉතිහාසකරණයක්. ඒත් පසුව අපට ඉතිරි වුණේ තනතුරකට රස්සාවකට ඉතිහාසය හදාරන උගතුන් විතරයි. මේකෙන් ඉතිහාසය පටු වුණා. ඉතින් මගේ අවධාරණය තවත් පැහැදිලි කළහොත් ශාස්ත්‍රාලීය හා සොබා ප්‍රඥාව මෙන්ම සමාජ මානව ක්‍රියාකාරීත්‍වය ඇතුළු මේ මාර්ග තුනින්ම හදාරලයි මම මගේ පර්යේෂණ රචනා ඉදිරිපත් කරන්නේ.

●     ප්‍රධාන වශයෙන් ඔබේ පර්යේෂණ ඉලක්කවන්නේ කවර කාරණා මතද ?

මම ඉතිහාසයේ ඒක පාක්‍ෂික මතු කිරීම වෙනුවට බහුවිධ පැති විවරණය කරනවා. බහුමාන පැති සියල්ල ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායන් හා සොබා ප්‍රඥා සම්ප්‍රදායන් එක් කරමින් තමයි මම ඉතිහාසය නැවත විමසන්නේ.  

දැන් බලන්න බුද්ධදාස රජතුමා ශාස්ත්‍රීය කෘතියක් ලියලා ලංකාවේ සමාජ දේශපාලනයේ සාරවත් වෙනසක් කළා. ඔහු ගැන අපි මොනවද දන්නේ. මානවම්ම රජතුමා ලංකාවේ ලේඛනය ශෛල අකුරින් මුද්‍රිත අක්‍ෂරයට ගෙනාවා. සීගිරි කාශ්‍යප සරාගය හා නිවීම යා කළා. අපි දන්න ඉතිහාසයේ මෙම හැම චරිතයක්ම යටපත් වෙලා. මේ යටපත් කිරීමයි මගේ මතු කිරීම. ලංකා ඉතිහාසවේදී නේත්‍රෘවරුන් ඇරඹු ලෝක පරමාදර්ශය වූ සිංහල ඉතිහාසකරණය මෙවන් අභාග්‍ය ගෝත්‍රිකත්‍වයට ගොදුරු කිරීමට ඉඩ දිය නොහැකියි. මම කැප වෙන්නේ ඒ සඳහා. මේ මම මතු කරන්නේ ඉතිහාස නමින් සීමාවක් තබා ගැනීමේ වරදයි.

මම යටපත් වූ හැමදේම ඉතිහාසයේ ලියවී රැඳී තිබෙන තැන්වලින් අරන් පෙන්නනවා. ලංකාවේ ඉතිහාසය සියවස් 25 ක් සොයාගන්න අතීත රචකයන් ලියා ඇති කෘති 265ක් හැදෑරිය යුතුයි. දැන් සිදුවී ඇත්තේ අතීත නාමධාරී වියතුන් ලියා ඇති මතු කිරීම ඔහුගෙන් උපුටා දක්වමින් උධෘත පාඨ යළි යළි වෑමෑරීමක්. මම අහනවා ඇයි මහාවංශය හොයා ගත්තත්, උත්තර විහාර වංශය සොයා ගන්න කැප නොවන්නේ. ආනන්ද කුමාරස්වාමි ගැන ලංකාවේ පර්යේෂණ ග්‍රන්ථයක් ලියා නැත්තේ ඇයි? තවත් විදිහට කිව්වොත් ශ්‍රී ත්‍රිපිටකය ලේඛන ගත කිරීමට කිසිම උදව්වක් නොකරපු වලගම්බා රජතුමාට එහි අයිතිය දීලා තියෙන්නේ ඇයි ? එය සිදුකළ රක්ඛිත මහ රහතන් වහන්සේ සහමුලින්ම යටපත් කරලා. ඒ වගේමයි මහාවංශයටත් පෙර ලක් ඉතිහාසය ලීවේ දීපවංශය. “දීපවංශය” ලක් ස්ත්‍රීයකගේ ඉතිහාස දැක්ම. ඒ ස්ත්‍රීත්‍වය යටපත් කරගෙන තියෙන්නේ.

ඇයි දුටුගැමුණු රජතුමා ඝාතනය පිටුපස සිදුවූ කුමන්ත්‍රණය කියා නොදෙන්නේ. සීගිරි කාශ්‍යපව පලවා හැර ඔහු දියණිය උපුලිවත් මරා දාපු කථාව ඇයි සඟවා තබා ඉන්නේ. කොටින්ම ඉතිහාසය උගන්වන ආයතන රජයේ කාර්යාල වගේමයි. උදාසීනයි. නව පර්යේෂණ හැදෑරීම් නැහැ. දන්න ටික කියනවා. ඔහේ පවතිනවා. හැබැයි විෂය මාලාවේ ඉතිහාස, සාහිත්‍ය තියෙනවා. ඒත් ගුරුකුල දෙක තුනක බූදලයක් විතරයි. මුකුත් නොදන්න අය අතීතයේ හිටපු යුගකාරක චරිත ටික වටා බල කඳවුරක් දාගෙන. දරුවන් ශිෂ්‍යයන් මේ නීරස ඉතිහාසයෙන් ඈත් වෙලා. එහෙම නැත්නම් ඉතිහාසය නමින් උගන්වන වර්ගවාදය කුලවාදය පන්තිවාදය දැනගෙන ඒ අනුව බෙදී වෙන්වෙලා.

ඉතිහාසය පටු කිරීමේ ඛේදවාචකය සාහිත්‍යටත් කරලා. ඒ විතරක් නෙමෙයි බුදුදහමටත් සිදුවෙලා. අන්න ඒ නිසා ඉතිහාසය බෙදුම්වාදයෙන් බේරා ගැනීමට වහා නැගිටිය යුතුයි. රජය සැලකුවත් නැතත් ලේඛකයා අදීනත්වයෙන් තම කාර්යය කළ යුතුයි.

 

●  සාහිත්‍යය සහ ඉතිහාසයට තැනක් නොදීමත්, එම විෂයයන් පෙළ පොතින් මකා දැමීමත් ගැන පසුගිය කාලයේ දිගින් දිගටම කතා කළා. දැන්වුණත් සාහිත්‍යයට, ඉතිහාසයට මේ රටේ නිසි තැනක් ලැබෙන්නේ නෑ නේද ?

 ඉතිහාසයට, සාහිත්‍ය්‍යට නිසි තැන නොලැබීම දුගී දේශපාලනමය හේතුවක්. දෙවනුව මේ විෂය දහරා පාරම්පරික උරුම කරගත් අල්පමාත්‍රිකයන් වෙන කාටවත් මතු වෙන්න දෙන්නේ නැහැ. මෙතන අධිපති පරපුටුවාදය තියෙනවා. නූතන ලංකාව බිහි කළ විශිෂ්ට සාහිත්‍යධරයන් දෙදෙනෙකු වූ සයිමන් නවගත්තේගම සහ ජයසේන ජයකොඩිගේ කිසිම කෘතියක් විෂය නිර්දේශයට ඇතුළත් වෙලා නැහැ. රජය දී තිබෙන ඉඩත් කණ්ඩායමක බූදලයක් විතරයි. ඉතින් ඉතිහාසය සාහිත්‍යය විෂය මාලාවේ තිබුණත් පුනරුදයක් ලබා නෑ. ඒවා පවතින ආණ්ඩුවල යටත් වැසියන්ගේ සෙල්ලම් ගෙවල් වෙලා. කොහොම උණත් මේ විෂය දෙකට අත තියන්න කාටවත් බැහැ. ඉතිහාසය නූතනවාදයට රැගෙන ආපූ කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ කවුරු හීන දැක්කත් ඒක කරන්න බෑ. කරන්න දෙන්නෙත් නැහැ.

 

● ලේඛකයන්ට බදු ගැසීම, කඩදාසි මිල ඉහළ දැමීම, ප්‍රකාශන ව්‍යාපෘති අඩාළවීම වැනි දේවල් පසුගිය කාලයේ බරපතළ සකාච්ඡාවට ලක්වුණා. ඔබ මේ තත්වයන් ගැන සංවේදී වන්නේ කොහොමද ?

රජය ලේඛකයා රැකිය යුතු යැයි හඬ නැගීම ලස්සන කතාවක් විතරයි. ලේඛකයා කියන්නේ රාජ්‍යය හා ජන සමාජය නිර්මාණය කරන්නාටයි. බදු සහන දුන්නත්, බදු සහන නොදුන්නත් ලේඛකයා බිහිවීම එය මත වන දෙයක් නොවේ. ඔහු සමාජයේ අන් චරිතවලින් සපුරා වෙනස්. ඒකනේ ලේඛකයන් සරසවිවලින් බිහි කරන්න බැරි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, වඩුවන්, කාර්මිකයන් රජයට බිහි කරන්න පුළුවන්. ඒත් ලේඛකයන් හදන්න රජයකට බැහැ. ඔහු මනුෂ්‍ය ජන සමාජය තුළින් මතුවන අයෝමය සන්නිවේදකයෙක්.

ලේඛකයන්ගේ සමාජ ප්‍රභාව ගරු කටයුතුව වටහා ගත්තොත් රාජ්‍ය පාලකයන්ට බහුමාන සංතෘප්ත සමාජයක් හදලා ඉතිහාස වීරයෙක් වෙන්න පුළුවන්. මට නම් මගේ විෂය සඳහා මේ කිසිවක් අදාළ නැහැ. මොකද නිවන් දකින්න ආණ්ඩුවේ උදව්වෙන් බෑ. ලේඛකයෙක් වෙන්නත් ආණ්ඩුවේ උදව්වෙන් බෑ. මේ දෙකටම අවශ්‍ය සීලය හා ප්‍රඥාවයි. ලේඛකයා වෙනස් ආඥාවක් සහිත බලයක්. ඒත් ආණ්ඩුවලට ලේඛකයා තේරෙන්නේ නැහැ. එවන් ආණ්ඩු ඇති රටක් සදා අපායක් තමයි.

 

(සංවාද සටහන - ගාමිණී කන්දේපොළ)