ජනපති අපේක්ෂක අභියෝග


මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17 වැනි දිනෙන් පසු කාලයේ මැතිවරණ කොමිසමට නීත්‍යනුකූලව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ අවකාශය ලැබී ඇත.

මගේ තේරුම් ගැනීමට අනුව ඔක්තෝබර් මාසයේ පළමු හා දෙවැනි සතිවල ජනාධිපතිවරණය පැවැත්වීමේ විශාල ඉඩක් ඇත. ඒ නිසා රටම මැතිවරණ සැකැස්මක් යටතේ සංවිධානය වීම ලබන සතියෙන් ආරම්භ වීමට නියමිතය. මෙවර කිවිඳා දැක්මෙන් ලියන්නේ මේ තීරණාත්මක අවස්ථාවේ රට හමුවේ තිබෙන අභියෝග කීපයක් පිළිබඳවය. ඒ ඒ ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ප්‍රකාශ හරහා ආමන්ත්‍රණය කළ යුතු ක්ෂේත්‍ර කීපයක් පිළිබඳවය.

 

ආර්ථික කළමනාකරණය

මා මෙම තීරු ලිපියේ කිහිප විටක්ම සඳහන් කර ඇති පරිදි මෙම ජනාධිපතිවරණයේ එක් ප්‍රධානතම මාතෘකාවක් වන්නේ ආර්ථිකය ගොඩ නැගීම සහ එය කළමනාකරණය කිරීම පිළිබඳවය. සමහරුන් සිතන ආකාරයට රටේ ආර්ථිකය යනු ණය කළමනාකරණය (debt managment) යැයි මා සිතන්නේ නැත. ණය ප්‍රතිව්‍යූහගතකරණය යනු එහි ඇති එක් අභියෝගයක් පමණක්ය. සමස්ත ආර්ථිකයම බරපතළ අභියෝගයක තිබෙන තත්වයක එහි ඇති එක් සංරචකයක් පිළිබඳව පමණක් අවධානයට ලක් කිරීම එතරම් තේරුමක් ඇති දෙයක් නොවේ. ඒ අනුව තේරුම් ගත යුතු කාරණය වන්නේ රටේ ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනාවක්ම කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්ය දෙයක් වී ඇති බවය.

 

සම්පත් නිර්මාණය

රටේ ආර්ථිකය යළි නගා සිටුවීම තුළ ඇති එක් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ wealth creation හෙවත් සම්පත් වර්ධනය කිරීම පිළිබඳ නව ක්‍රමෝපාය ගොඩ නගා ගැනීමය. මෙහිදී අවධානය යොමුකළ යුතු ගැටලුකාරීත්ව කීපයක්ම තිබෙන බව මගේ අදහසය. ඒවායින් එකක් වන්නේ රටේ ආර්ථික මූලෝපාය පිළිබඳ අලුත් කියවීමක් ඇතිකර ගැනීමය. 1948 න් පසු මෙරට ආර්ථිකයේ පෙන්නුම් කරන එක් බරපතළ ගැටලුවක් වූයේ ආර්ථිකය ක්‍රියාත්මක කරන දිසානතිය කුමක්ද? යන ගැටලුවයි. 1948 – 1956 දක්වා එක් ආකාරයකටත් 1956 – 65 දක්වා තවත් ආකාරයකටත් මේ රටේ ආර්ථිකය ගමන් කරවනු ලැබීය. මේ තත්වය තවත් සංකීර්ණ වූයේ 1970 – 77 යුගය තුළ මධ්‍යගත සැළසුම් සහිත ආර්ථිකයක් හඳුන්වා දීම තවත් පසෙකිනුත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් අර්බුදජනක එකක් බවට පත් කිරීම නිසාය.

2009 සිට ආර්ථිකයේ අර්බුද ජනක තත්වය සමහන් කිරීම සඳහා එතෙක් විදේශ ණය ගැනීම තවත් බරපතළ පැත්තකට ගමන් කළේය. ඒ කියන්නේ වැඩි පොලියට සහ අඩු කාලයකින් කල් පිරෙන ආකාරයෙන් ISB හෙවත් ස්වෛරි බැඳුම්කර නිකුත් කරමින් ණය ගැනීමට යොමු වීමය.

එතෙක් මෙරට විදේශ ණය ගනු ලැබුවේ එක්කෝ ජාත්‍යන්තර ආයතන පද්ධතිය වෙතින්ය. නැත්නම් මිත්‍ර රටවල් වලින්ය. මේ දිනවල කථා බහේ නිතර කියවෙන බදු පාර්ශ්වීය ණය හෙවත් ‘මල්ටි ලැටරල් ණය’ කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ගනු ලැබූ ණයයි. IMF, ADB, ලෝක බැංකුව වැනි ආයතන එම පන්නයේ ඒවාය. මිත්‍ර රටවලින් ගනු ලබන ණය හරහා අපේ රට විශේෂයෙන් ඉන්දියාවෙන් සහ චීනයෙන් ලබාගත් ණය විශාල ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත.

ස්වෛරී බැඳුම්කර හරහා පවත්වාගෙන ගිය රාජ්‍ය මූල්‍ය සංචිත ක්‍රියාදාමය 2020 – 22 කාලයේ කඩා වැටුණු බව දැන් ඉතාමත් පැහැදිලිය.

මීළඟ ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ විදේශ මූල්‍ය ශක්තිය හා වත්කම් නිර්මාණය කිරීමයි. මෙතෙක් රටේ විදේශ මූල්‍ය ශක්තිය පදනම් වූයේ ක්ෂේත්‍ර කීපයක් මතය. එක් පැත්තකින් සේවා ආර්ථිකයකට රට තල්ලු වී ඇති නිසා එයින් එක් ක්ෂේත්‍රයක් වූයේ සංචාරක ව්‍යාපාරයයි. අනෙක් ක්ෂේත්‍රය අපනයනය මගින් ලැබෙන ආදායම වන අතර ඊට අමතරව විදේශවල සේවය කරන ශ්‍රමධාරීන්ගේ ඉපැයීම් රටට ඩොලර් ලෙසින් ගලා ආ බව හැමෝම දන්නා කාරණයක්ය. මීට අමතරව විදේශ මූල්‍ය සංචිත නඩත්තු කළේ විදේශ ණය ගැනීමෙන්ය. ඒ නිසා මීළඟ ජනාධිපතිවරයා හමුවේ මේ ගැටලුව බරපතළ අකාරයෙන් මතු වී තිබෙන බව අවධානයට ගැනීම වැදගත්ය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් වත්මන් පාලනය විසින් ආර්ථිකය යථා තත්වයට පත් කරන ලද බවට කියවෙන කථාවය. එහි ඇත්තේ සංකීර්ණ ව්‍යාජයක් මිස ඇත්තක් නොවේ. දැන් සිදුවෙමින් පවතින්නේ අලුතින් කිසිදු ආයෝජනයක් හෝ නව විදේශ මූල්‍ය වර්ධනයකින් හෝ තොරව පරණ ක්ෂේත්‍ර 03 ත් ලැබෙන විදේශ මූල්‍ය ශක්තිය පාවිච්චි කිරීමය. දැන් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැත්තේ දැන් ණය වාරික මාසිකව ගෙවන්නේ නැතිව ඒ මුදල්වලට තෙල් ගෙන්වන නිසාය. ගෑස් ගෙන්වන නිසාය.

වත්මන් ආණ්ඩුව ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා මැදිහත් වූ බව සැබෑය. ඒ සඳහා IMF  න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ද දැන් බැදී ඇත.

 

රැකියා නිර්මාණය කිරීම

රට හමුවේ ඇති තවත් ප්‍රධානතම අභියෝගයක් වන්නේ ආර්ථික ක්‍රියාකාරකම් ඇතිකිරීම, ආර්ථික ක්‍රියාකාරකම් හරහා විරැකියාව අවම කිරීමයි. විරැකියාව මගින් පෙන්නුම් කරන්නේ රටේ ශ්‍රම දායකත්වය ඉතාමත් අඩු මට්ටමක පවතින බවයි. එසේම ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය අවම වීමේ එක් දර්ශකයක් වන්නේ විරැකියා අනුපාතය වර්ධනය වී තිබීමය. මේ තත්වය තුළ මීළඟ ජනාධිපතිවරයාට මුහුණ දීමට තිබෙන එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ ‘රැකියා උත්පාදනය සහ ආර්ථික ක්‍රියාකාරම් වර්ධනය’ කරන්නේ කෙසේ ද කියාය.

 

සමාජ සුබසාධනය සහ සමාජ ආරක්ෂණය

මීළඟට වැදගත් අභියෝගයක් වන්නේ රටේ සමාජය සුබසාධනය සහ සමාජ ආරක්ෂණය ශක්තිමත්ව ගොඩ නගන්නේ  කෙසේද යන කාරණයයි. මෙහිදී මුලින්ම තේරුම්ගත යුතු කාරණයක් වන්නේ සමාජ සුබසාධනය (Social wclfare) සහ සමාජ ආරක්ෂණය (Socrial security) යනු දෙකක් මිස එකක් නොවන බවයි.

සමාජ සුබසාධනය පැත්තෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ගමනාගමනය යන ක්ෂේත්‍ර අපේ රටේ ඉතාමත් වැදගත් ඒවාය. ඒවා පිළිබඳව රටේ ජනතාව සිතන්නේ තමන්ගේ අයිතිවාසිකම් වශයෙන්ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය. ඒ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජනතාවට අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම පැහැර හැරිය නොහැකි බව පිළිගැනීම අත්‍යාවශ්‍යය. අනෙක් අතට රජයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයේ මැදිහත්වීම ශක්තිමත් කිරීමද අවශ්‍යය. රජයේ පාලනය හා අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු කිරීමේ අභියෝගය තවමත් සාර්ථක අයුරින් සිදුකර  නැත. එම කාරණය කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වන්නේ රටේ වෙළෙඳපොළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි උසස් අධ්‍යාපනයක් රටට අවශ්‍යය යන කාරණය සැලකිල්ලට ගැනීමේදීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද තිබෙන ගැටලුකාරීත්වය කවුරුවත් හරියට කතා කරන්නේ නැත. බෙහෙත් මිලදී ගැනීමේ අක්‍රමිකතා ගැන නිතර කතා කිරීම හොඳය. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළල් වර්ධනයක් ඇති කිරීම ඒ හා සමානවම අත්‍යාවශය කාරණාය. ඒ පිළිබඳව අවධානය යොමුකිරීම අනාගත ජනාධිපතිවරයකුගේ මූලික කාර්යයක් හා අභියෝගයක් වනු ඒකාන්තය.

 

සමාජ ආරක්ෂණය

සමාජ ආරක්ෂණය යටතේ මේ රටේ ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇත. ජනසවිය, සමෘද්ධිය, දිවි නැගුම, අස්වැසුම යනුවෙන් විවිධ නම්වලින් ඒවා හඳුන්වා දී ඇත. මේ ව්‍යාපෘතිවලින් ආමන්ත්‍රණය කරන්නේ සියයට 40 ක් පමණ වූ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවය. මේ ව්‍යාපෘති හරහා ජනතාව බලගැන්වීමට වඩාත් ශක්තිමත් පියවරක් ගැනීම අත්‍යාවශ්‍යය.

 

යටිතල පහසුකම්

රටේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ විශාල වශයෙන් හිඟතාවක් ගොඩ නැගී ඇත. එම හිඟය පියවීම මීළඟ ජනාධිපතිවරයාගේ මූලික අභියෝගයක් වනු ඇත. මහා මාර්ග ක්ෂේත්‍රයේ සහ ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ විශාල අලුත් කිරීමක් කළ යුතු බව මගේ හැඟීමය.

මේ කරුණු කීපය මා සඳහන් කළේ තව මාස 03 කින් පත්වන ජනාධිපතිවරයා හමුවේ සෘජුව හා කඩිනම්ව මතුවෙන අභියෝග කීපයක් මතු කිරීමටය. තවත් මෙවැනි අභියෝග කීපයක් ඉදිරි කිවිඳා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වෙමි.

 

(*** මහාචාර්ය චරිත හේරත්)