නගෝ පුංචි කාලේ ඔය හිතට කොතෙකුත් ප‍්‍රශ්න නැගෙන්න ඇති. මල් පිපුණෙ කොහොමද ඒ මල්වලට පැණි ආවෙ කොහොමද මල්වල පැණි තියෙන බව සමනල්ලූ දන්නේ කොහොමද කියලා ප‍්‍රශ්න කප්පරක් නුඹේ හිතට නැෙඟන්න ඇති නේද? පුළු පුළුවන් විදිහට නුඹේ අම්මා ඒවට උත්තර දෙන්නත් ඇති. සිතිවිලි පරිණත කරගෙන කාලය තරුණ වෙලා නෙඟා්. එදා වගේ නෙවේ. නුඹ අද තරුණ කෙල්ලෙක්. දැන් නුඹ ඉස්සරහා තියෙන කිසිම දෙයක් සරලත් නෑ, සුන්දරත් නෑ. ඒ විතරක් නෙවෙයි අද අම්මා ළඟ නුඹට දෙන්න උත්තරත් නෑ. සරලත් නැති සුන්දරත් නැති ජීවිතේදී නංගියේ නුඹ මලක් නම් සමනලයගේ පැණිබීම පුංචි කාලේ වගේ සුන්දරම නෑ කියලා අද වැටහේවී. උත්තර නැති ප‍්‍රශ්න ළඟදී ප‍්‍රශ්නත් වධ වෙනවා නගේ. එහෙව් වේලාවට අම්මා තාත්තාත් අසරණ වෙනවා. ඒ නිසා පරෙස්සමෙන් ජීවත්වෙන්න හිතට ගනින්. මාධ්‍ය එක්ක තමාගේ ප‍්‍රශ්න බෙදා ගන්න ඇය දැක්වුයේ බියක්. ඒ කාලය හොඳ බෙහෙතක්. හොඳ නරක යුතු අයුතුකම් පැහැදිලි වුණාම අකමැත්තත් කැමැත්තක් වෙනවා. ඉතිං, අපි අහමු අශේනිගේ කතාව.
අශේනි උපන්නේ දකුණු පළාතේ. උපතින්ම ලැබුණ සුන්දරත්වයට ඇයගේ දිගු වරලස ගෙන ආවේ අපූර්වත්වයක්. මම උපන්නේ දකුණු පළාතේ ගොසියාවගකිත්ත කියන ගමේ. දුප්පත් පවුලක. නංගි මල්ලී අම්මයි තාත්තායි තමයි මගේ පවුලේ සාමාජීකයෝ. මම ඉස්කෝලේ ගියා. ඒත් පවුලේ වැඩිමල් දුව හැටියට ඉස්කෝලේ යනවට වඩා වැඩ රාජකාරී මට කරන්න පැවරිලා තිබුණා.
අම්මා තාත්තා වගේම මමත් ගෙදර දොරේ වැඩ කරන්න හරි හරියට මහන්සි වුණා. පොල් අතු වියන්න, අම්මාට උදව් කළේ මම. පොල් ලෙලි ගලවා ළණු අඹරන්න. නංගිලා මල්ලිලා බලා ගන්න ගෙදර බතක් මාළුවක් උයන්න මම ඉගෙන ගත්තේ පුංචි කාලෙදිමයි.
මගේම පංතියේ ළමයි ශිෂ්‍යත්වෙට මහන්සිවෙන කොට එයාලගේ මව්පියෝ එයාලව පංති අරං දුවනකොට මම ගෙදර ගිහින් පුළුවන් විදිහට පාඩම් කළා. ප‍්‍රශ්න පත්තර හොයාගෙන ඇවිත් ඒවා ගෙදරදි කළා. මේ කොයිම තැනකදි වත් අම්මාගේ උදවු මට ලැබුණේ නෑ. මොකද එහෙම උදව් කරන්න අම්මට ඉස්පාසුවක් තිබුණේ නෑ. තාත්තා රස්සාවක් කළා. සමහරදාට මුහුදු ගියා. සමහරදාට කුලී වැඩට ගියා. මොනවත්ම නැති දවසට තාත්තා කොහුමෝලේ වැඩ කළා.
අනෙක් ළමයින්ට තිබුණ කිසිම දෙයක් මට තිබුණේ නෑ. මිස්. කොටින්ම කියනවා නම් මට සෙල්ලම් කරන්න වුණෙත් වත්තේ ගෙදරින් විසි කරපු අංග විකල බෝනික්කෙක් එක්ක. මගේ ළඟ හිටපු බෝනික්කගේ අතකුත් නෑ, කකුලකුත් නෑ. එසේ කියමින් අශේනි සිනාසෙන්නට උත්සහ දරන්නීය. නැවතත් සුසුමකින් ළය පුරවාගෙන දොඩමළු වන්නීය. කියන්නට බැරි තරම් දුක් කරදර මැද්දේ උණත් අපේ අම්මයි තාත්තයි අපට බොහෝම ආදරේ කළා. කොහොමින් කොහොම හරි මට ඉගෙන ගන්න පුළුවන් වුණේ නවය පංතියට යනකන් විතරයි. අපේ තාත්තා එකතැන් වුණායින් පස්සෙ අපි කබලෙන් ළිපට වැටුණා වගේ වුණා. තාත්තා එකතැන් උණේ ගාල්ලේදී සුනාමියට අහුවෙලා සිද්ධ වුණ තුවාල නිසා.
එදා ගාල්ලට ගිය තාත්තා ඔය තරමින් වත් බේරුණ එක අපිට ලොකු දෙයක් වුණා. ගෙදර දොරේ වැඩ වගේම තාත්තාව බලාකියා ගන්න වැඩපලත් කළේ මම. ඒත් කොහු මෝලේ වැඩ කරලා හොයන සොච්චම අපට ජීවත්වෙන්න තියා හැරෙන්නවත් මදි. ප‍්‍රශ්න. සමහරදාට අපි බඩගින්නට කෑවේ කොස් තම්බලා පොල් අනලා. මම මේවා කියන්න ලජ්ජ වෙන්නේ නෑ මිස්. මොකද ගාමන්ට් කෙල්ලෝ කිව්වහම අමුතු විදිහට අපි දිහා බලන කොල්ලෝ දැනගන්න ඕන. මේ සමාජය දැන ගන්න ඕන, අපි ගාමන්ට් එහෙක වැඩට යන්නේ නැතිබැරි කමට කියලා. හිඟා කන්න අතපාන්න බැරි කමට කියලා. ඇඟ විකුණන්න බැරි කමට කියලා. හුඟක් කොල්ලෝ ගාමන්ට් එහෙක වැඩ කියලා දැනගත්තම අපි දිහා බලන්නේ ගණිකාවෝ දිහා බලන්නා වගේ. මිස් අපි කරන ජොබ් එක නිසා අපේ සිතුම් පැතුම් ගති ලක්ෂණ වටිනාකම් නොවටිනා තැනට දානඑක අපරාධයක්.
මම දන්නවා සමහර මහලොකු දැනුමක් තියෙනවා කියන වැඩිහිටියො පවා අපි දිහා බලන්නේ කැත විදිහට. මම මහා ලොකු විභාග පාස් කරලා නෑ තමයි, මිස්. ඒත් අපි ළඟ මනුස්සකම තියෙනවා. කෙනෙකුගේ දුකකදී වේදනාවකදී උදව් කරන්න හිතෙන හිතක් තියෙනවා. නැතිබැරිකම් දහසක් මැද්දේ උණත් අම්මා අපට කියලා දුන්න ගුණයහපත්කම් තියෙනවා. ඇයගේ ස්වරය හැඬුම්බරය. සියල්ල සඟවා ශක්තිමත් ස්වරයෙන් කතාව කරගෙන යන්න ඇය ගත්තේ දැඩි උත්සහයකි. සුනාමියෙන් පස්සෙ අපේ ගෙදර කබලෙන් ළිපට වැටුණම මම කොතෙකුත් වැඩ කළා. අම්මට පුළුවන් හැම විදිහෙන්ම උදව් කළා. අන්තිමේ කොළඹ ආවේ හැමදේම හැමදාම කරන්න බැරි කමටමයි.
කොළඹ ආව මට ඕන වුණේ අම්මයි තාත්තයි ජීවත් කරවන්න. නංගිට මල්ලිට අකුරක් කියලා දෙන්න වැඩිපුර කීයක් හරි හොයාගන්න. කුකුල් කූඩු වගේ බෝඩිං කාමරයක ලෑලි ගහපු බංකුවක් වගේ වුණ ඇඳක ප‍්‍රමාණය තුළ මගේ අලූත් ජීවිතේ හැඩගැහුණා. වෙන කෙල්ලෝ වගේ මම කොණ්ඩ කටුවක්වත් ගන්න අනවශ්‍ය වියදම් කළේ නෑ. මම කොණ්ඩ කටුවක් ගන්න වියදම් කරන රුපියල් සීයෙන් අපේ ගෙදරට වේලකට හාල් ටිකක් ගන්න පුළුවන් නේද කියලා මට හිතුණා.
වැඩපළේ ඕටි කරන්න පුළුවන් කිසිම අවස්ථාවක් මම මග ඇරියෙ නෑ. සමහර වේලාවට අපේ කාමරේ එකට කාගෙන බීගෙන ඉන්න කෙල්ලෝ පවා මට ඉරිසියාකම් කළා. උන් හිතුවේ මට සල්ලි තන්හාවට ඕටි කරනවා කියලා. ඇත්තටම මිස් මගේ අම්මා තාත්තා නංගි මල්ලි වේලක් නැත්නම් වේලක් කෑවේ මගේ පඩියෙන්. කඬේ ණයතුරුස් බේරුවේ මගේ පඩියෙන් තාත්තාට බෙහෙත් කළේ මගේ පඩියෙන්. එහෙව් එකේ කොහොමද මම හිතු හිතු විදිහට වැඩ කරන්නේ. සමහර කෙල්ලෝ මට ලෝබ කුණා කියලා බැණලා පවා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකට මගේ හිත රිදුණේ නෑ.
කොළඹට ආව මට දුමින්ද මුණ ගැහුණේ රත්මලානෙදි. මම වැඩට යන අතරමඟ දවස් ගාණක් දුමින්ද මං ගැන විමසිල්ලෙන් ඉඳලා තිබුණා. කොළඹ ඇවිත් කොල්ලෙක් එක්ක යාළුවෙලා ජීවිතේ වරද්ද ගන්න මට ඕන වුණේ නෑ. ඒ නිසාම දුමින්ද මට ගෙනාව යෝජනාවට මම අකමැති වුණා. මම කොයි තරම් අකමැති වුණත් දුමින්ද මං ගැන තියෙන අදහස අතැරියෙ නෑ. ඒත් මම පුළුවන් හැමවේලාවෙම දුමින්දව මග ඇරියා. මොනදේ මොන ආකාරයට කරන්නේ නෑ කියලා හිතුවත් මමත් කෙල්ලෙක් මිස් මමත් මනුස්සයෙක්. තරුණ කාළේ කොල්ලෙකුට ආදරේ කරන්න හිතුනේ නෑ කියලා බොරු කියන්න මට බෑ. දිගින් දිගටම දුමින්ද පස්සෙන් එනකොට මම දුමින්දට කැමැත්ත දුන්නා. එයා රටේ පිළිගත්තු ආයතනයක හොඳ රස්සාවක් කළ කෙනෙක්. අපි අතරේ ආදර සම්බන්ධයක් පටන් ගත්තාට පස්සෙ එයා මගේ ගෙදරට පවා උදව් කළා. සමහර දවසට තාත්තගේ බෙහෙත් වියදම් පවා දුන්නේ එයා.
එයා මට ගොඩක් ආදරේ කළා. මමත් එයාට ඒ විදිහටම ආදරේ කළා. මේ වෙනකොට අපේ සම්බන්දෙට අවුරුදු දෙකක්. පහුගිය අවුරුදු දෙකක කාලය තුළ අපි දෙන්නා කොයිතරම් ළං වුණාද කිව්වොත් එයා නිසා මම අම්මා කෙනෙක් වෙන ලක්ෂණ පහළ වුණා.
හුඟක් අයට තමං කරන වරදෙ බරපතලකම තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ මිස්. මගේ කුසට ආපු දරුවා ගැන මට තිබුණේ ලොකු ආදරයක් මම ඒ පණිවිඬේ ගැන දුමින්දට කිව්වේ ගොඩක් සතුටින්. මම හිතුවා ඒ ගැන අහලා දුමින්දත් ගොඩක් සතුටු වේවි කියලා. ඒත් මම හිතුව විදිහට දුමින්ද සතුටු වුණේ නෑ. එයා බය වුණා. ලෝකෙට මූණ දෙන්නේ කොහොමද කියලා ඇහුවා. එයාගේ ගෙදර කැමති කරගන්නකන් මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ කිව්වා.
මට කරන්න පුළුවන් වුණේ විශ්වාස කරන්න බැරි දුමින්දගේ හැසිරීම ඉස්සරහා අඬන එක විතරයි. ඇති වුණ ප‍්‍රශ්නේට පිළිතුරක් නැතුව මම ඇඬුවට දුමින්ද ළඟ විසදුමක් තිබුණා. එයා කිව්වේ බෙහෙත් අරගෙන දරුගැබ ඇබෝශන් කරමු කියලා. බඬේ දරුවෙක් එක්ක එයාගේ අම්මා තාත්තට ළඟට මාව එක්ක යන්න බෑ කිව්වා. අන්තිමට මමත් එයාගේ කැමැත්තට ඉඩ දුන්නා. මොන තත්ත්වයක් යටතේ උනත් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුණ ආදරේ අඩුවක් වුණේ නෑ. හැමදේම සාමාන්‍ය කරගෙන ජීවිතේ ගෙවිලා ගියා. තාත්තා අන්තරා උණේ මීට මාස අටකට උඩදි. අසනිපෙට මොනතරම් බෙහෙත් කළත් වැඩක් වුණේ නෑ. තාත්තාගේ මළගමට මං වැඩකරපු තැන යාළුවෝ ගොඩක් ආවා. ඒ ආව අය අතරේ පිරිමි ළමයිනුත් හිටියා තාත්තගේ මළගමට ආව දුමින්ද ඒ ගැන හිතුවේ වැරදි විදිහට. දුමින්ද කොහොමත් මම පිරිමි කෙනෙක් එක්ක කතා කරනවටවත් කැමති උණේ නෑ.
මගේ තාත්තගේ මළගමට ඇවිත් හිටපු වැඩපළේ යාළුවෝ එක්ක කතා නොකර කොහොමද මිස්. ඒක කොයිතරම් වරදක්ද ගුණමකුකමක්ද? ඒත් මගේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙක දුමින්ද හිටියෙ නෑ. මගේ යාළුවෝ අතරේ හිටපු කසුන්ව දුමින්දට පෙන්න බැරි තත්ත්වයක් තිබුණා. වැඩපළේ ඇඳුරුම්කම ඇරෙන්න ඒ ළමයාත් මමත් අතරේ මොනවත් නෑ කියලා දැනගෙන හිටියෙ අපි දෙන්නා විතරමයි. නමුත් දුමින්ද මාව සැක කළා. කසුන් මට විශේෂත්වයක් කරන බව එයා පුන පුනා කිව්වා. ඒ මොනවා වුණත් දුමින්දව මට කොයිතරම් වැදගත්ද කියලා මම කිව්වට ඒ ඇත්ත තේරුම් ගන්න දුමින්ද අකමැති වුණා.
ඒ ගැන අපි දෙන්නා අතරේ හිත් අමනාපකම් පවා ඇති වුණා. එදා පටන් ගත්තු සැකය ඉවර වුණේ නෑ. අන්තිමට මාව කසාද බඳින්න කියලා මම එයාට කිව්වා. කිසිම දෙයක් මාව මග අරින්න හේතුවක් කරගන්න එපා කියලා මම එයාට කිව්වා. දරුවෙකුත් නැති කරලා මගේ ජීවිතේ වටිනාකම් එයා නිසා නැති කරගත්තු මට තව මිනිහෙක් මොකටද කියලා මම ඇහුවා. මගෙන් බේරෙන්න බැරි තැන එයා එයාගේ අම්මාට මාව මුණ ගැස්සුවා. මිස් දන්නවද ඒ අම්මා මාව එපා කියන්න මොකක්ද කියාපු නුසුදුසු කම කියලා. මම ගාමන්ට් කෙල්ලෙක් වීම එයාලට ලැජ්ජාවක් කිව්වා. එයාගේ පුතාට හෙව්වෙ ගාමන්ට් යන කෙල්ලක් නෙවේ කිව්වා. දුමින්දට ඇත්තටම ආදරේ කළා නම් එයාව අතරින්න කිව්වා. මේ වෙනකොට දුමින්ද මාව දාල ගිහින්. ඇත්තටම මිස් මම ගාමන්ට් එහෙකට යන බව ඇත්ත. එහෙම කරන්නේ මගේ නැතිබැරිකම නිසා. අනික ගාමන්ට් කියන්නේ කව්රුවත් හිතන් ඉන්න විදිහේ නරක තැනක් නෙවේ.
අපේ රටට හොඳ ආදායමක් ගෙනන ව්‍යාපාරයක්. ඒ වගේම මේවට එන්නේ දුප්පත් මව්පියන්ගේ දරුවෝ. ඒ විතරක් නෙවේ. අපිට තියෙන්නේ නැතිබැරිකම විතරයි. ඒ අම්මා මට අකමැති වෙනකොට පුතාගෙන් මට වුණ දේ දන්නේ නෑ. කොහොම හරි තමන්ගෙන් අමාරුවෙ වැටුණ ජීවිතයක් අතාරින්න ඕන වුණාම දුමින්දලා වගේ පිරිමි හේතු දාහක් හොයාගනී මිස්. රටේම ඉන්න ගෑනු එක්ක නිදාගත්තත් ඒ වගේ අය කසාද බඳින්න හොයන්නේ පත්තිනි අම්මලා. සමහර වේලාවට පත්තිනි අම්මා කෙනෙක් කියලා හිතාගෙන කසාද බැන්ද ගෑනි නයිට් ක්ලබ්වල කාගෙත් සුන්දරි වේලා රිලැක්ස් වුණ බව
දැනගන්න කොට පරක්කු වැඩියි. මට දුකක් නෑ මොකද එයා මාව රැවැට්ටුවාට. මම එයාට ආදරේ කළා. මම කියන්න ඕන මේ සමාජය ගාමන්ට්වල රස්සාවට එන්නේ ඔයාලා වගේම මාපියන්ගේ දරුවෝ.
සමහර විට අපි අඩු පඩියකට වැඩි ශ‍්‍රමයක් ෆැක්ටි‍්‍රවල දිය කළාට ලැබෙන සොච්චම් පඩියෙන් සම්බෝලයි බතුයි කෑවට මේවට එනවා කැම්පස්වලට සිලෙක්ට් වුණත් කැම්පස් යන්න බැරි තරම් අගහිඟකම් නිසා දුක් විඳපු කෙල්ලෝ. ඇත්තටම දුමින්දලා වගේ කොල්ලෝ සෙල්ලම්බඩු වගේ දකින්නේ අපේ අහිංසකම දුප්පත්කම. ඇත්තටම එහෙම කරන්න එපා. මොකද මම ඉන්න තැනට හෙට ඔයාලගේ නංගි පත්වුණොත් ඔයාලා මං වගේ විඳ දරාගන්න එකක් නෑ.