පවතින වියළි කාලගුණය ඉතාම දරුණු එකකි. අගනගරයට ඉහළ අහසේ රොද බැඳ ගෙන සිටින දුම් දූවිලි තට්ටුව උදෑසන, දහවල සහ සැන්දෑ අහසේ චමත්කාරයත්, පිරිසුදු ආලෝකයත් නගර වැසියන්ට සහ නගරයට පැමිණෙන්නන්ට අහිමි කොට ඇත. සාමාන්‍ය වායු ගෝලයට කලවම් වී ඇති දූවිලි අංශු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් ඇත. අග නගරය මිනිස් වාසයට හෝ ගැවසීමට නුසුදුසු තැනක් වෙමින් තිබියදී ටොන් ගණනින් දූවිලි සිමෙන්ති කුඩු සහ රසායන ද්‍රව්‍ය පහළ වායුගෝලයට සහ අහසට මුදා හරිමින් අහස උසට ඉදිවන බිහිසුණු ගොඩනැගිලි ය. ඒ ගැන හාංකාවිසියක් නැති ආණ්ඩු පක්ෂ-විපක්ෂ දේශපාලකයෝ ඊළඟ මැතිවරණයට හැරපොට බඳිති.
පැරණි අයගේ දේශපාලනය රටට කළේ විනාශයක් යැයි කියමින්, ඒ පැරැන්නන්ගේම ආශිර්වාදය සහ රැකවරණ යටතේ මැතිවරණයට එන්නට සැරසී, අලුත් වෙස්මුහුණු බැඳගෙන මහ ඡන්දයට පෙළගැහෙන බොහෝ අය නටන්නට සැරසෙන්නේ පරණ අයට වඩා අප්පිරියා සහගත නැටුමක් බව මේ වනවිටත් ඔප්පු කරමින් සිටී. ඒ නිසා දේශපාලනය සාරවත් බවින් තොර වියළි කතරක්ම වී ඇත.
මේ කතරේ තනිවී අසරණ වී ඇති ස්වදේශික මහජනයාගේ ‘එකම පමණක් නොව අවසාන බලාපොරොත්තුව සහ විශ්වාසය’ ගෝඨාභය ය. 2019 වනවිට පෙළ ගැසුණු බහුජනයා තම බහුජන ව්‍යාපාරයේ නායකත්වය ගත යුතු පුද්ගලයා ලෙස අන් කිසිවකු ගැන නොව විශ්වාසය තැබූයේ එකම මිනිසෙකු ගැනය. ඒ ගෝඨාභය ගැන ය. ගෝඨාභය ව්‍යාපෘතියේ සමහර දෑ පිළිබඳව විවේචනයක් තිබුණද අප ඉහත කරුණ පිළිගත යුතු ය. 56 ගොඩනැගුණු බහුජන ව්‍යාපාරය බණ්ඩාරනායක ගැන තැබුවේ මහා විශ්වාසයකි, බලපොරොත්තුවකි.
ඒ ජනයා බණ්ඩාරනායක සමඟ එකතු වී 47 සිට ඉදිරියට ආ කළු සුද්දන්ගේ නොහොත් කොම්ප්‍රදෝරු පාලකයන්ගේ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පාලන ආකෘතිය තීරණාත්මක වෙනසකට ලක් කළේය. ඒ ස්වදේශික රසයකින් යුතුව ය. බණ්ඩාරනායක ශාරීරිකව ඝාතනය කිරීමෙන්වත් නවතන්නට බැරිවුණ ඒ වෙනස අවුරුදු විසි එකකට එනම් දශක දෙකකට පසුව තීරණාත්මකව, ප්‍රතිගාමීව සහ සාහසිකව වෙනස් කිරීමට හැකි වූයේ ජේ.ආර්. ජයවර්ධනට ය. ඒ වෙනස56 ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පාලන ආකෘතියට සහ වෙනසට එරෙහිව වූ තීරණාත්මක විකෘතියකි. ස්වදේශිකවාදී නොවූ ප්‍රතිගාමී බහුජන බලවේගයක් විසින් 77 දී ජයවර්ධන ඔසවා තබන ලද්දේ බල්ලෝ මරාලා හරි සල්ලි සොයාලා, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා’’ යන එජාප උරුමය රටක කරුමයක් බවට පරිවර්තනය කරමිනි. කෙසේ වෙතත් ඒ බහුජනයා සහ ජයවර්ධන පැවති ක්‍රමය මුළුමනින්ම වෙනස් කළහ. ඉන් පසු මතු වූ බහුජන නායකයන් කිසිවෙකුටත් ‘ජයවර්ධන වෙනස’ වෙනස් කිරීමේ වුවමනාවක් හෝ හැකියාවක් තිබුණේ නැත. ඔවුන් කළේ ඒ බහුජනයා සමගින්ම ජයවර්ධන හැළියේම තැම්බී පදම් වීමය.
කලක් ගත විය. පාලකයන් බඩ ගැන සිතද්දී බහුජනයා ඔළුව ගැන සිතන්නට විය. දේවල්වලට වඩා අදහස්, ප්‍රතිමාන-වටිනාකම්, ලාංඡන, විනය, සොබාදහම සහ පිළිවෙළ ගැන සිතන පතන ජනයා වැඩිවන්නට විය. 2015 ලත් තැනම ලොප් වූ ඒ ජනයාගේ බලාපොරොත්තු යළි ලියලා ආවේ ගෝඨාභය මැදිකරගෙන ය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ 77 රට නොමඟ යැවූ තැනින් හරිමඟට ගැනීමට ඉන් පසු ආ කාටත් බැරිවුණ මුත් ගෝඨාභයට එය කළ හැකිවෙනු ඇත යන්නය. ඇත්ත නම්, ඔහුට එය කළ හැකිය. එහෙත් ඔහු අද, පුරුදු, පුහුණු, දැනුමැති ගවයන් නැති දක්ෂ සී සාන්නෙකු සේ වෙල මැද තනිවී සිටින්නේය යන මතයක් රට පුරා පැතිර යන්නේ නිකමට ම ද? හරයාත්මකව ගතහොත් ඔහු තනිවී සිටින්නේ ඔහුගේ දැක්ම, රසය සහ හදබස නොතේරෙන සහ නොදැනෙන එනම් එය ධාරණය නොවන නිසාම, ඒ සමඟ හදවතින් නොබැඳුණ, ඔහුට සමීප යැයි පෙන්වන දනන් මැද ය.
එහෙත් ඒ දැක්ම, රසය සහ හදබස තේරෙන සහ දැනෙන, එය ධාරණය වී ඇති බහුජනයා මැද ඔහු තවමත් තනිවී නැත. ඒ මහා ජනයාගේ විශ්වාසය වන්නේ 56 වෙනස වෙනස්කොට මහා ජාතික විකෘතියක් කළ 77 වෙනස වෙනස් කිරීම ගෝඨාභය ලවා කරවා ගත හැකිය යන්නය.
ඒ නිසාම ඒ රට වෙනස් කිරීමේ මහා සාධකය තනිකරන බලවේග ගැන අපගේ අවධානය යොමුවිය යුතුමය. සජීවී සිදුවීම් දෙකක් ඊට උදව් කර ගනිමු. මීගමුවේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කිරීමට නීත්‍යනුකුලව එරෙහිවන ගම්පහ වන අඩවි නිලධාරිනිය (දේවානි ජයතිලක) ජාතික ගෞරවයට භාජන වන්නේ ඇයගේත් දැනුම් තේරුම් ඇති බහුජනයාගේත්, ජනාධිපති ගෝඨාභයගේත් දැක්ම සහ හදබස එකක්ම වන බැවිනි. නීතිය නැමුවා යැයි ගර්හාවට ලක්වූ පූජිත ජයසුන්දර විවේචනය කළ පාලකයන්ම, පරිසර නීති ටිකක් නවන ලෙස නිලධාරිනියට බලපෑම් කරන්නේ ඔවුන්ට ගෝඨාවාදය දැනෙන්නේ නැති නිසාය. තේරුණත් ඔවුන් එයට අකැමැති නිසාය, ගෞරව නොකරන නිසාය. එහෙම නීතිය නවන්න කියන පාලකයන් ළඟ සිටින්නේ ඔක්සිජන් මොකටද කියන සහචරයන් නම් එවැනි අයගෙන් ගෝඨාභය ව්‍යාපෘතියට ලැබෙන ගුණාත්මක සහායක් ඇත්තේම නැත. ඔවුන් වනාහි කල දුටු කල වළ ඉහ ගන්නවුන් පමණක් ම ය.
ජනාධිපතිතුමනි, ඔබගේ දැක්ම සහ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන අර නිලධාරිනිය වැනි නිලධාරීන් ඔබගේ පෙරටු බල ඇණිය කරගන්න, ඔවුන් ආරක්ෂා කරන්න. ඇය වැනි අය, පක්ෂ යැයි කියාගන්නා කල්ලිවල අතකොළු නොව ඔබගේ ව්‍යාපෘතියේ සජීවී මෙහෙයුම්කරුවෝය.
හෙළිකළ යුතු තවත් වැදගත් තොරතුරක් වේ. ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පිළිබඳවය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වන්නේ දිස්ත්‍රික්කයේ දේශපාලකයකුගේ සභාපතිත්වයෙනි. සමහර දිස්ත්‍රික්කවල සභාපති වුණේ පරාජිත දේශපාලකයකු හෝ හිටපු මන්ත්‍රීවරයකුය. ඊට අනෙකුත් ප්‍රාදේශීය, පළාත් සහ පාර්ලිමේන්තු නියෝජිතයෝ සහභාගී වෙති. ඔවුන් සිටින්නේ ප්‍රධාන මේසයේ හෝ වේදිකාවේය. දිස්ත්‍රික් ලේකම් ද ඒ අතර වෙයි. සෙසු නිලධාරීන් සිටින්නේ වේදිකාවට මුහුණ ලා ගෙනය. ඔවුන් සිටින්නේ උසාවියක විත්තිකරුවන් සේ බියෙන්ය. මන්ද අර වේදිකාවේ සිටින දේශපාලකයන් නිලධාරීන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම මිස කිසිම සම්බන්ධීකරණ සාකච්ඡාවක් එතැන සිදුවන්නේ නැති නිසාය. එතැන දී නිලධාරීන් අන්ත අසරණය. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල ස්වභාවය ද ඊට වෙනස් නැත. අර වන අඩවි නිලධාරිනිය වටින්නේ මේ බියෙන් තැති ගත් සියලු නිලධාරීන්ට නොබියව රට වෙනුවෙන් නැඟී සිටීමට ගෝඨාවාදයෙන් ශක්තිමත් වෙමු යන්න ඇය කියා දෙන නිසා ය. එසේම ඒ නිලධාරීන් මතට වැටුණු අනිත් පොද වැස්ස වන්නේ, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන්ගේ අනිසි බලපෑම්වලින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය විසින් ගත් තීරණයය.
ඊළඟ සිද්ධියට යමු. පරිසර ඇමැතිගේ සහාය ඇතිව ප්‍රාදේශීය සහචරයන් තඹුත්තේගම ඔරුගලයාය රාජ්‍ය රක්ෂිතය විනාශ කරන බවට පරිසර සංවිධාන නඟන චෝදනාව පළමු සිද්ධියට දෙවැනි නැත. එය සිද්ධ වෙන්නේ පරිසර ඇමැතිගේ අනුග්‍රහයෙන් නොවේ යැයි අපි සිතමු. එසේ නම් ඇමැති කළයුතු වන්නේ ඒ විනාශය නතර කිරීමට වහාම කටයුතු කිරීමය. එය එසේ නොවන්නේ නම් ඔහු ජනාධිපති ගෝඨාභයගේ ඇමැති මණ්ඩලයේ නොසිටිය යුත්තෙකි. මන්ද ගෝඨාභයගේ දැක්ම සහ හදබස පරිසර විනාශය නොවන බැවිනි.
ඡන්දයක දී පාලකයන්ට උදවු කරන සමීපතමයන්ට සහ තැරව්කරුවන්ට තනතුරු ලබා දීම නොව කළ යුත්තේ තම ජාතික ව්‍යාපෘතියට සහාය දිය හැකි අයට වගකීම් බාර දීම නොවේ දැයි, මා මිත්‍ර හිටපු පළාත් සහා ඇමැතිවරයකුට ළඟක දී පැවසුවෙමි. එවිට ඔහුගේ ප්‍රතිචාරය අපූරු එකකි. ‘‘විපක්ෂයේ ඉන්නකොට තමයි හැබෑවටම ළඟ ඉන්නේ කවුද කියලා අඳුරගන්න පුළුවන්, ඉතින් බලය ගත්තට පස්සේ ඒ අය අමතක කරන්න බෑනේ, මොනවා හරි තනතුරක් දෙන එක සාධාරණයි’’ යන්න ඔහුගේ ඒ අපුරු ප්‍රතිචාරයය. එහෙත් මා මීට පෙර ලිපියකත් සඳහන් කළ පරිදි රටක් යනු දඩබිමක් නොවේ, බලය යනු දඩයමක් ද නොවේ. එසේ දේවල් බෙදාගන්නෝ දඩයම් සම්ප්‍රදාය අනුගමනය කරන්නන් මිස ජාතික අරමුණකින් රට හදන්නෝ නොවෙති. එවැන්නන් වනාහි ගෝඨාවාදයේ සහ ඒ මත පදනම් වන ජාතික ව්‍යාපෘතියේ බාධකයෝ වෙති.
මහා ඡන්දයේ දී පත්කර ගත යුත්තේ අරයගෙ මෙයාගේ නියෝජිතයන් නොව ජනාධිපති ගෝඨාභයගේ වැඩපිළිවෙළට සහාය දෙන අයයි යනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා කරන ප්‍රකාශය වැදගත් සහ කාලෝචිත වන්නේ මෙවැනි පසුබිමකය. එහෙත් එහෙම සහාය දෙනවා කියන්නේ ගෝඨාභයගේ පහනින් එළිය ගෙන කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගා ගැනීම නොවේ ය. රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තම වාසියට ගෝඨාභය යොදා ගැනීම සඳහා තේරෙන අය නොව ඔහු සහ ඔහුගේ දැක්මත් හදබසත් දැනෙන සහ ඊට අව්‍යාජව ගෞරව කරන අය ය. එනම් ගෝඨාවාදය ධාරණය වී ගෝඨාභය ගේ ජාතික ව්‍යාපෘතියට හදවතින්ම, හැඟීමෙන්ම සහ භාවමය වශයෙන්ම සහාය දෙන අය ය. බොහෝ තේරෙන අය උත්සාහ කරන්නේ තම බලය සහ ධනය වැඩිකර ගැනීමේ මෙවලමක් ලෙස උපායිකව ගෝඨාභය සන්නාමය පාවිච්චි කිරීමට ය. එහෙත් ගෝඨාභය දැනෙන අය කරන්නේ රට ගොඩ නැඟීමේ උත්තේජකයක් ලෙස ගෝඨාවාදය පිළිපැදීමට ය. දේවානි ජයතිලක වන අඩවි නිලධාරිනිය වැනි අය වනාහි ගෝඨාවාදයෙන් උත්තේජනය වූ අයය.
“වන ජීවී එකට ගම්පහ තියෙන්නේ අක්කර දහඅටයි. ඒවත් දැන් බෙදනවා. මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් කෝ? ඔක්සිජන් මොකටද අහන ගමේ ගොඩේ මිනිස්සුන්ට ඕනි විධියට තීරණ ගන්න නම් මෙච්චර ඉගෙනගෙන අපි මේ වගේ තනතුරුවලට එන්න ඕනි නෑ. විද්‍යාත්මකව බලලා තීරණයක් ගන්න. ඒකයි ඇමතිතුමා මගේ ස්ථාවරය”. එසේ කියන දේවානි ජයතිලක වියත්මඟ හෝ එළිය සාමාජිකාවක් නොවේ. හැබැයි ඇය ගෝඨා ව්‍යාපෘතියට නැතිවම බැරි ක්‍රියාකාරිනියකි. මේ, ඒ හඬ හැම හඬකටම ඉහළින් රටපුරා රැව් පිළිරැව් දෙන මොහොතයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක