යුද්ධය සඳහාම අලුතින් පිහිට වූ ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් කළ ප්‍රකාශයකින් එරට යුද්ධය පිළිබඳ තිබෙන අධිෂ්ඨානය මොනවට පැහැදිලි වේ. ඔහු කීවේ “යුද්ධයට හා සාමයට කාලයක් තිබෙන බවය. එහෙත් මේ යුද්ධය සඳහා කාලය බව ය”. පසුගිය 9 වැනි දා ඔහු ම නියෝග කළේ ගාසා තීරය සම්පූර්ණයෙන් ම වසා දමන ලෙස ය. ඉන්ධන, ජලය හා විදුලිය යන සියල්ල නවත්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. “ඔවුන් මේ මොහොත ගැන පසුතැවිලි වනු ඇත. හත් වැනිදාට පෙර තිබූ ගාසා තීරය යළි කිසිදිනක එසේ නොවනු ඇති” බව ද ඔහු අවධාරණය කළේ ය. ඉහත ප්‍රකාශ සියල්ලෙන් ම කියවෙන්නේ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය දින නියමයක් නොමැතිව දිග්ගැසෙනු ඇති බවයි. දිගහැරීමට නියමිත ගැටුමේ බිහිසුණු බව ද ඉන් ගම්‍ය වේ.
මේ සියල්ල හරහා ලෝකයට මෙන්ම, වේලාසනම අර්බුදයක සිටින ලංකාවට ද දැඩි ආර්ථික මෙන්ම වෙනත් සමාජීය ගැටලු ද මතුවිය හැකි ය. දැනටමත් ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන හා ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර, ලංකාවේ සැලකිය යුතු පිරිස් ඊශ්‍රායලයේ සේවයේ සිටිමින් ලංකාවට විදේශ විනිමය එවන බව ද අප අමතක කළ යුතු නැත.
අද වන විට යුද බිමෙහි දිගහැරෙන භයානකම තත්ත්වය වන්නේ ඊශ්‍රායලය මේ වන විට ගොඩබිම් මෙහෙයුමකට ද අවතීර්ණ වෙමින් සිටීම ය. ලොව වැඩිපුරම මිනිසුන් කුඩාම භූමියක සිටින බව සැලකෙන ගාසා තීරයේ එවැනි මෙහෙයුමක් යනු මිනිස් ජීවිත දසදහස් ගණනක ජීවිත අහිමි කරන ක්‍රියාවකි.
නැගුණු නව තත්ත්වය හමුවේ, පසුගිය 7 වැනිදා වනතුරු රුසියා - යුක්‍රේන යුද පිටිය දෙසට එල්ල වී තිබූ ලෝක අවධානය මේ වන විට සපුරා ම දිනෙන් දින වර්ධනව වන ලකුණු පෙන්වන මැදපෙරදිගට යොමුව තිබේ. ඔක්තෝබර් 07 වැනි දා හමාස් සටන්කරුවන් විසින් ගුවනින්, මුහුදින් හා ගොඩබිමින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය ලෝකය පමණක් නොව, රණකාමී ජාතියක් ලෙස ප්‍රකට ඊශ්‍රායලය වික්ෂිප්ත කළේ ය.
හමාස් සටන්කරුවන් විසින් ඊශ්‍රායලය තුළ සිදුකළ ඝාතනවල භයංකර ස්වභාවය මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. ගාසා තීරය අසල නගරයක සංගීත සංදර්ශනයකට සහභාගී වෙමින් සිටි පිරිසෙන් 250ක් පමණ ඔවුහු අමු අමුවේ මරා දැමූහ. ඊට අමතරව නිවෙස්වලට පැන කළ ඝාතන මෙන් ම මහමග ගමන් කළ වාහන නවතා ඒවා තුළ ම සිදු කළ ඝාතන ද ශිෂ්ටත්වය පිළිබඳ කිසිදු මිණුමකින් සාධාරණීකරණය කළ නොහැක.
කෙසේ වෙතත්, මෙම කිසිවක් අහසින් කඩා පාත් වූ අර්බුද නොවේ. ඒ නිසා මේවා මනා සන්දර්භයක තබා තේරුම් ගැනීම වැදගත් ය.
ඊශ්‍රායලය යනු 1948 දී පිහිට වූ රටකි. ඉන් එපිට එවන් රටක් තිබුණේ නැත. එසේ පිහිටුවීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය යටතේ එය එන්න එන්නම සෑම අතින් ම වර්ධනය විය. විශේෂයෙන් ම එහි යුද ශක්තිය වර්ධනය වූයේ ලොව බොහෝ පැරණි රටවල් පසුපසට ඇද දමමිනි. යුද ශක්තිය වැඩිවත්ම ඊශ්‍රායලය කල්පනා කළේ තම රට භූමිය වශයෙන් තවත් පුළුල් කර ගත යුතු බවයි. ඒ අනුව, 1967 දී පමණ සිරියාව, ජොර්දානය හා ඊජිප්තුව සමග යුද වදින ඊශ්‍රායලය ජොර්දානයෙන් බටහිර ඉවුර ලෙස අද හඳුන්වන කලාපය ද, ඊජිප්තුවෙන් ගාසා තීරය ද සිරියාවෙන් ගෝලාන් කඳුකරයද අල්ලා ගැනීමට කටයුතු කරයි. එතැන් පටන් එම ප්‍රදේශ අතිශය දරුණු හමුදාමය ක්‍රියාදාමයක් ඔස්සේ පාලනය කරන ඊශ්‍රායලය 2005 දී පමණ නොර්වේ මැදිහත් වීමෙන් කළ සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ හා බටහිර ඉවුරේ පරිපාලනමය බලය පලස්තීන ජනතාව වෙත ලබාදීමට කටයුතු කරයි.
කෙසේ වෙතත්, 2007 වසරේ පැවති මැතිවරණයෙන් පසු අර්බුදය අලුත් දිසාවකට වර්ධනය වේ. ඒ මැතිවරණයෙන් හමාස් සංවිධානය ජයගැනීමත් සමග ය. ඉරානයේ සහය ලබන හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කර ගැනීමත් සමග ම ඊශ්‍රායලය කරන්නේ එම තීරය හා තම රට අතර වන සම්බන්ධය භෞතිකව අවහිර කරමින්, ගාසා තීරය ගොඩබිමින්, මුහුදින් හා අහසින් සම්පූර්ණයෙන් ම වසා දැමීමයි. මිලියන 2කට වඩා වැඩි ජනතාවක් වෙසෙන එම කලාපය වසා දැමීමත් සමගම, වර්ග කිලෝමීටර් 365ක පමණ කුඩා භුමිය විවෘත සිරගෙයක් බව ප්‍රායෝගිකව පත් වේ. එවන් ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර වර්තමාන යුද්ධයද සමග මේ වන විට පස් වතාවක් පමණ යුද්ධ ඇති වී තිබේ.
වර්තමාන අර්බුදය තරම් දරුණු ගැටුමක් මීට පෙර කිසි දිනක ඇති වී නැත. මෙහි විශේෂත්වය වන්නේ, හමාස් සංවිධානය විසින් වසර දෙක තුනක් “ඉන්න නොඉන්න” ගානට සිට අති දැවැන්ත ප්‍රහාරයක් ඊශ්‍රායලය වෙත එල්ල කිරීමයි. ලෝකයේ හොඳම බුද්ධි අංශය ලෙස ගැනෙන මොසාඩ් බුද්ධි සේවයට පවා තම පිළිකන්නේ සිට එල්ල කළ ප්‍රහාරය නිසා කට උත්තර නැති විය. ඔවුන් දැඩි ලජ්ජාවකින් පෙළෙමින් සිටින බව වාර්තා වේ. ඊට අමතරව, ඊශ්‍රායලයේ එකම ආරක්ෂකයා වූ එහි අයන් ඩෝර්ම් හෙවත් යකඩ වියන මිසයිල පද්ධතිය හමාස් ප්‍රහාර හමුවේ අක්‍රිය වීම ද ඊශ්‍රායලයට දරගත නොහැකි වී තිබේ.
මේ වන විට ගාසා තීරය දෙවනත් කරමින් සිටින ඊශ්‍රායලයේ දරුණු ප්‍රතිප්‍රහාරය අප තේරුම්ගත යුත්තේ ඉහත සංදර්භය මත සිටගෙන ය.
මේ වන විට ගාසා තීරයේ තත්ත්වය අති බිහිසුණු ය. ඊශ්‍රායල් ජෙට් යානා මගින් එල්ල කරන රාත්තල් දහසේ හෝ දෙදහසේ බෝම්බවලින් ගොඩනැගිලි එහෙම් පිටින් ම විනාශ වී බිම ඇද වැටෙණු දැකිය හැක. ඔවුන්ට සිවිල් ජනතාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති බව මේ ප්‍රහාර මාලාව තුළ තහවුරු වූ දෙයකි. හමාස් ත්‍රස්තවාදීන් කළ දෙයට එහා යමින් රටක් ලෙස ඊශ්‍රායලය කරගෙන යන දෙය අතිශය ප්‍රශ්නකාරී ය. ඇරත් එමගින්, දශක ගණනාවක් පැරණි අර්බුදය තවත් තීව්‍ර කරනු ඇති අතර මැදපෙරදිග සාමය පිළිබඳ සියලු අපේක්ෂා භංග කරනු ඇත.
මේ වන විට ඇමරිකාව ඍජුව මෙම අර්බුදයේ දී ඊශ්‍රායලයට සහාය දෙමින් සිටී. ඔවුන්ගේ විශාලතම යුද නැව වන ජෙරල්ඩ් ෆෝර්ඩ් නැව මේවන විට මධ්‍යධරනී මුහුදෙහි ගාසා තීරයට එපිටින් නවත්වා තිබේ. එය සෙබළුන් 5000ක් සහ ප්‍රහාරක ගුවන් යානා සහ සෙසු අතිනවීන යුද ආම්පන්න සහිත වූවකි. ඇමරිකාව බ්‍රහස්පතින්දා දින ප්‍රකාශ කළේ හමාස් ප්‍රහාරයේ දී ඊශ්‍රායලය තුළ සිටි තම පුරවැසියන් 22ක් පමණ ඝාතනය වී ඇති බවයි. මෙය ඇමරිකානු මැදිහත්වීමකට මනා පිටිවහලකි.
මේ අතර, චීනය මෙන්ම රුසියාව ද කියා සිටියේ දෙපාර්ශවය විසින් වහා ගැටුම් නවත්වා සාමයට යායුතු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ද එය ප්‍රකාශ කළේය.
ආසන්නතම යුද භූමියට දැනෙන බලපෑමට සේම හෝ ඊට එහා ගිය බලපෑමක් මෙම අර්බුදය හරහා ලංකාව වැනි රටවලට මෙන්ම ලෝකයට ම දැනෙන ලකුණු මේ වන විටත් පහළ වී තිබේ. විශේෂයෙන් ම අද වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 දක්වා වැඩිවීම සඳහන් කළ හැකි ය. කෝවිඩ් වසංගතය හා ඉන් අනතුරුව පැමිණි රුසියා-යුක්‍රේන යුද්ධය නිසා ලොව පුරා උද්ධමනය තාමත් වසංගතය පැමිණීමට පෙර තත්ත්වයට පැමිණ නැත. යාන්තම් එය සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන අවස්ථාවක ලෝකයේ අතිශය සංවේදී කලාපයකින් යුද්ධයක් පටන් ගැනීම අපට ඉතා අඳුරු මතක කැඳවනු ඇත. මෙම අර්බුදයට මැදිව සිටින කලාපය ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් තුනෙන් එකක් බව අප අමතක නොකළ යුතු ය. විශේෂයෙන්, ඉරානය වැනි රටක් මෙම අර්බුදයට ඍජුව සම්බන්ධ වුවහොත් අපට ප්‍රතිඵල සිතා ගැනීමට පවා නොහැකි වනු ඇත. ඒ හරහා තෙල් නිෂ්පාදනය පමණක් නොව, තෙල් ප්‍රවාහනය ද අඩපණ වනු ඇත. පසුගිය 2021 අර්බුදයේ දී ද ඉරානය තර්ජනය කර සිටියේ තමන් හොර්මුට්ස් සමුද්‍ර සංධිය වසා දමන බව ය.
ලංකාව වැනි වේලාසනම අර්බුදයේ තිබෙන රටකට මේ අර්බුදය අතිශය දරුණු වනු ඇති බව කනගාටුවෙන් වුව කිව යුතු ය. මන්ද වැඩිවන තෙල් මිල යනු භාණ්ඩ හා සේවා මිල නැවත ඉහළ යාමයි. 2022 ආර්ථික අර්බුදය පැමිණියේ ද රුසියා-යුක්‍රේන අර්බුදය නිසා තෙල් හා ගෑස් මිල ගෝලීය වශයෙන් ඉහළ යාම කොවිඩ් වසංගතයට පාත්වීමෙනි. දැන් වසංගතය නැත ද ලොව දෙපස යුද්ධ දෙකක් තිබෙන පසුබිමක සැපයුම් දාම බිඳී වෙනත් අයුරකින් අර්බුදය මතුවීමේ අවදානමක් තිබේ. දැන් සිට ම මේ පිළිබඳ අවධානය යොමුකොට හැකිසෑම පියවරක් ම ගැනීම ජනතාවගේ ද ආණ්ඩුවේ ද නුවණට හුරු කාර්යයකි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ