කුමන්ත්‍රණ කතාවට එකතුවක්


“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය. එම කෘතිය ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමකි. 

ඒ අනුව තමා ධුරය හෙබ වූ කාලයේ ලැබූ විවිධ පළමු පන්තියේ අත්දැකීම් ඔස්සේ එහි එන අදහස් ගොඩනැගී ඇත. මා මෙහි දී අවධානය යොමු කරන්නේ එම කෘතිය පිළිබඳ සමස්ත විචාරයක් කිරීම නොව, එහි එන අප රටේ අනාගතය වෙනස් කළ තීන්දු කිහිපයක් ගැන අවධානය යොමු කිරීම හා ඒ ඔස්සේ මෙරට දේශපාලන තන්ත්‍රය ක්‍රියා කරන ආකාරය ගැන අදහසක් මතුවීමට හැරීමට ය. ඊට පෙර මෙම ලියුම්කරු ලෙස මගේ පෞද්ගලික අත්දැකීමක් කීමට ද කැමැත්තෙමි. ඒ පිළිබඳව කෘතියේ එන්නේ නැත.

2022 අප්‍රේල් මාසයේ මුල්ම දින දෙක හෝ තුන අතර කාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයෙන් ජනාධිපතිවරයා හමුවීම සඳහා ගිය කිහිප දෙනාගේ කණ්ඩායමට මෙම ලියුම්කරු ද ඇතුළත් විය. එම කණ්ඩායම ජනාධිපතිවරයා හමුවීමට ගියේ වැදගත් ඉල්ලීමක් කරනු පිණිස ය. ඒ මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැලසුම් කර තිබූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම අරමුදල අතර වැදගත් හමුවෙන් පසු පමණක් බැසිල් රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ය. ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ ද අපගේ ඉල්ලීම සාර්ථක නොවී ය. ඒ වන විටත් ජනාධිපතිවරයා තමන්ගේ තීරණය ගෙන තිබුණි. ඔහු අපට පවසා සිටියේ “ඒ රැස්වීමට කවුරුත් යන්න ඕනැ නෑ. මෙහෙ ඉඳල ඔන්ලයින් කරන්න පුළුවන්” කියා ය. එසේ කියමින් මුදල් අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයේ වෙනසක් නැති බව ඔහු අපට දැනුම් දුන්නේ ය. හිස් අතින් අප කණ්ඩායම නැවත හැරී ආවේ අපේක්ෂාභංගව ය. එළැඹෙමින් තිබුණු තත්වය ගැන ජනාධිපතිවරයාට බරපතළ කියවීමක් නැත්ද යන ප්‍රශ්නය මට පැන නැගුණි. රටේ අනාගතය වෙනස් කළ හැකි ආකාරයේ තීන්දුවක් ගැනීම සඳහා නියමිත මූල්‍ය අරමුදල්-මුදල් අමාත්‍ය හමුව ගැන එතුමාට වෙනස් අදහසක් තිබුණේ කෙසේ ද? මේ අතර අපගේ හමුව පෞද්ගලික එකක් වූ අතර එම හමුවේ කොටසක් නොවූ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර දුරක සිට රැස්වීමේ කටයුතුවලට ඇහුම්කම් දෙමින් සිටිනු ද මට නිරීක්ෂණය විය.  

ඉහත රැස්වීම පිළිබඳ හිටපු ජනාධිපතිවරයා කෘතියේ සඳහන් නොකළ ද නියමිත ව තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මුදල් අමාත්‍යවරයා අතර හමුව කෘතීයේ සඳහන් වේ. “2022 අප්‍රේල් 18 වැනි දින වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත ව තිබූ හමුවට සහභාගී වූයේ ඔහු ය” යනුවෙන් එන්නේ ඒ පිළිබඳවයි. “ඔහු” ලෙස ගෝඨාභය මහතා මෙහි සඳහන් කරන්නේ අලු‍තින් පත් කළ මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ය. මෙම ලියුම්කරු අද ද කල්පනා කරන්නේ, එදින ජනාධිපති ගෝඨාභය විසින් තම මුදල් ඇමතිවරයා ඉවත් නොකළේ නම් රට බංකොළොත් බව ප්‍රකාශයට පත් නොකර ම ආර්ථික අර්බුදය ජය ගැනීමට අවස්ථාව තිබූ බවයි.

ණය ගෙවීම පැහැර හැරීමේ බරපතළ විපාක ගැන ජනාධිපතිවරයා අවබෝධයෙන් සිටි බව ඔහුගේ කෘතියෙන් ද පෙනේ. ඔහුගේ පහත ප්‍රකාශය වෙත අවධානය යොමන්න; “මගේ ආර්ථික කණ්ඩායම මුල සිටම ණය ගෙවීම පැහැරීමක් ප්‍රකාශ කිරීමට විරුද්ධ වූයේ එවැනි පියවරකින් රටට ඇති වෙන දරුණු ප්‍රතිවිපාක නිසා ය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2021 නොවැම්බර් මාසයේ 2022 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට සහතික වූයේ රජය ණය ගෙවීම පැහැර නොහරින බවත්, 2022 ජනවාරි මාසයේ දී කල් පිරෙන ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවන බවත්ය” වශයෙනි. මේ අතර, ගෝඨාභය මහතා කෘතියේ ම හෙළිකර සිටින්නේ ඇමරිකාවේ හැමිල්ටන් බැංකුව විසින් ලිපියක් ලියමින් උපදෙස් දුන්නේ තමන්ගේ බැංකුවට ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක මුදල තවත් ණයක් ලෙස දිගටම පවත්වා ගැනීමට කැමැති බවත්” ඩොලර් මිලියන 150ක් වැනි “සොච්චම් මුදලක්” (ගෝඨාභයගේ උදෘත) හිඟවීම හේතුවෙන් ස්වෛරීත්ව ණය ගෙවීම පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කිරීම “ඇදහිය නොහැකි තරම් අනවශ්‍ය සහ අදූර්දර්ශී” ක්‍රියාවක් බවත් ය.

කෙසේ වෙතත්, ඒ “ඇදහිය නොහැකි ක්‍රියාව” 2022 අප්‍රේල් 12 වැනි දින මහබැංකු අධිපති හා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ නායකත්වය යටතේ සිදුකර තිබුණි. එය නිදහසින් පසු ලංකාව දැමූ බරපතළම ආර්ථික අගාධය බව නොකියාම බැරි ය.

බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට නියමිත තිබුණේ අදියර තුනක ක්‍රියාදාමයක මධ්‍යකාලීන අදියර ලෙස ය. කෙටි කාලීන ක්‍රියාදාමය වූයේ මිතුරු රටවලින් ආධාර ලබා ගැනීම ය. එම සැලසුම අතිසාර්ථක විය. ඒ අනුව ඉන්දියාවෙන් ලද සහනය කිව නොහැකි තරම් වටනේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා එම ක්‍රියාදාමය නිර්ලෝභීව තම කෘතියේ සටහන් කර තිබෙන්නේ පහත එන ලෙස ය; “2022 පෙබරවාරි මාසයේ දී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගෙන තිබුණි. 2022 මාර්තු මාසයේ දී ඔහු අත්‍යවශ්‍ය ආනයන සඳහා තවත් ඩොලර් මිලියන 1000ක් ඉන්දියාවෙන් ලබා ගත්තේ ය... මා ඉල්ලා අස් වූ පසුත් මගේ අනුප්‍රාප්තිකයාගේ ධුර කාලය තුළ දී ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ ඉන්දියාව විසින් ලබා දී තිබුණු මේ ඇමරිකානු ඩොලර් මිලියන 4,000ක් පමණ වටිනා මූල්‍ය ප්‍රදානය නිසා ය. අර්බුදකාරී මොහොතක කළ මෙම නොමසුරු උපකාර වෙනුවෙන් ඉන්දියාවට මගේ හෘදයාංගම කෘතඥතාව පළ කළ යුතු ය.”

මේ කිසිවක් දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට විසඳුම් නොවූවේ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීම මිස රටේ ප්‍රශ්නවලට විසඳුම් නොවේ. අද රටට විසඳුම් යෝජනා කරමින් රටපුරා මහජන රැස්වීම් තබන මාර්ක්ස්වාදී පක්ෂයක හිටපු මන්ත්‍රීවරයකු විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේ “මාසයක්, මාස තුනක් රටට ඩොලර් එවන එක නවත්වන්න. කරන හැටි බලමු” කිය ය. ලංකාවට ඩොලර් එවන පිරිස් සිටින සමාජජාල වෙත මෙම පිරිස් ඍජුව ගොස් ඔවුන් රටට එවන මුදල් නැවැත්වීමට කටයුතු කරනු දක්නට ලැබුණි. එක් පසෙකින් ඩීසල් ගෑස් පෝලිම්වල මියයන පිරිස් ගැන කඳුළු සැලූ මොවුන් අනිත් අතින් ප්‍රශ්නය ඔඩු දුවවන ලෙස ක්‍රියා කළේ එසේ ය. ගෝඨාභය කියන කුමන්ත්‍රණය දෙස් විදෙස් හස්තයන්ගේ ඍජු මැදිහත් වීම හරහා දිගහැරෙන්නේ එපරිදි ය.

වෙස්ට් කෝස්ට් පවර් ආයතනය තුළ ඇමරිකානු බලශක්ති සමාගමක් වූ නිව් ෆෝර්ට්‍රස් සමාගම සිදු කිරීමට නියමිත ආයෝජනය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන අදහස්වලට සැමගේ අවධානය යොමුවිය යුතු ය. ඉහත ඇමරිකානු සමාගම විසින්ම කෙරවලපිටිය සොබාදනව් බලාගාරයට එල් එන් ජී ගෑස් සැපයීමට ද නියමිත ව තිබුණි. ඒ අනුව, සමස්තයක් ලෙස මෙගාවෝට් 640ක් පිරිසුදු හා ලාභදායි එල්එන්ජී ගෑස් යොදාගෙන විදුලිය නිපදවීමට නියමිත විය. මෙම වටිනා ආයෝජනයට ආණ්ඩුවේ ම සිටි ඇමතිවරුන් තිදෙනකු විරුද්ධ වූයේ ලංකාවේ ගෑස් ඒකාධිකාරය සදාකාලිකව ඇමරිකාවට ලබා දෙන බව කියමිනි. මේ ගෑස් ඒකාධිකාර කතාව සම්පූර්ණ ප්‍රලාපයකි. ගෝඨාභය සිය කෘතියේ ද සඳහන් කරන පරිදි හා මෙම ලියුම්කරු විසින් ද එවක එම ගිවිසුම දෑසින් ම දැක ඇති හෙයින් ද සහතිකව කිව හැක්කේ එය වසර 5ක් සඳහා පමණක් වලංගු බව ය. එහෙත් සත්‍ය පරදා බොරුව ජයගත් අතර ආයෝජකයා රටින් ගියා පමණක් නොව, ජාතික පද්ධතියට එකතු විය යුතුව තිබූ ආසන්න වශයෙන් මෙගාවෝට් 700ක් වැනි දැවැන්ත පරිමාවක්ද රටට අහිමි විය. අධික වියදම්කාරී ඩීසල් හැර එල්එන්ජී මගින් ඉහත බලාගාර ක්‍රියාත්මක වූයේ නම් විදුලි ඒකකයක මිල සියයට 30කින් අඩු කරනු මතු නොව රටේ නැවත විදුලිය කප්පාදු කිරීම සඳහා අවශ්‍යතාවක් ද පැන නොනගිනු ඇත. එහෙත් ආණ්ඩුව තුළ සිටි ජාතිකවාදි බව කියන ඇමතිවරු දෙදෙනකු විදුලි මාෆියාවේ අවශ්‍යතාව සපුරමින් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට තම වාචාලකම ඉහළින් ම භාවිත කළේ ය.

ඉහත කරුණු කිහිපය මගින් වුව පෙනී යන්නේ ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණයට පිටත පිරිස් පමණක් නොව, ඔහුගේ කැබිනට්ටුව තුළම සිටි පිරිස් ද සම්බන්ධ බවයි. එවක බලශක්ති ඇමතිවරයා ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ මාධ්‍යට විත් ප්‍රකාශ කළේ “රටේ තාමත් ඉන්ධන තිබෙන්නේ දින තුනකට පමණක්” බවයි. රටපුරා පෝලිම් ඇති කිරීමේ පළමු පියවර මෙය වේ. ඉන් පසු රට තුළට කොතරම් ඉන්ධන ගෙන ආවද ප්‍රමාණවත් නොවී ය. ඊට අමතරව හතු පිපෙන්නා සේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි වූ තෙල් බවුසර් මගින් තෙල් පිටත් කළ බව වාර්තා වූ අතර, ඒවා මහජනයා වෙත නොගොස් සඟවා තැබීමට කුමන්ත්‍රණකරුවෝ ක්‍රියා කළහ.

මේ ආකාරයට ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණය විවිධ තලවල ක්‍රියාත්මක වූ බව ඉහත සාධකවලින් පෙනී යයි. ඒවා ඍජු හා වක්‍ර ද විය. සූක්ෂම හා රළු ද විය. ඒ සියල්ල, ජාතික වශයෙන් වැදගත් පියවර ගැන අනවබෝධයෙන්, මෙරට දේශපාලකයන් කියන ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම් හා ඒ අනුව ක්‍රියා කිරීමට සූදානම් ජනතාවට ද මාහැඟි පාඩම් ය.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ