ආර්ථික අර්බුදය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ නඩුකර සම්බන්ධයෙන් බෙදුණු තීන්දුවක් පසුගිය සතියේ ප්‍රකාශයට පත්විය. පහත එන්නේ එසේ ලබාදුන් තීන්දු දෙකින් අතිශය විද්‍යාත්මක හා වෘත්තීමය කරුණු මත පදනම්ව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා තම තීන්දුව ලබා දීමට පාදක කරගත් හේතු පිළිබඳ විමර්ශනයකි.
ප්‍රථමයෙන් ම විනිසුරුවරයා ලංකා ව්‍යවස්ථාවේ 80(3) වගන්තිය උපුටා දක්වයි. ඒ මෙසේ ය. “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පතක් පනතක් බවට පත්වන ලදුව, ජනාධිපති හෝ කතානායක විසින් එය අත්සන් කිරීමෙන් පසු, කිසිදු ආකාරයකින් එහි වලංගුතාව පිළිබඳ විමර්ශනය කිරීම, ඒ පිළිබඳ නියෝග ලබා දීම හා එය ප්‍රශ්න කිරීම කිසිදු හේතුවත් මත අධිකරණයකට, හෝ විනිශ්චය සභාවකට නොකළ හැක්කේ ය” (පිටු;152). ඒ අනුව, සම්මත කළ පනතක වලංගුතාව ප්‍රශ්න කිරීමේ බලය අධිකරණය සතුව නොමැති බව විනිසුරුවරයා ඉතා නිවැරදිව කියා සිටින්නේ ය. විනිසුරුවරයාගේ පදනම වන්නේ, ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ නීති සම්පාදනය කිරීමේ බලය ඍජුව ක්‍රියාත්මක කරන ආයතනය ලෙස පාර්ලිමෙන්තුව තබමින් ය.
ඒ අනුව යමින්, 2021 අංක 9 දරන වැට් බදු සංශෝධන පනත, 2020 අංක 3 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත, 2020 අංක 4 දරන ආර්ථික සේවා බදු පනත, 2020 අංක 2 දරන ණය නැවත ගෙවන විට අයකරන බදු පනත, 2021 අංක 10 දරන උපයන විට ගෙවීම බදු පනත, 2022 අංක 14 දරන අධිභාර බදු පනත ආදී පනත් පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලදුව නීතිය බවට පත් වූ පනත් ලෙස විනිසුරුවරයා පෙන්වා දෙයි. එනයින් එතුමා පෙන්වා දෙන්නේ මෙකී පනත් කිසිවක් කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීමට ලක් කළ නොහැකි බවයි. ඒ අනුව, කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබ ඇති ප්‍රතිපත්තිමය තීරණ, පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් නීතිය බවට පත් පසු ඒවා අධිකරණයක අභියෝගයට ලක් කළ නොහැකි බව තම තීන්දුව තුළ විනිසුරුවරයා කරුණු සහිතව පෙන්වා දෙයි.
එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ රටේ මූල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවීම නැමැති නීතිය තුළින් මේ සියල්ල පණ ලබන බවයි. අධිකරණයක් විසින් කළ හැක්කේ යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ තැබීමට පෙර එම පනතෙහි ව්‍යවස්ථානුකූලබව හා එය නියමිත පටිපාටිය අනුගමනය කරනවා ද යන්න ගැන සොයා බැලීම පමණක් බව විනිසුරුවරයා අවධාරණය කර සිටින්නේ 2012 දිවිනැගුම පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද උපුටා දක්වමින් ය.
එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවක් සනිදර්ශනව ගෙන රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අධිකරණයේ බලය ගැන විනිසුරුවරයා මෙසේ කියයි. “කිසියම් ප්‍රතිපත්තියක් ඥානවන්ත ද අඥාන ද යන ප්‍රශ්නය අධිකරණයට අදාළ නොවේ, අධිකරණය මැදිහත් විය යුත්තේ එය රාජ්‍යයේ අධිකාරීමය බලය ඉක්මවා යන්නේ නම් පමණකි” යන්න ය. තවත් එවැනි ම තීන්දුවක් මත සිටිමින් විනිසුරුවරයා සඳහන් කරන්නේ, “ආණ්ඩුව මගින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, වෙනත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ඊට වඩා ඥානවන්ත හෝ තාර්කික බව සිතමින් විනිශ්චය කිරීමේ හැකියාව අධිකරණයට නොමැති බවයි. කිසියම් සුවිශේෂී අවස්ථාවක කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු හෝ නොයුතු බවට ද අධිකරණයට මත ප්‍රකාශ කළ නොහැකි ය” (පිටු 158). අධිකරණයේ එම බලතල පරාසය කොතරම් අවධාරණය කර තිබේ ද යන්න ගැන විනිසුරුවරයා පෙන්වා දෙන්නේ, කිසියම් ප්‍රතිපත්තිමය තීන්දුවක හා එම ප්‍රතිපත්තිමය තීන්දුව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුබිමක, “එම තීන්දුව කොතරම් මහජන හා ජාතික අභිලාෂමය වශයෙන් වැදගත් වුවද, අධිකරණයට ඒ පිළිබඳ මත දැක්වීමේ හැකියාව නොමැති බව” විදග්ධ ලෙස ගෙනහැර පාමිනි.
ගෝඨාභය ආණ්ඩුව ජනතාවට බදු සහන දීමේ අරමුණ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයේ විපාක ලෙස දුර්වල වූ ආර්ථිකය නැවත පණ ගැන්වීම බව සාධක ගෙනහැර පාමින් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අවධාරණය කරයි. එම බදු සහනය මෙරට කම්කරු ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව හා පොදු මහජනතාව බුක්ති විඳි බව ද එහි දැක්වේ. බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය ජනතා කේන්ද්‍රිය තීන්දුවක් බව පවසන විනිසුරුවරයා, පැවති ආර්ථික අවගමනය ආපසු හැරවීම සඳහා ලෝකයේ පිළිගත් ආර්ථික විද්‍යා දැනුමට අනුගතව ගත් එකක් බව ද සඳහන් කරයි (පිටු 159).
විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය යන රාජ්‍යයේ ඉන්ද්‍රිය තුනෙහි බල සීමා ගැන කරුණු දක්වමින් විනිසුරු ජයවර්ධන මෙසේ කියයි. විධායකයට හෝ කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන ලෙස හෝ පවතින නීති පිළිබඳ විනිශ්චය කිරීමේ හැකියාවක් අධිකරණයට නැත. “පාර්ලිමේන්තුව වරදක් කරන විට, එය නිවැරදි කරගත හැක්කේ ඊට ම” බව ද විනිසුරු ජයවර්ධන ඔප්පු කර සිටින්නේ පාර්ලිමේන්තු භාවිතාව පිළිබඳ ලෝකප්‍රකට කෘතියක් වන එස්කයින් මේ ගේ “පාර්ලිමේන්තු භාවිතාව” නම් කෘතිය උපුටා දක්වමිනි. එනයින්, අධිකරණය විසින් ලබා දෙන නියෝග පිළිපැදීම සඳහා කිසිදු බැඳීමක් ව්‍යවස්ථාදායකයට නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මීට පෙර අවස්ථා දෙකක දීම අධිකරණය විසින් නිකුත් කළ නියෝග පාර්ලිමේන්තුව විසින් බැහැර කළ බව ද පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පනතක් පිළිබඳ නියෝග නිකුත් කිරීම තමා මතට ම එල්ල කරන ප්‍රහාරයක් බව විනිසුරුවරයාගේ උගත් මතය වේ (පිටු 160). එවැනි නියෝග මගින් ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය උල්ලංඝණය කරන බව විනිසුරුවරයා අවධාරණය කරයි.
මීළඟට, විනිසුරු ජයවර්ධන පෙන්වා දෙන්නේ, විශේෂයෙන් ආර්ථික ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ අධිකරණයට ක්‍රියා කිරීමේ හෝ තීන්දු ලබා දීමේ හැකියාවක් නොමැති බවයි. ඒවා පූර්ණ වශයෙන් ම ආණ්ඩුවේ කාර්යභාරය බව ඔහු පෙන්වා දෙයි. එහි දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කිහිපයක් ඔහුගේ අවධානයට ලක්වේ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරන්නේ, “මෙම අධිකරණය හෝ වෙනත් කිසිදු අධිකරණයක් විසින් ආර්ථික ප්‍රතිපත්තිමය කරුණු ගැන විනිශ්චයන් දීමට කටයුතු නොකළ යුතු බවයි. ඒවා ආණ්ඩුවේ භූමිකාව ලෙස පවතී. ආර්ථික තීන්දු යනු බෙහෙවින්ම අවසන් ප්‍රතිඵල පිළිබඳ අනුමානයන් ය. ඒවා විශේෂඥයන්ට ද වරදින අතර, ඔවුන් අතර ද ඒවා ගැන බරපතළ විසංවාද තිබේ” යනුවෙන් උපුටිත තීන්දුවේ දැක්වේ. තවත් එවැනි ම ඉන්දීය අධිකරණ තීන්දුවක මේ ගැන නැවත වරක් අවධාරණය කර තිබේ. ඊට අනුව, “අධිකරණමය විමර්ශනය (Judicial review) ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදාළ නොවේ. අධිකරණයට තම මතය හරහා විශේෂඥයකුගේ භූමිකාවට මාරුවිය නොහැකි ය. (පිටු 174). එම කටයුතු සඳහා විශේෂඥතාව ඇත්තේ පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුව විසින් බලය පවරන ලද පුද්ගලයන්ට බව ද දක්වා ඇත.
විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන තම තීන්දුව තුළ මීළඟට අවධාරණය කරන කරුණ අතිශයින් ම වැදගත් වේ. එහි දී ඔහු පාදක වන්නේ, මෙම නඩුවට ම අදාළ ලෙස අධිකරණය විසින් කැඳ වූ රජයේ විගණකාධිපති වාර්තාම මතයි. විගණකාධිපතිවරයා සමස්ත අර්බුදයම පෙළගස්වමින් වාර්තාවක් ඉදිරිපත් කරන අතර, එහි පෙන්වා දෙන නිගමන තුන විනිසුරුවරයා ගෙනහැරපායි.
රජයේ විගණකාධිපතිවරයා අවධාරණය කරන්නේ, 2022 ආර්ථික අර්බුදය පිළිබඳ නිගමන ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බවයි. ඊට හේතු ලෙස ඔහු දක්වා සිටින්නේ, (1) ආර්ථික කාරණා රජයේ ප්‍රතිපත්තිමය තීන්දු වීම, (2) විමර්ශනයට ලක් වූ කාලය තුළ හුදු ආර්ථික කාරණාවලට එහා ගිය වසංගත තත්ත්වයක් පැවතීම හා (3) සීමිත විදේශ සංචිත උපයෝගී කරගෙන ගත යුතු ප්‍රශස්තම තීරණය කුමක්ද යන්න තමාට තීරණය කළ නොහැකි වීම යන කරුණු තුන ය. ඒ අනුව, ආර්ථික කාරණා ගැන විශේෂඥ දැනුමක් තිබෙන විගණකාධිපතිවරයාට පවා ලබාදිය නොහැකි තීන්දු අධිකරණය විසින් කෙසේ ලබාදිය හැකි ද යන්න ප්‍රශ්න කරමින්, අධිකරණය හමුවේ මේ පිළිබඳ තීන්දු දීම සඳහා විශේෂඥ සාක්ෂි නොමැති බව විනිසුරු ජයවර්ධන පෙන්වා දෙයි.
වසංගත තත්ත්වය විසින් ලංකාවේ අපයනය ආදායම හා තවත් විදේශ විනිම මූලාශ්‍රයක් වන විදේශ රැකියා දැඩි බලපෑමට ලක් වූ බව ද තීන්දුවේ පෙන්වා දී ඇත. වංසගතයට ප්‍රතිචාර ලෙස සිදු කළ දිවයිනම ආවරණය කළ එන්නත්කරණය හා නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අනපේක්ෂිත රාජ්‍ය වියදම් දැරීමට සිදුවීම, දිගුකාලීන ලොක්ඩවුන්, ඇඳිරි නීති, දේශපාලන අස්ථාවරත්වය හා විරසකකම්, රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට එරෙහිව පැවති විරෝධතා වැනි දෙය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අඩාල කර ඇති බවට සාධක තිබේ. එවැනි කරුණු මගින් සංචාරක කර්මාන්තය අඩපණ කළ අතර, විදේශ හා දේශීය ආයෝජකයන් රටින් පිටව යාමට ද මග පාදා ඇත. ඒ අනුව, මේ සමස්තය ම ආර්ථික අර්බුදයට දායකත්වය සපයා තිබෙන බවට සාක්ෂි තිබේ.
මේ අතර, තුන්වැනි වගඋත්තරකරු ලෙස සඳහන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 අයවැය හරහා ඊට පෙර අයකර නොගත් බදු අය කර ගැනීම, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාර ලබා ගැනීම, දශක ගණනාවක සිට පැවති අර්බුදය හඳුනා ගනිමින් ඊට නිසි පිළියම් යෙදීම සඳහා අපයනය මූලික කරගත් ආර්ථික මොඩලයක් හඳුන්වා දීම වැනි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව, පැවති සුවිශේෂී පසුබිම තුළ අනපේක්ෂිත අර්බුද මතු වූවද, තම බලය තුළ සිටිමින් ඒවා වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමක, වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතීන් කිසිවක් උල්ලංඝනය කර නොමැති බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අවධාරණය කරයි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ