එළැඹෙමින් තිබෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයයි. 2022 වසරේ මේ කාලය ගත වූයේ මුළු රටම බරපතළ කඩා වැටීමක හිරවෙමින් තිබූ තත්ත්වයකය. ඒ හිරවීම නිමා වූවා යැයි සමහරුන් සිතන්නේ රටේ ජනතාවට අවශ්‍ය මූලික භාණ්ඩ හා සේවා (ඉන්ධන, ගෑස්, විදුලිය වැනි) සාමාන්‍ය මට්ටමින් ලබාගත හැකිවීම නිසාය. විශේෂයෙන්ම රටේ මධ්‍යම පංතිය සිටින්නේ ඒ අයගේ ජීවිත ආරක්ෂා වීමට තරම් තත්ත්වයක් ගොඩ නැගී ඇති නිසා තරමක් ප්‍රීතියෙනි.
එහෙත් ආර්ථිකයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරන්නේ ඒ කියන ආකාරයේ ප්‍රීතිමත් තත්ත්වයක් නොවේ. ආර්ථික අර්බුදයකින් ආරම්භ වූ මෙම කඩා වැටීම එතැනින් නොනැවතී දේශපාලන ක්ෂේත්‍රයට ද ගමන් කරමින් තිබෙන බව මෙහි දී පෙනී යන සත්‍යයයි. මෙවර කිවිඳා දැක්මෙන් ලියන්නේ ඉදිරියේ දිග හැරෙන දේශපාලන ආර්ථික ගැටලුවේ තවත් පැති කීපයක් පිළිබඳවය.
අප්‍රේල් මාසයේ අන්තිම සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත ප්‍රධාන යෝජනා 03ක් මේ වනවිටත් සමාජයේ සාකච්ඡාවට භාජන වී ඇත. ඒවා වන්නේ (1) IMF ගිවිසුම (අවබෝධතා ලිපිය) (2) මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම්පත (3) ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත යන යෝජනාය. රටේ දේශපාලනය යළි දෙපැත්තට බෙදෙන්නට නියමිත මේ යෝජනා හරහා මෙරට දේශපාලන – ආර්ථික අර්බුදයේ තවත් වටයක් ආරම්භ විය හැකි බව මගේ නිරීක්ෂණයයි. මෙවර කිවිඳා දැක්මෙන් ලියන්නේ මේ අභියෝග 03 පිළිබඳවය.
IMF එකඟතාව
අපේ ආර්ථිකයේ කඩා වැටීම මූලික වශයෙන්ම කේන්ද්‍රගත වූයේ රටේ විදේශ මූල්‍ය සංචිත නිමාවීමේ අනතුරත් සමගය. මේ අභියෝගය බරපතළ ආකාරයෙන් මතු වූයේ 2019 ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් සමගය. කොවිඩ් වසංගතය මේ තත්ත්වය තවත් වර්ධනය කළේය. එහෙත් මෙහිදී තේරුම් ගත යුතු කාරණයක් වන්නේ විදේශ මූල්‍ය සංචිත පිළිබඳ අභියෝගය පටන් ගත්තේ ගෝඨාභයගේ ගැටලුවක් නිසා නොවන බවය. 1976 න් පසු කිසිම වර්ෂයක අපේ රටේ අපනයනයෙන් ලැබෙන විදේශ මුදල් හා අනෙකුත් සේවාවලින් ලැබෙන විදේශ මුදල්වලට වඩා ආනයනය සඳහා ගෙවන්නට සිදු වූ විදේශ මුදල් ප්‍රමාණය වැඩි විය. ඒ කියන්නේ අපි රටක් ලෙසින් උපයා ගන්නා ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරන්නට 1976 පසු හැම වර්ෂයකම සිදු වූ බවය.
මේ ගෙවුම් ශේෂ අර්බුදය පියවා ගැනීමට හැම ආණ්ඩුවක්ම කළේ ණය ගැනීමය. මේ ණය ගැනීම් අතරින් 2008 වර්ෂයේ සිට ආරම්භ වූ ස්වෛරී බැඳුම්කර ණය ගැනීම් (ISB හෙවත් International Sovereign Bond) සමගින් මේ තත්ත්වය තවත් සංකීර්ණ විය. 2008-2015 රාජපක්ෂ ආණ්ඩුව ඩොලර් බිලියන 4 ක් පමණ මේ ආකාරයේ වැඩි පොලියට ඉක්මනින් ගෙවිය යුතු ISB ණය ගත්තේය. 2015-2019 රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ඩොලර් බිලියන 10ක් පමණ ISB ණය ලබා ගත්තේය. 2019 සිට රට හිර වෙමින් ‘‘බිත්තිට හේත්තු වෙන තැනට’’ තල්ලු වූයේ මේ විදේශ මූල්‍ය ණය තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගෝඨාභය රජයට නොහැකි වූ නිසාය.
දැන් IMF එකඟතාවක් නැවතත් ලැබී ඇති අතර ඒ මගින් ආණ්ඩුවට යෝජනා කරන බරපතළ ආකාරයේ ප්‍රතිසංස්කරණ මාලාවක් ද ඉදිරිපත්වී ඇත. මේ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාව මේ මස අග භාගයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
මේ පිළිබඳව රට තුළත්, විපක්ෂයේ පක්ෂ තුළත් යම් බෙදීමක් ඇති විය හැකි බව ඉතාමත් පැහැදිලිය. සමහරුන් කියන්නේ 16 වතාවක් සහායට IMF එක ආවත් සිදු වූයේ ණය උගුලේ තවත් ගැඹුරට යාම බවයි. ඒ නිසා IMF විරෝධයක් දේශපාලන කෝණයෙන් මතුවෙමින් තිබෙන අතර ආණ්ඩුවේ අය උත්සාහ කරන්නේ IMF සහාය යනු කෝකටත් තෛලය ලෙසින් පාවිච්චි කිරීමටය. මගේ අදහස වන්නේ මේ ස්ථාවර 02 තම ගැටලු සහගත බවයි. රට වැටී තිබූ අවුලට සාපේක්ෂව IMF සහායවත් ලබා ගැනීම අනිවාර්ය වී තිබූ බව පිළිගත යුතුය. එසේම ඒ සඳහා එරෙහි වූයේ එවකට තිබූ පාලනයේ ප්‍රධානීන්ය. අනෙක් අතට IMF සහාය ලබා ගැනීමෙන් යම් ඉස්පාසුවක් ලැබුණාට රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙය වන්නට නම් ‘‘අලුතින් සිතන්නට හැකි’’ කණ්ඩායමක් රටේ වගකීම් භාරගත යුතු බව ඉතාමත් පැහැදිලිය.
ඉතාමත් නිශ්චිතව කිවහොත්, IMF කියන්නේ විසඳුම යැයි උජාරුවෙන් කියමින් පරණ අවුලටම රට තල්ලු කරන ආණ්ඩුවේ ගමන් මාර්ගය නිමා වන්නේ රට තවත් ව්‍යසනයකට තල්ලු කිරීමෙන්ය. අනෙක් අතට මේ මොහොතේ IMF සහාය ලබාගැනීමත් වැරදි යැයි කියන විපක්ෂයේ සමහර චෝදනා සේවය කරන්නේත් ප්‍රායෝගිකත්වයෙන් තොර අන්තයකටය.
ඒ නිසා IMF එකඟතාව පිළිබඳව රටේ මතය විය යුත්තේ (1) මේ අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන්නට විදේශ මූල්‍ය ශක්තියට තල්ලුවක් ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාක් ලෙසින් පිළිගැනීමත්, (2) ඉදිරි ආර්ථික ක්‍රියාමාර්ග යනු IMF න්‍යාය පත්‍රයේ දිගටම යාමේ නොව නව විකල්පීය ආර්ථික ක්‍රියාමාර්ගයක් වෙතට ගමන් කිරීමත් යන ස්ථාවර දෙක මත පිහිටීමය.
ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත IMF එකඟතාව සම්බන්ධයෙන් මගේ යෝජනාව වන්නේ එකඟ වෙමින් වෙනස් කිරීමේ ස්ථාවරයකට යාම අනිවාර්ය වන බවයි. ඒ කියන්නේ මේ මොහොතේ IMF එකඟතාවට අනුමැතිය ලබා දීමත්, ඒ න්‍යාය පත්‍රයෙන් ක්‍රමානුකූලව වෙනස්වීමත් යන ස්ථාවර දෙකම ගැනීම අනිවාර්ය වී ඇති බවයි. වෙනස් ලෙසකින් කිවහොත්, IMF එකඟතාව අනුමත නොකර ප්‍රතික්ෂේප කිරීමත් භයානකය. එයට එකඟතාව පළ කරමින් ඒ මාර්ගයේම ගමන් කිරීමත් භයානකය.
දේශපාලන වාසි තකා IMF මගේ ගමන් කිරීමත්, දේශපාලන වාසි තකා, IMF විරෝධී මගේ ගමන් කිරීමත් මේ මොහොතේ සන්ධර්භීය තේරුමෙන් (Contextual reading) වැරදි සහගතය. ‘‘එකඟ වෙමින් වෙනස්වීමේ න්‍යාය’’ත් මා යෝජනා කරන්නේ මේ නිසාය.
මහ බැංකු පනත
මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙසින් පවත්වාගෙන යාමේ තර්කය මතු වූයේ අද ඊයේ නොවේ. එහෙත් ඒ අවස්ථාවල ස්වාධීනත්වය ලෙසින් සැලකුවේ මුළු රටේ ජනතා පරමාධිපත්‍යයෙන් නිදහස්වීම නොවේ.
මෙවර මහ බැංකුව ස්වාධීන කිරීමේ උත්සාහය ඉදිරිපත් වන්නේ දැනටමත් ඉදිරිපත් වී තිබෙන IMF එකඟතාවේ එක් කොන්දේසියක් ලෙසින් බව පැහැදිලිය. එසේම මේ කෙටුම්පත් කර ඇති පනතේ වෙනස්විය යුතු ක්ෂේත්‍ර ගණනාවක්ම ඇති බවත් සැබෑවක්ය. ඒ සියල්ල සත්‍ය වුවත් ‘‘මහ බැංකුවේ මුදල් මණ්ඩලය භාණ්ඩාගාර ලේකම්වරයාගේ ආධිපත්‍යයෙන් නිදහස් කිරීම’’ නම් අත්‍යවශ්‍ය කාරණයක් බව මගේ අදහසයි.
මහ බැංකුව ස්වාධීන කළ යුත්තේ විධායකයෙන් (එනම් මුදල් අමාත්‍යාංශයේ ආධිපත්‍යයෙන්) මිස ජනතාවගෙන් හෙවත් පාර්ලිමේන්තුවෙන් නොවේ. මේ ඉදිරිපත් කර ඇති පනතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය සමග අනුකූල නොවන බව ඉතාමත් පැහැදිලිය. එවැනි වගන්ති කෙටුම්පතෙන් ඉවත් වන්නේ නම් මිස මෙය පාර්ලිමේන්තුවේ සරළ බහුතරයෙන් සම්මත විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීමෙන් ද පැහැදිලි වේ.
මේ පිළිබඳව දීර්ඝව ලියන්නට මෙහි දී ඉඩක් නැත. එක් නිදර්ශනයක් ගතහොත් මෙම පනත් කෙටුම් පතේ 47 වගන්තියේ (2) අනු වගන්තියෙන් කියවෙන්නේ ‘‘රට තුළ ගනුදෙනු කළ යුතු මුදල් ඒකකය ශ්‍රී ලාංකික රුපියල් වන අතර එහි වෙනසක් ඇතොත් එම වෙනස තීරණය කිරීමේ බලය මහ බැංකුව සතු වන බව’’ දක්වා ඇත. මෙවැනි වගන්ති මගින් අනාගතයේ දී රට තුළ මූල්‍ය අවිනිශ්චිතභාවයක් ගොඩ නැගීමට හේතු විය හැකිය. මහ බැංකුවේ තීරණය මත හම්බන්තොට වරාය සංකීර්ණයේ මුදල් ඒකකය චීනයේ යුවාන් වීමට, කොළඹ වරාය නගරයේ මුදල් ඒකකය ඩොලර් වීමේ වැනි සංකීර්ණතා ඇතිවීමේ ඉඩක් ඒ තුළ ඇත. මගේ යෝජනාව වන්නේ මේ වගන්තියේ සංශෝධනයක් කරමින් එම අයිතිය පාර්ලිමේන්තුවට හිමි විය යුතු බවයි. (මේ අදහස ආචාර්ය ගුණරුවන් මහතා ද ඉදිරිපත් කර තිබූ බව සටහන් කරමි.)
මහ බැංකු පනත සම්බන්ධයෙන් දැනට ගොඩ නැගී ඇති සංවාදය ඉතාමත් යහපත් එකක් වන අතර මහ බැංකුව ස්වාධීන කළ යුත්තේ විධායකයෙන් මිස ජනතාවගෙන් (හෝ පාර්ලිමේන්තුවෙන්) නොවන බවට වගවීම ඉතාමත් වැදගත්ය. එසේම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට මහ බැංකුවේ පනත මගින් ඍජු සම්බන්ධතාවක් ගොඩ නැගීමත් ඉතාමත් වැදගත්ය.
ප්‍රති ත්‍රස්ත පනත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙසින් දැනට ක්‍රියාත්මක වන නීතිය 1979 මුලින්ම පැමිණියේ මාස 06 අන්තර් ක්‍රියාමාර්ගයක් වශයෙන්ය. එහෙත් එය වසර 40 කටත් වඩා වැඩි කාලයක් පුරා තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ‘ප්‍රති ත්‍රස්තවාදී පනත’ හඳුන්වා දෙන්නේ මෙම කාරණයට යැයි ආණ්ඩුවේ අය කියන අතර එහි අර්ථය වන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමට රටට අලුත් නීතියක් ගෙනෙන බවය.
මේ සම්බන්ධයෙන් කරුණු කීපයක් ප්‍රකාශ කළ යුතුව ඇත. පළමුවෙන්ම මේ දක්වා පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතාමත් භයානක රෙගුලාසිකරණයක් බව පැවසිය යුතුය. මේ නීතිය නිසා විනාශයට පත් වූ ත්‍රස්තවාදීන්ගේ ගණනට වඩා ජීවිත විනාශයට පත් වූ අහිංසකයන්ගේ ගණන වැඩිය. 1989 දකුණේත් 1983-2009 උතුරේත් මේ තත්ත්වය අත්දැක ඇති බැවින් නිශ්චිත හා සාධාරණ නීතියක් මේ සඳහා ගෙන ඒමේ අවශ්‍යතාවක් ඇත.
එහෙත් එම අවශ්‍යතාව ඉටු කිරීමට යැයි පවසමින් මේ හඳුන්වා දෙන්නේ ඒ ආකාරයේම බරපතළ ප්‍රතිඵල උදාකර දෙන නීතියක්ය. මේ පනතේ 03 වැනි වගන්තියෙන් ආරම්භ වන ත්‍රස්තවාදය නිර්වචනය කිරීමේ කොටස අතිශයෙන්ම ප්‍රශ්න සහගතය. මේ පනතේ ආකාරයට ත්‍රස්තවාදය නිර්වචනය කළහොත් ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හිතැගි පරිදි පුද්ගලයන් සිරගත කිරීමේ ඉඩක් ලැබෙන බව ඉතාමත් පැහැදිලිය.
එසේම මෙහි 10 වැනි වගන්තියට අනුව ‘‘යම් කිසි අයෙක් පළකරන ප්‍රකාශයක්, වචනයක්, දෘෂ්‍යමය ලාංඡනයක්, මගින් අනෙක් අයගේ සිත් තුළ ත්‍රස්ත හැඟීමක් ඇති වන්නේ යැයි ආරක්ෂක අංශවලට’’ හැඟුණහොත් එම ප්‍රකාශය පළ කළ පුද්ගලයා ත්‍රස්තවාදයට අනුබල දුන් අයෙක් ලෙසින් සැලකීමේ ඉඩ නිර්මාණය කර ඇත. මෙවැනි භයානක හා විසුරුණු අර්ථ සහිත රෙගුලාසි ගණනාවක් මේ පනත් කෙටුම්පත තුළ ඇත.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශය ලොව පුරා ව්‍යාප්ත වී ඇති මෙවැනි කාලයක මෙම පනත් කෙටුම්පත මගින් රටේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය සම්පූර්ණයෙන් හැකිළීයාමේ ඉඩක් නිර්මාණය කරන බව පැහැදිලිය. මේ වගන්ති වෙනස් කිරීමකින් තොරව මේ පනත සම්මත කිරීම ඉතාමත් භයානක බව මගේ අදහසය.
IMF එකඟතාව, මහ බැංකු පනත හා ප්‍රති ත්‍රස්ත පනත ඉදිරි සති කීපය තුළ අපේ රටේ දේශපාලනයේ බෙදුම් ඉර අදින මූලික ක්ෂේත්‍ර 03ක් යැයි මා මුලින් කීවේ මේ නිසාය.
(***)
මහාචාර්ය
චරිත හේරත්