මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ අන් කවරදාටත් වඩා සමාජමය ගැටලුකාරීත්වයක් නිර්මාණය වී තිබෙන පරිසරයකය. ඒ කියන්නේ රටේ බොහෝ අය යම් ආකාරයක ආතතියකට (stress) පත්ව තිබෙන තත්ත්වයකය. මේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා නොකර වෙනත් යමක් ගැන ලිවීම සුදුසු නැති බව පැහැදිලිය. ඒ නිසා මගේ මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ රටේ පවතින සමාජ තිගැස්මේ ප්‍රධාන කාරණා කීපයක් ගැනය.
මගේ ගණන් බැලීමට අනුව මේ මොහොතේ රට තුළ පවතින සාකච්ඡා අවකාශයේ ප්‍රධාන අභියෝග 03ක් මතුවී තිබේ. එයින් පළමුවැන්න වන්නේ කොරෝනා වසංගත තත්ත්වය සමග ගැට ගැසුණු සෞඛ්‍යය පිළිබඳ කාරණාවය. දෙවැන්න වන්නේ රටේ ආර්ථිකය සම්බන්ධව මතුවී තිබෙන සමහර ගැටලුකාරී තත්ත්වයෝය. තුන්වැන්න වන්නේ මේ ගැටලු දෙක සහ තවත් කාරණා ගණනාවක්ම හේතුවෙන් රටේ දේශපාලන අවකාශයේ මතුවෙමින් එන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආකෘතියම ප්‍රශ්නයට ලක්වෙන කාරණාය. මේ අභියෝග තුන කෙටියෙන් කිවහොත් සෞඛ්‍යය, ආර්ථිකය සහ දේශපාලනය යන ක්ෂේත්‍ර තුනේ මතුවී තිබෙන වර්තමාන තත්ත්වය යැයි සැලකිය හැකිය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ ගැටලුකාරීත්වය පිළිබඳවය.
කොරෝනා අභියෝගය
මේ තත්ත්වයේ මූලිකම හේතුව සහ ප්‍රධානතම කාරණය වන්නේ කොරෝනා වසංගත තත්ත්වය බව සත්‍යයක්ය. මේ වසංගත තත්ත්වය පිළිබඳව අපේ රටේ මේ මොහොතේ සිදුවන සංවාදය තල්ලු වෙමින් තිබෙන්නේ යම් ආකාරයක අර්බුද ජනක දිසාවකට යැයි බැලූ බැල්මටම පෙනී යන කරුණක්ය. 2020 මාර්තු මාසයේ සිට මේ දක්වාම අපි රටක් ලෙසින් මේ උවදුරින් පීඩා විඳින බව සත්‍යයක්ය. එය එසේ වන්නේ අපේ රටේ අභ්‍යන්තර හේතුවකින් මතුවූ තත්ත්වයක් නිසා නොව ලෝක පරිමාණව සිදුවූ වසංගත තත්ත්වයක් නිසාය. විශේෂයෙන් වර්තමාන ආණ්ඩුව මේ තත්ත්වය කළමනාකරණය කරන්නට ගත් පියවර රාශියක් තිබෙන බවද සත්‍යයක්ය.
කොරෝනා පළමු රැල්ල යැයි සැලකුණු කාලයේ රට ලොක් ඩවුන් කරමින් ඉතාමත් ඉක්මන් පියවර ගණනාවක්ම රජය විසින් ගනු ලැබීය. එසේම කොරෝනා පාලනය සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනු ලැබූ අතර ඒ පළමු රැල්ල සමහන් කිරීම සම්බන්ධයෙන් මේ කාර්ය සාධක බලකායට සමාජයේ විශාල අගය කිරීමක්ද ගොඩනැගී තිබුණි. මේ වැඩසටහන පිළිබඳව යම් ආකාරයක සංවාදයක් සමහරුන් තුළ මතුව ආයේ කොරෝනා දෙවැනි හා තුන්වැනි රැල්ල යැයි සැලකෙන 2020 වර්ෂයේ අවසාන කාර්තුවේ සහ 2021 වර්ෂයේ මේ ගෙවී යන කාර්තුව තුළය.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ කොරෝනාවලට එරෙහිව එන්නත්කරණ වැඩසටහන සහ රෝහල් සූදානම් කිරීමේ ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය. එන්නත්කරණය පැත්තෙන් මේ කලාපයේ අනෙක් බොහෝ රටවලට වඩා වේගවත් ආකාරයෙන් එය සිදු කරන්නට හැකිවී තිබීම මෙහිදී අපේ අවධානයට යොමුවිය යුතුම කාරණයකි.
එහෙත් මේ ජයග්‍රහණය අතරතුර කොරෝනා වසංගතයේ ඩෙල්ටා ප්‍රබේදය පැමිණීමත් සමග මේ තත්ත්වය පිළිබඳව යම් ආකාරයක විවේචනයක් මතුවී තිබෙන බව පැහැදිලිය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමහරුන් සහ ආරක්ෂණ ක්ෂේත්‍රයේ සමහරුන් අතර මෙතෙක් තිබූ පොදු ස්ථාවරය අතර යම් ආකාරයක පරස්පරයක් නිර්මාණය වී ඇති ආකාරයෙන් මේ සංවාදය මතුවී එන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලීමත් මෙහිදී ඉතාමත් වැදගත්ය.
මේ පරස්පරතාව නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් (මා මේ කියන්නේ GMO එක ගැන නොවේ) මාධ්‍ය හමුවේ සිදු කරන අදහස් දැක්වීම් බරපතළ ආකාරයෙන් සමාජයට බලපෑමක් සිදු කරන බව ඉතාමත් පැහැදිලිය. රට ලෙක්ඩවුන් කරනවාද නැද්ද යන ප්‍රශ්නය අනවශ්‍ය දුරක් ගමන් කර ඇත්තේ මම කියන මේ පරස්පරතාව හේතුවෙන්ය. කොරෝනා වසංගතය කළමනාකරණය කිරීම පැත්තෙන් දේශපාලනඥයන් කියන දේවල් සහ ආරක්ෂක ප්‍රධානීන් කියන දේවල් ජනතාව අතර යම් ආකාරයක නොපිළිගැනීමකට ගමන් කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මතය ප්‍රධාන ධාරාවේ මතය බවට පත් කර ගන්නට නොහැකිවී ඇති නිසා බව මගේ අදහසය.
ඒ නිසා කොරෝනා කාර්ය සාධන බලකායේ විශේෂ ස්ථානයක් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැනි අයකු වෙත ලබාදීම මේ පරස්පරය සමහන් කරන්නට එක් මගක් බව මගේ යෝජනාවය.
දැන් මේ වසංගතයෙන් රටට සිදුවූ බලපෑම තීරණාත්මක බවක් සමහරුන් විශ්වාස කරන්නට පටන් තිබෙන බව සත්‍යයක්ය. මේ වනවිට මේ උවදුරෙන් මියගොස් ඇති සංඛ්‍යාව පුද්ගලයන් 6600කි. වයිරසය වැළඳී ඇති සංඛ්‍යාව 369,000 පමණ වන අතර මේ වනවිට සුවවී ඇති සංඛ්‍යාව 315,000කට අධිකය.
එන්නත්කරණය සාර්ථකව ඉදිරියට ගෙන යාමත් නිවැරදි සෞඛ්‍ය පිළිවෙතක් හා විනයක් රට තුළ ඇති කිරීමත් යන පැති දෙකින්ම ඉදිරියට යාම හැර මේ සඳහා වෙනත් විසඳුමක් කාටවත් පෙනෙන්නේ නැත. රට වසාගෙන ඉන්නවාද යන කාරණය මතු වෙන්නේ රෝගය බෝවීමේ වේගය අඩපණ කිරීමට අවශ්‍ය උපායක් ලෙසින් පමණක්ය. රට වැසීමට යෝජනා කිරීම අද මතුවී තිබෙන්නේ සමහරුන්ගේ දේශපාලන උපායක් ලෙස වීම කනගාටුවට කාරණයක්ය.
ආර්ථික අභියෝගය
ඉහත සඳහන් කොරෝනා උවදුර සමග ඍජු ලෙසින්ම සම්බන්ධ වූ කලාපයක් වන්නේ රටේ ආර්ථිකයයි. රට ලොක් ඩවුන් කිරීම ආර්ථිකයට ඇති කරන බලපෑම ඉතාමත් තීරණාත්මකය. මේ නිසාම රට යම් ආකාරයක ස්වයං විනයක් යටතේ විවෘතව තබා ගැනීම සුදුසු බව ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමවේදයයි. සමහර රටවල් ලොක්ඩවුන් කරන්නට යන විට එයට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ කරන අවස්ථා මේ දිනවල මාධ්‍යයේ දකින්නට තිබෙන තත්ත්වයකි. අනෙක් රටවල ලොක් ඩවුන් කරන්නට එරෙහිව පෙළපාලි යනවිට අපේ රටේ සමහරුන් පෙළපාලි යන්නේ ‘අපිව ලොක් ඩවුන් කරන්න’ යැයි ඉල්ලමින්ය. මා මිතුරු ධම්ම දිසානායක වැනි වාමාංශිකයන් කියන්නේ ඒ කාරණයමය. මෙහි අර්ථය වන්නේ ‘අපිට අපිවම පාලනයක් නැහැ. ඒ නිසා ලොක් කරන්න’ වැනි හැඟීමක්ය.
එහෙත් අපි තේරුම් ගත යුත්තේ රටේ ආර්ථිකයේ විශාල කොටසක් සමන්විත වන්නේ එදිනෙදා වෙළඳපොළේ සිදු කරන මැදිහත්වීම හරහා බවය. ගමේ සිටින ගොවියා, වෙරළේ සිටින ධීවරයාගේ සිට මිලියන 12 පමණ පිරිසක් ස්වකීය ආදායම් මාර්ගය සකසා ගන්නේ විවෘත වූ වෙළඳපොළක් සහිත සමාජයක් තුළය. රජයේ රැකියා කරන ලක්ෂ 14 පමණ පිරිස සහ විශ්‍රාම වටුප් ලබන ලක්ෂ 04 පමණ පිරිසකට පමණක් කුමන තත්ත්වයක් යටතේ වුවත් මාසයේ වේතනය ලැබෙන බව සැබෑවක්ය.
එහෙත් රටක් ලෙසින් අපි කල්පනා කරන විට සිදු කළ යුත්තේ හැකි පමණ සංචරණය ස්වයංව සීමා කර ගනිමින් අනෙක් බොහෝ රටවල් මෙන් කටයුතු කිරීමය. සමහර නගරවල වෙළෙඳ සංගම් ඒ ඒ නගර දින කීපයකට වසා තබාගැනීමට කටයුතු කිරීම වැරැද්දක් නොවේ. රජයේ තීරණය රට විවෘතව තබාගැනීම යැයි කියන්නේ හැමෝම හැම විටම පාරට එන්න කියන එක නොවේ. එසේම නගරයක කඩා සාප්පු ස්වයංවාරණයක් හරහා සමහර දිනක වසා තැබීම හොඳ දෙයක් බව මගේ අදහසය.
රටේ ආර්ථිකයේ තත්ත්වය මේ කොරෝනා උවදුරට රට වසනවාද නැද්ද යන කාරණයට වඩා ඉතාමත් බරපතළ එකක්ය. වර්තමාන මුදල් ඇමැතිතුමා මේ දිනවල ඉතාමත් වෙහෙස වෙන්නේ ඉදිරි වර්ෂයේ රටේ ආර්ථිකයේ කළමනාකරණය සඳහා අයවැය යෝජනා සකස් කරන්නටය. රටේ ආර්ථිකයේ තත්ත්වය බරපතළ ආකාරයෙන් මේ කොරෝනා වසංගතය නිසා අර්බුදයකට ගිය බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වන්නේ එය අපි හැමෝටම අභියෝගයක් නිසාය.
2020 වර්ෂයේ ආර්ථිකයේ සියයට 3.6 සංකෝචනය වූ බව මහ බැංකුවේ වාර්තාවලින් පෙන්නුම් කරන කාරණයයි. රටේ දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතයක් ලෙසින් සමහර ක්ෂේත්‍රවල තිබෙන කඩා වැටීම් බරපතළය. ධීවර කර්මාන්තය සියයට 16.6 කඩා වැටී ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සියයට 13.2 පසුබෑමකට ලක්වී ඇත. වර්ධනයක් පෙන්නුම් කරන්නේ තොරතුරු සන්නිවේදනය (13.7), මූල්‍ය රක්ෂණ ක්ෂේත්‍රය (5.0%) වැනි පැතිවලින්ය. සමහර මූල්‍ය සමාගම් සහ බැංකු මේ අභියෝගය හමුවේ විශාල ලාභයක් ලැබූ බවට උදම් ඇනීම ආර්ථිකය පැත්තෙන් මේ මොහොතේ විශාල ජයග්‍රහණයක් නොවන බව කිව යුතුම කරුණකි.
1977 පසු මේ රටේ වෙළඳපොළ විවෘත වූවාට ඒ තුළ වර්ධනය වූයේ (ඩීල් ආර්ථිකයක්) හෙවත් සහචර ධනවාදයක් බවට අපේ මිතුරන් කියන කථාවේ සත්‍යයක් තිබේ. මූල්‍ය සමාගම් මේ උවදුරෙන් වැඩි පොලියක් අයකර ගත්තා යැයි කියන්නේ ඒ තත්ත්වය තුළය. එහෙත් එයට විසඳුම වන්නේ විවෘත වෙළඳපොළ රාජ්‍යයේ පංගුවට හෙවත් රජයේ ව්‍යවසායකත්වයට පමණක් තල්ලු කිරීම නොවන බවද තේරුම් ගත යුතු කාරණයකි. 1977 ආරම්භ කළ ආර්ථික මොඩලය තුළ ඩීල්කාරයන් නොව නිෂ්පාදකයන් (Industrialist) වැඩි කරන විවෘත වෙළඳපොළක් පවත්වා ගෙන යාම අපි හමුවේ ඇති අභියෝගයයි. (ඉන්දියාවේ උදාහරණයකින් කිවහොත් අපිට අවශ්‍ය වන්නේ රත්නම් ටාටලා මිස අම්බානිලා නොවන බව මගේ අදහසයි)
දේශපාලන අභියෝගය
මෙහි සාකච්ඡා කළ යුතු තුන්වැනි අභියෝගය වන්නේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මතු වෙමින් පවතින වත්මන් තත්ත්වයයි. (මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ මා මුලින් සඳහන් කළ ආර්ථික කාරණයත් දේශපාලන කාරණයත් බව සත්‍යයක් වුවත් වෙනමම දේශපාලන අභියෝගය ලෙස කථා කළ යුතු වැදගත් කාරණයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ මතුවී තිබෙන බවයි) මේ දිනවල රටේ දේශපාලන සංවාදය මතුවී පෙනෙන්නේ වැඩි වශයෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය අවකාශය තුළ නොව සමාජ මාධ්‍ය අවකාශය තුළ යැයි පැවසීමේ වැරැද්දක් නැත. ඒ අනුව මේ රටේ සමාජ මාධ්‍යයේ හැසිරීම තුළ බරපතළ නව දේශපාලන තත්ත්වයක් (New Political Condition) මෝදු වෙමින් තිබෙන බව මගේ නිරීක්ෂණයයි.
මේ සමාජ මාධ්‍ය දේශපාලනය 2015 සිටම මතු වෙමින් තිබෙන තත්ත්වයකි. විශේෂයෙන් මෙයට එක් හේතුවක් වන්නේ මෙරට සිටින ඡන්දදායකයන් මිලියන 15 පමණ පිරිසෙන් ප්‍රධාන පක්ෂ යාන්ත්‍රණ දෙකට අයත් පිරිස මිලියන 7කට වඩා වැඩි නොවීමත්, පක්ෂවලට නිත්‍ය ලෙසින් සම්බන්ධ නොවූ මිලියන 05 පමණ සමාජ කලාපයක් මේ නව මාධ්‍ය තුළ දේශපාලනමය වූ සංවාදයක් තුළට එක්වී සිටීමත් බව මගේ නිරීක්ෂණයයි. (මෙම තත්ත්වය ගැන වෙනමම ලිපියක් ලිවිය යුතු ක්ෂේත්‍රයක් යැයි කීමේ වැරැද්දක් නැත) දැන් වර්තමානයේ රටේ තිබෙන එක් දේශපාලනමය අභියෝගයක් වන්නේ මේ සමාජ මාධ්‍ය අවකාශය තුළ එදිනෙදා දේශපාලන සංවාදය පවත්වා ගෙන යන සමාජ තීරුව මගින් මතු කරන අභියෝග සමග සම්මුඛ වීමයි.
මේ තත්ත්වය ආණ්ඩුවට පමණක් නොව අනෙකුත් දේශපාලන පක්ෂවලටත් මේ මොහොතේ මුහුණ දෙන්නට සිදුවී ඇති යථාර්ථයක් ලෙසින් තේරුම් ගැනීම නිවැරදිය. මෙම සමාජ මාධ්‍ය අවකාශයේ මතුවන එක් ස්ථාවරයක් වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලංකාවේ පසුගිය වසර 73ක ඉතිහාසයම අසමත් වූ එකක් බවත්, විසඳුමක් වෙන්නේ පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කිරීම බවත් පෙන්නුම් කරන ඉදිරිපත් කිරීම්ය.
සමහරෙක් මගේ මේ නිරීක්ෂණය එතරම් නිවැරදි එකක් හෝ බරපතළ එකක් නොවේ යැයි සිනහවෙන් බැහැර කළ හැකි වුවත් මා මෙය කියන්නේ තරමක හැදෑරීමකින් පසුවය. කෙටියෙන් කිවහොත් ‘මෙතෙක් කල් දේශපාලනය යැයි සිතා සිටි බොහෝ දේවල් ප්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයම ප්‍රශ්නයට ලක් කරන කිසිදු දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවන් ලෙසින් ඍජු ලෙසින් පෙනී නොසිටින විශාල සමාජ කණ්ඩායමක් දේශපාලන අවකාශයට අවතීර්ණ වී ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ දේශපාලන අවකාශය මේ වනවිට රටේ බරපතළම ප්‍රකාශකයා බවට පත් වී හමාරය. දේවානිලා, භාග්‍යලාගේ ප්‍රශ්නයේ සිට ගුරු - විදුහල්පති ප්‍රශ්නය දක්වා විසිරී ඇති සමස්ත විවේචක අවකාශයම පවතින්නේ දේශපාලන පක්ෂ තුළ හෝ පාර්ලිමේන්තුව තුළ නොවන තැනට සංවාදය ගමන් කරමිනි. මේ තත්ත්වය සමග ගනුදෙනු කරන දේශපාලන භාෂාව සොයා ගැනීම මේ යුගයේ හැමෝම මුහුණ දෙන දේශපාලන අභියෝගය බව මගේ මතයයි. එම දේශපාලන භාෂාව, නීති දැමීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීම වැනි තත්ත්වයකින් එහා ගිය බරපතළ සංවාදයක්ම බව යෝජනා කරන අතර ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
(***)
මහාචාර්ය - චරිත හේරත්