වගා හානිකරන සතුන් ගැන සමහර පැරැණි ගැමියන්ට තිබුණේ බොහෝ සේ අහිංසාවාදී මතයකි. මගේ අම්මා සහ අප්පච්චීද දැරුවේ ද එවැනි අහිංසාවාදී මතයකි. වියලුවේ බදුලුඔය ගොවි ජනපදයේ කරමැටිය ගමේ අපේ කොලනි ඉඩම බොහෝ සතුන්ගේ අභය භූමියකි. ඒ අතරින් දඬු ලේනා විශේෂ වූවෙකි. ඒ ඔහු ජාතික සත්වයා නිසා නොවේ. සමහර විට ඒ අනිත් සතුන්ගේ නැති හුරුබුහුටිකමක් පිරිසුදු ලස්සන වලිගයක් සහිත පාරිශුද්ධ පෙනුමක් ඔහුට ඇති නිසා විය හැකිය.
කෙසේ වෙතත් අප දඬුලේනාට කැමති වූ හේතුව එය විය හැකිය. මන්ද අපේ දෙමවුපියන් හතර පෝයට හේනට කුඹුරට ගියේ නැති අය ය. සතුන්ට පමණක් නොවේ ගස්වැල්වලටත් පණ තියෙනවා පුතේ කියූ ඒ අය දඬුලේනුන්ට රිලවුන්ට වඳුරන්ට ඌරන්ට ගිරවුන්ට මොනරුන්ට ඉත්තෑවුන්ට උගුල් ඇටෙව්වේ නැත. ඔවුන්ගෙන් වගා පරිස්සම් කරගැනීමට යොදාගත්තේ අහිංසක කෙම්ක්‍රම ය. හබැයි ඉතින් ඔය අවසරයෙන් ඔය කොයි සතාත් කරපු පාඩු නම් සුළුපටු නැත. කොලනි ඉඩමට එන දඬුලේනුන්ට ගමේ කොල්ලන් ගල් ගසන විට අම්මා ඔවුන්ට කීවේ අපේ වත්තට එන සත්තුන්ට හිරිහැර කරන්න එපා, උන් කන්නේ අපේ ගස්වල තියෙන දේවල් නේ කියලා ය. අනිත් එක සත්තු ඉතින් වගාකරගෙන කන්න නෙවේනෙ, උන් කන්නත් ඕනි අපි වවන දේවල් තමයි කියා ය. කොල්ලන් පසු බසිනවා මිස අපේ අම්මා එක්ක අරියාදුවට ආවේ නැත.
ඒ අතීතය මේ මොහොතේ මතක් වුණේ දඬුලේනා පිළිබඳ ප්‍රතිපත්තිමය සහ තීන්දු තීරණ ගැනීමේ ඇමති මට්ටමේ සාකච්ඡාවක් මාධ්‍ය ඔස්සේ ඇස කන වැටුණු නිසා ය. වගාවලට හානි කරන ප්‍රමුඛ සතුන්ගේ ලැයිස්තුවට අපේ මේ කතානායකයා වන දඬුලේනා ඇතුලත් කර තිබීම නැතහොත් දඬුලේනා අසාදු ලේඛනයකට ඇතුළත් කර තිබීම පිළිබඳ ජාතික සංවාදය මගේ අතීත මතකයට හේතුවය. අපේ ගමේ දඬුලේනාත් එසේ මෙසේ එකෙක් නෙවේ ය. ජාතික වීමට අවශ්‍ය සියලු සුදුසුකම් ඇති දඬුලේනා ජාතික සත්වයා ලෙස උසස් වීම මට නම් ලොකු ආඩම්බරයකි. කොල්ලන්ගේ වැඩිහිටියන්ගේ රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් පමණක් නොව කැට මුගුරු පහරට ද ලක්ව අත්තෙන් අත්තට ගහෙන් ගහට පනිමින් දිවි බේරාගත්, ඇතැම් විට මිය යාමටද සිදුවුණ දඬුලේනා ජාතික සත්වයා වීමට ඇති සුදුසුකම කිසිවකුට ප්‍රශ්න කළ නොහැක්කකි. මන්ද ඔහු මේ රටේ ජනයාගේ වගාවලට කරන අති දැවැන්ත හානිය මට අනුව නම් දෙවැනි වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටින හානියට පමණි. දෙවැනිවනවා කිව්වාට අලින් ඌරන් ඉත්තෑවුන් රිලවුන් වඳුරන් මොනරුන් කරන හානි පෙනුමින් ඊට වඩා විශාල බව ඇත්තකි. එහෙත් හුරුබුහුටි දඬුලේනා හෙමින් කරන විනාශයද සුළුපටු නැත. ඒ හේතුව උඩ ජාතික සත්වයා විය යුත්තේ ඒ අතරින් වෙන සතෙකි. එහෙත් අපේ දඬුලේනාත් කරන හානිය තරමක් විශාල නිසාත් රට පුරාම වාගේ ඒ විනාශය සිදුකරන නිසාත් අපි කවුරුත් ඔහුගේ ජාතික තනතුර රැක ගැනීමට උදව් කළ යුතු ය යන්න මගේ යෝජනාව සහ ඉල්ලීමය. මන්ද තාවකාලිකව නැවත තනතුර ලැබුණද එය අවිනිශ්චිත වීමට ඉඩ තිබෙන නිසා ය. එනම් අලින් ඌරන් ඉත්තෑවුන් රිලවුන් වඳුරන් මොනරුන් මී මින්නන් මුවන් ගෝනුන් වැනි පරපුටු සතුන් කොයියම් මොහොතක හෝ අපේ දඬුලේනාගේ ජාතික තනතුර උදුරා ගත හැකි නිසා ය. ඇතැම් විට දඬුලේනා උගුල්වලට අසු කිරීමට මේ පිරිස ඒකාබද්ධව කටයුතු කිරීමට ඉඩ ඇති නිසාය.
මෙයින් බේරීමට දඬුලේනා කළ යුත්තේ කුමක් ද? ඔහු කළ යුතු එකම දෙය වන්නේ අනිත් වගා විනාශක සත්තුන්ට වඩා වැඩියෙන් වගා විනාශ කොට තම ස්ථානයට ළඟා වීමට අනිත් අයට ඇති ජාතික සුදුසුකම් අවම කිරීමය. දඬුලේනා අපේ ගමේ එකෙක් නිසා මගේ සහයත් ඔහුට ලැබෙනු ඇත. වෙනත් යෝජනාවක් ද මට ඇත. අනිත් වගා විනාශක සතුන් වන අලින් ඌරන් ඉත්තෑවුන් රිලවුන් වඳුරන් මොනරුන් මීමින්නන් මුවන් ගෝනුන් යන අයට ජාතික ලැයිස්තුවකින් ජාතික සත්ව තනතුර පිරිනැමීම ඒ යෝජනාව ය. එවිට දඬුලේනා සමඟ අනිත් තරඟකාරී සතුන්ට ඇති අරියාදුව අඩුවනු ඇත. තුනී වනු ඇත. ගැටුම් අඩුවනු ඇත යන්න මගේ ඒ යෝජනාවේ පදනමය. ඒ කොයි හැටි වෙතත් දිවියන් බේරීම සඳහා රූස්ස ගස් කපන වනජීවියට නම් මේ කුමන සතෙක්වත් මුණගස්සන්නට හොඳ නැත. එසේ වුවහොත් ජාතික විපත්තියක් අත ළඟ ය. ජාතික වස්තුවක් සහ එසේ වීමට සුදුසුකම් ඇති සහ එසේ වීමට බලාසිටින සතුන් බොහොමයක් අනතුරේය.
මෙහි තවත් පැත්තක් ඇත. අසාදු ලේඛනයෙන් දඬුලේනා පමණක් නිදොස්කොට නිදහස් කළොත් එය අසාධාරණය. මන්ද අනිත් වගා විනාශක සතුන් සේම ඇත්ත වශයෙන්ම නම් දඬුලේනාද වගා විනාශකයකු වන නිසාය. තවත් පැත්තක් වන්නේ මේ පූර්වාදර්ශය අනුව යමින් අලි ඇත්තු වෙනුවෙන් සමන් දෙවියෝ ද මොනරු වෙනුවෙන් කතරගම දෙවියෝ ද රිලව් සහ වඳුරන් වෙනුවෙන් හනුමා අදහන ඉන්දියාවද සටනට බසින්නට ඉඩක් ඇත. ඒ සතුන්ද නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය හැක. බල කෙරනු ඇත. එය ආගමික පමණක් නොව කලාපීය හෝ ජාත්‍යන්තර අර්බුදයක් වීමට ද ඉඩක් ඇත. එබැවින් හොඳම දෙය වන්නේ මේ සියලු සතුන්ට වටමාරු ක්‍රමයට කලින් කලට ජාතික සත්ව තනතුර ලබා දීම මිස වගා විනාශකයන් ලෙස නම් කොට අපහාස කිරීම නොවේය යන්න මගේ මතය ය. කළයුතු වන්නේ පොඩිපහේ ප්‍රතිපත්ති සංශෝධනයක් කොට එක්කෝ ඒ සියලු සතුන්ට ජාතික සත්ව තනතුරු උත්සවාකාරයෙන් පිරිනැමීම ය. නැතහොත් කැබිනට්, නියෝජ්‍ය, රාජ්‍ය, මට්ටමේ ආදර්ශය අනුව යමින් ධුරාවලියකට අනුව තනතුරු පිරිනැමීමය. ඒ අනුව වැඩියෙන්ම වගා විනාශක සතාට ඉහළම තනතුරත් දුන් පසු පිළිවෙළින් වගා විනාශක පරිමාව අනුව තනතුරු ලබා දීමත් සිදු කළා නම් යම් කලකට ප්‍රශ්නය විසඳාගත හැකිය. එසේ යම් කලකට කියා මා කියන්නේ වගා හානි වූ වගා හිමියන් යම් මොහොතක නැගීසිටියහොත් ප්‍රශ්නය අවුල් වීමට ඉඩකඩක් ඇති නිසා ය.
දැන් අපි අප දිහාවට හැරෙමු. දඬුලේන් කතාවේ සංඥා අර්ථ පැහැදිලි කර ගනිමු. අපේ රට ලස්සන වුණාට අපට ඇත්තේ කැත රාජ්‍යයකි. මේ බව මා බොහෝ වරක් ඔබට ලියා ඇත. කියා ඇත. අපේ රටේ ජාතික තනතුරු බොහොමයක් ම වගා විනාශක සත්තුන්ට වඩා සමාජ විනාශක මිනිසුන් අතට පත්වූ සහ පත්වන ඉතිහාසයක එක්කෝ අප සාක්ෂිකරුවන් ය. නැතහොත් සම්පත් දායකයෝය. එසේත් නැතහොත් කොටස්කාරයෝය. ඒ බොහෝ දෙනා සමාජයත් අපේ ජාතික රාජ්‍යයත් විනාශයෙන් විනාශයට ඇදගෙන ගියවුන් නොවේ දැයි සිතා බලමු. එහෙත් මේ වනවිට ඒ විනාශයට මවුවරුන් සහ පියවරුන් නැත. අර්බුදයක් තිබුණාට එයට ඉතිහාසයක් නැත. රටේ දස ලක්ෂ ගණන් ජනයා මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව දහදුක් විඳිද්දී පාලකයන්ට ඒ ගැන වගේ වගක් නැත. වෙළෙන්දන්ට උපරිම නිදහස දී ජනයා මත පවත්වන පීඩනය ට එරෙහිව පාලකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. වැදගත්ම කරුණ වන්නේ රටට වී ඇති ඛේදවාචකයට මේ කිසිම පාලකයෙක් වගඋත්තර බඳින්නට ඉදිරිපත් නොවීමය. පාලකයන් පරිපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් නිදොස්කොට නිදහස් වන්නේ මේ අර්බුදයේ සහ ඛේදවාචකයේ වගඋත්තරකරුවන් සහ විත්තිකරුවන් බවට අන්ත අසරණ ජනයා පත් කරමින් ය. එහෙත් ජනයා දන්නේ සහ කියන්නේ මේ අර්බුදය ඛේදවාචකය මුළුමනින්ම පාලක පරිපාලක සහ සහචර බලවතුන් විසින් කළ මහා විනාශයක් බව ය. ඉතින් එවැනි විනාශයක් කරන සහ විනාශ කළ අය ජාතික තනතුරු දරන්නේ නම් එවැනිම සුදුසුකම් හෝ ඊට සමාන සුදුසුකම් ඇති වගා විනාශක සතුන් ජාතික සන්නාම බවට පත් වීම ජාතික වීම නිදොස්කොට නිදහස් කිරීම කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකිය.
ඉතින්, අප දශක ගණනාවක් තිස්සේ ජීවත් නොවී ජීවත් වන්නේ වගා විනාශක සතුන් ජාතික වූ, ජාතික සන්නාම වූ, කළ විනාශයට දඬුවම් නොලැබ නිදොස්කොට නිදහස් වූ, අඳුරු වනාන්තරයක ය. මේ වනාන්තරයෙන් එළියට ඒමට නම් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට අනුව ජන සමාජය සාමුහික විය යුතුය. වඩා හොඳ සමාජ දේශපාලන වැඩපිළිවෙළක් සඳහා සංගායනා කළ යුතුය. සමාජ දේශපාලන ඇගයුම් වටිනාකම් තීරණය කළ යුතු ය. එකඟතා ගොඩනගා ගත යුතු ය යන්න මෙවර මගේ ‘කිවිදා දැක්ම’ය.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක