රාජ්‍යය පෞද්ගලික බූදලයක්ද?


පෞද්ගලික හාස්කම්වලින් රාජ්‍යයක් ගොඩනැගිය නොහැක. එසේම වැටුණු රාජ්‍යයක් යළි ගොඩනැගීම ද තනි පුද්ගලයකුට සිදුකළ නොහැක. එහෙත් රාජ්‍යයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියකට නායකත්වය දීමට තනි පුද්ගලයකුට පුළුවන. එහෙත්, ඒ පුළුවන්කම රඳා පවතින්නේ හුදු පුද්ගල හපන්කමක් මත නොව සාමුහික මූලෝපායික වැඩ පිළිවෙළක් සහ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින සාමුහිකත්වයේ එකඟතාව සහිත නායකත්වයක් නියෝජනය කිරීමට, එකී නායකයාගේ ඇති අවංක සහ නිහතමානී කැමැත්ත මත ය. මෙරට ගිලී ඇති අර්බුදය විසඳීමට යැයි කියා පරණ අය යොදා තනාගත් අලු‍ත් ආණ්ඩුවට’ පෞද්ගලිකව සහය නොදී ගෝලීය දේශපාලන ආර්ථික ප්‍රජාව පස්මහ බැලු‍ම් බලන්නේ ඒ නිසා ය. ගෝලීය දේශපාලන ආර්ථික ප්‍රජාව ඇතැම් අරමුණු සඳහා පුද්ගලයන් පාවිච්චි කළත් සම්බන්ධතා පවත්වන්නේ රාජ්‍ය සමඟය. අපට අහිමි කොට ඇත්තේ හෝ නැත්තේ ඒ රාජ්‍යය ය.

යම් තරමකින් හෝ දකුණු ආසියාතික රටවල්වල එක හා සමාන සහචර පාලකයන් අතර ගොඩනැගෙන පෞද්ගලික සම්බන්ධතා යුරෝපීය, ඇමෙරිකානු සහ අනෙකුත් කලාපවල රාජ්‍යවල පාලකයන් අතර ගොඩනැගෙන්නේ නැත. ගොඩ නැගුණත් වැඩක් නැත. මන්ද එම රාජ්‍ය සහ ඒවායේ පාලකයන් කටයුතු කරනුයේ හෝ කටයුතු කරන්නට ඔවුන්ට සිදුවී තිබෙන්නේ රාජ්‍ය අභිලාශ සහ අරමුණුවලට අනුකූලවය. පසුගිය වකවානුවේ ආ කොවිඩ් වසංගතය සහ ගෝලීය අවි ගැටුම් නිසා සිදු වුණේ බලගතු රාජ්‍යවල ජාතිකරාජ්‍යවාදය වඩාත් ශක්තිමත් වී, පරිස්සම් සහ අරපරිස්සම් රාජ්‍ය උපාය මාර්ග කරා එම රාජ්‍ය අවතීර්ණය වීම ය. සිදු වූ හෝ වර්ධනය වූ හෝ තවත් දෙයක් වූයේ ජන නියෝජිත ආණ්ඩුවාදය සහ යහආණ්ඩුකරණය පිළිබඳ ගෝලීය උනන්දුව වර්ධනය වීමය. එය ඇතැම් විට රාජ්‍ය අතර දේශපාලන ආර්ථික උපායක් විධියට භාවිත වුව ද  ජනනියෝජිත ආණ්ඩුවාදය සහ යහආණ්ඩුකරණය පිළිබඳව වූ ගෝලීය උනන්දුව සුළුකොට තැකිය නොහැකිය. ඇත්ත වශයෙන්ම ගෝලීය ලිබරල් දේශපාලන ආර්ථිකය තුළ ඉතා ඉහළින් අලෙවිවන සංකල්පීය භාණ්ඩ ඒවාය. සංකල්පීය වෙළඳපොළ එය ය. මෙරට පාලකයන් නොතකා හැරියේ ඒ වෙළඳපොළ ය. ඉන් හෑරුණේ රටක් ගිල්ලවිය හැකි වළකි.

 

වෙළඳපොළම රාජ්‍යය වීම

1948 සිට කෙසේ වෙතත් 1977 සිට නම් මෙරට පාලකයන් ගොඩ නැගුවේ රාජ්‍යයක් නොව රාජ්‍ය ආර්ථිකයකුත් නොව වෙළඳපොළක් පමණය. එසේ කීම ද නොගැළපේ. මන්ද ඔවුන් කළේ වෙළඳපොළක් ගොඩනැගීම නොව ඒ සඳහා තැරව්කාරකම් කිරීම ය. ඒ මගින් සිය පෞද්ගලික ධන රාශිකරණය සහ ඊට උපකාරී වන සේ බලය තහවුරු කර ගැනීමය. අනුන්ගේ භාණ්ඩවලට ලාභයි ලාභයි කියා කෑ ගැසුවා මිසක ඒවාට අතරමැදිකම් කොට කොමිස් අල්ලස් ලබා ගත්තා මිසක, ඒ වෙළඳපොළේ විකිණීමට ස්වදේශීය භාණ්ඩ සහ සේවා සුලබ වනලෙස මෙරට ආර්ථිකයේ විවිධාංග වර්ධනය කළේ නැත. නිෂ්පාදන ආර්ථිකයක් ගැන උනන්දු වුණේ නැත. නිලධාරීන්’ ලෙස නම්කරගත් බහුතරයක් රාජ්‍යකාර්යධරයන් කළේ ‘ටයිධාරින්’ ලෙස පාලකයන්ගේ සහ වෙළෙන්දන්ගේ ව්‍යාපෘතියට උදව් කොට තම පැවැත්ම සහ සිය පවුල්වල සමෘද්ධිය සකසා ගැනීමය. ඔවුන් නිල සහ ටයි (කරපටි) දරන්නන් වුවා මිස රාජ්‍යයක වගකීම් දරන රාජ්‍යකාර්යධරයන් වූයේ නැත. වසර හතලිස් ගණනක් තිස්සේ මෙරට ජනයා රාජ්‍යය යැයි කියා රැවටුණේ මෙන්න මේ පාලක පරිපාලක තැරව්කාරයන්ගේ වෙළෙඳපොළට ය. සියලු‍ දේ වෙළෙඳපොළින් ගත හැකි වූ තරමට බොහෝ අයට, විශේෂයෙන්ම මැද පන්තිකයන්ට රාජ්‍යය අමතක වී ගියේ ය. රාජ්‍යය ගැන යම්තම් හරි කැක්කුමක් තිබුණේ නම් ඒ, අන්ත දුගී ජනයාට සහ ඇතැම් වෘත්තීය සංගම්වලට පමණක් ය. එහෙත් රාජ්‍යය ගිලීයාමෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත.

 

බුද්ධිමය රැකවරණ

රාජ්‍යය යටකරගෙන මතු වූ, එනම් පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ තැරව්කාරකම් මත ඉදි වූ වෙළඳපොළට බුද්ධිමය රැකවරණ සැපයීමට බොහෝ උගත්තු ඉදිරිපත් වූහ. එහි දී විශ්ව විද්‍යාල ඇතුළු සියලු‍ අධ්‍යාපන ආයතන පෙරමුණේ රාළ ලා විය. ඔවුන්ගේ තර්කය වුණේ නවලිබරල් ආර්ථික ක්‍රමය විසින් රාජ්‍යය අවම කොට වෙළඳපොළ විශාල කිරීම නිසා සියලු‍ මහජන සුබසිද්ධි වෙළඳපොළ විසින් සලසා දෙන බවය. එම නිසා බය වෙන්නට දෙයක් නැති බවය. පොදු මිනිසාගේ සියලු‍ පීඩා නැති කිරීමේ ආශ්චර්යවත් දෑ වෙළඳපොළ අනුහසින් සිදුවන බවය. ඒ නිසා වෙළඳපොළට ගැළපෙන ලෙසට අප සියල්ල සකස් විය යුතුය. වැඩකළ යුතු ය. මෙවැනි පසුබිමක අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය, කෘෂිකර්මය, සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන අංශ ආදී සියල්ල වෙළඳපොළ යටතටම පත්කිරීමේ දේශපාලන සහ බුද්ධිමය මෙහෙයුම සාර්ථක විණි. පොදු ජනයා වෙළඳපොළ ඉත්තන් සහ එය ඉදිරියේ යාදින්නන් බවට පත් කළ ඒ මෙහෙයුම සිදු වුණේ නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, විවෘතභාවය යන ලිබරල් සායම් නවලිබරල් වෙළඳපොළ ක්‍රියාන්විතය මත තවරමිනි.

ඒ අනුව වෙළඳපොළ ම රාජ්‍යය විය. එසේ වුණේ ආර්ථික, විද්‍යා, වාණිජ විද්‍යා සමාජවිද්‍යා, පිළිබඳ  මහා උගතුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ බුද්ධිමය අර්ථකතන මැද ය. එහෙත් මේ බුද්ධිමතුන් වටහා නොගත් දෙයක් වුණේ යුරෝපීය සහ උතුරු ඇමෙරිකානු රටවල නවලිබරල් වෙළඳපොළ රාජ්‍යයට වඩා විශාල වුවාට රාජ්‍යය තරම් බලවත් වුණේ නැත කියන කරුණය. එවැනි රටවල රාජ්‍යයයේ ගුණාත්මක සහ විධිමත් නියාමනය වෙළඳපොළට අවශ්‍ය විය. එසේම රාජ්‍යයයේ ශක්තිමත් පැවැත්මට වෙළඳපොළ වර්ධනය ද ඉවහල් විය. මේ රටේ වුණේ එහි අනෙක් පැත්ත ය. එනම් රාජ්‍යයට වඩා විශාල වෙළඳපොළක් සේම රාජ්‍යයට වඩා බලවත් වෙළඳපොළක් නිර්මාණය වීමය. රාජ්‍යය වෙළඳපොළ අතකොළුවක් බවට පත් වීම ය. එහි අණසකට යටත් වීම ය. රාජ්‍යය වෙළඳපොළ අංගෝපාංගයක් බවට පත් වීම ය. මෙරට රාජ්‍යය ගිලී ගියේ ඒ ආකාරයට ය. පාලකයන්, රාජ්‍යකාර්යධරයන් (නිලධාරීන්) සහ ව්‍යාපාරිකයන් ඒ ගිලී යන රාජ්‍යය නමැති නැවේ කෑලි අත්පත් කරගත්තේ තම මුතුන්මිත්තන්ගේ පෞද්ගලික උරුමය බෙදාගන්නා ආකාරයෙනි. භුමිය සහ සම්පත් ඔවුන් අතර බෙදී ගියේ පොදු ජනයාට ඒවා අස්වාමික කරමිනි. රාජ්‍යය යනු ජනසමාජයට අයිති දෙයක් ය, පාලකයන් යනු එහි භාරකරුවන්ය යන ඓතිහාසික පිළිගැනීම නොතකා හරිමිනි. එහෙත් ඒ රාජ්‍යයත් සමඟ ගිලී යමින් සිටින්නේ මේ රටේ පොදු ජනතාව මිස පාලකයන් නොවේ ය. මන්ද පාලකයන් බේරා ගැනීමට වෙළඳපොළ ඩිංගි බෝට්ටු සහ ට්‍රෝලර් යාත්‍රා ජාතික ලැයිස්තු නාවික ගමන්මාර්ගය හරහා පැමිණෙමින් සිටී. ඒවා පාලකයන් බේරාගන්නා අතරම පොදු ජනතාව මුළාවේ මහා මුහුදට ඇද දැමීමද එකවර සිදුකරනු ඇත. අවදියෙන් සිටින්න.

 

ලිබරල්වාදයට එරෙහිව නවලිබරල්වාදය

තවද, අප තේරුම් ගත යුතු ඉතා වැදගත් කරුණක්, එනම් මෙරට නවලිබරල් උගතුන් අමතක කළ කරුණක් වේ. එම කරුණ වන්නේ, අවම රාජ්‍යය හෝ රාජ්‍යය අවම කිරීම යනුවෙන් අදහස් වනුයේ කුමක් ද යන්නය. ඊට පිළිතුරු සෙවීමේ දී, නවලිබරල්වාදය යනු ලිබරල්වාදයේ දිගුවක් නොව ඊට එරෙහිව මතු වූ එකක් ය යන්න අප පළමුව සිහි තබා ගත යුතු ය. එනම් ලිබරල්වාදයේ අකීකරු, ඊටත් වඩා විකෘති දරුවෙකි. ඒ අනුව නවලිබරල්වාදය ලිබරල් ඇගයුම් සහ වටිනාකම්වලට එරෙහිව හුදු වෙළඳපොළ අනුහස වෙනුවෙන් පමණක් පෙනී සිටින ප්‍රවාහයක් ය යන්න ඊ ළඟට අප සිහි තබා ගත යුතු කරුණ ය. එය වඩාත් භයානක වී ඇත්තේ අප වැනි රටවල ය.

පොදුජන සමාජයේ නිදහස, අයිතීන්, පෞද්ගලික දේපොළ අයිතිය සහ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීම සහ ක්‍රියාත්මක වීම ලිබරල් දේශපාලන ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණය ය. යුරෝපා සහ උතුරු ඇමෙරිකානු රාජ්‍යයන් හි තවමත් ලිබරල් ඇගයුම් නො නැසී පවතින්නේ නවලිබරල්වාදී ආර්ථික ක්‍රමය ඒමට පෙර එම රාජ්‍යයන්හි ලිබරල් ඇගයුම් සහ මූලධර්ම මත පදනම් වූ රාජ්‍යය ප්‍රතිපත්ති බලවත් ලෙස කිඳා බැස මුල් ඇදී ආයතනගත වී ඇති නිසා ය. ඒ නිසා එම කලාපවල උපරිමවාදී නවලිබරල් වෙළඳපොළට වඩා අවමවාදී ලිබරල් රාජ්‍යය තවමත් බලවත් ය. එනම් දරුවාට වඩා පියා බලවත් ය. අවසාන විග්‍රහයේ දී නවලිබරල් වෙළඳපොළ ලිබරල් රාජ්‍යයට බය ය. එහෙත් අපේ රාජ්‍යය වෙළඳපොළට බය ය. අහෝ, විපතක තරම. එහෙත් මෙරට පාලකයනුත් ඒ වෙළඳපොළේ තැරව්කරුවන් නිසා එය ඔවුනට ප්‍රශ්නයක් නොවේ ය.

 

රාජ්‍යය අවම වීම

නවලිබරල්වාදය තුළ වෙළඳපොළ බලවත් වී රාජ්‍යය අවම වී සමාජය බලවත් වන බව වචනවල අර්ථයෙන් තේරුම් කළ මෙරට බොහෝ බුද්ධිමතුන් එහි හරයාත්මක අර්ථය සහ ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කළේ නැත. ලිබරල් රාජ්‍යය මූලධර්ම සක්‍රීයව ආයතනගත වී ඇති රාජ්‍යයක අවම වීම යනු රාජ්‍යය දුර්වල වීම නොවේ. රාජ්‍යයට සහ පොදුජන සමාජයට අදාළ තීරණාත්මක අංශ පමණක් තම අයිතියේ තබාගෙන, රාජ්‍යය ආර්ථික ඒකකයක් නොවී ඒ කටයුතුවලින් ඈත් වී එය සමාජයේ වගකීම් භාරගෙන ඊට වගවෙන බලවත් දේශපාලන ඒකකයක් බවට පත්වී ම ය. ඒ මගින් සමාජය සහ රාජ්‍යය ශක්තිමත්ව පවත්වාගෙන යාමය. ආරක්ෂා කිරීමය. නීතිය සහ පිළිවෙළ රැකීමය. වෙළඳපොළ රාජ්‍යයට සහ සමාජයට ඒවායේ පැවැත්මට හානිකර ලෙස හැසිරෙන්නේ නම් එය නියාමනය කිරීමය. නවලිබරල් වෙළඳපොළ විශාල බව ඇත්තකි. එහෙත් එය රාජ්‍යය තරම් උත්තරීතරත් නැත. ප්‍රබලත් නැත. එවැනි සමාජවල රාජ්‍යය ගිල්ලවා දැමීමට හෝ ගිල දැමීමට නවලිබරල් වෙළඳපොළ ක්‍රමය උත්සාහ ගන්නේ ද නැත. එසේම එවැනි රටවල නියෝජිතයන් මිස පාලකයන් නැත හෝ ඉතාම අඩුය. රාජ්‍ය කාර්යධරයන් මිස නිලධාරින්’ නැත. ඒ නිසාම රාජ්‍යය සහ එහි සම්පත් තම පෞද්ගලික දේපොලක් හෝ උරුමයක් ලෙස සලකන ඒවාට හිතූ හිතූ දේ කරන කල්ලි සහ කණ්ඩායම් නැත. ඒ රටවල ලස්සන සහ පිළිවෙළ රැඳී තිබෙන්නේ ඒ නිසා ය.

එහෙත් ලංකාවට ආ නවලිබරල්වාදයටත් ප්‍රජා නියෝජන ආණ්ඩුවාදයටත් (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය) වුණේ එකම ආකාරයේ විකෘතියක් ය. නියෝජිතවරණ මගින් තේරී පත්වන්නේ නියෝජිතයන් නොව පාලකයෝ ය. රාජ්‍ය කාර්යධරයන් නිලතනතුරුවලින් මාන්නය හදාගත් නිලධාරීන් සහ ටයිධාරින් ය. රාජ්‍යය සහ එහි සම්පත් මේ දෙගොල්ලොම පාවිච්චි කරනුයේ තම පරම්පරාගත පෞද්ගලික දේපළ පරිහරණය කරන අයුරින්ය. රාජ්‍යය පෞද්ගලික දේපොළක් ම විය. ලංකාවේ නවලිබරල් වෙළඳපොළ විශාල වුණෙත් ප්‍රබල වුණෙත් ලිබරල් රාජ්‍යය අවම වී දුබල වුණෙත් මෙවැනි පසුබිමකය.

ඉතින්, පාලකයන්ගේ පෞද්ගලික දේපොළක් හෝ බූදලයක් බවට රාජ්‍යය පත් වීමේ සහ නවලිබරල් වෙළඳපොළ සහ රාජ්‍යය අතර සම්බන්ධය වැරදි ලෙස භාවිත කිරීමේ ආනිශංස දැන් අප ගෙවමින් සිටින්නෙමු. ඒ වැරැද්ද නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය, මගී ප්‍රවාහනය, ගමනාගමනය, ආහාර සුරක්ෂිතතාව, සුබ සාධනය, පොදුජන ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, ගොවිතැන, කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත  ආදී සියල්ල විනාශ වී ඇත. ඒ  විනාශය මහා හෙණයක් ලෙස පොදු ජන හිස මතට කඩා වැටී ඇත. මේ විනාශය වැළක්විය හැකි ද?  හැකි කාටද? හැකි අය වෙතොත් ඒ හැකි අය කොතරම් නම් පරිස්සමකින් මූලෝපායික සැලසුම් වැඩපිළිවෙළවල් රට ජනතාව සහ රාජ්‍යය වෙනුවෙන් සකසා ගත යුතු ද යන්න ගැන සිතීමක් ඇති කරවීම මෙවර මගේ ‘‘කිවි දා දැක්මේ’ අරමුණ විය.

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක