මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට අදහස් කරන්නේ ගෙවුණ සතියේ දේශපාලනය ගැනය. ඒ කියන්නේ මැයි - 09 සඳුදා ආරම්භ වී මැයි 16 හෙවත් මේ සඳුදා දක්වා දින හතේ සිදුවූ දේශපාලන සිදුවීම් මාලාව පිළිබඳවය. මගේ තේරුම් ගැනීම වන්නේ දවස් 07 තුළ අපේ රටේ වූ සිදුවීම් මාලාව රටේ අනාගතයට බරපතළ බලපෑමක් කරන ඒවා බවය. රට හෙල්ලූ සතියක් යැයි මා කියන්නේ ඒ නිසාය. 1917 රුසියාවේ සිදුවූ සමාජ පරිවර්තනය ඇසින් දුටු ඇමරිකානු ලේඛකයෙක් වූ ජෝන් රීඩ් විසින් පොතක් ලියන ලදී. ඔහු එය නම් කළේ Ten days that shook the word කියාය. ‘‘ලොව හෙල්ලූ දස දවස’’ කියා එහි සිංහල පරිවර්තනයක් ද තිබේ. මම හිතන්නේ පසුගිය සතියේ දවස් 07 අපේ රටේ දේශපාලනය ආර්ථිකය හෙල්ලුම් කා ගිය කාලයක් බවය.
මහින්දගේ අස්වීම
මැයි 09 සඳුදා උදෑසන අරලිය ගහ මැදුරේ පැවති රැස්වීම පිළිබඳව මේ වනවිට විවිධ තොරතුරු සමාජගත වී ඇත. එය සංවිධානය කළ අය කියන්නේ එහි අරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවණීය සමුගැනීමක් ලබාදීම බවය. එහෙත් ඒ රැස්වීමේ කථා කළ සමහර නායකයන් පෙන්නුම් කළේ එම රැස්වීමේ අරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවණීය සමුදීමක් නොව කිසිම ආකාරයකින් අස්වීමකට ඉඩ නොදීමක් බවය. ඒ කෙසේ වෙතත් එම රැස්වීම පැවති වෙලාව තුළ එහි අරමුණ කුමක්ද කියා පෙන්නුම් කළ බව ඉතාමත් පැහැදිලිය. මට තේරෙන ආකාරයට එහි අරමුණ යැයි පෙනෙන්නේ එක පැත්තකින් ‘මහින්ද ඉවත් කිරීම වැරදි බවට’ බලපෑමක් ජනාධිපතිතුමාට කිරීමත්, අනෙක් පැත්තෙන් ගෝල් ෆේස් පිට්ටනියේ විරෝධතා දක්වන අයට එරෙහිව යම් බලපෑමක් කිරීමත්ය. මේ අරමුණු දෙකින් දෙවැනි කාරණය ගැන ඒ රැස්වීමේ කථා කළ එක් ඇමතිවරයකු කෙළින්ම කියූ බව ද වීඩියෝ දර්ශනවල තිබුණි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිධුරයෙන් ඉවත්වීම සිදු වූයේ 9 වැනිදා උදේවරුවේ නොව සවස 2.30 පසුවුණාට පසුවය. ඒ අස්වීම සහ උදේ වරුවේ ගෝල්ෆේස්හි වූ සිදුවීම අතර සම්බන්ධයක් තිබේදැයි මා දන්නේ නැත. ඒ කෙසේ වෙතත් මහින්ද අගමැතිතුමා ඔහුගේ තනතුරෙන් අස්වීම සිදුවී හමාරය. මේ සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ අපේ රටේ දේශපාලනය සම්බන්ධව සමහර නායකයන්ට නොතේරෙන බරපතළ කාරණයක්ය. මහින්ද රාජපක්ෂ මැතිතුමා යනු මේ රටේ සිංහල සමාජයේ පිළිගැනීමකට ලක්වූ ඉතාමත් සුවිශේෂ චරිතයකි. මගේ නිරීක්ෂණයට අනුව අපේ රටේ සිංහල සමාජයට බරපතළ ශක්තියක් හා ආරක්ෂාවක් ලබාදුන් නායකයන් හතර දෙනෙක් ඉතිහාසය පුරාවටම සුවිශේෂය. ඒ හතර දෙනා වන්නේ, දුටුගැමුණු රජු, අනගාරික ධර්මපාල, බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ යන අයය. මේ මගේ නිරීක්ෂණයක් නිසා මේ අයට එකඟ නැති අය කලබලයට පත්විය යුතු නැත. ඉහත සඳහන් නායකයන් 04 දෙනා අතරින් පළමු තිදෙනා තමන්ගේ ව්‍යාපෘතිය නිමාවීමත් සමග එම දේශපාලන වැඩසටහනින් සමු ගත්තේය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඓතිහාසික කාර්යභාරය වූ යුද්ධ ජයග්‍රහණය ඇතුළත් 2005-2015 වසර දහයක පාලනය යටතේ එතුමා අත්පත් කරගෙන සිටි කීර්තිය හා ගෞරවය සමගින් එතුමාගේ දේශපාලන කාර්යභාරය නිමා කරමින් විශ්‍රාමික ජීවිතයකට ගමන් කළා නම් එතුමන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවන්නේ නැති බව මගේ අදහසය. එතුමන්ව විශ්‍රාමික ජීවිතයෙන් නැවත දේශපාලනයට කැඳවාගෙන ආවේත් ජනතාවම බවත් මෙහිදී සඳහන් කළ යුතුය. මහින්ද රාජපක්ෂ යන මහා වෘක්ෂය මේ රටේ ලබාගත යුතුව තිබූ ඓතිහාසික ගෞරවය විනාශ කළේ කවුරුන්ද යන කාරණය බරපතළ ආකාරයෙන් විමර්ෂණය කළ යුතුය. එතුමන්ගේ දේශපාලන සමාජ ප්‍රාග්ධනයට (Political – Social Capital) මුවා වී තම තමන්ගේ ව්‍යාපෘති පෝෂණය කරගත් සමහර දේශපාලන නායකයන් සහ ස්වකීය පවුලේ සමහරුන් මේ විනාශයේ එක් පැත්තක පාර්ශවකාරයන් බව පමණක් මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ ඉල්ලා අස්වීම සටහන් කරන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයේ පැරණි ආකෘතියේ නිමාව යැයි සිතීමේ වැරැද්දක් නැති බව මගේ අදහසය. මා මීට මුලින් කිවිදා දැක්මේ කියූ පරිදි 1947 සිට පැමිණි Democry 1.0 කොටසේ නිමාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අස්වීමෙන් සටහන් වෙන්නේ යැයි කීමේ වැරැද්දක් නැත.
කුමන ආකාරයේ විවේචනයක් එතුමාගේ පසුකාලීන දේශපාලන භාවිතය සම්බන්ධයෙන් තිබුණත් මගේ ලෝකයේ දේශපාලනඥයන් අතර මුලින් සිටින කීපදෙනාගෙන් එක් අයකු වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යැයි මෙහිදී පැවසිය යුතුව ඇත.
ගෝල්ෆේස් පහරදීම
මැයි 09 දින සිදුවූ දෙවන සිදුවීම වන්නේ අවාසනාවන්ත ආකාරයෙන් සිදුවූ ගෝල්ෆේස් පහරදීමය. මේ ක්‍රියාදාමය පිළිබඳව මේ වන විට අධිකරණය හා පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින නිසා විස්තර සාකච්ඡා කිරීම සුදුසු නැත. එහෙත් මේ ක්‍රියාව ගැන මුලින්ම කිවයුත්තේ දේශපාලනයේ මේ වැනි යල් පැන ගිය උපක්‍රම තේරීම මගින් පෙන්නුම් කරන්නේ අද සිටින සමහර දේශපාලන නායකයන් මොනතරම් මෝඩ පිරිසක් ද කියන කාරණයයි. ගෝල්ෆේස් විරෝධතාවේ මූලික අපේක්ෂාව හා එහි ඇති දේශපාලනය සමග එකඟතාවක් නැති බොහෝ අය මේ රටේ සිටිති. එහෙත් ඒ හැමෝම එකලෙසින් මේ පහරදීම ප්‍රතික්ෂේප කරති.
ගෝල්ෆේස් පහරදීම මගින් අපේ රටේ පැරැණි දේශපාලනයේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කළ අතර, එදා රාත්‍රියේ සිදුවූ ගිනි තැබීම්වලින් නව දේශපාලනයේ ඇති ම්ලේච්ඡත්වය පෙන්නුම් කෙරිණි.
මැයි 09 රාත්‍රී ගිනි තැබීම්
මේ ක්‍රියාවලියේ අනෙක් සංවිධාන්තමක හිංසනය වූයේ එදින රාත්‍රියේ සහ ඊට පසු දින පුරාවට සිදුවූ ගිනිතැබීම් හා දේපල හානි කිරීම්ය. ආණ්ඩුවේ දේශපාලනඥයන් රාශියකගේ ගෙවල් ගිනිබත් කෙරුණේ මෙරට ඉතිහාසයේ කිසිම දිනක නොවූ ආකාරයේ හිංසනයක් සහ භීෂණයක් මතු කරමිනි. මේ ක්‍රියාදාමය පිළිබඳව දැනටමත් පරීක්ෂණ ආරම්භවී ඇති අතර මෙම සිදුවීම් පසුපස සිටි අය පිළිබඳ තොරතුරු හෙළි කෙරෙමින් පවතී. ඒ සිදුවීමේ පසු පස තිබෙන බරපතළ සමාජ වෛරය දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් ආමන්ත්‍රණය කළ යුතු ප්‍රතිසංස්කරණ සමග ගැට ගැසී ඇති බව මගේ අදහසය. මේ ගිනි තැබීම් මගින් පෙන්නුම් කරන්නේ දේශපාලන වශයෙන් වසර 73 ක පමණ කාලයක් ප්‍රජාතන්ත්‍රීය වපසරියක වැඩ කළ රටක නව සමාජ කණ්ඩායම්වල සිතීමේ ස්වභාවයයි. සමාජයක මතවාදී වෙනස්කම් ඉවසීම යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පිළිගැනීමය. එය එසේ නොවී, තමන් විශ්වාස නොකරන අය හෝ ඒ අයගේ දේපොල විනාශ කිරීමෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන වශයෙන් අපේ සමාජය බිඳ වැටෙමින් තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳවය.
මෙදින සිදුවූ මේ දේපොල හානිවලටත් එහා ගිය බරපතළ සිදුවීම වන්නේ පොලොන්නරුවේ මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මැතිතුමා සාහසික ආකාරයෙන් ඝාතනය කිරීමය. ඒ ඝාතනය මගින් කියා පාන්නේ පසුගිය මාසයක පාකිස්ථානයේ ඝාතනය වූ තරුණ ඉංජිනේරුවරයා මුහුණ දුන් ඉරණමට මේ මන්ත්‍රීවරයා ද මුහුණ දුන් බවයි.
මිනිස් ඝාතන, දේපොළ හානි වැනි ක්‍රියාමාර්ග හරහා සිදුකරන දේශපාලනික මැදිහත්වීම් ප්‍රජාතන්ත්‍රීය සමාජය අනුමත නොකරන ඒවා පමණක් නොව ශිෂ්ට සම්පන්න සමාජය පිළිකුල් කළ යුතු උපක්‍රමයක් බව මෙහිදී සඳහන් කිරීම වැදගත්ය.
රනිල් නැවතත් අගමැති
මේ සතියේ සිදුවූ අනෙක් විශේෂ සිදුවීම වන්නේ රනිල් විකමසිංහ මැතිතුමා හයවැනි වතාවටත් අගමැතිධුරයට පත්වීමය. රට මුහුණ දී ඇති මේ ගැටලු සහගත අවස්ථාවේ රටේ පාලනයට එතුමා වැනි අත්දැකිම් සහිත නායකයකු තෝරා ගැනීම ඉතාමත් නිවැරදි බව මගේ අදහසය.
මේ මොහොතේ අප ඉදිරියේ ඇති අභියෝගය දෙයාකාරය. එයින් එකක් වන්නේ අප මුහුණ දෙමින් සිටින මේ ආර්ථික අභියෝගය ජය ගැනීමය. ඒ සඳහා දැරිය යුතු මහන්සිය අධික වන අතර ඒ සඳහා අප සතුව සිටින එක් වැදගත් දේශපාලන නායකයකු වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය.
අප ඉදිරියේ ඇති දෙවැනි අභියෝගය වන්නේ මේ රටේ මේ මොහොතේ ඉල්ලා සිටින දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමය. ඒ අතරින් එකක් වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවතත් බලාත්මක කිරීමය. එසේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කිරීමය. මීළඟට තවත් වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණයක් වන්නේ විධායක ජනාධිපති ධුරය පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීම්ය. සමහරුන් කියන්නේ විධායක ජනාධිපති තනතුර එහෙම පිටින්ම ඉවත් කළ යුතු බවය. තවත් සමහරුන් කියන්නේ එම තනතුරේ බලතල අඩු කළ යුතු බවය. පාර්ලිමෙන්තු ක්‍රමයකට මාරුවිය යුතු බවය. මේ සංවාදයේ පැති දෙකේම පිළිගත යුතු කාරණා තිබෙන බව සැබෑවක්ය. ඉතිහාසය දෙස බලන විට අපේ රටේ සමහර ප්‍රශ්න පැමිණියේ විධායක අගමැතිධුරයක් තිබෙන කාලයේය. (1948-1977). තවත් සමහර ගැටලු පැමිණියේ විධායක ජනාධිපතිධුරයක් තිබෙන කාලයේය. (1977-2022). ඒ නිසා මේ ක්‍රම දෙකෙන්ම රටට ගැටලු තත්ත්වයක් ජනිත කර ඇතිවා පමණක් නොව බරපතළ ආකාරයේ ධනාත්මක දේවල් ද ඒ ක්‍රම දෙක හරහාම සිදුකර තිබේ. ඒ නිසා විධායක ජනාධිපතිධුරය එහෙම පිටින්ම ඉවත් කළ යුතුය යන කාරණය හදිසියේ ගත යුතු තීරණයක් නොවන බව මගේ මතයයි.
එසේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ පළාත් සභා ක්‍රමය ඍජු ලෙසින්ම විධායක ජනාධිපතිධුරය සමග ගැට ගැසී ඇති කාරණයක්ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයේ මතු කරන එක් කාරණයක් වන්නේ විධායක ජනාධිපතිධුරය සඳහා මුළු රටම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත් කෙරෙන තත්ත්වයක් තිබෙන බැවින් පළාත් සභා යනු රටේ පරමාධිපත්‍ය බලය බෙදීයාමක් සටහන් නොවන බවයි. එවැනි තත්ත්වයක විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි වීමක් යෝජනා කරන අවස්ථාවක එම යෝජනාව 13 වැනි සංශෝධනය සමග ද ගැට ගැසී ඇති බව මගේ මතයයි.
මේ කාරණය පිළිබඳව පුළුල් විමසුමක් ඉදිරියේ දී කරන්නට බලාපොරොත්තු වෙමි. මැයි 9 දිනෙන් ආරම්භව මැයි 16 දින දක්වා මේ සතිය රටේ දේශපාලනය බරපතළ ආකාරයෙන් හෙල්ලූ කාලයක් වශයෙන් තේරුම් ගැනීම ඉතාමත් නිවැරදිය. ඒ හෙල්ලීමේ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී හා හිංසනකාරීත්වය පිටු දැකිය යුතු අතර එහි ඇති ධනාත්මක තත්ත්වය (නව අගමැතිවරයකු පත්කිරීම වැනි) ආරක්ෂා කර ගත යුතුය.
(***)
මහාචාර්ය - චරිත හේරත්