ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා සමග පෑහෙන යම් ආගමක් තිබේ නම් ඒ බුදු දහම පමණි” අයින්ස්ටයින් ගැඹුරින් බුදු දහම හැදෑරූ අයෙකි. ඉහත ප්‍රකාශය පවා ඔහුගේ ගණයේ බටහිර විද්‍යඥයකු විසින් ආවාට ගියාට නොකරනු ඇත. මන්ද ඒ තුළ ප්‍රබල පණිවුඩයක් ඇති නිසා ය. අයින්ස්ටයින්ට හසු වූ දෙය අපට හසු වී තිබේ ද?
අයින්ස්ටයින් තම සාපේක්ෂතා න්‍යාය නිර්මාණය කිරීමේ දී, අයිසැක් නිව්ටන්ගේ පරම විශ්වයක් (Absolute Space) පිළිබඳ න්‍යාය ඉක්මවා යෑමට යොදාගත්තේ සුප්‍රකට ඔස්ට්‍රියානු ජාතික විද්‍යඥයකු වූ අර්න්ස්ට් මක්ගේ ඉගැන්වීම් ය. ඇල්බර්ට් අයින්ස්ටයින් ඒ බව අර්න්ස්ට් මක්ට ලියන ලදුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති දෙදෙනා අතර වූ ලිපි හුවමාරුවල පැහැදිලිව දක්වා තිබේ. මෙම ලියුම්කරු විසින් අයින්ස්ටයින් මක්ට ලියන ලද ලිපි සංග්‍රහ ඒවාහි මුල් ජර්මන් බසින් ම කියවා තිබේ. මක් හා අයින්ස්ටයින් අතර සම්බන්ධය වැදගත් වන්නේ අයින්ස්ටයින්ට සාපේක්ෂතා න්‍යාය පිළිබඳ අදහස එන්නේ මක්ගේ ඉගැන්වීම් හරහා නිසා ය. එම සම්බන්ධය අද අප සාකච්ඡා කරන තේමාවට වැදගත් වන්නේ අර්න්ස්ට් මක් අතිශයින්ම බුදුදහම උපයෝගී කරගෙන තම විද්‍යාත්මක න්‍යාය ගොඩනැගූවකු නිසා ය. මක්ගේ චරිතාපදානය ලියූ ප්‍රකට ඔස්ට්‍රියානු ඉතිහාසඥ හයින්රිච් ගොම්පර්ස් අර්න්ස්ට් මක් හඳුන්වන්නේ ‘විද්‍යාවේ බුදුන්’ කියා ය. ඒ මේ ඔහුගේ ජීවිතය හා ඉගැන්වීම් සම්බන්ධ බෞද්ධ සම්බන්ධය නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. කොටින්ම සාපේක්ෂතා න්‍යායේ මූල බීජය අයින්ස්ටයින්ට එන්නේ මක් හරහා බුදු දහමේ පටිච්චසමුප්පාදය ආශ්‍රයෙනි. ඒ අනුව, අයින්ස්ටයින්ගේ බුදු දහම පිළිබඳ අප මුලින්ම උපුටා දක්වන ලද ප්‍රකට ප්‍රකාශයේ පදනම ගැන පුදුම විය යුතු නොවේ.
අප ඉහත කරුණු පූර්විකාව ලෙස ගෙන ආවේ වත්මනෙහි බුදුසසුන මුහුණ දී ඇති අභියෝග පිළිබඳ යම් සාකච්ඡාවක් දල්වනු පිණිස ය. බුදුසසුන බැබලවීම සඳහා එදා සිට නිස්සරණද්ධ්‍යාශයෙන් කටයුතු කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේ බවට තර්කයක් නැත. සසුන සම්බන්ධයෙන් පමණක් නොව, සමාජීය යහපත වෙනුවෙන් ද කටයුතු කළේ භික්ෂූන් වහන්සේ ය. ඊට ගිහි පක්ෂය නිරන්තරව සහාය ලබා දුන්නේ ය. කෙසේ වෙතත්, දැන් කලෙක සිට අප නිරීක්ෂණය කරන්නේ භික්ෂූන් වහන්සේගේ සමාජ නායකත්වය පිළිබඳ භූමිකාව බෙහෙවින් අඩපණ වී තිබෙන බවයි. භික්ෂූන් වහන්සේලාට සාමාජයේ තිබූ නායකත්වය ක්‍රමයෙන් හීනවෙමින් තිබේ. මෙය පොදුවේ භික්ෂූන් වහන්සේලාට පමණක් නොව, සෙසු ආගමික පූජකවරුන් සම්බන්ධයෙන් ද බලපවත්නා තත්වයකි. ඊට හේතුව නූතන තර්කනය තුළ ආගම පිළිබඳ මහජනයා තුළ ගොඩනැගෙමින් තිබෙන මතවාදයෝය. ක්‍රමයෙන් මේ දෙක අතර පරතරය පුළුල් වෙමින් තිබේ. වෙනත් වචනයකින් කිවහොත් ආගම පිළිබඳ සංජානන නරක පැත්තට වෙනස් වී තිබේ. එහෙත් අප ඉහත උපුටා දක්වන ලද ඇල්බට් අයින්ස්ටයින්ගේ බුදුදහමේ නූතන ගැළපුම පිළිබඳ ප්‍රකාශයට අනුව, බුදුදහමට පවතින සමාජ තර්කනය තුළ රැඳී සිටීම අභියෝගයක් නොවේ. මන්ද ඒ තුළ සර්වකාලීන හා තාර්කික ධර්ම කරුණු ඇතුළත් බැවිනි.
එසේ නම්, ප්‍රශ්නය වන්නේ කුමක් ද? මෙය සීරුමාරුවෙන් තේරුම්ගත යුතු තත්වයකි. එහි පැති කීපයක් තිබේ. අපි වත්මන් පන්සල් සංස්කෘතියෙන් පටන් ගමු.
අපට පෙනී යන ලෙස වර්තමාන පන්සල් සංස්කෘතිය එහි තිබූ සරල හා ගැඹුරු ලක්ෂණවලින් මිදී විච්චූර්ණ විසූකදස්සනයක් දක්වා පරිණාමය වී තිබේ. පන්සල්වල තිබූ නිහඬ නිස්කලංක බව අද එහි නැත. පාට පාට ගොඩනැගිලි හා කම්බිහිරි කරන ශබ්ද එහි ඇත. විවේකී පරිසරය වෙනුවට ගොඩනැගී ඇත්තේ අවිවේකී ආතතිමය හාත්පසකි.
ලෝක ප්‍රකට ඇපල් සන්නාමයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගැන ඔබ අසා තිබෙනු ඇත. ඔහු ජීවිත කාලය පුරා ඉතා භක්තිමත් බෞද්ධයෙක් ව සිටියේ ය. එපමණක් නොවේ. තම සමාගම ලොව වටිනාම සන්නාමය බවට පත් කිරීමට හා තම නිෂ්පාදන, විශේෂයෙන්ම ඇපල් ජංගම දුරකතනය හා පරිගණකය එය භාවිත කරන්නන්ගේ ජීවිතයේ කොටසක් ලෙස සිතෙන ආකාරයට නිර්මාණය කිරීමට ද බුදු දහමේ ඉගැන්වීම් යොදා ගත්තේය. වසර ගණනාවක් භාවනා කළ ඔහු ඒ තුළින් ලද අන්තර්ඥානය සිය ව්‍යාපාර දියුණුවට යොදාගත්තේ ඉතා දක්ෂ ලෙස ය. ජොබ්ස් ම කියා ඇති ලෙස ඔහු තම නිෂ්පාදනවල අනන්‍යතාව බවට පත් කළේ සරලකමයි. ඔහුගේ ප්‍රකට කියමනක් තිබේ. ඒ සරලකම යනු පරම නවීනත්වය’ යනුවෙනි (Simple is the Ultimate Sophistication). එහෙත් ඔහු කීවේ සරලවීම පහසු දෙයක් ද නොවන බව ය. ඔහුගේ ම වචනලින් කිවහොත්, “සරල බව යන්න සංකීර්ණ බවට වඩා දුෂ්කර දෙයකි. ඔබගේ සිතුවිලි පිරිසුදු කරමින් සරල කිරීම සඳහා වෙහෙස විය යුතුය” යන්නයි. මේ ධර්මය ඔහු උකහා ගත්තේ ඔහු විසින් ජීවත්ව සිටින කාලයේ නිතර නිතර පැමිණි ජපානයේ කියෝතෝ නුවර පන්සලකිනි. ජපානයේ පන්සල් අතිශය සරල, එහෙත් ගැඹුරු ධර්මතාවක් පිළිබිඹු කරන ඒවාය. ජොබ්ස් එම පන්සල්වලින් දුටුවේ සෑම මිනිසකුගේම සියලු සංකීර්ණතාවලින් යට තිබෙන පොදු ගැඹුරුතාවයි. ඔහු එය තම ඇපල් නිෂ්පාදවලට මුසු කිරීම අවසානයේ එය ලෝක ප්‍රකට නිෂ්පාදනයක් බවට පත් කරනු ලැබීය.
මහායාන බව කියන ජපානයේ බෞද්ධ පන්සල්වල තිබෙන සරලකම හා ගැඹුර අපගේ පන්සල්වලින් ගිලිහී ගියේ ඇයි? එය බරපතළ ප්‍රශ්නයකි. අප, අප හඳුන්වා ගනු ලබන්නේ ථෙරවාදීන් ලෙසය. ථෙරවාදය යනු මූලික වශයෙන් බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් අනුගමනය කරන ප්‍රවර්ගය ලෙස සැලකේ. එහෙත් කිසියම් තැනක දී මේ දෙක මාරු වී ගොස් ඇති සෙයකි. අප සංකීර්ණ හා විච්චූර්ණ වන විට දියුණු ජපානයේ මහායානය සරල හා ගැඹුරු වී තිබේ. මේවාට අප පිළිතුරු සෙවිය යුතුය.
දැන් අප මෙහි තවත් පැත්තක් සලකා බලමු. ඒ වත්මන් ධර්ම දේශනා කලබගෑනියයි. වත්මන් භික්ෂූන් වහන්සේගේ ධර්ම දේශනාවල නැත්තේ ධර්මය පමණි. අනිත් සියල්ල ඇත. සමාජ විවේචන, විහිළු තහළු, උසුළු විසිලු, අවලාද ඈ සියල්ල තිබේ. එහෙත් ඒවායින් ධර්මය පළාගොස් ය. මිනිසුන්ට අවශ්‍ය වන්නේ ධර්මය මිස භික්ෂූන් වහන්සේලාගේ සමාජ විවේචන හෝ විචාර නොවේ. ඒවා කීමට වෙනත් අය සිටිති. ධර්ම දේශනා හුදු විනෝදාස්වාද මාර්ගයක් ලෙස යොදාගැනීමට ද අවශ්‍ය නැත. සමාජයට අවශ්‍ය නියම ධර්ම කාරණා ය. පවතින සමාජය මෙන්ම තමා ද විනිවිද දැකීමට අවශ්‍ය ධර්ම කාරණා ය. ධර්ම කරුණු පමණක් කියා දීමෙන් ලද අවබෝධය මත ඉතිරි හරිය ගිහියා විසින් තම සමාජ ගනුදෙනුවල දී භාවිතා කරනු ඇත. තමා විනයවත් කර ගැනීමට එම ධර්මාබෝධය යොදා ගනු ඇත. එය ගිහියාගේ කාර්යභාරයකි. ඒ අනුව, භික්ෂූන් වහන්සේලා තේරුම්ගත යුත්තේ, හොඳ බණක් යනු මිනිසුන් කොක් හඬලා සිනාසෙන ප්‍රහසන සැසියක් නොවන බවයි. මිනිසුන්ට කොක් හඬලා සිනාසෙමින් සතුටින් ජීවත් වීමට අවශ්‍ය නියම ධර්ම කරුණු කියා අවබෝධකර දීම ය.
වත්මන් සංඝ සාසනයේ අප දකින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, භික්ෂූන් වහන්සේගේ ධර්මය පිළිබඳ නොදැනුමයි. අද විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා භික්ෂූන් වහන්සේලා අති බහුතරය සිටින්නේ බෞද්ධ අධ්‍යයන අංශවල නොවේ, එහෙත් සමාජ විද්‍යාව, දේශපාන විද්‍යාව හෝ වෙනස් සමාජීය විද්‍යා හෝ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශවලය. ඔවුන් ධර්මය ලෙස ඉගෙන ගන්නේ ඉතා සීමිත කරුණු කිහිපයකි. එනම් පන්සලේ සිටින විට දානයක්, බණක්, පිරිතක් හෝ වෙනත් ආගමික කටයුත්තකට අවශ්‍ය දේ ය. ඒ ද හුදු කාටපාඩම් ආකෘතියෙනි. ඒ අනුව, නවක භික්ෂූන් වහන්සේට ගැඹුරු බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම ඉතා අල්ප ය. ඒ නිසා ම මේ භික්ෂූන් වහන්සේ විශ්වවිද්‍යාලවල දී මාර්ක්ස්වාදී ව්‍යාපාරවල පෙරමුණේ රාළ ලා වී සිටිති. ඔවුන් බෞද්ධ පොත පතට වඩා මාර්ක්ස්වාදී පොතපත කියවා තිබේ. ඒවා ඇසුරෙන් දෙසුම් පවත්වනු ලැබේ. නියම ගැඹුරු විද්‍යාත්මක බුදුදහම පිළිබඳ දැනුම ඔවුන්ගෙන් ගිලිහී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නූතන විදුලි බුබුළුවලින් ගිනිකන නොවැටී උජුපටිපන්න වීමට මේ භික්ෂු පරම්පරාව අසමත් වී සිටී. මෙය අවාසනාවන්ත තත්වයකි.
ලංකා ව්‍යවස්ථාවේ බුදුදහම පෝෂණ කර පවත්වාගෙන යාමට අවශ්‍ය වගන්ති තිබේ. එහෙත් ඉහත තත්වය ගොඩගැනීමට ව්‍යවස්ථාවලට නොහැකි ය. මෙය සංඝ සමාජය හා ඒ හා බද්ධ ගිහි සමාජය තුළ ද තීව්‍ර ලෙස සාකච්ඡා කළ යුතු තත්වයකි. පවතින නූතන තර්කනයට ගැළපෙන ලෙස අප සංස්කෘතික සංශෝධන රැසක් කළ යුතු බව පෙනීයයි. ගැටලුව ඇත්තේ ඊට නායකත්වය ගන්නේ කවුද යන්නයි. මෙය මොළය හා හදවත එකතුව සිදුවිය යුතු දෙයකි. ඒ අනුව, සංඝ සමාජයේ හෝ ගිහි බෞද්ධ සමාජයේ හෝ සිටින මේ පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති පිරිසක් එකතු වී මේ තත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම ප්‍රමුඛතාවෙන් අවධානය ලැබිය යුත්තකි.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ