යටහත් පහත් ප්‍රවේණිදාසයකු වූ රුපියලට නින්දා පරිභව කරමින් ඩොලරය ඉහළ ගියේ රට විනාශ කළ පාලකයන්ගේ සහ පයින්ඩක්කාර මහ බැංකු නිලමේලාගේ තැරව්කාරකම්වල උපකාර ද සහිතව ය. ඊට අනුපාතිකව ඩීසල්, පෙට්‍රල් මිල වැඩි ප්‍රමාදයක් නැතිව ඉහළ ගියේ සහ දිනෙන් දින ඉහළ යනුයේ ඒවායේ ජීවන වියදම ඉහළ ගොස් ඒවාට ජීවත් වන්නට බැරිකමක් ඇති වුණ නිසා ය. ඊට දවසකට දෙකකට පසු ජීවන අරගලයට මුහුණ පෑයේ තිරිඟු පිටි සහ ඉන් නිෂ්පාදනය කරන පාන්, බනිස්, රෝස් පාන්, රොටී, ආප්ප, ෂෝටීස් වැනි පිටි කෑම වර්ග ය. ඉතින් තිරිඟු පිටි සහ ඒවායේ නිෂ්පාදන ඔවුන්ගේ මිල ඉහළ දමා ගත්තේය. ආපන ශාලාවල කෑමද තේ කෝප්පයද තම මිල ඉහළ දමාගත්තේ එසේ නොකොට ඒවාට ජීවත් වන්නට විදියක් නැති නිසා ය. සහල් ද පරිප්පු ද කරවල ද මාළු ද මස් ද කිරි ද කිරිපිටි ද දියර කිරි ද එළවළු ද පලතුරු දආදී කී නොකී සියලු ආහාර සහ කෑමබීම ද බෙහෙත්හේත් ද තම මිල ඉහළ දමා ගත්තේ ජීවත් වෙන්නට වෙන මඟක් නැති නිසා ය.
සෙනග ඇති වෙලාවට සහ සෙනග ඇති පාරවල්වල පමණක් දුවන බස් රථ ද ත්‍රීවීල් ද කැබ් රථද දුම් රිය ද ජීවත් වනවා තබා හුස්මක් ගන්නට විදියක් වත් නැති නිසා තම ගාස්තුද ඉහළ දමා ගත්තේ ය. එක්කෝ ඉහළ දමන්නට වලිකමින් සිටී. පොත් කඩ ද රෙදි කඩ ද බෙහෙත් කඩ ද අමතර කොටස් කඩ ද ජීවත් වීම සඳහා අනුගමනය කළේ ඒ ජීවන ප්‍රතිපත්තියම මත පදනම් ව මිල ඉහළ දමා හුස්මක් ගැනීමය. මේ සියලු භාණ්ඩ සියයට 27 කින් හෝ සියයට30 කින් තම ගාස්තු සහ මිලගණන් ඉහළ දමා ගත්තේ ජීවත් වන්නට වෙනත් කිසිදු විකල්පයක් නැති නිසා ය. කරන්ට්, වතුර, ටෙලිෆෝන් කොහොමත් ජීවත් වෙන්නේ බොහෝ අමාරුකම් සහ අඩුපාඩුකම් මැද නිසා ඒවා තමන්ගේ ගාස්තු වැඩි කරන්නේ හිතක් පපුවක් නැති ජනයාගේ දෙස්දෙවොල් මැද ය.
මිල වැඩි වන්නා සේම එකී භාණ්ඩවල හිඟය එන්න එන්නම වැඩිවේ. දෙස් දෙවොල් දෙන ජනයා සැතපුම් ගණන් දුර පෝලිම්වල වරු ගණන්, පැය ගණන් ළතැවෙති. එසේ පෝලිම්වල ළතැවෙන්නේ කීයක් හරි අතමිට ඇති ජනයා ය. පෝලිම්වල සිට ගෑස් හෝ තෙල් අරගෙන ඒවා වැඩි මිලට විකුණන අතරමැදි යෝ ද එහි වෙති. කුලියට පෝලිමේ සිටින අන්ත අසරණයෝද එහි වෙති. ඒ අතුරින් සමහරු ලෙඩවෙති. සමහරු මැරීවැටෙති, සමහරු වැටී මැරෙති, සමහරු මරාගනිති.
එහෙත් ලක්ෂ ගණනින් වූ මහා ජනකායක් පෝලිම්වලට එන්නේ නැත. ඒ ඔවුන් දුප්පත්කමේ අන්ත අඩියටම වැටී අතේ සතයක්වත් නැති නිසා ය. ජීවන වියදම කොතරම් ඉහළ ගියත් ඊට අනුපාතිකව ඉහළ දමන්නට දෙයක් ඔවුන් ළඟ නැති ගානය. වෙළෙන්දන්ගේ හව්හරණයේ සිටින ඉහත කී භාණ්ඩ, ද්‍රව සහ සේවාවල ජීවිත අර්බුදයට ලක්වන විට තම මිල සහ ගාස්තු ඉහළ දමා ගනිමින් ඒවා පරිස්සමින් කල් ගත කරයි. එහෙත් දෙවියන් විසින් ඒ වරම අර අසරණ ජනයාට ලබා දී නැත. ඉතින්, මිනිස්සු නොවටිනා දෙයක් වී හුවමාරු භාණ්ඩ දෙවියන්ටත් වඩා ඉහළින් සිටිති, පරිස්සමින් සිටිති. මේ නම් අමුතුම කාලයක් ය. ශ්‍රමය ‘බලු වී’ ශ්‍රමය යොදා නිපදවන දෑ ‘රජ වී’ ඇත. ශ්‍රම පලයේ අණසකට ශ්‍රමය ගොදුරු වී ඇත. ශ්‍රමය ජීවත් විය යුත්තේ තමන් වෙනුවෙන් නොව තම ශ්‍රමය යොදා නිපදවන භාණ්ඩ සහ සේවාවල ජීවත් වීම නඩත්තු කිරීමට ය. එසේම රටේ පාලකයන් සහ බලවතුන් නඩත්තු කිරීමට ය. ලංකාවේ හෝමෝ සේපියන්ලාට අත්වූ මේ ඉරණම දැන්නම් තීරණාත්මක තැනකට පැමිණ ඇත. පෝලිම්වල සිටිද්දී ඇදවැටී මියයන සහ මරා ගන්නා ජනයා හරහා ප්‍රකාශ වනුයේ ඒ තීරණාත්මක බව ය.
රට වැටී ඇති ප්‍රපාතය ගැන දැන් අමුතු පැහැදිලි කිරීම් අනවශ්‍යය ය. පාලකයන්, අධිකාරිය වැඩි නිලධාරීන් සහ රාජ්‍යයම සූරා කමින් රාජ්‍යයට කරුමයක් වී ඉන් ම යැපෙමින් සල්ලි කඳු ගොඩගහන කූටෝපායික ව්‍යාපාරිකයෝ මේ ව්‍යසනයට මුළුමනින් ම වගකිව යුත්තෝය. දියුණු රටවල බලවත් ව්‍යාපාරිකයන් ඒ රාජ්‍යයන්ට ශක්තියකි. අපේ රටේ සල්ලිකාර බලවත් කූටෝපායික ව්‍යාපාරිකයන් අතුරින් බොහොමයක් රාජ්‍යයට හිරිහැරයකි. ඔවුන් සල්ලි උපයන්නේ රාජ්‍යය සමඟ සිදුකරන අදූෂිත, දූෂිත, සහ කූට ගනුදෙනු මගිනි. ආණ්ඩු සහ වැඩි අධිකාරියක් ඇති නිලධාරීන් සමඟ සහචර සම්බන්ධතා ගොඩනගා ගනිමිනි. රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වනවාට වඩා ඔවුන් කරන්නේ අර්බුද සල්ලි උපයන මාර්ගයක් කර ගැනීම ය. ඒ අර්බුද ධනවාදයේ හැටි ය.
පාර්ලිමේන්තුවට යන අති බහුතරයක් කරන්නෙත් ඒ ටිකම බව මහජනයා කියනුයේ කට කහනවට නොවේ යැයි සිතේ. එහෙම හිතෙන්නේ ඊ ළඟ වටයේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී රස්සාව නැති වේ ය යන බිය මිස මේ රට ගැන මොහොතක් වත් ඔවුන්ට සිතෙන බව වැඩවලින් පෙනෙන්නේ නැති නිසා ය. එසේම, රස්සාවට වාචාලකම් කොට පාර්ලිමේන්තු ගිය අයත්, උපතින් ම ඒ උරුමය අරන් ආ අයත්, සහතික පෙන්නා ඇතුළට ගොස් සුපුරුදු බඩගොස්තරවාදයම අනුගමනය කරමින් සිටින උගතුනුත් කරමින් සිටින්නේ ඒ රාජකාරිය ය කියා දැනුමක් තේරුමක් ඇති ජනයා කියන්නේ නිකමට ම නොවේ යැයි ද සිතේ.
මේ සියල්ලම එකතු වී නිර්මාණය කළ මහා අර්බුදයේ මාරාන්තික ගොදුරු බවට පත් වී ඇත්තේ මෙරට සාමාන්‍ය ජනයාය. ඇත්තට හෝ කුලියට තෙල් පෝලිම්වල ළතැවෙන්නේ ඒ ජනයාගෙන් කොටසක් ය. දිනෙන් දින තම ශ්‍රමයේ වටිනාකම නැතහොත් මිල පහළ වැටෙන්නේ භාණ්ඩ සහ සේවා මිල සියයට25න්, සියයට 27න්, සියයට 33න්, සියයට 43න් ඉහළ නගින පසුබිමකය. ඒ හේතුවෙන් ශ්‍රමයේ වටිනාකම අධි වේගයෙන් පහළට වැටෙන විට ශ්‍රමිකයන්ගේ සහ ඔවුනගේ පවුල්වල ජීවන මට්ටම් ද ඒ වේගයෙන්ම පහළට වැටී ජීවත්වීම මහා අර්බුදයක් බවට පත් වී ඇත.
සර්වපාක්ෂික රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සංවර්ධන අයවැයක් නොව සහන අයවැයක් ගෙන ආ යුතු බව යෝජනා කරන්නේ මෙවැනි පසුබිමකය. වර්තමාන පාර්ලිමේන්තුව තුළ දේශපාලනය සහ ආර්ථිකය ගැන දැනුමක් ඇතිවුන්ගෙන් හර්ෂ ද සිල්වා, සහ රනිල් වික්‍රමසිංහ සුවිශේෂීය. අනෙකා චම්පික රණවක ය. එහෙත් වික්‍රමසිංහ බලයට පත් වූ විට ඒ දැනුම ට අවශ්‍ය විනය ගැන නොතකන්නෙකි. ඔහු මේ ගැන සංවේදී විය යුතු ය. හර්ෂ ඊට වඩා වෙනස් චරිතයකි. මේ තුන්පොළ තුන් පොළක සිටින්නේ ඒ නිසා විය යුතු ය. හර්ෂ සතු විනය සහ සංයමය පමණක් නොව ස්වදේශිකවාදී හැඟීමකුත් වික්‍රමසිංහට තිබුණේ නම් රට ඇත්තේ මීට වඩා වෙනස් තැනකය. 2015-2019 අතර කාලය අපතේ ගිය හැටි සිහියට ගන්න. කෙසේ වෙතත් එජාපය දෙකඩ වීම රටට හොඳ නැති බව පසක් කර ගැනීමට සර්ව පාක්ෂික රැස්වීමේ දී වික්‍රමසිංහගේ පෙනී සිටීම හොඳ උදාහරණයකි. සජබයට අහිමි වී ඇත්තේ පරිණත නායකයෙකි. එහෙත් ඊට හේතුව රනිල් ම ය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති ඕනෑම සංවිධානයක ඉරණම ඕකය. ඒ කෙසේ වෙතත් සර්වපාක්ෂික රැස්වීමේ දී පෙනුණේ එක පාර්ලිමේන්තු නියෝජිත ධුරයක් හිමි එජාප වික්‍රමසිංහ විසින් සජබය පොඩි ළමයකුය යන හැඟීම රට හමුවේ තැබූ බවය.
රනිල් වර්ණනාවෙන් යටපත් නොවන සත්‍යයක් ඇත. ඒ, මේ අර්බුදයට ඒ සියල්ලෝම සාමූහිකව වගඋත්තර බැඳිය යුත්තෝය යන්න ය. ශ්‍රීලනිපය සර්වපාක්ෂික සමුළුවක් යෝජනා කරනුයේ රට මුහුණ දී ඇති අර්බුදයට සියල්ලන්ම වගකිවයුතු බව පිළිගත් නිසා ය. එය වැදගත් සහ තීරණාත්මක ජාතික දේශපාලන යෝජනාවකි. එහෙත් එය හුදු කතා සාප්පුවක් සහ රණ්ඩු පිටියක් නොකර ගත යුතු ය. ජීවන බරින් මිරිකී බඩසයින් රෝ බියෙන් පෙළෙන ජනයා දේශපාලකයන්ට දුටු දුටු තැන කෙළ ගසන ප්‍රතිචාරයෙන් බේරීමට සමුළුවේ තීරණයක් ලෙස සහන අයවැයක් සැකසීම ආණ්ඩුවේ හෝ කැබිනට්ටුවේ හෝ නොව පාර්ලිමේන්තුවේ වගකීමකි.
එහෙත් පාර්ලිමේන්තුවේ හැමෝම නොව අර්බුදය සහ එහි හානි වැළක්වීම කෙරෙහි සංවේදී සහ දැනුවත් අයගෙන් යුත් කමිටුවක් ඒ සඳහා යෝග්‍ය ය. පාර්ලිමේන්තුවට පිටින් යමෙකු ගන්නේ නම් එහි පළමු නම් විය යුත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර සහෝදරයා, ජවිපෙ බිමල් රත්නායක සහෝදරයා සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ සහෝදරයා ය. එසේම එවැනි වැඩපිළිවෙළක විසඳීමට ඇති පළමු ගැටලුව වන්නේ භාණ්ඩ සහ සේවා වෙළඳපොළ තුළ පීඩාවට පත්ව අසරණව දුක්විඳින ජනයා ඉන් බේරාගන්නේ කොහොමද? යන්නය. එනම් භාණ්ඩ සහ සේවා ජීවත් වී ශ්‍රමය මිය යෑම වළකා ගනුයේ කෙසේ ද යන්නය. බල දේශපාලන පිටියේ පසුව පොරබදමු. හැබැයි අර්බුදයෙන් ගොඩඒමට ජාතිකව සිතමු. ශ්‍රමය මිය යද්දී භාණ්ඩ සහ වෙළඳපොළ පමණක් ජීවත් වීමේ තේරුමක් නැති බව වටහා ගනිමු.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක