එදා - මෙදා දේශපාලක අමුතු කතා


මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබුණේම නැත. සියලු‍ අතින් ඈලි මෑලි ගතියක් මුළු ලංකාව පුරා පැවතුණි.

ආණ්ඩුව නම් රටපුරා විවිධ තැන්වලට බස් රථ යොදාගෙන සෙනඟ ගෙන්වා රැස්වීම් තබමින් යනු දක්නට විය. එම රැස්වීම්වල අප ඇසූ කතාවල දක්නට ලැබුණු ප්‍රධාන ලකුණක් වූයේ ජනාධිපති අනුර කුමාර මහතා තවදුරටත් තමා විපක්ෂයේ සිටින ලෙස දැක් වූ අදහස් ය. ඔහුගේ කතාවල පූර්ණ වශයෙන් තිබුණේ මැසිවිලි හා චෝදනා ය. මෙම ලිපිය තුළ ඒ පිළිබඳව ද, ඊට හේතු වූ කාරණා පිළිබඳව හා මැතිවරණ උනන්දුව ජනතාව අතරින් පහවී යාමට හේතුව සාකච්ඡා කරනු ඇත.

ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවෙන් වහනය වූ ප්‍රධාන හැඟීම් වූයේ වෛරය මෙන්ම කෝපය ද වර්ධනය කරන කතා වීම කනගාටුදායක තත්වයකි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින්ම එසේ කිරීම ඊටත් වඩා කනගාටුදායක තත්වයකි. පසුගිදා අවසන් වූ ජනාධිපතිවරණ වේදිකාවේ සමාජ කොටස් අතර එකිනෙකා කෙරෙහි වෛරය දනවන කතා කොහොමත් අසන්නට ලැබුණි. අප සිතුවේ ජනාධිපතිවරණය අවසන් වූ පසු එම තත්වය පහව යනු ඇතැයි සිතා ය. එහෙත් එවැන්නක් සිදු නොවුණ බව මහමැතිවරණ වේදිකාව මතින් ජනාධිපතිවරයා හරහා ඇසුණු කතාවලින්ම පැහැදිලි විය.

ජනාධිපතිවරයා වෛරී හැඟීම් දැනවීමට විශේෂයෙන්ම යොදා ගත්තේ හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ පදවි නිසා ලැබුණු හිමිකම් හා වරප්‍රසාදය. ඕනෑම රටක ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට යම් වරප්‍රසාද ලැබේ. ආරක්ෂාව හා එම ආරක්ෂාව සපයා දීම සඳහා නිලධාරින් වාහන සහ උපකරණ ඒ අතර වේ. රටකට එක්තරා නිශ්චිත මොහොතක ජනාධිපතිවරුන් සීයක් හමාරක් නැත. ඉන්නේ උපරිම දෙතුන් දෙනෙකි. ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාද දීමට රාජ්‍ය බැඳී සිටී. කෙසේ වෙතත්, සාමාන්‍ය පොදු ජනතාවට මේ පිළිබඳ පුළුල් අවබෝධයක් නැති නිසා හිටපු ජනාධිපතිරුන්ට ලැබෙන යම් යම් පහසුකම් ගැන උලු‍ප්පා දක්වන විට ඔවුන් අතර නරක හැඟීම් ඇතිවිය හැකි ය. ඒ පුද්ගල ස්වභාවයයි. “බලන්න එයා කෝකියන් 16ක් ඉල්ලනවා. අපේ ගෙවල්වල එක කෝකියෙක් ඉන්නව ද” වැනි කතා ජනාධිපතිවරයා කියනු දක්නට හැකි ය. ඇත්ත වශයෙන්ම මෙම කෝකියන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට කෑම පිළියෙළ කිරීමට ම නොවේ. ඔහුගේ ආරක්ෂාව බාරව සිටින නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයක් ද සිටීයි. ඔවුන්ට ද අවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් සැපයිය යුතු ය. “ඒ විතරක් ද, කුඩ 10ක් ඉල්ලනව එයා” යනුවෙන් ජනාධිපති අනුර කුමාර වේදිකාවේ සිට ම මහඬින් උච්චාරණය කරන්නේ ය. කුඩ ඉල්ලන්නේ හිටපු ජනාධිපතිවරයකුට ඉහළාගෙන යෑමට නොවේ. ඔහුගේ ආරක්ෂකයන්ට ඒවා අවශ්‍ය වේ. මනා ආරක්ෂාවක් සැපයීම සඳහා අව්වැසි නොබලා මෙම නිලධාරීන් කටයුතු කළ යුතු ය.

ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳ ජනතාවට දක්වන ලද අදහස් ද අතිශයින්ම දෝෂ සහිත හා ජනතාව නොමග හරින සුළු ය. ඔහු ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවේ දක්වා ඇති ලෙස ආරක්ෂාව ලබාදෙන බවයි. ව්‍යවස්ථාවේ එවැනි කරුණු දක්වා නැත. ඇත්ත වශයෙන්ම ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ආරක්ෂක තක්සේරු වාර්තා පදනම් කරගෙන ය. එම වාර්තා පදනම් වන්නේ ඒ ඒ පුද්ගලයන්ට තිබෙන ආරක්ෂක තර්ජන මත ය. ඒ නිසා සෑම ජනාධිපතිවරයකුටම වෙන වෙනම ආරක්ෂක තක්සේරු වාර්තා තිබේ. ඒ අනුව දෙනු ලබන ආරක්ෂාවේ ප්‍රමාණය ද එකින් එක වෙනස් ය. ජනාධිපතිවරයා මතු නොව, අගමැතිවරිය ද මේ “ව්‍යවස්ථාව මත පදනම්ව ආරක්ෂාව ලබා දෙන” බවට වන ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍යවල කරනු දක්නට ලැබුණි.

එවන් තත්වයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද ආරක්ෂාව විශාල ලෙස අඩුකිරීමට කටයුතු කර තිබේ. මෙරට සැමගේ ජීවිත ආරක්ෂාව සහතික කරමින් සාමය ගෙනා ඔහුගේ ආරක්ෂාව අඩු කිරීම සාහසික අකෘතඥතාවකි.

එක්කෝ ඉහත වැනි ප්‍රකාශ සිදු කරනු ලබන්නේ හුදු නොදැනුවත්කම නිසා ය. එසේ නැතිනම් දැන දැන ජනතාව නොමගහරිනු පිණිස ය. කෙසේ කුමන කරුණක් නිසා කළ ද මේවා ප්‍රසිද්ධ වේදිකාවේ අඬබෙර තැබීමට සුදුසු කාරණා නොවේ. දේශපාලකයන් පිළිබඳ මහජන වෛරය දැනවීම සඳහා යොදාගත යුතු කරුණු කාරණා ද නොවේ.

තවත් විටෙක ජනාධිපතිවරයා රැස්වීම් දෙක තුනකම කියන ලදුව මාධ්‍යවල විකාශය වූයේ පැරදුණු අය දැන් රෑට රෑට කොට්ටෙ බදාගෙන අඬනවත් ඇති වැනි ලාමක කතා ය. ජනාධිපතිවරයකුට තරම් නොවන නොපැසුණු කතා ය. මේ වැනි කතා විශ්ලේෂණය කළ විට පැහැදිලි වන්නේ, ජනාධිපතිවරයා ආණ්ඩුකරණය පැත්තකින් තබා තාමත් තම ජයග්‍රහණය පිළිබඳ ස්වයංවින්දනයක නිරත වෙමින් සිටින බවයි. ජය පරාජයෙන් එපිටට ගොස් රටේ පොදු යහපත සඳහා ජනතා සිත් සතන් ඒකරාශී කිරීමට තරම් යෝග්‍ය කතාවක් ඔහුගෙන් ප්‍රදර්ශනය නොවන බව පෙනේ. මෙහි දී ජනාධිපති අනුර කුමාර සිහියට ගත යුත්තේ තමා ජය ගත්තේ රටේ සුළුතර ඡන්දයකින් බවයි. එවන් තත්වයක දී ඔහුට ඡන්දය නොදුන්, ඔහුගේ වැඩපිළිවෙළ අනුමත නොකළ බහුතර ජනතා බලයක් තිබෙන බව ද අමතක නොකළ යුතු ය.

ජනාධිපතිවරයාට අද මේවා කතා කිරීමට සිදුව ඇත්තේ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට හෝ රට ඉදිරියට ගෙන යෑම සඳහා හෝ සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නැති නිසාදැයි සිතේ. ජනාධිපතිවරණය පෙර වේදිකාවේ දී ශපත කළ කාරණා කිසිවක් කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ඕනෑම කෝදුවකින් මැන බැලු‍වද පැහැදිලි වන්නකි.

විශේෂයෙන්ම මූල ධාර්මික වෙනස්කම් ලෙස පොරොන්දු වූ කාරණා ඉටු කිරීමට ආණ්ඩුව සමත් වී නැත. අන්තර් ජාතික මූල්‍ය අරමුදල ගැන පැහැදිලිව ප්‍රකාශ වූයේ, පවතින ගිවිසුම වෙනස් කර ජනතා හිතවාදී එකක් ගෙනෙන බවයි. එහෙත් මේ වන විට හෙළි වී ඇත්තේ වෙනස් කිරීම තබා වෙනස් කිරීමට සාකච්ඡා කිරීමට හෝ ආණ්ඩුව අසමත් වූ බවයි. ඩීසල්, පෙට්‍රල් මිල අඩු කරන බව මාලිමා වේදිකාවේ මහත් හඬින් පොරොන්දු වූවකි. විශේෂයෙන්ම ඒවාට අයකරන ආණ්ඩුවේ බදු ඉවත් කිරීමෙන් එම සහනය දෙන බවට පොරොන්දු විය.

එහෙත් අද එම පොරොන්දුව කඩා ඇතිවා පමණක් නොව එසේ කඩා දැමීම ගැන බොරු ද කියන්නේ ය. මිල අඩු කළ නොහැකිව ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමග ඇති කරගත් ගිවිසුම් නිසා බව දැන් කියන්නේ ය. ගිවිසුම් තිබේ. මෙම ලියුම්කරු එම ගිවිසුම් පරීක්ෂාවටද ලක්කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිල අඩු කිරීමට කිසිදු බාධාවක් ඒ තුළින් පනවා නැත. සිය කැමැත්තෙන් ඕනෑම සමාගමකට හෝ සංස්ථාවට මිල අඩුකළ හැකි වේ. සමාගම් ඇතුළු සියලු‍ දෙනාම මිල අඩු කළ යුතු නම්, ආණ්ඩුව කළ යුත්තේ ඉන්ධන ලීටරයකින් අයකරන බද්ද සමස්තයක් ලෙස අඩු කිරීමයි. එය පහසුම ක්‍රමය වේ. ජනාධිපති අනුර කුමාර මහතා එවක පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද කතා කළේ මේ බද්ද ගැන ය. අද ඒ ගැන කතාවක් හෝ නැත.

විශේෂයෙන් උපයන විට ගෙවන බද්ද හා වැට් බද්ද පිළිබඳ ජනාධිපතිවරණ වේදිකාවේ කී කතා දැන් සුළඟේ ගොස් තිබේ. අනුර කුමාර මහතාට ඡන්දය දුන් බොහෝ වෘත්තිකයන් එසේ කළේ උපයන විට ගෙවන බදු අඩුකර ගැනීම සඳහා ය. තමාට රජයේ වියදම් අඩුකර ගැනීම හරහා එම මුදල් ඉතිරිකර ගත හැකි බව ද ගණන් හිලව් ඇතිවම ප්‍රකාශ විය. එහෙත් පසුගිය දා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක දී මේ පිළිබඳ විමසූ විට ජනාධිපතිවරයා ම ප්‍රකාශ කළේ ඉදිරි අයවැයක දී එම බද්ධ අඩු කිරීම සඳහා කටයුතු කරගෙන යන බවයි. අධ්‍යාපන හා ආහාර වැනි දෙයින් වැට් බද්ද සපුරා ඉවත් කරන බව වේදීකාවේ දී පොරොන්දු වුවද ඉහත රූපවාහිනී සංවාදයේ දීම ජනාධිපතිවරයා සඳහන් කළේ පොත් පත් ගැනීමට දුෂ්කර අය සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි. මේ වැනි කඩවුණු පොරොන්දු රාශියක් පසුගිය දින 50ට එකතු වී තිබේ.

අපට තිබෙන ප්‍රශ්නය මේවා ඉටු නොකිරීම නොවේ. එසේ කරන බවට නිශ්චිත පොරොන්දු ලබා දී ඒවා කඩ කිරීම ය. මේ සපුරා ජනතා ඇස්වලට වැලි ගසා ඡන්දය ලබා ගැනීමකි. අප මීට පෙරත් මෙම ලිපිවල කියා ඇති පරිදි, මහජනතාව වත්මන් ආණ්ඩුව විශ්වාස කළේ, ඔවුන්ගේ පොරොන්දු දීම් කඩනොකරනු ඇති බව වූ දැඩි විශ්වාසය නිසා ය.

පූර්ව මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතා ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නුම් කළේ මෙන්න මේ ඉහත කාරණා නිසා ය. මීට පෙර වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටි කාලය පුරා ප්‍රචලිත කළ මතයක් වූයේ ‘උනුත් එකයි මුනුත් එකයි’ කියා ය. එහෙත් පසුගිය දින 50 තුළ මහජනතාවට ඉතා හොඳින් ‘එහෙම කියපු උනුත් එකයි’ යන්නයි. මේ තත්වය ඡන්දදායකයා අතර විශාල ඉච්ඡාභංගත්වයක් ඇති කර තිබේ. ඔවුන් එය තාමත් හඬනගා උච්චාරණය කිරීමට කටයුතු නොකරනු ඇත. එහෙත් යම් ලජ්ජා සහගත බවක් ඔවුන් අතර ඇතිව තිබෙන සෙයකි. ජනාධිපති අනුර ඇතුළු ආණ්ඩුවට එය නොදැන සිටිය නොහැකි ය. ඔවුන් තාමත් විපක්ෂයේ ලෙස සිතමින් කටයුතු කරන්නේ ද, ඉහත ඉච්ඡාභංගත්වය ජනතාවට අමතක කරවීම සඳහා සමාජ වෛරී මනෝභාවයන් ඇති කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින්නේ ද මේ හේතූ නිසා ය.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ