විශ්‍රාමයට හැට පහත් වයසක්ද?


මෙවර අය-වැයෙන් ඉදිරිපත් වූ එක් යෝජනාවක් වූයේ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කළ යුතු බවය. මේ යෝජනාව පිළිබඳව විවිධ අදහස් මේ වන විට සමාජය තුළ සාකච්ඡා වෙමින් පවතී. සමහරු මේ යෝජනාවට පක්ෂව කතා කරන අතර තවත් සමහරු එයට විරුද්ධව අදහස් දක්වති. මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නට බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම ගන්වන වයස ගැන පමණක් නොවේ.

මේ හැට පහේ කථාව සමග සම්බන්ධ වී ඇති රාජ්‍ය සේවයේ පැති කීපයක් ගැනම මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි. හැට පහෙන් මේ කථාව ආරම්භ කළ යුතු යැයි සිතුවේ රාජ්‍ය සේවකයාගේ වයස් සීමාව පමණක් නොව අපේ රටේ රාජ්‍ය සේවයට හැට පහ යන ඉලක්කම සමග විවිධ පැතිවලින් සම්බන්ධ යැයි සිතෙන නිසාය.

අපේ රටේ රාජ්‍ය සේවයේ සහ ජාතික ප්‍රතිපත්තිවල බරපතළ වෙනසක් සිදුවූයේ 1956න් පසුවය. රටේ අධ්‍යාපනය, ජාතික භාෂාවලට විශේෂ ස්ථානයක් ලැබීම, සිංහල හා දෙමළ මාධ්‍ය හරහා පරිපාලන යාන්ත්‍රණයක් ගොඩනැගීම වැනි දේවල් පටන් ගත්තේ 1956 න් පසුවය. ඒ 56 වෙනස්කම් පටන් අරගෙන මේ වනවිට (2021 වනවිට) වසර 65 ගෙවී අවසන්ය. හැට පහේ ඉලක්කම වැදගත් යැයි මා කීවේ ඒ නිසාය. රාජ්‍ය සේවයේ අද වැඩිපුරම ඉන්නේ 1956 ස්වභාෂා අධ්‍යාපනයෙන් බිහිවූ අය යැයි කීමේ වැරැද්දක් නැත. තමන්ගේ විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව ගැන සාකච්ඡා කරන මේ කාලයේ පසුගිය 65 වසරක (1956 පසු කාලය) රාජ්‍ය සේවයේ කාර්තුව ගැනත් සාකච්ඡා කිරීම වැදගත්ය.


විශ්‍රාම වයස
රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවු. 55 යැයි මුලින් පිළිගෙන තිබුණේ පුද්ගලයකුගේ ජීවන කාලය පිළිබඳව ඒ කාලයේ තිබූ ගණන් බැලීම නිසාය. පරමායුෂ කාලය වසර 65 තිබෙන කාලයේ විශ්‍රාම ගැන්වීමේ වයස 55 බවට පත්කර තිබූ බව සමහරුන් කියන්නේ ඒ නිසාය. එහෙත් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය වර්ධනය වීමත් සමගින් පුද්ගලයකුගේ ජීවිතයේ ආයුෂ කාලය වසර 70ට වඩා වැඩි තැනකට ගමන් කිරීමත් සමඟ රැකියාවේ නියුක්ත කාලය ගැන නැවත වරක් සිතා බලන්නට බලකෙරී ඇති බව පැහැදිලිය. විශ්වවිද්‍යාල සේවය වැනි විශේෂඥභාවය මත පදනම් වන රාජකාරිවලට මේ වනවිටත් විශ්‍රාම ගැන්වීමේ වයස වන්නේ අවු. 65ත්ය.

විශ්‍රාම යන වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කිරීමෙන් මතුවෙන ප්‍රශ්න කීපයක්ම තිබෙන සමහරුන්ගේ මතයයි. එයින් එකක් වන්නේ මේ වයස් සීමාව වැඩි කිරීමෙන් රැකියා අවස්ථා තරුණයන් සඳහා ලැබීමේ ඉඩ අඩුවන බවය. ඒ අවස්ථා පමා වෙන බවය. මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු යැයි විපක්ෂයේ සමහරුන් අය-වැය විවාදය තුළද මතුකළ බව මතකය.

තවත් ප්‍රශ්නයක් වන්නේ සමහර ඉහළ තනතුරුවල සිටින අයකු වෙතොත් ඔහුගේ සේවා කලාය නිමාවෙන තුරුම ඒ තනතුරේ සිටිය යුතු ද යන කාරණයයි. ඒ කියන්නේ රටේ තිබෙන ඉහළම තනතුරු (High posts) සඳහා අඩු වයසින් පත් වෙන අයෙක් ඔහුගේ විශ්‍රාම වයස වන අවු. 65 දක්වා ඒ තනතුරේ සිටිනවා ද යන කාරණයයි. නීතිපති, පොලිස්පති වැනි රටට ඉතාමත් සංවේදී තනතුරු වසර 03කින් නිමා වෙන්නේ නැතිව එයට පත්වන පුද්ගලයා වයස 65 සම්පූර්ණ වනතුරු තනතුරේ සිටිනවා ද යන කාරණය මෙහි දී මතුකළ යුතු ප්‍රශ්නයයි. රටේ අගමැති ජනාධිපති වැනි තනතුරු වසර 05කින් සීමා වෙන තත්ත්වයක ඒ සමානතම බලතල සහිත ඉහළ තනතුරු (පොලිස්පති, නීතිපති වැනි) අදාළ නිලධාරියාගේ විශ්‍රාම වයස තෙක් දැරීමට නීතියෙන් ඉඩ ලැබීම යම් ආකාරයක ගැටලුවක් බව මගේ අදහසය. තමන්ගේ වයස අවු. 50ක දී මේ කියන ඉහළ තනතුරකට පත් වෙන අයෙක් වෙතොත් ඔහු වසර 15ක් එම තනතුර දරනවාද එසේත් නැතහොත් එය වසර 03 කට සීමා කරනවා ද යන කාරණය මෙහි දී සිතා බැලිය යුතු බව මගේ යෝජනාවය. ජනාධිපතිවරු තුන් දෙනකු (වසර 15 ක දී) මාරු වෙන විටත් එකම පුද්ගලයකු රටේ පොලිස්පති වුවහොත් එය හොඳ තත්ත්වයක් යැයි මා සිතන්නේ නැත.

මේ වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධ අනෙක් වැදගත් කාරණය වන්නේ විශේෂඥ දැනුම හා වෘත්තීය නිපුනතාව ඇති අය පමණක් නොව සියලුම ක්ෂේත්‍රවල (කම්කරු වැනි) රාජ්‍ය සේවකයන් වයස 65 සීමාව දක්වා දීර්ඝ කරනවා ද යන්නයි. එය සීමා කිරීම සඳහා නෛතික ප්‍රතිපාදනයක් හඳුන්වාදීමට හැකියාවක් තිබේ දැයි විමසීම ඉතාමත් වැදගත්ය. දැනටත් විශ්වවිද්‍යාල පද්ධතියේ විශේෂඥ දැනුමක් සහිත මහාචාර්යවරයා වයස 65දී විශ්‍රාම ගන්වන අතර විශ්වවිද්‍යාල සේවයේ සිටින සාමාන්‍ය සේවකයන් විශ්‍රාම ගන් වන්නේ වයස 55-60 අතරය. මේ බෙදීමට තාර්කික පදනමක් තිබෙන බව පැහැදිලිය. එහි තර්කය වන්නේ යම් විෂයක් පිළිබඳව විශේෂඥ ඥානයක් ලබා ගැනීමට ගත කරන කාලයට සාපේක්ෂව ඔහුගෙන්/ඇයගෙන් රටට සිදුවන සේවය වැඩි කාලයක් පවත්වාගෙන යාමයි. මේ තර්කය ඕනෑම සේවකයෙක් සම්බන්ධයෙන් සමාන යැයි සිතීමේ ගැටලුවක් තිබේ දැයි විමසීමත් ඉතාමත් වැදගත්ය.


56න් පසු වසර 65ක්
හැට පහේ කථාව සාකච්ඡා කරන්නට මා සිතුවේ වයස සීමාව 65 දක්වා දිග් කිරීම නිසා පමණක් නොවේ යැයි මම මුලින් කීවෙමි. අපේ රටේ ස්වභාෂා අධ්‍යාපනයටත්, ඒ අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට පැමිණීමේත් වයස මේ වනවිට වසර 65ක්ය. මේ කාලය තුළ රටේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතළ වෙනස්කම්වලට යටත්වූ බව පැහැදිලි කාරණයකි. එසේම රාජ්‍ය සේවයේ තත්ත්වය ද බරපතළ ආකාරයෙන් වෙනස්වී ඇත.

මේ වනවිට රාජ්‍යයේ අනුමත සේවක සංඛ්‍යාව 17,01.890කි. මේ අනුමත රාජ්‍ය සේවක සංඛ්‍යාවෙන් මේ වනවිට සේවයේ නියුක්ත රාජ්‍ය සේවකයන්ගේ ගණන 14,23,116කි. මේ රාජ්‍ය සේවකයන් අතරින් 8,05,802ක් අයිති වන්නේ මධ්‍යම රජයට වන අතර 3,90,061 අයිති වන්නේ පළාත් සභාවලටය. මෙයට අමතරව රාජ්‍ය ව්‍යවසායවල සේවය කරන සංඛ්‍යාව 2,27,253කි. මේ සියලු දෙනා වෙනුවෙන් 2022 වර්ෂයට රුපියල් බිලියන 986ක් වියදම් කරනු ලැබේයි. ඒ මේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වැටුප් සහ වේතන වෙනුවෙන්ය.

මෙයට අමතරව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව ද ඉතාමත් විශාලය. එය මේ වනවිට 6,60,934කි. ඒ අය වෙනුවෙන් 2022 වර්ෂය සඳහා රුපියල් බිලියන 310ක් වැය කරන්නට අපේක්ෂිතය. ඒ මෙම විශ්‍රාමිකයන්ගේ වැටුප් වෙනුවෙන්ය.

මෙහිදී අවධානයට ගත යුතු වැදගත් කාරණයක් වන්නේ රටක් ලෙසින් අප පවත්වාගෙන යන රාජ්‍ය සේවයේ තිබෙන විශාලත්වය පිළිබඳවය. 2020 වර්ෂයේ රාජ්‍යයේ පුනරාවර්තන වියදමෙන් සියයට තිස් දෙකක් (32%) පමණ වියදම් වී ඇත්තේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමටය. මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වන්නට නියමිතය. එපමණක් ද නොවේ. 2020 වර්ෂයේ රාජ්‍ය සේවයේ වැටුප් සහ වේතන සඳහා වැය වූ මුදල එම වසරේ රාජ්‍ය ආදායම වූ රු. බිලියන 1368න් සියයට පනස් අටක් (58%) තරම් වූ බව ද මෙහිදී මතු කළ යුතු කාරණයකි.

නිදහසින් පසු ගතවූ වසර 73 පුරාවටත්, විශේෂයෙන් 1956 පසු වසර 65 පුරාවටත් අපි රටක් ලෙසින් රාජ්‍ය සේවය පළල් කරමින් රාජ්‍ය ආදායමින් හරි අඩකටත් වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවිය යුතු පද්ධතියක් හදා ඇත්තෙමු. මෙවර අයවැය හැරුණු විට අනෙක් සෑම වසරකම අයවැයේ ප්‍රධානතම වියදම් පාර්ශ්වය වූයේ මේ අති විශාල රාජ්‍ය සේවයට තව තවත් එකතු කිරීම්ය. මේ ගමන් මාර්ගය නිමා වෙන්නේ රටෙන් හරි අඩක්ම රාජ්‍ය සේවයට බඳවා ගනිමින් රාජ්‍ය ආදායමම වැටුප් ගෙවන්නට වෙන් කරන දිනයක් දක්වා ගමන් කිරීමෙන් දැයි මා දන්නේ නැත. එහෙත් විශ්‍රාම ගැන්වීමේ වයස වසර 65 බවට පත් කරන මේ මොහොතේ, පසුගිය 65 වසර තුළ රටේ රාජ්‍ය සේවයේ ස්වභාවය පිළිබඳව මැදිහත් විමසීමක් කළ යුතු බව මගේ යෝජනාවය.


රාජ්‍යයේ ස්වභාවය
අපි පවත්වාගනෙ යන රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව තවත් කරුණු කීපයක් සඳහන් කිරීම ඉතාමත් වැදගත්ය. විශේෂයෙන්ම මේ දත්ත සමහරුන් නොදන්නා නිසා ඒවා සටහන් කිරීම ප්‍රයෝජනවත්ය. මේ වනවිට රටේ අමාත්‍යංශ 28ක් තිබේ. රාජ්‍ය අමාත්‍යංශ 40කි. රජයේ දෙපාර්තමේන්තු 98කි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කි. සංස්ථා 25කි. රාජ්‍ය සමාගම් 125කි. රාජ්‍ය බැංකු 08කි. අරමුදල් 65කි. විදේශ ආධාර ව්‍යාපෘති 124කි. මේවාට අමතරව පළාත් සභා 09ක් සහ පළාත් පාලන ආයතන 341කි. එපමණක්ද නොවේ. පළාත් සභා මගින් පිහිටවූ දෙපාර්තමේන්තු 270කි. ආයතන 64කි.!

මේ ආකාරයේ අතිවිශාල රාජ්‍යයක් (සාපේක්ෂ වශයෙන් ගත්කළ) අපි පවත්වාගෙන යන්නෙමු. 1977 පසු විවෘත වූ පෞද්ගලික ව්‍යවසායක වපසරිය 1948 සිටම සංකල්පයක් ලෙසින් තිබුණාට ප්‍රායෝගිකව තිබුණේ එයට විරුද්ධ ක්‍රියාදාමයක්ය. පෞද්ගලික ව්‍යවසායකත්වය අඩපණ කර ඒවා රාජ්‍යයට ඈඳා ගැනීමට නීති සකස් කළ යුගයක් ද විය.

මෙහිදී මගේ නිරීක්ෂණය වන්නේ 1977 පෙර තිබූ පෞද්ගලික ව්‍යාපාර රාජ්‍යයට යටත් කිරීමේ උත්සාහයන් (ඉඩම් ප්‍රතිසංස්කරණ පනත, ලේක්හවුස් පනත) වැරැදි බවය. එසේම 1977 පසුව ඒ රාජ්‍යයට පවරාගත් දේපොළ වෙනත් ආකාරයෙන් සහචර වෙළෙඳ සහායකයන්ට හොර රහසේ පවරාදීමත් (සතොස මෝටර්ස්, සතොස ප්‍රින්ටර් වැනි) වැරැදිය. අනවශ්‍ය ආකාරයෙන් රාජ්‍ය විශාල කරන්නට පෞද්ගලික ව්‍යවසායකත්වය පවරා ගැනීමත්, පසුව ඒවා ස්වකීය මිතුරු වෙළෙඳ කණ්ඩායම් අතර බෙදා දීමත් රටක් ලෙසින් පසුගිය වසර 73 තුළ සිදු වූ බරපතළ වැරැදි බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.

මෙවර අය වැයේ හැට පහේ වයස් සීමාව පිළිබඳ සංවාදය මතුවීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය. මේ වයස් සීමාව තුළට අන්තර්ගත කළ යුත්තේ සියලු රාජ්‍ය සේවකයන් ද එසේත් නැතහොත් එක් කාණ්ඩයක් ද යන්න ගැන සිතිය යුතුය. තවත් පැත්තකින් වයස 65 පිළිබඳ ප්‍රශ්නය වගේම පසුගිය වසර 65 තුළ (1956 පසු) රාජ්‍ය සේවයේ ස්වභාවය පිළිබඳව විමසීමක් ඉතාමත් අවශ්‍යය. මේ යෝජනාව මගේ මේ සතියේ කිවිදා දැක්මය.

(*** මහාචාර්ය චරිත හේරත්)