2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමෙනි. ඇත්තම ඒ අභියෝගකාරී වන්නේ ඔහු තනි මන්ත්‍රීවරයකු වූ නිසා පමණක් නොවේ. තවත් හේතු කීපයක් නිසාය. අංක එක වන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන පසමිතුරා වූයේ රනිල් ය.
අවම වශයෙන් 2000 වසරින් පසු පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය දේශපාලනය කළේ රනිල්ට එරෙහිවයි. දෙවැනි හේතුව වන්නේ ඔහු පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා බලපෑ සාධකවලට රනිල් වික්‍රමසිංහ ද ඍජුව වගකිව යුතු බව දනිමින්ම පොදුජන පෙරමුණ එම තීන්දුව ගැනීමයි. ඔහු හේතු දෙකක් මත ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. එනම් යහපාලන ආණ්ඩු සමයේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඩොලර් බිලියන 13ක ණය ගනිමින් නැවත ණය ගත නොහැකි ලෙස ලංකාව ණය උගුලක හිරකර තිබීම ය. අනෙක නම් ණය ගෙවිය හැකි මාර්ග ලෙස හඳුනාගත් සංචාරක කර්මාන්තය වැනි කර්මාන්ත පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීමෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමා තිබීම ය. තවත් හේතුවක් තිබේ. එනම් ගෝඨාභයට එරෙහිව කළ ගෝල්ෆේස් අරගලයේ ඍජු කොටස්කරුවකු ලෙස රනිල් වික්‍රමසිංහගේ එජාපය කටයුතු කිරීම ය. එහි තමන්ගේ කූඩාරම් 17ක් තිබුණ බව එජාප නායකයෙක් පසුව පිළිගත්තේ ය.
මේ සියල්ල තිබිය දී රනිල් වික්‍රමසිංහ මෙරට විධායකයට ගෙන ඒමට පොදුජන පෙරමුණ කටයුතු කිරීම පුදුමසහගත වේ. එහෙත් එම සුවිශේෂී අවස්ථාවේ උද්ගතව තිබූ කරුණු සැලකිල්ලට ගත් විට එහි පුදුමයක් නොතිබෙන බව පෙනීයයි. එනම් නැගී ගෙන ආ කැරැල්ල පැමිණියේ හුදු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පමණක් නොවන බව මේ වන විට හෙළි වී ඇත. එය පැමිණියේ ශ්‍රී ලංකාව නම් රාජ්‍යයට එරෙහිවයි. එවැනි අවස්ථාවක දේශපාලන පක්ෂයක් කටයුතු කළ යුතු හොඳම ආකාරය පෙන්වමින් පොදුජන පෙරමුණ තම පරම දේශපාලන සතුරා ජනාධිපති ධුරයට පත් කර තිබේ. එය දේශපාලනයට ඉහළින් ජාතිය හා දේශය තැබූ අවස්ථාවක් ලෙස අපට ගිනිය හැකි ය.
දැන් මේ වන විට පොහොට්ටු පක්ෂය තවත් ඉතා වැදගත් හා අභියෝගාත්මක තීන්දුවක් ගෙන තිබේ. එය ද පවතින දේශපාලන තත්වය මත ගත හැකි හොඳම විකල්පය වේ. එනම් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ගේම අපේක්ෂකයකු තරගයට ඉදිරිපත් කිරීමයි. එක්තරා නිශ්චිත අරමුණක් සඳහා තාවකාලිකව පත් කළ ජනාධිපතිවරයාට සහාය දීම යනු දේශපාලන වශයෙන් එම පක්ෂය හා එම පක්ෂය බලයට ගෙනා අරමුණු පූර්ණ වශයෙන් අනතුරට හෙළිමක් වන්නට තිබුණි. මන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණු පක්ෂය යනු ඉහත කී ආකාරයට අහසට පොළොව මෙන් ප්‍රතිපත්තිමය ලෙස වෙනස් කතාන්දර දෙකකි. එවන් තත්වයක පොදුජන පෙරමුණ රනිල් ජනාධිපතිවරයාට තවත් ධුර කාලයක් සඳහා සහාය වීම යනු ඔහුට හා ඔහුගේ මතවාදයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ ඡන්දය ලබාදුන් ජනතාවට එළිපිට පිටු පෑමකි. රාජ්‍යය රැකීම වෙනුවෙන් වුව ඔහු ජනාධිපති ධුරයට පත් කිරීම පිළිබඳ පවා ඇතැමුන් පොදුජන පෙරමුණට දැඩි විවේචන එල්ලකොට තිබුණි. කෙසේ වෙතත්, පැවති කැරැල්ලෙන් රාජ්‍ය බේරා ගැනීම සඳහා ඔහු පත් කිරීම සාධාරණීකරණය කළ හැකි මුත්, තවත් වරක් ඔහුට අවස්ථාව දීම සමාව නොදිය යුතු මට්ටමේ දේශපාලන වරදක් විය හැකිව තිබුණි.
පොදුජන පෙරමුණ ගත් තීරණයත් සමග දේශපාලන පොර පිටිය නැවත වරක් සෙලවී ගොස් තිබෙන බව පෙනේ. එය අපේක්ෂා කළ යුතු තත්වයකි. පොදුජන පෙරමුණ ඒ ගැන ගණන් බලා තිබෙන්නට ඇත. මේ වන විට පොදුජන පෙරමුණේ ම ඇතැම්හු ජනාධිපති වික්‍රමසිංහගේ “දෑත් ශක්තිමත් කිරීම” සඳහා ගොස් සිටිති. ඔවුන් කියන්නේ ජනාධිපතිවරයා “රට බේරාගත්” බවයි. මේ නම් විහිළුවකි. මුලින් ද කී ලෙස පවතින අර්බුදය නිර්මාණය කළේද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබවූ යහපාලන ආණ්ඩුවයි. එහෙත් තම තනතුරු තානාන්තර රැකගැනීම සඳහා ඔවුන්ට එය “සමාවක්” වී තිබේ.
දේශපාලය ගැන උනන්දු වන පිරිස් අද වන විට අවධානය යොමු කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී වැඩි බලයක් ගැනීම සඳහා හැකියාව ඇත්තේ කාට ද යන්නයි. මෙවර එම තක්සේරුව ඉතා සංකීර්ණ එකක් බව කිව යුතු ය. මන්ද ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදා සිදු නොවුණ පරිදි මෙවර සමාන්තර බලවේග කීපයක් එකවර පෙළගැසෙමින් තිබීමයි. විශේෂයෙන් ම මෙවර ආණ්ඩුවට අමතර ව විපක්ෂය ද බෙදී ගොස් ඇත. එය සුවිශේෂ තත්වයකි. විපක්ෂ බලවේගයේ ඡන්ද ගොඩ සඳහා සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය තරග කරමින් ඇත. ඊට අමතර ව ජනාධිපති අපේක්ෂකයන් ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙවර විපක්ෂ බලවේගය යනු තනි ඒකඝන පදාසයක් නොව, බෙදුණු කුලුනු කිහිපයකි. අනෙත් පැත්තෙන් ආණ්ඩු බලවේගය ද දැන් කොහොමත් බෙදී තිබේ.
මේ සියල්ලෙහි ප්‍රතිඵලය වන්නේ, මෙවර ජනාධිපති ධුරයට පත්වන කිසිවකුට සියයට 50 ඉක්ම වූ ඡන්ද ලබාගැනීමට නොහැකි වන බවයි. ලංකාවේ පළමු වරට සියයට 30 හෝ සියයට 35කින් ජනාධිපතිවරයකු පත්වීමේ හැකියාව මේ තත්වය තුළ ගොඩනැගී ඇත. තව ද දෙවැනි මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවද මෙවර පැනනගිනු ඇත. කෙසේ වෙතත්, ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළ දී දෙවැනි මනාපයක් ලකුණු කිරීමේ පුරුද්දක් නැති වීම තුළ උද්ගත වන තත්වය ද සුවිශේෂී වනු ඇත.
මේ තත්වය තුළ යම් පමණක වැඩි ප්‍රතිඵලයක් ගෙන මැතිවරණය ජයගත හැක්කේ කුමන බලවේගයකට ද යන්න අනුමාන කිරීම ද වෙනදාට වඩා දුෂ්කර ය. එය තවත් දුෂ්කර වන්නේ තාමත් මෙරට ඡන්ද දායකයන් අති බහුතරය ඡන්දය දීම ගැන නිශ්චිත තීන්දුවක් ගෙන නොතිබීමයි. පසුගිය කාලයේ සිදුවූ අත්දැකීම් සමග ඡන්ද පොළ ද්‍රවමය තත්වයට පත්ව ඇති සෙයකි.
කෙසේ වෙතත්, මීට පෙර පක්ෂ විසින් ගන්නා ලද ඡන්ද අනුව සලකා බැලීමේ දී අපට යම් අනුමාන ටිකක් කළ හැකි ය. මෙවර ප්‍රධාන තරගය පවතිනු ඇත්තේ සමගි ජන බලවේගය හා පොදුජන පෙරමුණ අතරයි. ඊට හේතුව වන්නේ සමගි ජන බලවේගයට මෙන්ම පොදුජන පෙරමුණට ස්ථාවර ඡන්ද පදනමක් තිබීමයි. එම පක්ෂ දෙකම පටන් ගන්නේ ඡන්ද ලක්ෂ 20ක ස්ථාවර පදනමක සිටයි. ජාතික ජනබලවේගය මෙවර මැතිවරණ ක්‍රියාකාරිත්වය තුළ වඩාත් වැඩියෙන් ඉදිරියට පැමිණි බලවේගය බව රහසක් නොවේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ ස්ථාවර ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 4කට වැඩි නොවේ. ඒ අනුව, ඔවුන් ආරම්භ කරන්නේ එතැන සිටයි. එම තත්වය තුළ ජාතික ජන බලවේගයේ ඡන්ද සියයට 100කින් වැඩි වුවද ඔවුන්ට එන්නේ ඡන්ද ලක්ෂ 8ක් හෝ ඊට ආසන්න ගණනකි. අපි ඔවුන්ට වැඩිම වාසිය දී ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය සියයට 200කින් වැඩිවන බවට උපකල්පනය කළහොත් ඔවුන් නවතින උපරිම සීමාව වන්නේ ඡන්ද ලක්ෂ 20කට අඩුවෙනි. කෙසේ වෙතත්, ඔවුන්ට වැටෙන ඡන්ද අඩු වන්නේ පොදුජන පෙරමුණෙන් හා සජබෙන් ය. ඒ අනුවයි මෙවර එම පක්ෂ දෙකට සියයට 50 සීමාව ඉක්මනු නොහැකි වන්නේ.
කෙසේ වෙතත්, මේ වන විට අලුතින් ම ගොඩනැගී ඇති තත්වය තුළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සැලකිය යුතු සංඛ්‍යාවක් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කර තිබේ. කෙසේ වෙතත්, එම මන්ත්‍රීවරුන්ට ඡන්ද පොළට කළ හැකි බලපෑම අවම ය. පොදුජන පෙරමුණ පවතින්නේ මහින්ද රාජපක්ෂගේ උරුමය මතින් වන අතර, එම පක්ෂයට ඉතාම නරක තත්වයක් තුළ පවා ඡන්ද ලක්ෂ 20ක් ලබාගත හැකි ය. තවත් ලැබෙන්නේ නම් ඒ බෝනස් ය. මේ අතර, එම පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා මත ඉතිරි සියල්ල තීරණය වේ. විශේෂයෙන් ම මේ වන විට පළ වී ඇති වාර්තාවලට අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා එම පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ නම්, එය පොදුජන පෙරමුණට විශාල නව ජවයක් එකතු කරනු ඇත. මන්ද ඔහු සතුව සාමාන්‍ය දේශපාලනයට නොපෙනෙන යටි බිම්ගත ඡන්ද පදාසයක් නිර්මාණය වී තිබීමයි. ඒ බොහොමයක් අලුත් ඡන්ද ය. ඒ, ඔහුගේ අධ්‍යාපනික වැඩ සටහන් හරහා තරුණ පරම්පරාව මතින් ය. එම තරුණයන් ද, තරුණයන් හරහා ඔවුන්ගේ මවුපියන් ද තමා වෙත ආකර්ෂණය කර ගැනීමට ධම්මිකට අවස්ථාව ලැබෙන අතර එය, පොදුජන පෙරමුණු පදනම සමග එකතු වනවිට අන් සියලු අපේක්ෂකයන් ඉක්මවා යෑමේ විභවයක් ඔහුට පවතී. සාර්ථක ව්‍යාපාරිකයකු වීම හරහා ඔහුට ජනමනස තුළ ගොඩනැංවිය හැකි ආර්ථිකමය උත්තේජනයද අතිමහත් ය. එවන් තත්වයක දී, පොදුජන පෙරමුණට වාසිදායක තත්වයක් මේ බෙදුණු ඡන්ද කොට්ඨාසය තුළ තිබෙන බව කිසිවකුට බැහැර කළ හැකි නොවේ. කෙසේ වෙතත්, මේ සියල්ල ඉදිරි මාස එක හමාර තුළ ඒ ඒ කඳවුරු විසින් සිය මැතිවරණ සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය මත රඳාපවතිනු ඇත.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ