ශ්‍රී ලංකාවට පසුගිය පෙබරවාරි 3 වැනිදා පැමිණි ඉන්දියානු සබ්මැරීනයක් නැවත ඉන්දියාව බලා පිටත් වූයේ 5 වැනිදා ය. කාර්ය මණ්ඩලය 53 දෙනකුගෙන් යුතු එය ලංකාවට ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට මෙරට බස්නාහිර පළාත බාර නාවුක මූලස්ථානය ක්‍රියා කළේය. නිදහස් දිනය සැමරීමට සමගාමීව අදාළ මිලිටරි යාත්‍රාව ලංකාවට පැමිණි බවද මේ අතර කියවුණි. සාමාන්‍ය ක්‍රමවේදය අනුව දෙරට විසින් ම එසේ නිවේදනය කළ ද ඇත්ත වශයෙන් සබ්මැරීනය පැමිණියේ ඒ වෙනුවෙන් ම ද? එසේ නොවන බව අනුමාන කිරීමට මේ වන විට ලංකාව හා මාලදිවයින ආශ්‍රිත ඉන්දියානු සාගර කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික චරිත ලක්ෂණ කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් තිබේ. මේ නව ප්‍රවණතා තේරුම් ගැනීම සඳහා සහාය වන සිදුවීම් රැසක් පසුගිය කාලයේ මේ ආශ්‍රිතව සිදු වූ බව අපට නිරීක්ෂණය විය. එම සිදුවීම් නැමැති රේඛා එකිනෙකට සම්බන්ධ වූ විට නිර්මාණය වන සිතුවම සිත්ගන්නාසුළු ය.
සබ්මැරීන් හෝ යුධ යාත්‍රා පිළිබඳ භූ දේශපාලනය ලෝකයට මෙන් ම ලංකාවේ අප වෙසෙන ඉන්දියානු සාගර කලාපයට ද අමුතු දෙයක් නොවේ. අප කලාපයේ ආර්ථික වශයෙන් ආධිපත්‍ය හොබවන ඉන්දියාව හා චීනය අතර සබඳතාව සාගර කලාපයේ අතිශය උණුසුම් හා විවාදාපන්න ව ඇත්තේ මේ සබ්මැරීන් හා යුධ නැව් භූ දේශපාලන සිදුවීම් මතින් ය. එම සීතල යුද්ධයේ සටන් බිම් ලෙස පාකිස්ථානය, බංගලාදේශය, ලංකාව හා මාලදිවයින විශේෂිත ය. ලංකාව සම්බන්ධයෙන් එය පැහැදිලිව මතු පිටට දැනෙන්නට ගත්තේ 2014 වසරේ ඔක්තෝම්බරයේ චීන සබ්මැරීනයක් හා යුධ නැවක් ලංකාවේ කොළඹ වරායට ඒමත් සමග ය. ඉන්දියාව මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකාවට දැඩි ලෙස විරෝධය දක්වා තිබුණි. ඒ වන විට බලයේ සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වන අතර ජනාධිපතිවරණ උණුසුම ද බෙහෙවින් ඉහළ යමින් තිබුණි. මේ අතර, යුද්ධය තමන්ට අවශ්‍ය පරිදි - එනම් ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සමීපතම පිරිසක් මෙරටින් මුදාගෙන තෙවැනි රටක සරණාගතභාවය ලබා දීමේ අවශ්‍යතාව රාජපක්ෂවරුන් විසින් තීරණාත්මකව වෙනස් කොට ත්‍රස්ත සංවිධානයේ නායකයන්ට තවත් දිනක සටන් කිරීමට අවකාශ නොදෙමින් කළ “හිතුවක්කාර” ක්‍රියාව නිසා මහින්ද ආණ්ඩුව කෙරෙහි පැවතියේ සැලකිය යුතු විරෝධයකි. එම උණුසුමේ ම චීන සබ්මැරීන සිදුවීම සිදු වූ අතර රාජපක්ෂවරුන් සමග කිසියම් අභ්‍යන්තර අවබෝධයක සිටි ඉන්දියාව ද ඒ සමග වෙනස් වූ බව කියවේ. 2015 වසරේ මහින්ද රාජපක්ෂ පරාජය වීම සඳහා මේ සිදුවීම බෙහෙවින් බලපෑ බව එවක වාර්තා විය.
මින්පසු 2017 චීනය එවැනි ම සබ්මැරීනයක් ලංකාවේ කොළඹ වරායට එවීමට අවසර ඉල්ලා සිටි අතර ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන දෙගිඩියාවක් නොතිබූ එවක සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ඊට ඉඩ නොදුන්නේ ය. අනතුරුව චීන නැවක්-මෙවර එය පරීක්ෂණ නැවකින් ලංකාවට ඒමට අවසර ඉල්ලා සිටින්නේ 2022 වසරේ අගෝස්තුවේ ය. ඊනියා ගෝල්ෆේස් අරගලය අවසන් වී ලංකාවේ බල රික්තයක් ඇතිව තිබුණු ඒ අවස්ථාවේ ඊට කිසිවකු විසින් අවසර ලබාදී තිබුණි. නැව හම්බන්තොට වරායට පැමිණියේ ය. මේ අවස්ථාවේ දී නැවතත් ඊට විරෝධය පෑමට ඉන්දියාව කටයුතු කළේ ය. 2023 වසරේ ද එනම් පසුගිය වසරේ ද තවත් චීන පරීක්ෂණ නැවක් ලංකාවට ඒමට අවසර ඉල්ලා සිටි අතර ඒ වන විට බලයේ සිටි ජනාධිපති වික්‍රමසිංහ ආණ්ඩුව ඊට ඉඩ ලබා දුන්නේය. එහෙත් මේ අවස්ථාවේ ඉන්දියාවේ රතු කට්ට පැන්නේ ය. වාර්තා වූ පරිදි ඉන්දියාව මීට දැඩි විරෝධය දැක් වූ අතර තවදුරටත් එවැන්නක් සිදුවිය නොහැකි බව ලංකාවට දන්වා ඇතැයි වාර්තා විය. මේ අනුව, ලංකාව දැඩි තීන්දුවක් ගත්තේ ය. ඒ නම් 2024 ජනවාරි පළමුවැනි දා සිට වසරක කාලයක් සියලු විදේශ පරීක්ෂණ යාත්‍රාවලට ලංකාව තහනම් කිරීම ය. සියලු විදේශ යාත්‍රා ලෙස සඳහන් වූව ද තහනමේ ඉලක්කය චීන යාත්‍රා බව අමුතුවෙන් කිව යුතු නැත.
පසුගිය පෙබරවාරි 3 වැනිදා ඉන්දියානු සබ්මැරීනය ලංකාවට එන්නේ මේ පසුබිම තුළ ය. තහනම පවතින්නේ පරීක්ෂණ යාත්‍රාවලට හෙයින් සබ්මැරීනයට එය අදාළ නොවේ. කෙසේ වෙතත්, කලාපයේ සබ්මැරීන දේශපාලනයේ උණුසුම ඉහත සිදුවීමෙන් අවසන් වන්නේ නැත. මේ වන විට එය මාලදිවයින දක්වා දිගුවෙමින් තිබේ. පසුගිය නොවැම්බරයේ මාලදිවයිනට ජනාධිපතිවරයෙක් අලුතින් පත්විය. නමින් මොහොමඩ් මුයිසි වේ. මොහු බලයට පත් වූ මුළු දේශපාලන ව්‍යාපාරය ම එක් ප්‍රධාන තේමාවකින් සමන්විත විය. ඒ නම් “ඉන්දියාව පිටවෙනු” ප්‍රතිපත්තිය වේ. එමගින් අදහස් කළේ මාලදිවයිනේ නවතා සිටින ඉන්දියානු සෙබළුන් 80 දෙනකු පමණ රටින් ඉවත් කිරීම ය. මතුපිටින් එය සෙබළුන් ගැන වූව ද ඇත්ත වශයෙන් ම ඉන් සංකේතාත්මකව ප්‍රකාශ වන්නේ එරට ඉන්දියානු විරෝධියකු වන බවය. ඒ කොයිහැටි වෙතත්, මුයිසි බලයට පත්වන අතර, ඔහු ඉන්දියානු විරෝධියෙකි. චීනයට පක්ෂපාතී වීමටද ඔහු වග බලා ගන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතක දී චීනයට යන ඔහු චීනය විසින් පිළිගනු ලැබුවේ අති උණුසුම් අයුරිනි.
ලංකාව තම පරීක්ෂණ යාත්‍රාවලට තහනම් වන විට චීනය බැලුවේ නැගී එන තම නව මිතුරු මාලදිවයින දෙසය. එය සාර්ථක විය. ලංකාව තහනම් කළ පරීක්ෂණ නෞකාවට මාලදිවයිනට ඒමට මෙන් ම අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබාදීමට ද ජනාධිපති මුයිසි එකඟතාව පළ කළේ ය. සිත්ගන්නාසුළු කරුණ නම් අදාළ නැව ලංකාවට ඔබ්බෙන් මුහුදේ මාලදිවයින බලා යාත්‍රා කරමින් තිබූ අවස්ථාවේ දීම ඉහත ඉන්දියානු සබ්මැරීනය ලංකාවේ කොළඹ වරායට පැමිණීම ය. ජනවාරි 16 වැනිදා චීනයෙන් පිටත් වූ එය පෙබරවාරි 8 මාලේ වරායට ඒමට නියමිත ව තිබුණි. මේ අතර, චීන නෞකාව තහනම් කිරීම හා ඉන්දියානු සබ්මැරීනය පිළිගැනීම පිළිබඳ සිදුවීම ඉන්දියාවේ මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබුණේ චීනය පිටමං කර ඉන්දියාව වැළඳගත් බව අඟවන සිරස්තල හා වචන යොදාගනිමින් බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.
මේ අතර, මෙම සිදුවීමට තරමක් වෙනස් වූව ද එහි ම තවත් දිගුවක් ලෙස කල්පනා කිරීමට හැකි තවත් සිද්ධියක් සිදුවිය. ඒ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් ඉන්දියාවේ ආරාධනාවක් මත ඉන්දියාවේ දින කිහිපයක සංචාරයකට යාමයි. ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් ඉන්දියාවට යාම අරුමයක් නොවේ. එහෙත් මෙම සිදුවීම කැපී පෙනෙන එකකි. ඒ එය සිදුවූ කාලය සැලකිල්ලට ගත් විටය. ඉහත පෙන්වා දුන් පරිදි එක් අතකින් සබ්මැරීන් දේශපාලනය මතින් අප කලාපයේ උණුසුම් තත්වයක් උද්ගත වන විට, ලංකාවේ මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක නායකයකු ඉන්දියාවට ගෙන්වා ගැනීම තවත් එක සිදුවීමක් පමණක් විය නොහැකි ය. සාමාන්‍ය තේරුම් ගැනීමට අනුව, ජවිපෙ චීන හිතවාදී පක්ෂකි. එම පක්ෂය මේ වන විට ලංකාවේ මීට පෙර නොවූ විරූ ආකාරයක දේශපාලන ජනප්‍රියත්වයක් අත්කර ගෙන සිටින බව ද රහසක් නොවේ. සාමාන්‍යයෙන් සියයට 3 ඡන්ද ප්‍රතිශතයක් රටින් ම ගත් එම පක්ෂය පසුගිය ගෝල්ෆේස් අරගලයෙන් පසු ඇති වූ තත්වය මත වෙනදාට වඩා දේශපාලන ගෝලය තුළ දෘෂ්‍යමාන වී තිබේ. ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය කිනම් වූව ද ජවිපෙ දෘෂ්‍යමාන බව සැමදා ඉතා ඉහළ තැනක විය.
ඒ අනුව මෙවර එය යම් වැඩිවීමක් පෙන්නුම් කරන අතර, ඉන්දියාව එම තත්වය පිළිබඳ සැලකිල්ල දක්වා තිබෙන බව පෙනේ. ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගත්තේ ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන් ද යන්න සොයා බැලීමට විය යුතු ය. විශේෂයෙන් ම චීනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන ඉන්දියාව උනන්දු වනවා විය හැකි ය. එය සාධාරණ විය හැක්කේ, චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර බරපතළ දෘෂ්ටිවාදී වෙනස්කම් තිබුණ ද, අදාළ පක්ෂ දෙකම ජනප්‍රිය කතිකාව තුළ මාක්ස්වාදයෙන් අනුබල ලැබීමයි.
මේ සියලු කරුණු එකට තැබූ විට කලාපයේ භූ දේශපාලනය පිළිබඳ අපට නිරීක්ෂණ කිහිපයක් කළ හැකි ය. අංක එක වන්නේ, ඉන්දියානු මාධ්‍ය කියන ලෙස ම, ලංකාව තුළ ඉන්දියාවට සැලකියයුතු රාජ්‍යතාන්ත්‍රික බලයක් හිමිවෙමින් තිබීම ය. ඒ අතරම, මාලදිවයින පැත්තෙන් එහි විරුද්ධ පැත්ත සිදුවෙමින් තිබේ. එනම්, එරට චීන බලයට නතු වෙමින් තිබීම ය. ඒ අනුව, ඉන්දියානු සාගරයේ තිබෙන කුඩා දූපත් රාජ්‍ය දෙකක් වන අප කලාපයේ බලවත් රාජ්‍ය දෙකක විරසකය තුළ එක්තරා ආකාරයක ගොදුරු බවට පත් වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනේ.
මේ තත්වය පිළිබඳ මෙරට පාලකයන්ගේ සැලකිල්ල යොමුවිය යුතුය. ඉන්දියාව හා චීනය ද උරණ කර නොගනිමින් අපගේ ජාතික අභිලාෂ වර්ධනය කර ගැනීම සඳහා අදාළ රටවල් සුහුරු ලෙස කළමනාකරණය කිරීමට අප ක්‍රියා කළ යුතු වේ. ඒ සඳහා වන කදිම නිදසුන නම් මහින්ද රාජපක්ෂ යුගයේ මානුෂීය මෙහෙයුම ආශ්‍රිතව මෙම බලවතුන් දෙදෙනාම අපගේ ම ජාතික අවශ්‍යතා සඳහා හරිහරියට යොදා ගැනීමයි. වත්මන් ගෝලීය භූ දේශපාලනය තුළ වැදගත් වන්නේ, රටවල් නොව, මූලෝපායික අභිලාෂයන් ය. අපගේ ද එසේ විය යුතු වේ.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ