උතුම් රටේ කැතම රාජ්‍යය


අප කුඩා කල අසා ඇති ගීත කීපයක් සිහියට නැගේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි ශ්‍රී ලංකාවයි, අප නිජ භුමිය ලංකාවයි. ඒ එකකි. මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි, අප හද පණ ගැහෙන රටයි, මුළු ලොව මේ රටට යටයි. ඒ තව එකකි. රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි, මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. ඒ අනෙකය. එන්න රට වටේ, යන්න මා ප්‍රියේ, ලස්සන ශ්‍රී ලංකාවේ. ඒ අපි බොහෝ විට කියූ ගීතයකි. සසර වසන තුරු නිවන් දකින තුරු පින් කේත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා. ඒ තවත් එකකි. මේ ගී ලියවී ඇත්තේ සංගීතය සපයා ඇත්තේ සහ ගයා ඇත්තේ ඔහේ සින්දුවක් කියන්නට ඕනෑ නිසා නොව රටකට අභිමානයක් සහ ජනයාට නිදහසක් ගෞරවයක් ප්‍රීතියක් ලබා දිය හැකි රාජ්‍යයක් තනා ගැනීම සඳහා ජනයා පෙළගැස්සවීම අරමුණු කරගෙනය. ඒ ගැන අපේ පාඨකයනුත් සොයා බලන්න. සිකුරාදාට ඔබ කියවන ‘කිවිදා දැක්ම’ මා ලියන බ්‍රහස්පතින්දා ඉහත කී ගී මා සිහියට නැගුණු හේතුව මුලින් ම කිවයුතු යැයි සිතමි.

සංඛ යනු මගේ මිතුරෙකි. තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. සිය බිරිඳ ගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඈ සමඟ උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ රටකට ගොස්, එරට පොලීසියට තොරතුරු තාක්ෂණ මෘදුකාංග සහ දැනුම සපයන කොම්පැනියක  ස්ථිර රැකියාවක් කරන්නෙකි. බ්‍රහස්පතින්දා උදෑසන පැයකට වැඩි වෙලාවක් මා ඇමතූ ඔහු පැවසූ දෙයක් ඉහත ගී සිහියට ඒම සඳහා වූ හේතුව ය. ශ්‍රී ලංකාව ලෝකයේ තියෙන උතුම් ම රටක්. ඒත් ඒ රටේ දේශපාලනය කැතම කැත එකක්’. ඒ සංඛගේ අදහස ය. මෙවර කිවි දා දැක්ම ‘උතුම් ම රටක කැත ම රාජ්‍යයක්’ යනුවෙන් නම් කිරීමටත් ඉහත කී ගීත සිහියට ඒමට මට බලපෑවෙත් සංඛගේ එම අදහස ය. ඇත්තටම හැම විභවතාවක් ම තියෙන බොහෝ සම්පත් ඇති කාලගුණ දේශගුණ යෝග්‍යතාවෙන් යුත් රටක් නිදහස් ප්‍රීතිමත් යහපත් රාජ්‍යයක් නොවුණේ ඇයි?

ඒ ප්‍රශ්නය නැගිය යුත්තේ හේතු කීපයක් නිසාය. දූෂණ වංචා අකටයුතුකම් නිසා රාජ්‍යය කඩාවැටී ඇති නිසා රට හැර යන අය බොහෝ ය. ඔවුන් වැඩි පිරිසක් ලෝකයේ දියුණුම යැයි කියන රටවලට ගොස් කායික සහ මානසික අපා දුක් විඳිමින් එහෙත් ඒ බව තම මුල් රටේ සමීපතමයන්ට නොපෙන්වා වසංකරමින් නොදියුණු හුදකලා ජීවිත ගත කරති. ස්ථිර රැකියා නො ලැබ දවස පුරා කෑලි රස්සා නැතහොත් නියමයක් නැති රස්සා කරන බොහෝ අයගේ ජීවිත නූතන වහල් ක්‍රමයක හිර වී ඇත. නිදාගන්නේ දවසට පැය හතරක් හෝ ඊට අඩු වෙලාවක් ය. විවේකයක් නැත. බ්‍රෑන්ඩර්ඩ් ඇඳුම් සහ භාණ්ඩවලින් සහ ෆේස්බුක් එකේ දමන භූමි දර්ශනවලින් හංගාගෙන ඇති ඒ ජීවිත ගෙවන්නේ හුදකලා අගෞරවනීය කල්ලතෝනි ජීවිත ය. තම මවු රටෙන් පළා ගොස් එසේ නොවිඳිනා කායික මානසික දුක් විඳීමට ඔවුන්ට ඉඩ සැලසුවේ මේ රට නොව මේ රාජ්‍යය ය. ඒ රාජ්‍යයේ පාලකයෝ ය, පරිපාලකයෝ ය.

රටේ ජනයා සහ පාලක-පරිපාලකයන් අතර සම්බන්ධය සහ විශ්වාසය සුනු විසුනු වී ගොස් ය. හැම පවුලකම සියල්ලෝම හෝ වැඩිදෙනකු හෝ මේ පාලකයන් ට සහ පරිපාලකයන් ට සහ ඒ අයගේ ක්‍රමයට විරුද්ධය. එළිපිට විරෝධතාවලට වඩා එළියට නොපෙනෙන විරෝධතා බලවත් ය, තීරණාත්මකය. පාලකයන්ට සහ පරිපාලකයන් ට දැන් පිහිට සොයන්නට සහ සැඟවී සිටින්නට ඉතිරිව ඇත්තේ ඔවුන් විසින් ම කුටෝපායික ලෙස අටවාගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණ ය. එහෙත් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ම ඇති ජනයාට වගකිවයුතු බව ජනයාගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බව ජනයා සුබසාධනය කළයුතු බව යනාදියට අදාළ වගන්ති පාලක-පරිපාලකයෝ අමතක කර දමති. ලැබී ඇත්තේ වගකීම් ඉටු කිරීම සඳහා අධිකාරියක් මිස නග්න බලයක් නොවේය. වගකීම් ඉටු නොකරන විට ලැබී ඇති අධිකාරිය නිෂ්ක්‍රීය වන බව පාලකයන්ට මතක නැත. මතක ඇත්තේ හුදු තම පැවැත්ම සඳහා වූ වගන්ති පමණකි.

එසේම ජනයා සතු පරමාධිපත්‍ය බලයෙන් කොටසක් ජන සම්මත අධිකාරියක් ලෙස පාලකයන්ට සහ පරිපාලකයන්ට පවරා ඇත්තේ ඒ පාලකයන්ට හෝ පරිපාලකයන්ට හිතුවක් කරමින් සැප විඳින්නට නොව අධිකාරී බලය දුන් ජනයාගේ යහපතට අවශ්‍ය කාර්යයන් සැලසීමට බව පාලකයන් සහ පරිපාලකයන්  අමතක කර දමා ඇත. කළ නොහැකි නම් ඊට අසමත් නම් ඒ පාලකයන් සහ පරිපාලකයන් තම නිල තනතුරුවලින් ඉවත් විය යුතු ම ය. ඒ කළ නොහැකියාවෙන් පෙන්නුම් කරනුයේ පාලකයන් කෙටි කලකට ජනයාගෙන් ලබා ගත් අධිකාරී බලය ට අදාළ වගකීම් සහ යුතුකම් ඉටුකර නොමැති බව ය. පාලකයන් මතකයට නගා ගත යුතු කරුණක් වන්නේ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලයෙන් ඉතා කුඩා කොටසක් මිස සියලු‍ බලය පාලකයන්ට පවරා දී නැති බවය. ව්‍යවස්ථාව නොව වෙනත් ඕනෑම නීතියක් ජනතා පරමාධිපත්‍යයට යටත් ය, අවනත විය යුතු ය. සමාජ සම්මතවාදී පාලනය හෝ ආණ්ඩුකරණය යනු එය ය. රට පුරා මතුවන ක්ෂණික විරෝධතා යනු ඒ මහජන පරමාධිපත්‍ය බලයේ හිස එසවීම් ය. ‘හදන්නෙත් බඩා මකන්නෙත් බඩා’ යනු ගැමි කියමනකි. එසේම ‘පොල්ලට ලොකු වළං තිබිය නොහැකිය’ යනු තවත් එවැනිම ගැමි කියමනකි.

ගමේත් නගරයේත් මේ රාජ්‍යක්‍රමය සහ පාලනය ප්‍රතික්ෂේප වී ඇත. වසර හැත්තෑ හතරක් තිස්සේ ඉවසූ මිනිසුන් ඒ දැහැනින් කැඩී වෙන්වී ඇත. තිබෙන ක්‍රමය යටතේ බලයට එන්නට හදන කිසිවකු කෙරෙහිවත් විශ්වාසයක් ජනතාවට නැත. මන්ද ඒ සියලු‍ දෙනාම මේ සා අයුරින් රාජ්‍යය වළපල්ලට යැවීමට විවිධ පරිමාණයෙන් දායක වූ අය නිසා ය. සමස්ත දේශපාලන පන්තියම කෙරෙහි ප්‍රගතිශීලී සහ දැනුවත් ජනයාට ඇත්තේ පිළිකුලකි. ව්‍යවස්ථාව පෙන්වා කෙනකු හෝ පිරිසක් බලයේ රැඳෙන්නට හදන එක විහිළුවක් වන්නේ එවැනි පසුබිමකය. කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ය. එසේ නම් ජනතාව තම පරමාධිපත්‍යයේ කොටසක් ලෙස දේශපාලන අධිකාරි බලය බාරදිය යුත්තේ කාට ද? දෙන්නට කවුරුත් නැත්නම් රට අරාජක වෙයිද? ගැටලුව ඇත්තේ මෙතැනය. මෙය එක්තරා ආකාරයක උභතෝකෝටිකයකි. උත්තරය සහ පිළිතුර ඇත්තේ කොතැන ද?

උතුම් ම රටක කැතම රාජ්‍යය හැදූ, නැතහොත් ගොඩනැගෙමින් ආ රාජ්‍යය වළපල්ලට යැවූ, තරුණ ජනයාට තම රටින් පලා ගොස් කායික මානසික පීඩා විඳීමට සැලැස්සූ, වසර හැත්තෑ හතරක පාලක පන්තිය තම දේශපාලන වාසස්ථානවලින් දැන් ඉවත් විය යුතුය. ඒ අනුව ආණ්ඩුවේ සිටින්නන් ඉන් ඉවත් විය යුතුය. විපක්ෂයේ සිටින්නන් ඉන් ඉවත් විය යුතු ය. ඊළඟට ස්වකීය දේශපාලන වාසස්ථාන වන පක්ෂවලින් ඉවත් විය යුතු ය. ඒවායින් ඉවත් නොවී ඒවා මෙහෙයවීමේ නැතහොත් රූකඩ නැටවීමේ කටයුත්තට ඔවුන් සූදානම් විය හැකිය. ඒ ඒ පක්ෂවල බුද්ධිමය සහ දේශපාලනමය තරුණ කොටස්වලට සහ රටට යහපත් රාජ්‍යයක් ලබා දීමට කැමති අයට තම තමන්ගේ ප්‍රගතිශීලී බව පරීක්ෂා කිරීමට මෙය හොඳ මොහොතකි. මේ පක්ෂ විනාශ කළෝද හිටපු සහ සිටින පාලකයෝ ම ය. ඔවුන්ගෙන් මේ පක්ෂ ගලවාගෙන නව තරුණ ප්‍රගතිශීලී තරුණ කණ්ඩායමකගේ අණසකට ඒවා යටත් කළ යුතු ය. එය කළ යුත්තේ ඒ පක්ෂ හෝ කණ්ඩායම්වල පැරණි ලේ ඥාතිකම් සහ ඒ අයගේ අතවැසි සම්බන්ධකම් මුහු නොවන පරිද්දෙන් ය.

විරෝධතා රටේ ඕනෑම තැනක සිදුවිය හැකිය. එහෙත් අරගල සිදුවිය යුත්තේ ගාලු‍මුවදොර අල්ලා ගැනීමට පමණක් නොවේ ය. එහි සංකේතාත්මක වැදගත්කම විශාල බව ඇත්තකි. එබැවින් එය අවතක්සේරු නොකළ යුතුය. එය තනි නොකළ යුතු ය. එය තනි නොවන්නේ රාජ්‍යය විනාශ කළ අයගේ දේශපාලන තක්කඩිකම් නොව ඔවුන්ගේ නිවාස නොව, ඔවුන්ගේ ‘දේශපාලන වාසස්ථාන’ වන පක්ෂ සහ සංවිධානවල බලය සහ අවකාශය නව ප්‍රගතිශීලී බුද්ධිමත් ජන නියෝජිතතන්ත්‍රවාදී (community representativecrecy) තරුණ ජනයා විසින් අත්පත් කරගතහොත් ය.

වරක් ලියොන් ට්‍රොස්කි ප්‍රකාශ කළේ විප්ලවය මහපොළොවේ සාර්ථක වීමට නම් මිනිසුන්ගේ ඔළුවල දසදහස් ගණනින් විප්ලව සිදුවිය යුතු බව ය. යහපත් ශක්තිමත් රාජ්‍යයක් තැනීම සඳහා නව ප්‍රගතිශීලී අදහස් ඇති වැඩපිළිවෙළවල් ඇති අය විසින් කොයි පක්ෂයක වුවත් බලය සහ අවකාශය අල්ලා ගත යුතුය යනුවෙන් මා කියනුයේ ඒ නිසා ය. එය සමා විරහිතව කළ යුත්තකි. එසේම එළිය සමඟ ගනුදෙනු කිරීමේ දී උපරිමවාදී ප්‍රතික්ෂේප කිරීම් හෝ උපරිමවාදී නොඉවසීම් ගැන ද අප නැවත සිතා බැලිය යුතු ය. ලෝකයේ උතුම්ම රට ට, අපේ මාතෘ භූමියට ගෞරවය සහ අභිමානය සහිත ලස්සනම රාජ්‍යයක් තැනීම සඳහා සියක් මත මුණගැසී සියක් මල් පිපෙන්නේ එවිට ය.

 

 

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ 

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ

ධම්ම දිසානායක