බටහිරට අභියෝගයක් කළ හැකි, ශක්තිමත් නායකයා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. බටහිරට ගැති නැති බොහෝ දෙනාට පුටින් වීරයකු වන්නේ එබැවිනි. පුටින් රුසියාවේ බලයට පත් වී, දශක දෙකකට වැඩිය. එම කාලය තුළ ඔහුට ‘අභියෝගයක්’ කළ හැකි ජගතකු සිටියේ නැත. මේ වනතුරු සිටියේද නැත.
යුක්රේනයට පහර දෙන්න එපා යැයි ඇමෙරිකාව තර්ජනය කරද්දී, පුටින් එය ගණන් ගත්තේ නැත. 2022 වසරේ පුටින් සිය හමුදා මෙහෙයවමින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේය. රුසියන් හමුදා යුක්රේනයේ නැගෙනහිර පළාත් සහ නගර රැසක් අත්පත් කර ගත්තේ ඒ අනුවය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පුටින්ටත් රුසියන් රජයටත් සම්බාධක පැනැවීය. යුක්රේනය දින කීපයකින් අල්ලා ගන්නවා යැයි පුරසාරම් දෙඩුවත්, රුසියාවට තවමත් යුක්රේනය අල්ලා ගැනීමට හැකි වී නැත.
පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදා ආරම්භ වුණු යුක්රේන යුද්ධය වසරකට වැඩි කාලයක් දිග් ගැස්සෙද්දී, දශක දෙකක් තිස්සේ බලයේ සිටින ඒ ශක්තිමත් නායකයාට ‘අතුල් පහරක්’ එල්ල විය. මිතුරන්ට වඩා සතුරන් ළඟින් තබා ගැනීම නුවණට හුරු යැයි බටහිර කියමනක් ඇත. ජනපති පුටින් ද එය හොඳින් දන්නවා ඇත. ඒත් සතුරන්ට වඩා භයානක තමන් අසල සිටින තම මිතුරන් බව පුටින්ට පසක් කර දීම, ඒ ‘අතුල් පහර’ සමත් වූවා නිසැකය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අභියෝගයක් එල්ල වූයේ 62 හැවිරිදි යෙව්ගනි ප්‍රිගෝජින්ගෙනි. ප්‍රිගෝජින්, 1961 වසරේ රුසියාවේ උපත ලබා ඇත. ඔහු පුටින් හඳුනන්නේ 90 දශකයේ සිටය. ප්‍රිගෝජින්, රුසියාවේ කැපී පෙනෙන චරිතයකි. ඔහු වඩාත් කතාබහට ලක් වූයේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමඟය. ජනාධිපති පුටින් සහ ප්‍රිගෝජින් දෙදෙනාගේ උපන් නගරය ශාන්ත පීටර්ස්බර්ග් (අතීතයේ ලෙනින්ග්‍රැඩ්) ය. ප්‍රිගෝජින් යහපත් චරිතයක් නොවෙයි. පොලිස් පොතේ ඔහුගේ නම සටහන් වී තිබේ.
ප්‍රිගෝජින්, පළමුවෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වූයේ 1979 දීය. එදා ඔහුගේ වයස අවුරුදු 18 කි. ප්‍රිගෝජින්, සොකරමකට වරදකරු විය. වසර දෙකහමාරක සිරදඬුවමක් හිමිවිය. හිරෙන් නිදහස් වී පැමිණ වසර දෙකක් යද්දී හොරකම් චෝදනා සම්බන්ධයෙන් තවත් වසර 9 ක් හිරබත් කෑවේය.
යළි හිරෙන් නිදහස් වූ ප්‍රිගෝජින් ‘හොට්ඩෝග්’ අලෙවිසැලක් ආරම්භ කළේය. එය සාර්ථක විය. පසුව ප්‍රිගෝජින්, ‘හොට්-ඩෝග්’ අලෙවිසැල් ජාලයක් ද ඇරැඹුවේය. සාර්ථකත්වයෙන් ඉහළට යද්දී ප්‍රිගෝජින්, ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුඛෝපබෝගී අවන්හලක් ද විවෘත කළේය. එම අවන්හල හරහා ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රභූ පැලැන්තිය ඇසුරු කිරීමට ඔහු සමත් විය.
අවන්හල හරහා ප්‍රිගෝජින් ආහාර සැපැයුම් සේවාවක් ද ආරම්භ කළේය. රුසියන් රජය හා සම්බන්ධකම් ඇති කර ගත්තේය. රජයේ කොන්ත්‍රාත් ඔහුට හිමිවිය. ‘පුටින්ගේ කෝකියා’ යන නමින් ප්‍රිගෝජින් හැඳින්විය. ඒ, පුටින් සහ ප්‍රිගෝජින් අතරේ සමීප මිතුදම් හේතුවෙනි. ආහාර ක්ෂේත්‍රයට අමතරව, මාධ්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රිගෝජින් සම්බන්ධ විය.
ඔහු අන්තර්ජාල සේවා සැපැයීම ද කළේය. 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියානුවන් බලපෑම් කළේ යැයි චෝදනා එල්ල විය. රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ මෙම ජනාධිපතිවරණයෙනි. එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙද්දී, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළේ යැයි චෝදනා එල්ල වූ අන්තර්ජාල සේවා සැපැයුම් සමාගම ප්‍රිගෝජින්ට අයත් බව අනාවරණය වී තිබේ.
‘වැග්නර්’ රුසියන් කුලී හේවා බලඇණිය 62 හැවිරිදි ප්‍රිගෝජින් යටතේ පවතින බව අනාවරණය වූයේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින ඔඩුදුවද්දීය. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ සහාය හිමිවුණු බවත්, ‘වැග්නර්’ බලඇණිය රුසියන් හමුදාවේ අතිරේක බලඇණියක් බවත් ඒ අනුව අනාවරණය විය. මධ්‍යම අප්‍රිකාවේ, මාලි රටේ මෙන්ම ලිබියාවේ ද මානව හිමිකම් උල්ලංඝනය කළ බවටත්, අමුඅමුවේ ඝාතන සිදු කළ බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘වැග්නර්’ කුලී හේවායන්ට චෝදනා නගා ඇත.
ප්‍රිගෝජින්ගේ පෞද්ගලික කුලී හේවා බලඇණිය, රුසියන් ජනාධිපති පුටින් සමඟ මෙන්ම රුසියන් හමුදා ප්‍රධානීන් සමඟ විරසක වී, කැරැල්ලක් ආරම්භ කළේ පසුගිය 24 වැනිදා දිනයේය. පැය 24 ක් ගතවීමටත් පෙර එය අවසන් වුවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයක් කර තිබුණි. පුටින්ගේ ප්‍රතිරූපයට හානි සිදුවී තිබුණි.
පසුගිය 23 වැනිදා ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේය. ඒ, හමුදා ප්‍රධානීන්, හිතාමතාම, තම ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් බොහෝ දෙනකු මියගියේ යැයි ප්‍රිගෝජින් පවසා තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැති සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රිගෝජින් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි.
ඒ අනුව, යුක්රේනයේ සිටි ප්‍රිගෝජින් සහ ඔහුගේ කුලී හේවායෝ දේශසීමා හරහා දකුණු රුසියාවේ රොස්ටෝව් වොන් ඩොන් නගරයට පැමිණියහ. පසුගිය සිකුරාදා (23) ඔවුන් රොස්ටෝ-වොන්-ඩොන් නගරයේ හමුදා මූලස්ථානයක් ද අත්පත් කර ගත්තේය. ඉන්පසු ප්‍රිගෝජින්, සිය බලඇණිය රුසියාවේ මොස්කව් අගනුවර දක්වා මෙහෙයවීමට පටන් ගත්තේ තවත් කුඩා රුසියන් නගර කීපයක් ද අත්පත් කර ගනිමිනි.
ප්‍රිගෝජින් ප්‍රමුඛ ‘වැග්නර්’ සාමාජිකයන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත්, රුසියාවේ බලය අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ ගන්නා බවත් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් ආරක්ෂක කවුන්සිල නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙඞ්වදේව් දොස් නඟන්නට විය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසුවේ ‘වැග්නර්’ බලඇණිය, රුසියාවටත් රුසියානුවන්ටත් ද්‍රෝහි වූ බවය.
පසුගිය 25 වැනිදා වනවිට ‘වැග්නර්’ බලඇණිය සිටියේ මොස්කව් අගනුවරින් කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ප්‍රිගෝජින් හදිසියේ නිවේදනයක් නිකුත් කරමින් කීවේ, තමන් හෝ තම සාමාජිකයන් හෝ මොස්කව් බලා යන්නේ නැති බවත්, තමන් සහ පිරිස සදහටම රුසියාවෙන් පිටුවහල් වී අසල්වැසි බෙලරූස් රාජ්‍යය බලා යන බවත්ය.
රුසියන් වැසියන් ගැන සිතා ලේ වැගිරීමකට ඉඩක් නොතබා තමන් එම තීරණය ගත් බව ද ප්‍රිගෝජින් පැහැදිලි කළේය. තමන් රුසියන් රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ නොකළ බවත්, තමන්, තම හමුදා මොස්කව් අගනුවරට මෙහෙය වීමට උත්සාහ කළේ සිදුවුණු අසාධාරණයට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් බවත් ප්‍රිගෝජින් පෙන්වා දුන්නේය.
- ලුසිත ජයමාන්න