අපේක්ෂාවේ කුලුනක් : කරුණාවේ ආදර්ශයක්


මාර්ටින් ලු‍තර් කිං (කනිටු) විසින් 1963 අගෝස්තු මස 28 වැනි දින පවත්වන ලද “I have a Dream” (මට සිහිනයක් තිබේ)  නමැති ලෝක ප්‍රසිද්ධ දේශනය මෙම ලිපිය ලිවීමේ දී තීරණාත්මක ලෙස බලපා ඇති බව සඳහන් කරනුයේ, ඔහුට පමණක් නොව, මානව ශිෂ්ටාචාර පද්ධති වෙනස් කිරීමට අහිංසාවාදී නැතහොත් නිර්-ප්‍රචණ්ඩ විධික්‍රම උපයෝගී කරගත් නියමුවන්ට සහ සමාජ ව්‍යාපාරවලට ගෞරව කිරීමේ අදහසිනි.

ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී වසර හැත්තෑ හතරකි. එහෙත් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන ජනයා මේ වන විටත් ගෙවනුයේ නිදහසක් ගෞරවයක් සහ සතුටක් නැති ජීවිත ය. නිදහස ලැබුණා යැයි කියන 1948 සිට මේ වන විට වසර හැත්තෑ හතරක් ගෙවී ගිය ද මෙරට ජනයා තවමත් නිදහස් නැත. බොහෝ පිරිසක් ගෙවා දමනුයේ දිළිඳු දුක්ඛිත සහ පීඩාකාරී ජීවිත ය. මේ වනවිට පාලක පරිපාලක ව්‍යාපාරික සුළු පිරිසක් හැර අනෙකුත් සියලු‍ම දෙනා සිටිනුයේ ආතතිමය මානසිකත්වයක ය. කායික මෙන් ම මානසික පීඩාවල අවසානයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් හෝ බලාපොරොත්තුවක සේයාවක්වත් නැත. අනේක විධ පීඩාවෙන් එනම්, මළ මුත්‍ර පිට කිරීමට පවා තැනක් අවස්ථාවක් නොමැතිව පෙලෙන මිනිසුන් භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල සහ ඉන් පිටත මිය ඇදෙද්දී කම්පනයෙන් පීඩාවෙන් අගහිඟකමින් සාගින්නෙන් පෙලෙන ජනයා තැන නොතැන මිලිටරි සහ පොලිස් ප්‍රහාරවලට ලක්වන දෘශ්‍ය නිශ්චල රූප සහ වීඩියෝ ප්‍රධාන දහරාවේ මාධ්‍යවලත් සමාජ මාධ්‍යවලත් හිඟ නැත. දිනක් දෙකක් වයසැති තම කිරිකැටි දරුවා තුරුලු කරගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් පිටවන මවුවරුන් පැය ගණන් බස් පෝලිම්වල හිටගෙන සිටින දර්ශන ද ඒ දසුන් අතර දැකිය හැකිය. 

මෙරට පාලකයන් සහ පරිපාලකයන්ගේ වගකීම් අතර රටෙහි ජනයාට පරිපූර්ණ ජීවිත නිදහස සහ සතුට ලබා දීම ප්‍රමුඛ විය යුතු ය. මන්ද පාලකයන් සහ පරිපාලකයන් ජන සමාජය මත යැපෙනුයේ එකී වගකීම් ඉටුකිරීමේ කොන්දේසි සම්පූර්ණ කිරීමට මිස හුදු ඔවුන්ගේ ජීවිත නිදහස සහ සතුට පරිපූර්ණ කර ගැනීමට පමණක් නොවිය යුතු නිසා ය. එහෙත් මෙරට පාලකයන් සහ පරිපාලකයන් ජනතාව මත යැපෙමින් ජීවිත නිදහස සහ සතුට පිළිබඳව මැතිවරණවල දී කලින් කලට සහ නිතර ජනතාවට ලබා දී ඇත්තේ මුදල් බවට පරිවර්තනය කළ නො හැකි පොරොන්දු චෙක්පත් ය. මෙරට ජනයාගේ ජීවිත නිදහස සහ සතුට නමින් වූ ගිණුම් තුන ම හිස් ය. ඒවායේ තිබූ දෑ පාලක පරිපාලක සහ ව්‍යාපාරික සුළු පිරිසක් විසින් සොරකම් කරගෙන ඇත. එහෙත් ගිණුමට අදාළ චෙක්පත් මුදල් කර ගැනීම කිසි දා ඉටු නොවන බලාපොරොත්තුවක් බවත්  එය මුළාවක් ම බවත් ජනතාව දැන් වටහාගෙන සිටින බවට යම් යම් සලකුණු ඇත.

රටේ පවතින අර්බුදයේ මුල දේශපාලන අර්බුදයකි. අද මතු වී ඇති ආර්ථික අර්බුදය අනිවාර්යයෙන්ම ඒ දේශපාලන අර්බුදයේ  ප්‍රතිඵලයකි. දශක ගණනාවක් තිස්සේ මෙරට දේශපාලනය යැයි කියා පාලකයන් නඩත්තු කළේ තම පෞද්ගලික සහ පවුල්වල බල අරගලය සහ තරඟය ය. මේ මොහොතේ පාලකයන් කොතරම් උත්සාහ ගත්තත් ඒ අරගලය සහ තරඟය අර්බුදයට ලක් වී ඇත. ඒ අනුව මෙරට දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයට වඩා අතිශයින් ම නරක තැනකට ඇදවැටී ඇත. මහජන විශ්වාසය දිනාගත හැකි පක්ෂ නැත, දේශපාලන සංවිධාන ද නැත, කණ්ඩායම් ද නැත, පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාර ද නැත, නායකයන් ද නැත.

එසේම රටේ අර්බුදයට විසඳුම් සෙවීමේදී වඩාත් තීරණාත්මක වන මූලෝපායික දේශපාලන නියමුවන්ද නැත, සිටින අයට ජාතික හෘදසාක්ෂියක් සහ ජාතික එකමුතුවක් ගැන හැඟීමක් නැත. මේ නිසා මෙය දේශපාලන අර්බුදයකින් එහාට ගිය බලපතළ ආණ්ඩුකරණ අර්බුදයක් බවට පත් වී ඇත. මා ඉහත බලාපොරොත්තුවක සේයාවක්වත් නැත කීවේ ඒ නිසා ය.

නිදහසට කිසිදු කරුණු පැහැදිලි කිරීමක් කළ නොහැකි තැනකට පොදු සමාජය තුළ කිසිදු විශ්වාසයක් ගොඩනැගිය නොහැකි තැනකට පාලකයන් සහ පරිපාලකයන් ඇද වැටී ඇතත් විවිධ උපාය යොදා ගනිමින් නැවත බලය පිහිටුවීමට මේ දෙකොටස දරන උත්සාහය නැවතී නැත. තම අරමුණු සාධනය සඳහා වූ එම උපාය එක්කෝ කපටි සූක්ෂ්ම සහ සැඟවුණු ඒවා විය හැකිය. නැතහොත්  වක්‍ර සහ එළිපිට මර්දනය සහ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම විය හැකිය. අසරණ සහ කම්පිත ජනයාට එරෙහිව තැනින් තැන සිදුවන මිලිටරි සහ පොලිස් පහර දීම් ඊට නිදසුන් ය.

එහෙත් ජීවිතය නිදහස සතුට සාධාරණත්වය සහිත ක්ෂේම භූමියකට යාමට බලාපොරොත්තුවන සැරසෙන වෙහෙසෙන මගේ රටේ ජනතාවට කිව යුතු දෙයක් ඇත. එනම් අපට  නිසිතැන සහ නිසි දෑ ලබාගැනීමේ ක්‍රියාවලියේදී අප වැරදි ක්‍රියාවල වරදකරුවන් නොවිය යුතුය. “තිත්ත වෛරය නමැති කෝප්පයෙන්  බී නිදහසේ  පිපාසය සංසිඳුවා ගැනීමට උත්සාහ නොකරමු” පීඩකයන්ගේ උපක්‍රම මනාව හඳුනාගන්නවා මිස අප ඒවා අනුකරණය කිරීමට උත්සාහ නො කළ යුතුය. මන්ද ඒ උපක්‍රම වඩාත් සූක්ෂ්මව සහ උපායික ලෙස පාවිච්චි කිරීමට දන්නේ ඔවුන් මිස අප නොවන නිසා ය. එසේම එවැනි සාහසික උපක්‍රම ඔවුන්ගේ සාහසිකත්වයේ සහ නරුමත්වයේ සංකේත මිස පොදුජන සමාජයට අයත් ඒවා නොවේ. අප අනුගමනය කළ යුත්තේ වඩාත් අහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ය. පාලක පරිපාලක පීඩකයන් සසල වන්නේ සහ බිය වන්නේ එවැනි පොදු ජන උපක්‍රමවලට ය. පොදුජන ව්‍යාපාර විසින් පීඩකයන්ගේ ප්‍රචණ්ඩ උපක්‍රම ම ඔවුනට එරෙහිව අනුගමනය කරනවාට පීඩකයන් ඉතා කැමතිය. මන්ද එවිට ඒවා මර්දනය කිරීම ඔවුන්ට ලෙහෙසි පහසු වන නිසා ය. එම මර්දන ක්‍රියාමාර්ගවලට යුක්තියුක්තතාවක් ලැබෙන  නිසා ය.

එහෙත් අහිංසාවාදී එනම්, නිර්-ප්‍රචණ්ඩ පොදුජන සමාජ දේශපාලන උපායමාර්ග මර්දනය කිරීම පාලක-පරිපාලක පීඩකයන්ට සහ ඔවුන්ගේ නිල නොනිල මර්දන යාන්ත්‍රණවලට ලෙහෙසි නැත. මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං සහ නෙල්සන් මැන්ඩෙලා අපට කියා දී ඇති අනර්ඝ පාඩම එය ය. අප ඉන් ඉගෙන ගත යුතු ය. නිර්-ප්‍රචණ්ඩ විරෝධතා සහ අරගලවල ඇති සුවිශේෂී වැදගත්කම මතු කිරීමට මම කැමතිය. එවැනි විරෝධතා සහ අරගල ජයග්‍රහණය තෙක් ගෙනයාමට අවශ්‍ය ජනයා සතු සදාචාරාත්මක ආවේග සහ හැඟීම් ගබඩා අවසානය. එනම්, අරමුණ ඉටුවන තෙක් සිඳීයන්නේ නැත. පාලක-පරිපාලක පීඩකයන්ගේ එක උපක්‍රමයක් වනුයේ පොදු ජනයාගේ එම සදාචාරාත්මක ගබඩා විනාශ කොට පොදුජන ව්‍යාපාර දුර්වල කිරීමය. ඒ අනුව පොදුජන සමාජ ව්‍යාපාර ප්‍රචණ්ඩ උපක්‍රම භාවිතා කරනවාට පීඩකයන් අතිශයින්ම කැමති වන්නේ ප්‍රචණ්ඩ පොදුජන ව්‍යාපාරයක ආයුෂ නිර්-ප්‍රචණ්ඩ පොදුජන අරගල ව්‍යාපාරයකට වඩා අතිශයින්ම කෙටි වන නිසා ය. පොදුජන ව්‍යාපාරවල ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අරගලකාරී පොදුජන ආවේගශීලී මානසිකත්වය තුනී වන බව පීඩකයන් දන්නා නිසා ය. ඉන්පසු පොදුජන අරගලකාරී මානසිකත්වය පුනර්ජීවනය කිරීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසා ය. එබැවින් පොදුජන සමාජ දේශපාලන ව්‍යාපාර ප්‍රචණ්ඩ වනවාට පාලක-පරිපාලක පීඩකයන් ඉතා කැමතිය. ජනයා එම උගුලේ නො වැටිය යුතු ය යන්න මගේ යෝජනාවය. මඳකට අපි මාටින් ලූතර් කිං දෙසට හැරෙමු. ඔහුගේ “I have a dream” දේශනයේ මේ කොටස කියවමු.

“අපි අපේ අරගලය සදාකාලිකවම ගෞරවාන්විත හා විනය නමැති ඉහළ තලයේ පවත්වාගෙන ගෙන යා යුතුය. අප ගේ නිර්මාණාත්මක විරෝධය භෞතික ප්‍රචණ්ඩත්වය දක්වා පිරිහීමට ඉඩ නොදිය යුතුය. නැවත නැවතත්, ආත්ම බලය සමඟ භෞතික බලය හමුවීමේ  උත්කෘෂ්ට උච්චස්ථානයට අප නැගී සිටිය යුතුය. නීග්‍රෝ ප්‍රජාව වසාගෙන ඇති පුදුමාකාර නව සටන්කාමීත්වය සියලු‍ සුදු ජාතිකයන් කෙරෙහි අවිශ්වාසයකට අප යොමු නොකළ යුතුය. මන්ද අපගේ බොහෝ සුදු සහෝදරයන්, අද මෙහි පැමිණීමෙන් පෙන්නුම් කරන පරිදි, ඔවුන්ගේ ඉරණම අපගේ ඉරණම සමඟ බැඳී ඇති බව වටහාගෙන ඇත”.

ඇත්ත, අප දන්නා ඉතිහාසය පුරා මේ රටේ පාලකයන් සහ පරිපාලකයන් පොදුජනයාට ලබාදුන්නේ ගෞරවනීය ජීවිත, නිදහස සහ සතුට නොවේය. ඔවුන් ඒවා ඔවුන්ට, සිය පවුල්වලට සහ සහචරයන්ට ලියාගත්තේය. පොදුජනයාට හැමදාම ලැබුණේ බඩු මිල ඉහළ දැමීම, ගාස්තු ඉහළ දැමීම, සෞඛ්‍යය, අධ්‍යාපනය, ගමනාගමනය වැනි සුබසාධන කටයුතු කප්පාදුකොට එකී අංශ වෙළඳපොළ ග්‍රහණයටම නතුකිරීම, ජීවන මට්ටම් පහළ දමමින් ජීවන වියදම් ඉහළ දැමීම, පොදු ඉඩම් සම්පත් දේපොළ කොල්ලකෑම, රැකී රක්ෂා අහිමි කිරීම සහ පැහැර ගැනීම, පහර දීම්, දේපොළ විනාශ කිරීම්, ඝාතන සහ අතුරුදහන් කිරීම, රාජ්‍ය ධනය සොරකම් කිරීම හරහා ජන ජීවිත සිඟමනට ඇද දැමීම වැනි පීඩා පමණක්මය.         

එහෙත් අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වේ. එනම්, පීඩාවලට එරෙහි අරගල නිසා පීඩිත පොදු ජනයා තව තවත් පීඩාවට පත් නොකර සිටීමට අප වගබලා ගත යුතු ය යන්න ඒ කරුණ ය. මේ මොහොතේ අධික මිල ගණන්වලින්, ආහාර හිඟයෙන්, ආහාරවල මිල නොකඩවා ඉහළ යාමෙන්, සාගින්නෙන්, මන්ද පෝෂණයෙන්, බෙහෙත් නැතිකමින්, යාම් ඊම් ඇනහිටීමෙන්, හිතමිතුරු ඥාති සබඳතා බිඳවැටීමෙන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමෙන්, ගොවීන්ට ගොවිතැන සහ ධීවරයන්ට ධීවර රස්සාව අහිමි වීමෙන්, දෛනික රස්සා සහ කුලී වැඩ අහිමි වීමෙන්, ඉන්ධන ගාස්තු ඉහළ යෑමෙන්, වතුර ලයිට් ටෙලිෆෝන් බස් දුම්රිය ත්‍රීවීල් ගාස්තු ඉහළ යෑමෙන්, පෝලිම්වල දින තුනහතර සිටියත් ඉන්ධන නො ලැබීමෙන් සහ පෝලිම්වල තම සහෝදර ජනයා මිය යනු දැකීමෙන් එමෙන්ම පාලකයන් සහ පරිපාලකයන් පොදුජනයාගේ මුදල්, භූමිය සහ ආයතන සොරකම් කර ඇති සහ අවභාවිත කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් යනාදී වශයෙන් වූ දෑ නිසා අති දරුණු මානසික ආතතියකින් අසහනයකින් සහ කායික මානසික පීඩාවකින් පෙළෙන ජනයා කිසිදු ආකාරයකින් පීඩාවට ලක් නොකිරීමට පොදුජන විරෝධතා සහ අරගල හැකි උපරිමයෙන් පරිස්සම් විය යුතු ය යන්න මගේ අදහස ය.

පොදුජන අරගල සහ විරෝධතා ව්‍යාපාරවල විසිරුණු ශක්තිය සහ අවිධිමත් ක්‍රියාකාරිත්වය සහ අවිධිමත් සහ නොහික්මුණු සටන්කාමීත්වය, මධ්‍යගත ශක්තියක් සහ විධිමත් ක්‍රියාකාරිත්වයක් සහ විනයානුකූල සටන්කාමීත්වයක් බවට පත්කිරීමේ සංයමයක් වගා කරගත යුතු ම ය. ඒ සඳහා වූ මාධ්‍යය විය යුත්තේ පොදුජන පීඩාවෙන් තොර පොදුජනවාදී නිර්-ප්‍රචණ්ඩ විධික්‍රම ය. ඒ ගැන අප වඩාත් ගැඹුරින් සිතමු යන්න මෙවර මගේ ‘කිවි දා දැක්මේ’ යෝජනාවය.

 

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක