“ කටවල් දෙකේ ” දරුවාට එක කටක් දුන් සැත්කම


  5  

 

මවත් පියාත් තම දෙකකුල් ගෙවෙන තුරු ඇවිද ගියහ. අතේ ඇති පිච්චිය වියදම් කරමින් වෛද්‍යවරු සොයා ගියහ. ඒ තම දරුවාගේ මුහුණේ ඇති විකෘතිය ප්‍රකෘති කර ගැනීමේ අදිටනෙනි. දරුවා උපත ලැබූ දින පටන් තමන්ට එරුණු කිරී දරුවාගේ බඩට බටයකින් ඇතුළු කළ මේ මව විඳි සිත්වේදනා අපමණය.
ඔවුහු අවසානයේ ගාල්ල නගරයෙන් කරාපිටියට ධාවනය වන බසයකට නැගුණේ කිසිදු හව් හරණක් නොලැබූ බැවිනි. අඩ හෝරාවකට පමණ පසු කරාපිටියට ආ බසයේ කොන්fදාස්තරගේ මග පෙන්වීමෙන් මේ මවත් පියාත් තම දරුවා වඩාගෙන කරාපිටිය රෝහලට පිය මනිති. දරුවා දකින සැවොම ආපසු හැරි හැරී බලති. දරුවාගේ මුහුණේ කටවල් දෙකක් ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. 

 

2
කරාපිටිය රෝහලේ සේවිකාවකගෙන් ලැබුණු උපදෙස් අනුව ඔවුහු එදින පැවති මුඛ, හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය සායනයට යොමු වූහ. වෛද්‍යවරු දරුවා පරීක්ෂා කළහ. 


“ මේ දරුවගේ මුහුණ හදන්න පුළුවන්. කැමති ද සැත්කමක් කරන්න.” වෛද්‍යවරයකු දෙමාපියන්ගෙන් ඇසුවේ තමන් ඉදිරියේ සිටින දරුවාගේ හිස අතගාමිනි. 


“ අනේ මහත්තයෝ ලංකාවේ තියෙන ලොකු ලොකු ඉස්පිරිතාල ඔක්කෝටම ගියා. හැමෝම කිව්වේ මේ දරුවාගේ මූණ හදන්න බැහැ කියලා. පුළුවන් දෙයක් කරල දෙන්න මහත්තයෝ. බුදු බව අත්වෙයි. කීයක් විතර යයිද ?”


“ නෑ..... කීයක්වත් යන්නෙ නැහැ. අපි සම්පූර්ණයෙන් ම මේ ඉස්පිරිතාලේ තමයි සැත්කම කරන්නේ.”


දෙමාපියන්ට සතුට නිම්හිම් නැත. තම ඉරණම විසඳෙන ආකාරය නොදන්නා දරුවා වෛද්‍යවරයාගේ අතේ ඇති වෙදනලාවට කුරුමානම් අල්ලයි. ඒ ජනවාරි මස 22 දිනයයි. දරුවාගේ සැත්කමට අවශ්‍ය පරික්ෂණ කිහිපයක් සිදු කැරිණි. දෙමාපියන් සිතුවාටත් වඩා කඩිනමින් සැත්කමට අවශ්‍ය දින නියම කැරිණි. සැත්කම ජනවාරි මස 29 වැනි දින සිදුකිරිමට නියමිතය. 

1


දෙමාපියෝ බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිති. මුහුණ විකෘති වී ඉපදීම හේතුවෙන් මේ දරුවාට තම මවගෙන් කිරි උරාබීමට පවා හැකියාවක් තිබුණේ නැත. බටයක් දමා මව්කිරි ඇතුළු ආහාර සියල්ල උදරයට ම ඇතුළු කරමින් තිබිණි.


දරුවාගේ මුහුණ සාමාන්‍ය මිනිස් මුහුණක තත්ත්වයට පත්කිරීමේ වගකීම භාර ගන්නා ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී. කේ. ඩයස් මහතාය. ඔහුගේ ඒකකයේ අනෙක් වෛද්‍යවරු ද, කාර්ය මණ්ඩලය ද එයට මහත් උනන්දුවකින් හා උද්යෝගයකින් එක්ව සිටියහ. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය මේ දරුවා ශල්‍ය කර්මය සඳහා නිර්වින්දනය කළාය. වෛද්‍යවරු පවසන්නේ දරුවාගේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවයි. මුහුණේ වම් පැත්තේ උඩ හනු අස්ථිය එකිනෙක බද්ධ වී තිබූ බවත් වම් ඇහැත් කටත් අතර ඉඩක් නොතිබූ බවත් වෛද්‍යවරු පවසති. දරුවාගේ එක් කනක් පිහිටා තිබුනේ ද විකෘති ආකාරයෙනි. 


විකෘතිය ප්‍රකෘති කිරීම සඳහා පැය හයක ශල්‍ය කර්මයක් සිදුකැරිණි. එය සිදුකළ වෛද්‍ය ඩයස් මහතා පවසන්නේ සැත්කම මගින් මුහුණේ මෘදු පටක හා පේශි යළි සකසා විකෘතිතාව සැකසූ බවයි. 

22


“මේ දරුවාගේ උඩ හනුවේ විකෘතිය නිසා මේ තත්ත්වය ඇති වී තිබුණා. උඩ හනුව දකුණු පැත්තෙන් අර්ධ වශයෙන් දෙකට බෙදී තිබුණා. ඒ වගේ ම වම් පැත්තෙන් උඩ හනුව හා අක්ෂි කුහරය එකිනෙකට බද්ධවෙලා තිබුණේ. මේ විකෘතිතාව අස්ථි වෙනස් කර යළි සකසන්න දරුවා මීට වඩා වැඩීම අවශ්‍යයි. නමුත් දරුවාට ආහාර ගැනීමේ අපහසුතාව නිසා අපි දරුවාගේ මුහුණේ මෘදු පටක හා පේශි විකසනය කරලා විකෘතිතාව නැති කළා. ඉදිරියේ දී මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට ගැනීමට තවත් ශල්‍යකර්ම දෙකක් පමණ කරන්න සිදුවනවා.”


සැත්කමින් පසු කරාපිටිය රෝහළේ ළමා දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි දරුවා මේ ලිපිය ලියන බ්‍රහස්පතින්දා වනවිට කරාපිටිය රෝහලේ 24 වාට්ටුවට යොමු කර තිබිණි.  ඉදිරියේ දී සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකිවන බවත් වෛද්‍යවරු කියති. 


දරුවාගේ දෙමාපියන් ජීවත් වූයේ ඇඹිලිපිටියේය. ඔවුන් දෙදෙනාගේ පවුලේ දෙවැනි දරුවා ලෙස මෙ විකෘතිය සහිත විශ්මිත ලක්ෂාන් උපත ලැබුවේය. ඔවුහු සාමාන්‍ය පවුලකය. තම දරුවාගේ සැත්කම ගැන අදහස් දැක්වූ පියා ආර්. රුවන් කුමාර මහතා (32) මෙසේ කිවේය. 


“ අපි දුප්පත් මිනිස්සු මහත්තයෝ ගෙවල් fදාරවල්වල තීන්ත ගාලා කීයක් හරි හොයාගෙන මම ජීවත් වෙන්නේ. මේ අපේ දෙවැනි දරුවා. දරුවා උපන් දවසේ ඉදලා අපිට හරියට ලෝකය කඩා වැටුණා වගේ හිටියේ. නමුත් දැන් පුදුම සතුටක්. මේ රෝහලේ වෛද්‍යවරුත් කාර්ය මණ්ඩලයත් දෙවිවරු වගේ අපිට උදව් කළා. දැන් දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. අපිට හරිම සතුටුයි. ”


අමාලි සඳරේකා (27) දරුවාගේ මවයි. ඇය ද දැන් ඉන්නේ මහත් සතුටකිනි. ඔවුන් දෙපළ කරාපිටිය රෝහලට නොසෑහෙන්න පින් දෙති. මේ සැත්කම සිදුකිරීමෙන් දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී තවත් එවැනිම සැත්කමක් සිදුකර තිබිණි. පෙර සැත්කම තරම් බරපතල නොවූව ද ඒ දරුවගේ මුහුණ ද දැඩි ලෙස විකෘති වි උපත ලබා ඇත. ඒ දරුවාගේ මා පියන් ඇල්පිටියේය.


වෛද්‍ය ඩී. කේ. ඩයස් මහතා පවසන්නේ මෙවැනි විකෘති ඇති දරුවන් බිහිවන්නේ ඉතා කලාතුරකින් බවයි. ශ්‍රී ලංකාවේ දරු උපත් දහසකින් එක් අයකු පමණ මේ ආකාරයේ විකෘති සහිතව උපත ලබන බව වෛද්‍ය ඩයස් මහතා කීවේය. 


“ විදලිත තොල් කියා උඩුතොල ඉස්සී විකෘතිවන තත්ත්වයක් තිබෙනවා. දරු උපත් 500 ක් අතරින් එක් අයකුට පමණ මේ තත්ත්වය තිබුණත්. අස්ථි හරිහැටි වර්ධනය නොවීමෙන් හෝ විකෘති වීමෙන් ඇතිවන මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ ඊටත් වඩා කලාතුරකින්.


වෛද්‍යවරු පවසන්නේ ගැබ් කාලයේ දී සිදුවන සංකූලතා හේතුවෙන් දරු කළලය වැඩීමේ වෙනස් කම් මෙවැනි තත්ත්වයකට හේතුවන බවයි. තවද පරම්පරාවෙන් එන ලක්ෂණයක් ලෙස මෙය ඇතිවිය හැකි බව ද මවගේ හා පියාගේ ජාන එකතුවීමේ දී ඇතිවන විකෘතිතා හේතුවෙන් ද මෙවැනි ගැටළු හටගන්නා බව ද වෛද්‍යවරු කියති. තදින් මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට දාව උපත ලබන දරුවන් ද වයස්ගත වූ දෙමාපියන්ට උපත ලබන දරුවන් ද මෙවැනි විකෘති තත්ත්වයට පත්විමේ අවදානමක් සහිත බව වෛද්‍ය මතයයි.

m