ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ බලතල විපරමක්


“කාන්තාව හා පිරිමියා පිළිබඳ මුළු සංකල්පයම ලිංගික අවයව මත පදනම් වූ පරමත්වයක් සහිත එකක් නොවේ” යන්න පසුගිය දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඩී වයි චන්ද්‍රචූඩ් කළ ප්‍රකාශය මුළු ඉන්දියාව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. අගවිනිසුරුවරයා ඉහත ප්‍රකාශය කළේ තම අධිකරණය හමුවේ විභාගයට ගැනෙන සමරිසි විවාහ පිළිබඳ විවිධ පාර්ශවවලින් ලද පෙත්සම් කීපයකට සවන් දෙමින් සිටින අතරතුරය. ලංකාවේ ද පසුගිය දා සමරිසි සබඳතා නීත්‍යානුකූල කිරීම සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් ව ඇත. එම පසුබිම තුළ මෙම විෂයට අදාළ වර්ධනයන් පිළිබඳ සංවාදයක් ඇති වීම හැම අතින් ම වැදගත්ය.

මෙම ලිපිය තුළ සාකච්ඡාවට බඳුන් කරන්නේ ඉහත තනි හුදකලා කාරණාව පමණක් නොවේ. එහෙත්, මේ ඔස්සේ පෙනී යන, පසුගිය වසර කීපය තුළ විවිධ රටවල නිරීක්ෂණය වූ අධිකරණයේ භූමිකාව ස්වකීය සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් ගොඩනගා ගන්නා තත්ත්වයත්, එය රාජ්‍යයක සෙසු ඉන්ද්‍රියවලට කෙසේ බලපානු ඇතිදැයි ද යන්නත්ය.   

විනිසුරුවරයාගේ ප්‍රකාශය නිකුත් වීමත් සමග, මේතාක් මේ ආශ්‍රිතව පැවති සංවාදය නවතම පිම්මක් ගනිමින් එරට නීති හා සමාජ හා මාධ්‍ය කවවල උණුසුම් මාතෘකාවක් වී තිබේ. පෙත්සම්කරුවන් තම පෙත්සම් වලින් ඉල්ලා සිටින්නේ සමරිසි විවාහයන්ට නෛතික වලංගුතාව ලබා දෙන ලෙස ය. දැනටමත් ඉන්දියාවේ සමරිසි සබඳතා අපරාධමය කාරණයක් ලෙස පිළිගෙන තිබූ නීති ඉවත්කොට ඇත. එනම් සමලිංගික සබඳතා තවදුරටත් ඉන්දියාවේ අපරාධයක් ලෙස ගැනෙන්නේ නැත. එහෙත් එම විවාහ සඳහා අවසර ඇත්තේ නැත.

ඉන්දීය අගවිනිසුරුවරයා කරන සම්පූර්ණ ප්‍රකාශය පහත එන පරිදි ය. “පිරිමියකු යන්න හා ගැහැනියක යන්න ද පරම සංකල්පයක් (absolute notion) කිසිසේත්ම පවතින්නේ නැත. එය ඔබගේ ලිංගික අවයව කුමක්ද යන්න ගැන ප්‍රශ්නයක් නොවේ. එය ඊට වඩා ඉතා සංකීර්ණ දෙයකි. කාරණය එයයි. ඒ අනුව, විශේෂ විවාහ පනත මගින් පිරිමියා හා ගැහැනිය යන්න සඳහන් කරන විට, පිරිමියා හා ගැහැනිය යන අදහස තෙමේ ම ලිංගික අවයව මත පදනම් වූ පරමත්වයක් සහිත එකක් නොවේ.”

අගවිනිසුරුවරයාගේ නිරීක්ෂණය බැලූ බැල්මට වීර හා රැඩිකල් එකකි. ඒත් සමග ම එය ජනප්‍රිය එකක් ද බව අමුතුවෙන් කිවයුතු නැත. තවත් අතකින් එය ඉතා බරපතළ ප්‍රකාශයක් ද වේ. මන්ද එමගින්, සාම්ප්‍රදායික රාජ්‍ය මෙන්ම එහි අනභියෝගී කොන්දේසි විශාල ප්‍රමාණයක් එකවර අභියෝගයට ලක්කරන බැවිනි. අප මෙහි දී විශේෂ අවධානය යොමු කරන්නේ ඒ පිළිබඳවයි.

අප සාමාජවල ගොඩනගාගෙන තිබෙන බොහෝ පද්ධතීන් රඳා පවතින පදනම් තිබේ. ඒවා සාමාන්‍යයෙන් අනභියෝගී ය. ගැහැනිය හා පිරිමියා යනු එවැනි මූලික ම පදනමකි. අපට එම විභේදනය පිළිබඳ පෞද්ගලික හා සමාජ මතයක් ද තිබේ. ඒ පදනම මත, විවාහය, දරුවන් හැදීම හා වැඩීම, පවුල් සංස්ථාව සමාජයේ කුඩාම සංවිධානය ලෙස සංස්ථාගත කොට පිළිගෙන තිබීම වැනි අප සාමාන්‍යයෙන් සාමන්‍ය (Nrom) ගන්නා, එනම් විවාදාපන්න නොවන ලෙස ගන්නා ගොඩනැගිලි (construction) රැසක් තබා ඇත. ප්‍රශ්නය වන්නේ, එම සියලු‍ ගොඩනැගිලි පිහිටා ඇති මූලිකම පදනම, යටින් ඉවත් කළ පසු යට කී ගොඩනැගිලිවලට කුමක් සිදුවන්නේ ද යන්නයි.

ගැහැනිය හා පිරිමියා පිළිබඳ වන ගොඩනැගීම පරම නොවනවා යනු එය ගලායනසුළු (fluid) හා නිශ්චිත හැඩයක් නැත යන්න කීමකි. එම ගොඩනැගීම් සාපේක්ෂ යන්න කීමකි. තත්ත්වය එසේ නම්, ඒ හරහා අපට විවෘත වන්නේ මේතාක් අප ඇතුළු නොවූ කලාපයකි. විටෙක අප නොදත් කලාපයකි. එම නොදත් කලාපයේ සැරිසැරීම පිළිබඳ වගකීම අධිකරණමය ආයතනවලට ගත හැකි ද?

මෙම පෙත්සම් විභාගයට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපති තුෂාර් මේතා ය. ඔහු තර්ක කරන්නේ, යම් හෙයකින් අධිකරණය විසින් සමරිසි විවාහවලට අවසරය ලබාදුනහොත්, ඒත් සමගම අධිකරණය විසින් නීති පොතෙහි ඇති නීති වගන්ති ගණනාවක් ම අවලංගු තත්ත්වයට පත්කරනු ඇති බවයි. අපරාධ නීති නඩුවිධාන සංග්‍රහය උපුටා දක්වමින් නීතිපතිවරයා තර්ක කරන්නේ, නිදසුනක් ලෙස දැනට පවතින නීතියට අනුව, පරීක්ෂණයක් සඳහා කාන්තාවක ගෙන්වීමේ දී, කිසියම් වේලාවකට පසු එය කළ නොහැකි බවයි. එම තර්කය මත, පිරිමියකු ප්‍රකාශ කරනු ඇත්තේ, පිරිමි ලිංගික අවයව සහිත වූවද, තමා පිරිමියකු නොවන බවයි. නීතිපතිවරයා අදහස් කරන්නේ, පිරිමියකුට අදාළ පරීක්ෂණයෙන් මිදීම සඳහා අවශ්‍ය නම් යට කී පදනම යොදාගත හැකි බවයි.

ඇත්ත වශයෙන්ම රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ තර්කය ප්‍රායෝගික එකකි. සමාජ සංස්ථාවන් ගැහැනු හා පිරිමි යන මූලික යුගලය මත බෙදා තිබෙන පදනමක, එම පදනම අස්ථාවර කිරීම යනු ඒ මත තිබෙන සියල්ල කඩාබිඳ හෙළිමකට සමානය. අගවිනිසුරුගේ මතය ප්‍රකාර ව, කෙනකුට එක් අවස්ථාවක පිරිමියකු ලෙස ද, තවත් අවස්ථාවක ගැහැනියක ලෙස ද පෙනී සිටීමේ හැකියාව තිබේ. ඔහු විසින් ප්‍රකාශ කළ යුත්තේ, පෙරදින තමා පිරිමියකු ලෙස සිතුවද දැන් තමාට සිතෙන්නේ තමා ගැහැනියක ලෙසයි. තුන්වැනි අවස්ථාවක එය පූර්ණ ලෙස ආපිට කැරකීමේ නොහැකියාවක්ද නැත.

මෙයාකාර නිශ්චිත පදනම් ලිහා දැමූ පසු සිදුවන අකරතැබ්බය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එය කොතැනින් කෙළවර වේදැයි අධිකරණය පවා දන්නේ නැත. ඒ අනුව, අගවිනිසුරුගේ මතය, කොතරම් වීර වික්‍රමාන්විත වුවද, එය ප්‍රායෝගික තලයේ දී ක්‍රියාවට නැංවීම පිළිබඳ බරපතළ සැකසංකා මතුවේ. එකී පසුබිම තුළ, නීතිපතිවරයා අවධාරණය කරන්නේ, මෙම විෂය අධිකරණය තුළින් පිළියමක් ගතහැකි එකක් නොව, පාර්ලිමේන්තුවේ විෂය පථයට වැටෙන කාරණාවක් බවයි.

පසුගිය කාලය පුරාවට අධිකරණ මගින්, තම විෂය කලාපයෙන් බැහැර කාරණා පිළිබඳ විනිශ්චය හෝ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ගොස් සමාජ හා දේශපාලන ගැටලු නිර්මාණය වූ අවස්ථා විවිධ රටවලින් සොයාගත හැකිය. අප රටේ ද එවැනි උදාහරණ තිබේ. 2008 වසරේ දී ඉන්ධන මිල පිළිබඳ තීරණය කිරීම අධිකරණය විසින් ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. ඒ පමණක් නොව, එම තත්ත්වය අධිකරණය හා විධායකය අතර ගැටුමකටද මගපෑදුවේ ය. එය පැහැදිලි ලෙස ම, අධිකරණයට අයත් කාර්යක් නොවේ. ඉන්ධන මිල තීරණය කරන්නේ ආණ්ඩුව විසිනි. එය රාජ්‍ය ප්‍රතිපත්තියකි. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ විශේෂඥ දැනුම හෝ බලය අධිකරණයකට හිමි නැත. ආර්ථික ක්‍රියාවලිය සමග එම කාරණා සමීපව බද්ධ වී ඇත. අධිකරණයක් විසින් ඉන්ධන මිල අඩු හෝ වැඩි කළ පමණින් එම ආර්ථික සාධක වෙනස් වන්නේ නැති බව සාමාන්‍ය දැනුමකි.

ප්‍රජාතන්ත්‍රවාදි රටක පාර්ලිමෙන්තුව, විධායකය හා අධිකරණය යනුවෙන් ඉන්ද්‍රීය තුනක් හඳුන්වා දී තිබෙන අතර, ඒ එකඳු ඉන්ද්‍රියකට හෝ තම බලවපසරියෙන් එපිට ට ගොස් ක්‍රියා කිරීමේ හැකියාවක් නැත. එසේ කිරීම යනු, අනෙකක් නොව, රාජ්‍ය අවුල්වියවුල් තත්ත්වයට ඇද දමා ආරාජික කිරීමකි.

විශේෂයෙන් ම දකුණු ආසියාවේ හා අප්‍රිකානු කලාපයේ ද, අධිකරණ විසින් තම බලවපසරිය අතික්‍රමණය කරන ප්‍රවණතා නිරීක්ෂණය කළ හැකි ය. එහි කිසියම් විදේශ දේශපාලන මැදිහත්වීමක් තිබෙන බව ද සංවාදයට බඳුන් වූ කාරණයකි. ලෝකයේ ප්‍රබල රටවල් විසින් පරිධියේ කුඩා රටවල් අස්ථාවර කිරීම සඳහා අධිකරණමය ආයතන යොදා ගැනීමේ චෝදනා තිබේ.

අපගේ වැනි රටවලට අධිකරණ පද්ධති තුළ ද පුළුල් මනසක් ඇති, එමෙන් සමස්ත චිත්‍රය තේරුම් ගෙන ක්‍රියාකළ හැකි පුද්ගලයන් අවශ්‍ය වේ. ඔවුන් කිසිවිටෙක තම ඊගෝකාර මනස්වලින් තීන්දු නොගන්නා අතර, තම බලප්‍රදේශය ගැන මනා අවබෝධයක්ද ඔවුන්ට තිබේ. එවන් පිරුණු මිනිසුන් අප ප්‍රාර්ථනා කළ යුතු ය.

ඒ අනුව, ඉන්දියාවේ අධිකරණය හා ආණ්ඩුව අතර වන සංවාදය අපට බොහෝ පැතිවලින් වැදගත් වන එකක් බව පෙනේ. ඒ හුදු පෙත්සම් විභාගයේ විෂය පථය වන සමරිසි විවාහ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව කුමක් වේදැයි යන්න මත නොව, එම තීන්දුව ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වන සම්බන්ධතාව කෙසේ නිර්වචනය කරයි ද යන්න හා, එම නිර්වචනයේ ඵලයක් ලෙස රාජ්‍ය යන්න වර්තමාන ස්වරූපයෙන් තවදුරටත් පවත්වාගත හැකි ද යන්න ද තීරණය වන බැවිනි.

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ