ජනපතිවරණ සාකච්ඡා තේමාව


ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කළ දිනයේ සිට ලැබී තිබූ කාලය වෙනදා තරම් දීර්ඝ එකක් නොවන බව පැහැදිලිය. ඒ නිසාම රට තුළ මතුවිය යුතු වැදගත් සාකච්ඡා ගණනක්ම නොකෙරී යමින් තිබෙන බව ද පෙනෙන්නට තිබෙන කරුණකි.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ ජනාධිපතිවරණයේ දී ආමන්ත්‍රණය කළ යුතු වැදගත් මාතෘකා කීපයක් පිළිබඳවය. රටේ වැදගත්ම තෝරා ගැනීමක් සිදුවන මෙම ඡන්දය තුළ පළල් දේශපාලන සාකච්ඡාවක් සිදු කිරීම ඉතාමත්ම අවශ්‍ය කාරණයකි.

 

යථාර්ථය සහ අලංකාරිකය

ඒ ඒ අපේක්ෂකයන් වේදිකාවල ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ “දේශපාලනයේ බිම තිබෙන යථාර්ථය නොසලකා  හුදු දේශපාලනික අලංකාරික (political retoric) දෙසා බෑම” විශාල වශයෙන් සිදුවන බවය.

මේ මොහොතේ රටේ බිම තිබෙන ආර්ථික තත්වය කුමක්ද? අප හමුවේ ඇති අභියෝග කවරේද? ඒ අභියෝග ජය ගැනීමට ඒ ඒ ජනාධිපති අපේක්ෂකයන් කටයුතු කරන්නේ කෙසේ ද? එම යෝජනා ප්‍රයෝගික වශයෙන් ඉටුකළ හැකි ඒවා ද යනාදී කරුණු මෙහිදී අපගේ අවධානයට ගත යුතුය.

 

රටේ ප්‍රධාන ප්‍රශ්නය

මෙවර ජනාධිපතිවරණයේ ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධානම ගැටලුව වන්නේ රටේ ආර්ථිකයේ තිබෙන ගැටලුකාරීත්වයයි. මේ කාරණය නිශ්චිතව සාකච්ඡා කරන්නේ නැතිව වෙන මොනවා කතා කළත් ඒ කිසිවක් මෙවර ජනාධිපතිවරණයට අදාළ වන්නේ නැත.

රටේ ආර්ථිකය හමුවේ මතු වී ඇති ගැටලුකාරීත්ව ක්ෂේත්‍ර කීපයකින්ම පෙන්නුම් කර ඇත. මුලින්ම තිබෙන්නේ දේශීය සහ විදේශීය ණය සම්බන්ධ කාරණයයි. මේ ණය අර්බුදයක් බවට දැන් පත්වී ඇත. ණයක් යනු සාමාන්‍යයෙන් රටක තිබිය හැකි දෙයක්ය. එහෙත් ඒ ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත් වුවහොත් එය අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය.

 2022 අපේ රටේ සිදු වූයේ විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත්වීමය. ඒ තත්වය නිසා ඇති වූ බරපතළ ප්‍රතිවිපාක තවමත් හරියට සමහන් වී නැත. දැන් මෙවර ජනාධිපතිවරණයෙන් දිනන අපේක්ෂකයා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ මේ කාරණාය. ඒ කියන්නේ රටේ ණය ආපසු ගෙවීම සඳහා ක්‍රමවේද ගොඩ නැගීමය. එ් සඳහා වත්මන් ආණ්ඩුව කළේ IMF ආයතනය ඉදිරිපත් කරන ලද ආකෘතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමය. ඒ හරහා රටට සිදුවන බරපතළ තත්වය ගැන කිසිදු අදහසක් වත්මන් ආණ්ඩුවට තිබුණේ නැත. ආණ්ඩුවේ ආදායම වැඩි කිරීම සඳහා බරපතළ බදු ගැසීමකට වත්මන් ආණ්ඩුව ගමන් කළේ මේ හේතුව නිසාය.

දැන් මීළඟ ජනාධිපතිවරයා මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය රටට කිව යුතුය. මේ සම්බන්ධව පළල් විමර්ශනයක් සහ විසඳුමක් ඉදිරිපත් කිරීම ඉතාමත් අවශ්‍යය. ඒ අර්ථයෙන් ගත්විට මේ මොහොතේ ජනතාව තුළත් ඒ ඒ පක්ෂ වෙතිනුත් මේ පිළිබඳව උනන්දුව අඩුවී තිබෙන බව මාගේ නිරීක්ෂණයයි. තමන්ගේ දේශපාලන ලියවිලි අතර මැතිවරණ ප්‍රකාශයට වඩා එහාට ගොස් මේ කාරණය පිළිබඳව කතා කරන අවස්ථා තිබුණේ  කීපයක් පමණය. ඒවා අතරින් සමගි ජන බලවේගය ඉදිරිපත් කළ Economic Blue print 3.0 යන ලියවිල්ල වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබූ බව මාගේ නිරීක්ෂණයයි.

මේ ජනාධිපතිවරණයේ දෙවැනි වැදගත් ගැටලුව වන්නේ ඉහත සඳහන් ණය අර්බුදයෙන් ඉවතට ගමන් කිරීම සඳහා ආර්ථිකය මෙහෙය වන්නේ කෙසේද? යන කාරණයයි. එහිදී අවධානයට ගත යුතු කරුණු සහ පැති කීපයක්ම තිබේ. එක් අතකින් රටේ විදේශ මුල්‍ය  ශක්තිය වැඩි කරන්නේ කෙසේද? යන කාරණය ඉතාමත් වැදගත් එකක්ය. එය හුදු අලංකාරික හරහා කළ නොහැකිය. 

රටේ  අපනයනය දියුණු කරන්නේ කෙසේද? යන ගැටලුව මෙහිදී මූලිකවම ආමන්ත්‍රණය කළ යුතු එකක්ය. අපනයනය යනු රටක ආර්ථිකයේ ඉතාමත් තීරණාත්මක කොටසක් වන අතර එය වර්ධනය කළ හැක්කේ පැරණි මතවාදවල සිටීමෙන් නොවේ. මෙවර ජනාධිපතිවරණ සංවාදයේ මෙම කාරණය ගැන අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍ය බව මාගේ යෝජනාවය.

මීළඟට වැදගත්ම කාරණය වන්නේ රටේ විදේශ මූල්‍ය මාර්ග, සංචාරක කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවල නව සංවර්ධනයක් කරන්නේ කෙසේද? යන කාරණා රටට ඉදිරිපත් කිරීම්ය. ‘‘අපි ආවායින් පසුව ඒවා කියන්නම්’’  වැනි විහිලු කතාවලින් බැහැරවී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම ඉතාමත් අවශ්‍යය.

මේ ආර්ථික කරුණුවලට අමතවර වැදගත් වන කාරණයක් වන්නේ රටේ ආනයනය සඳහා නිෂ්පාදනය කළ හැකි ආදේශක තෝරා ගැනීමත් ඒ සඳහා යම් ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කිරීමත්ය.

මේ සියලු ක්ෂේත්‍ර සමග ගැට ගැසී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ විරැකියා ගැටලුව විසඳෙන ආකාරයෙන් රටේ ආර්ථික ක්‍රියාකාරකම් හෙවත්  Economic activities වැඩි කිරීමය. ඒ සඳහා උපාය මාර්ග හා ප්‍රතිපත්ති ඉදිරි කළ යුතුය. සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවල කිසිදු ප්‍රතිපත්තියක් දකින්නට ලැබෙන්නේ නැත. ඒවා හුදු පර් යේෂණ පත්‍රිකා වගේ ඒවාය.

 

දේශපාලන ප්‍රතිසංස්කරණ

ඉහත සඳහන් ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට අමතරව අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ කළ යුතු වෙනස්කම් කවරේද යන්නය. ඒවා අතර රටේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම ඉතාමත් අවශ්‍යය. එය ඉතාමත් වැදගත්ය. අනෙක් අතට රට තුළ ඩිජිටල් යටිතල පහසුකම් හරහා ශක්තිමත් රාජ්‍ය පාලන ආකෘතියක් ගොඩ නැගීම අවශ්‍යය. එසේම රටේ සංවර්ධනය ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් හිර වී ඇති නීතිරීති වෙනස් කළ යුතුය. මේ සියල්ල කිරීම සඳහා පළල් දැක්මක් ඒ ඒ දේශපාලන බලවේග විසින් සමාජය හමුවේ තැබිය යුතුය.

ජනාධිපතිවරණයට පෙර ගත කරන ඉදිරි සති 02 තුළ මේ සාකච්ඡාව වර්ධනය කිරීම අප සැමගේ වගකීම බව මාගේ මෙවර කිවිදා දැක්මය.

 

(*** මහාචාර්ය චරිත හේරත්)