’89 දේශපේ‍්‍රමී කැරැල්ලේ අවසන් මොහොත-3


    24_PAGE_07_T 25

 

රෝහණ විජේවීර සහෝදරයා ගලහ අරලිය උයනින් නික්ම ගියේය. නොවැම්බර් 12 වැනිදා සන්ධ්‍යාවේ නිමිති පෙනුණා හැර වෙනත් කිසිම කලබලයක ලකුණක් දේශපාලන මණ්ඩලයේ මුහුණුවලින් ඉදිරිපත් නොවිණ. එම නිසාම මේ සමුගැනීම තම දේශපේ‍්‍රමී නායකයාගේ සදාකාලික වෙන්වීම බව කිසිවෙක් නොසිතූහ. එහෙත් විජේවීර ඈතට යනතුරු දේශපාලන මණ්ඩලයේ කීප දෙනෙක් මඟ බලා හුන්හ. ඔහු අරලිය උයනෙන් කෙළින්ම පැමිණියේ උලපනේ සෙන් මේරීස් වතුයායේ තිබුණු නිවස වෙතය.

 

 

විජේවීර සහෝදරයා සෙන් මේරීස් වත්තට ආවේ ඇයි? ආරක්ෂාව වැඩිකම නිසා යැයි කෙනකු හිතන්නට පුළුවන. එහෙත් ආරක්ෂාව යට සැඟව ගත් මහා බලාපොරොත්තුවක් එහි තිබිණ. ඒ කුමක්ද? 


විජේවීර නිසා ඔහුගේ පවුල බොහෝ අපහසුතාවලට පත්විය. නමුත් තමා කරන්නේ සමස්ත රටම බේරා ගැනීම උදෙසා සටනක්ය යන වග ඔහු තම බිරිඳ වූ චිත‍්‍රාංගනී සහෝදරියට නිතර කියා දුන්නේය. ඒ බරපතළ වගකීම ගැන ළමා ලපටීන්ට කියන්නේ කෙසේද? රෝහණ විජේවීර සහෝදරයා පමණක් නොව චිත‍්‍රාංගනීත් දේශපාලන මණ්ඩලයත් මුහුණ දුන් අභියෝගය එය විය.

1
දරුවන් අතර ජීවිතය ගත කරන මොහොතක විජේවීර නම හෝ කියැවුණා නම් හය හතරක් නොදන්නා දරුවන් අතින් මහ සමාජයේදී ඇතැම් විට එය කියැවෙන්නට ඉඩ තිබිණ. එසේ වී නම් විජේවීර සහෝදරයාගේ ජීවිත ඉරණම විසඳෙන්නේ 1989 නොවැම්බර් 12 වැනිදාට කලින්ය.


පක්ෂය තහනම් කළ දා සිට රෝහණ විජේවීර ”අත්තනායක” බවට පත්විය. ඔහු හා පවුල එදා සිට නැවතී සිටි ප‍්‍රධාන ස්ථාන තුන වූයේ බෙරගලට නුදුරු වල්හපුතැන්න නිවස, බණ්ඩාරවෙල නෙළුව ලෙවුවෙගොඩ හා උලපනේ සෙන් මේරීස් වත්තේ නිවසයි.


මේ තැන් තුනේම විජේවීර සහෝදරයා විසුවේ තම දරු පවුල සමගය. ඔහු දරුවන්ගේ ඉගෙනීම් වැඩ සොයා බැලූවේය. ගෙදර දොර වැඩ සොයා බැලූවේය. අසල්වැසියන් ඇසුරු කළේය. සැබෑවටම අනතුර අස්සේ ඔහු හොඳ සැමියෙක් විය. ආදරණීය පියතුමෙකු විය. හොඳ අසල්වැසියෙක් විය. මේ කාරණා තුනෙහි දෝලනය වූ විජේවීර සහෝදරයාට ”අත්තනායක” ලෙස ජීවත්වීම පහසුවක්ද විය.

4

 

ඔහුගේ වල්හපුතැන්න නිවස තිබුණේ පාසලට ඉතාම නුදුරිනි. ඒ කෙසේද යත් නිවසේ සිට පාර පැන්න සැණින් පාසල විය. එබැවින් දරුවන්ගේ ආරක්ෂාව ගැන හෝ දරුවන් ඇසුරට යන බාහිර පුද්ගලයන් ගැන හෝ කිසිම අවදානමක් ඇති නොවිණ. ඒ අතරේ විජේවීර සහෝදරයාගේ ලොකු දුව පාසලේ උත්සව සඳහා පැමිණි විජමු ලොකු බණ්ඩාර මන්තී‍්‍රවරයා පිළිගැනීම  ”අත්තනායකට” පැහැදිලි සමාජ පසුබිමක් නිර්මාණය කළේය. එම සාධකය උඩ කිසිවෙක් මේ ජවිපෙ නායකයා බව නොසිතූහ. ජවිපෙ නායකකම තබා එහි සාමාජිකයකුවත් නොවන බවට එයම සාක්ෂියක් විය.


අත්තනායක ගමෙන් ලැබූ එකම ”හංවඩුව” මැණික් බිස්නස්කාරයා යන නමය. ඒ අතරේ බේබදුකම නිසා ලෙඩ වූවෙක් යන නාමයද ගෑවී තිබිණි.
වල්හපුතැන්නට විජේවීර සහෝදරයා ආවේ පක්ෂය තහනම් කර මාස හයක් ගතවීමටත් පෙරය. දීර්ඝ කාලයක් ප‍්‍රසිද්ධ දේශපාලනයේ සිටි එසේම 1982 ජනාධිපතිවරණයටත් තරග කළ ඔහුට අප‍්‍රසිද්ධියේ ජීවත්වීම මුලින් ලෙහෙසි පහසු වූවා යැයි කිව නොහැක. එම නිසා තමන්ගේ බාහිර ස්වරූපය වෙනස් කර ගන්නට විජේවීර සහෝදරයාට සිදුවිය.


හැමදාම විජේවීර ගැන ආණ්ඩුව තොරතුරු සෙවීය. ජවිපෙ මර්දන කි‍්‍රයාදාමය ගැන ගුවන් විදුලියේ පුවත්පත්වල ප‍්‍රචාරය විය. මේ සියළු දේ අස්සේ විජේවීර වල්හපුතැන්න ගමේ ප‍්‍රසිද්ධියේ විසුවේය. විජේවීරගේ දුව එජාප නායකයකු වූ විජමු ගේ ළඟටම ගොස් බුලත් අතද දුන්නාය. ලොකු බණ්ඩාර මහතා විජේවීර දියණියගේ හිසද අතගෑවේය. එසේ නම් විජේවීර කැලෑවල, ගල් ගුහාවල ජීවිතය ගෙවුවා නොව සාර්ථක වෙස් මාරුවකින් බාහිර සමාජයේ කටයුතු කළේය.


ඔහු කතාබහ කළේ ජවිපෙ සාමාජිකයන් සමග පමණක් නොවේ. ඔහුගේ බිරිඳ දරුවන් පමණක් නොව මැණික් විකුණන මුවාවෙන් ගෙදරට ආ සියලූ දේශපාලන මණ්ඩල සභිකයෝ මුළු වල්හපුතැන්නම සමග ගනුදෙනු කළහ.


අවුරුදු තුන හතරක් ගෙවෙද්දී අත්තනායක පදිංචිව සිටි නිවසට යාබද ගෙදරක සොරකමක් සිදුවිය. සොරකම බරපතළ එකක් විය.එබැවින් අදාළ නිවසට පොලිසිය පැමිණියේය. මෙය ජවිපෙ දේශපාලන මණ්ඩලය ඉතා හොඳින් සළකා බැලූ කාරණයක් විය. පොලිසිය පැමිණ පළමු දවසේ අවට සෝදිසි කිරීම් කීපයක් කළේය. ඒවා ගැඹුරු සෝදිසි වූ නිසා අවදානමක් ලෙස ගන්නට හේතු කාරණා නිර්මාණය විය. එදා පොලිසිය ගියේ දෙවැනි දවසේ එන පොරොන්දුව පිටය.


සොරකමක් වූ නිසා අනවශ්‍ය අවදානමක් කොහෙත්ම අවශ්‍ය නැති බව දේශපාලන මණ්ඩලය තීරණය කළේය.


එසේම අහල පහල ගෙවල් කීපයක පුංචි කටකතාවක්ද මේ අතර පැතිර ගිය බවක් ආරංචි විය.

 

3


”අත්තනායකගෙ ගෙදරට මැණික් විකුණන්න පිට මිනිස්සු එනවා. එහෙම ආපු කෙනෙක් මේ වැඬේට සම්බන්ධයිද?’’ හැබෑවටම අත්තනායකගේ ගෙදරට ආවේ පිට මිනිස්සුය. ඔවුන් ගමේ කවුරුත් දන්නා හඳුනන අය නොවේ. ගමකට නිතර පිට මිනිස්සු යන එන තැනක් සොරකමකදී සැක කිරීම සාධාරණ හේතුවකි. ඒ උඩ මේ ආරංචිය පොලිසිය මත තැබීම අනවශ්‍ය කරදරයක් කැඳවා ගන්නකි.


මේ නිසා පසුදාට එළිවෙන්නට පෙරම විජේවීර සහෝදරයා වල්හපුතැන්න ගමට සමුදී ගියේය. එම සමුගැනීම බාහිර දෙයක් මත වූවක් මිස ජවිපෙ පිළිබඳ සැක කිරීමක් නිසා නොවූ බව මෙහිදී පැහැදිලි කරගත යුතුවේ.


ඒ අනුව පළමු දින රාති‍්‍ර විජේවීර සහෝදරයා ගමෙන් පිට කළ අතර පසු දවසක පවුලේ අය ඉන් පිටත් කෙරිණ.


එසේ පැමිණි විජේවීර සහෝදරයාගේ නවාතැන් පළ වූයේ නෙළුව ලෙවුවෙගොඩවත්තය. හදිසියේ මෙතැනට පවුලක් පදිංචිවීම සැකයට හේතුවකි. ඊටත් වඩා පාසල් යන වයසේ දරුවන් සිටින පවුලක්වීම කාගේත් සෙවීමට හේතු වෙන්නකි. මේ තත්ත්වය උඩ විජේවීර සහෝදරයා ලෙවුවෙගොඩවත්තේ පෙනී සිටින්නේ කෙසේද?


මෙහි සැබෑ අයිතිකාරයා ලෙස නෙළුව වතුයායම දැනගෙන හිටියේ රෙජිනෝල්ඞ් ගැනය. ඔහු සෝමවංශ අමරසිංහය. ඔහුට අයත් තැනක අලූත් පවුල ගැන තවත් කතාවක් පතුරුවන්නට සිදුවිය.


ඒ අනුව වත්ත බලා ගන්නට අත්තනායක පදිංචි කළ බව ප‍්‍රචාරය කෙරිණ. අත්තනායක කවුදැයි මිනිස්සු ඇසූහ. රෙජිනෝල්ඞ් කීවේ ”මගේ මස්සිනා” කියාය. එනම් සිරි අයියාගේ නැගණිය විවාහ වූ පුද්ගලයාය. 


ලෙවුවෙගොඩවත්තේද අත්තනායක බීමතින් අසනීප වූ අයකු ලෙස නම් කෙරිණ. එම නිසා ඔහු එළිපහළියේ ඇවිදීමට ගියේම නැත. වත්තේ වැඩට ජවිපෙ සාමාජිකයන් රැුසක් සිටි නිසා ආරක්ෂාව ගැන ලොකු කරදරයක් නොවිණ.


මෙතැනදී දේශපාලන මණ්ඩලය පහසුවෙන් හමුවිය හැකි විය. විජේවීර සහෝදරයා පදිංචි තැනකදී දේශපාලන මණ්ඩලය හමුවූ තැනක් ලෙස ලෙවුවෙගොඩවත්ත සඳහන් කළ හැකිය. ඒ වාරයක් දෙකක් නොව බොහෝ වාරයකි.


මේ කාලය වන විට සිරි අයියා ”රෙජිනෝල්ඞ්” සිටියේ හෝමාගමය. සියලූ රැුස්වීම්වලට ඔහු ලෙවුවෙගොඩවත්තට ගියේ හෝමාගම සිටය. 


එකල උපතිස්ස ගමනායක සහෝදරයා සිටියේ බණ්ඩාරගමය. ඞී.ඇම්. ආනන්ද සහෝදරයා රත්නපුරේය. ඔහු අවිවාහකයකු වූ නිසා ස්ථාවර තැනක් තිබුණා යැයි කිව නොහැක. එච්. බී. හේරත් සහෝදරයා නුවරඑළියේ සිටියේය. විශේෂයෙන් තමන් භාරව සිටින දිස්ති‍්‍රක්කවලට නුදුරුව ඔවුහු විසූහ. කොහි සිටියත් තමන්ගේ ආරක්ෂක ප‍්‍රතිපත්තිය සියල්ලෝ රැුක ගත්හ. සති දෙකකට වරක් දේශපාලන මණ්ඩල රැුස්වීම්වලට ඒ සා දුර ඔවුහු පැමිණියහ.


මේ අතර සිරි අයියාට පැවරුණු විශේෂ රාජකාරියක් විය. දේශපාලන මණ්ඩලයේ රැුස්වීම්වලට අමතරව විජේවීර සහෝදරයාගේ පවුලේ කටයුතු සොයා බැලීම හා ඊට මැදිහත් වීම එම වගකීම විය. මේ නිසා හෝමාගම සිටියත් සිරි අයියා හැමවිටම තම නායකයාගේ ගෙදරට ගියේය.


දේශපාලන මණ්ඩල සාකච්ඡුාවලින් මෙය සිරි අයියාට පැවරුණක් නිසා විජේවීර සහෝදරයා වල්හපුතැන්නේ සිටියත් ලෙවුවෙගොඩවත්තේ සිටියත් උලපනේ හිටියත් ඔහු අවශ්‍යතාවයේදී එහි සිටියේය.


එම අවශ්‍යතා කවරේදැයි ඔබට සිතෙනු ඇත. සිරි අයියාගේ නැගණිය අත්තනායක හා විවාහ වූ බව ප‍්‍රකාශ කෙරුණු නිසා දරුවන්ගේ ලෙඩ දුක්වලදී වෛද්‍යවරු ළඟට රැුගෙන යාමට සිරි අයියාට යන්නට සිදුවිය. එදිනෙදා අවශ්‍යතාවලදී පවුල වෙනුවෙන් සමාජයේ පෙනී සිටිය යුතු තැනදී කටයුතු කළේ සිරි අයියාය.


විජේවීර සහෝදරයා අසනීප වූ විට හා විවිධ සෞඛ්‍ය පරීක්ෂණ සඳහා කොළඹ සෙන්ට‍්‍රල් රෝහලට ඔහුව කැඳවාගෙන ආවේ සෝමවංශ අමරසිංහ මහතාය. එම පරීක්ෂණ අවස්ථා ගණනාවකදීම සිදුවිණ. ඒ අනුව විජේවීර සහෝදරයාගේ වෙස් වළාගත් සමීප ඥාතියා දේශපාලන මණ්ඩල සභික සිරි අයියාය.


විජේවීර ලෙවුවෙගොඩවත්තට පැමිණි පසු මුහුණ දුන් බරපතළම අභියෝගය වූයේ පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙක් සිටීමය. මෙය වත්තට එන කාගේත් සැලකිල්ලට හේතුවක් විය. එසේම විජේවීර සහෝදරයාගේ ආරක්ෂාවට එය බලපාවිද යන කුකුසක්ද නිර්මාණය විය.


ලොකු ළමයි දෙන්නෙක් ඇයි ඉස්කෝලෙ යන්නෙ නැත්තෙ?


තේ දළු නෙළීමට එන කම්කරුවන් පවා විමසූ කාරණයක් විය. එසේ විමසන විට සිරි අයියා (රෙජිනෝල්ඞ්) කීවේ


”මේ ළමයි ලොකු මහත් වෙලා හිටියට, තවම වයස පහ වෙලා නෑ.”


ඉන් නොනැවත මේ දරුවන්ට ගුරුවරයකු ගෙදරට ගෙන්වා උගන්වන බවද ප‍්‍රකාශ කළහ.


කාලයේ හැටියට වතු හිමිකරුවකුට ගුරුවරයකු ගෙදරට ගෙන්වා ඉගැන්වීමට ශක්තියක් ආර්ථික හයියක් තිබිණ. දරුවන්ගේ ප‍්‍රශ්නය දිගටම ගෙන යා නොහැකි දෙයක් බව කාට කාටත් පැහැදිලි විය.


විජේවීර සහෝදරයා වෙනුවෙන් බොරුවක් කියනවාට වඩා දරු දෙදෙනෙක්ගේ පාසල් යාම ගැන බොරුවක් කීම පහසු නැත. මේ ගැන කළ යුත්තේ කුමක්ද? දේශපාලන මණ්ඩලයේ සාකච්ඡුා කෙරිණ.


ලෙවුවෙගොඩවත්තට නුදුරුව පාසලක් නොවීමේ ගැටලූව හමුවේ අත්තනායක පවුලේම පදිංචියට අලූතින්ම තැනක් සෙවීමට සිදුවිය. එහිදී ආරක්ෂක තත්ත්වය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දෙකටම ගැළපෙන         ”වල්හපුතැන්න” වගේම ප‍්‍රදේශයක් සෙවීම කළ යුතු විය. ඊට වඩා තදින්ම බලපෑවේ මේ වන විට රජය මුදාහැර තිබූ ප‍්‍රබල ජවිපෙ මර්දනයයි. මාසයක් දෙකක් ගත වන තුරුම ඔවුහු අලූත් තැනක් සෙවීම එක දිගට කළහ. ලෙවුවෙගොඩවත්තේ කළමනාකරුද එවැනි අලූත් වත්තක් සොයා ගැනීමට මහන්සි විය.


එහිදී වඩා සැලකිලිමත් වූ කාරණා කීපයක් විය. එකක් ජනාකීර්ණ නොවන ජනයා යම් ප‍්‍රමාණයකට ගැවසෙන තැනකි. හෙවත් සමාජයෙන් නොසැඟවුණු තැනකි. අනෙක පාසලට පයින් යන දුර ඇති නිවසකි.


වැඩි සෙවීමේ ප‍්‍රතිඵලයක් ලෙස උලපනේ සෙන්ට් මේරීස් වත්ත මිලට ගැනිණි. වල්හපුතැන්න ගෙදරත් සෙන්ට් මේරීස් වත්තත් දෙකම මිලට ගැනුණේ පක්ෂයේ කි‍්‍රයාකාරීන් දෙපළගේ නමටය.


‘ඒ අය කවුද’ මම සිරි අයියාගෙන් විමසීමි. 


‘ඒ නම් පත්තරේට දාන්න අවශ්‍ය නෑ’ කියමින් සිරි අයියා ඔවුන් ගැන කියයි. ඒ දෙපළම දැනට ජීවත්ව සිටින දෙදෙනෙකි.


මෙම ලිපි පෙළ තුළ වතු කළමනාකරු, වෛද්‍යවරු ආදී වශයෙන් නම් රාශියක් ප‍්‍රකාශ නොකරන අතර ඔවුන්ගේ පුද්ගලිකත්වය සලකා එසේ කරන බව කාරුණිකව සලකන්න.


රෝහණ විජේවීර සහෝදරයා රජයේ අත්අඩංගුවට පත්වූයේ මේ උලපනේ නිවසේ නොවැ. 12 වැනිදා රාති‍්‍රය ගෙවීමට සූදානමින් සිටි මොහොතේය.

2

 

m