​දැක්මක ගමනක ජයග්‍රහණ


හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැමිය නොහැකි උසකින් තැබූ නිසා ය. ඔහුගේ පාලන සමයේ ඔහුට එරෙහිව බටහිර රටවල් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ විසින් වංචාව, දූෂණය වැනි චෝදනා අතොරක් නැතිව එල්ල කළෝය. එහෙත් ජනතාව නොවේ ඒවා පයිසයකට ගණනකට ගත්තේ.

මහතීර්ට අවුරුදු 22ක් තම රටේ පාලනය බාරදීමට මැලේසියානුවෝ කටයුතු කළහ. එහි ප්‍රතිඵලය නම් මැලේසියාව 1981 සිට 2003 දක්වා එක දිගට ආසන්න වශයෙන් සියයට 9 ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් සංවර්ධනය වීම ය. ඒ යටතේ මැලේසියානු සංචිත 1981 දී තිබූ ඩොලර් බිලියන 25 සිට 2003 දී ඩොලර් බිලියන 110ක් බවට පත්විය. මේ වර්ධනය අත්කර ගත්තේ අවුරුදු 22ක් වැනි  කාලයක් ඇතුළතය. අවුරුදු 22කකට ඩොලර් බිලියන 85ක් ආර්ථිකයට එකතූ තිබේ.

එහෙත් 2005-2015 අතර කාලයේ ලංකාව සමග සංසඳනය කර බලන විට මෙය එතරම් විශාල ප්‍රමාණයක් නොවේ. එම වසර 9 තුළ ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන 55ක් පමණ එකතු විය. මහතීර් බිලියන 85ක් එකතු කිරීමට වසර 22ක් ගත්ත ද මහින්ද බිලියන 55ක් එකතු කිරීමට ගත්තේ වසර 9කි. කෙසේ වෙතත්, මැලේසියාවේ මහතීර් හා ලංකාවේ මහින්ද අතර ඉතා සමීප සමානකම් තිබෙන බව ඉහත දත්තවලින් පෙනේ. වෙනස නම් 2015 දී මහින්දට මහතීර්ට වැනි ම චෝදනා එල්ල කොට අවුරුදු 9කින් ඔහු ගෙදර යැවීමයි. ඉහත දත්ත අනුව, තවත් අවුරුදු 10ක් නොව, 5ක් මහින්ද බලයේ සිටියා නම් ලංකාව මැලේසියාවට එහාගොස් සිටිනු නොවනුමාන ය. ආර්ථිකයක් දියුණු කිරීම සුළුපටු දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත්තේ මහින්ද වෙනුවට පැමිණි සිරිසේන-වික්‍රමසිංහ පාලනය වසර 5ක පාලනය තුළ හුදු ඩොලර් බිලියන 5ක් පමණක් මෙරට ආර්ථිකයට එකතු වීමයි. මහින්ද 9ක් තුළ 55ක් එකතු කරන විට ඉහත දෙපළ 5ක් තුළ බිලියන 5ක් එකතු කිරීමයි. කතාව හා කෙරුවාව අතර වෙනස තේරුම් ගැනීමට මෙය ම ප්‍රමාණවත් නැතිද?

ලොව දියුණු වූ රටවල් එසේ වී ඇත්තේ ඉහත මැලේසියාවේ හා ලංකාවේ ද වූ පරිදි දළ දේශීය නිෂ්පාදිතය පුළුල් කිරීමෙනි. වෙන අන් කිසිදු මගක් නැත. රටක පුරවැසියන්ගේ ජීවිත සුඛිත මුදිත වන්නේ එම අගය උස් පහත් වන ආකාරය අනුවයි. ආර්ථික අර්බුද එන්නේ එම යාන්ත්‍රණය බාහිර හෝ අභ්‍යන්තර හේතු මත මන්දගාමී වීමෙන් හෝ ඇණහිටීමෙන් ය. කෝවිඩි සමයේ ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වී, ආර්ථිකය මගින් උත්පාදනය කළ ඩොලර් අහිමි වීමෙන් අපට සිදු වුණ දෙය හොඳම නිදසුනයි.

එසේ නම් කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි ය. කුමන කොන්දේසි යටතේ හෝ සිදුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතය නැවත වරක් වර්ධන මාවතකට ගැනීම ය. 2015ට පසු අපට රටක් ලෙස නොහැකි වූවේ ද එයමයි. අප අදටත් අවධානය යොමු නොකර සිටින්නේ ද එම සාධකයටමයි. අපි විවිධ සුරංගනා කතා කියමු. ලස්සන ජීවිත ගැන පොහොසත් රටවල් ගැන අපි නිරන්තරව කයිවාරු ගසමු. එහෙත් ඇත්ත වශයෙන් ම, අපගෙන් මගහැරෙන කරුණ නම් එය කරන්නේ කුමන ක්‍රමවේදය යටතේ ද යන්න පැහැදිලි නොකිරීම ය. ඊට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීම ය. ඇතැමුන් කියන්නේ හොරු අල්ලා’ මෙය ක්‍රියාත්මක කරන බවයි. තවෙකෙක් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක සංවිධානවලින් තොරතෝංචියක් නැති ණය ගෙන මෙය සිදුකරන බවයි.

2005-2015 මෙය සිදු කළේ ඒ කිසිවකින් නොවන බව ඔබට මතක් කළ යුතු ය. හොරු ඇල්ලීම හෝ හොරකම හා දූෂණය නැවැත්වීම රට සංවර්ධනය කිරීමට එකම විසඳුම බව කියන ඇතැම් පක්ෂ විසින් හොරකම හා දූෂණය පිළිබඳ වැඩිපුරම චෝදනා නගන්නේ ද එම 2005-2015 අවදියටයි. එහි ඉතා තීව්‍ර පරස්පරයක් තිබෙන බව පෙනේ. හොරකම් හා දුෂණය ද කරමින් නිදහසින් පසු මෙරට ආර්ථිකයේ වැඩිම වර්ධන වේගය පෙන්වූ යුගය 2005-2015 නම්, ආර්ථිකය දියුණු වන්නේ හොරකම හා දූෂණය තුළින් බව මේ චෝදනා කරන අය සිතන්නේ ද? එසේ නොසිතන්නේ නම්, ඔවුන්ගේ තර්කයේ එක් අංශයක් නිතරම හරසුන් විය යුතු ය.

ණය ගැනීම ද ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා ක්‍රමයක් නොවන බව පෙන්වාදිය හැක. 2015-2019 අතර කාලයේ දී ලංකාව ඩොලර් බිලියන 12.5ක් මුදල් වශයෙන් ම ණය ගත්තේ ය. එහෙත් එම කාලය තුළ ඉහත පෙන්වාදුන් ලෙසම දළ දේශීය නිෂ්පාදිතයට එකතු වූයේ ඩොලර් බිලියන 5ක් පමණි. එසේ නම් ණය ගැනීම ආර්ථික වර්ධනය කරන බවට වන මෙම තර්කය එතැනින්ම බිඳ වැටේ. එම කාලයේ ආර්ථික වර්ධන වේගය ද එන්න එන්නම අඩු විය. 2019 වන විට එය සියයට 2 ටත් වඩා පහත යමින් තිබුණි.

ඇත්ත වශයෙන් ම ණය ගැනීමෙන් ආර්ථිකය වර්ධනය කරනු ඇත. ඇමරිකා එක්සත් ජනපදය ලොව විශාලතම ණය සහිත රට ය. ජපානය හා ප්‍රංශය ද එසේ ය. එහෙත් ණය ගැනීම විචක්ෂණශීලීව නොකරන්නේ නම්, එය රටට බරක්ම වනු ඇත. වෙනත් වචනවලින් කිවහොත්, ගන්නා ණය ආර්ථිකයට අගය එකතු නොකරන්නේ නම් එය විනාශයක් ම වේ. මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය ඍජුවම ආර්ථිකයට එකතු වූ අතර, යහපාලන සමයේ ගත් ණය එසේ එකතු නොවීමට හේතුව මේ අත්‍යවශ්‍ය අගය එකතු කිරීම සැලකිල්ලට නොගැනීමයි.

ලංකාවේ ආර්ථික රෝගයට පිටින් පත්තු බැඳීම කිසිසේත්ම වැඩ නොකරන බව මේ අනුව ඔබට පෙනී යනු ඇත. එය සිදු කළ යුත්තේ ආර්ථිකයේ අභ්‍යන්තර මාවතට ඇතුළු වී එම මාවත් පුළුල් කිරීම මගිනි. කෘෂි අංශය, සේවා අංශය හා කර්මාන්ත අංශය යන ප්‍රධාන කොටස්වලට අමතරව දැන් දැන් ලෝක තාක්ෂණික දියුණුවත් සමග අලු‍ත් අංශ-විශේෂයෙන් ම ඩිජිටල් වේදිකා පදනම් කරගත් අංශ ලොව ආර්ථිකයන්ට විශාල දායකත්වයක් දෙමින් තිබේ. ඒවා අප රටේ ද ආර්ථිකයට එකතු කොට ජනතාවගේ ධන උත්පාදන මාර්ග විවිධාංගීකරණය වීමට ආණ්ඩුව පසුබිම සකස් කළ යුතු ය. කෘෂි අංශයේ ද පවතින සාම්ප්‍රදායික රටාවෙන් මිදී තාක්ෂණ පෙරළියක් කිරීම ලංකාව වැනි භූමියෙන් කුඩා රටකට අත්‍යාවශ්‍ය කරුණකි. කුඩා භූමි ප්‍රමාණයකින් වැඩි අස්වනු නෙළන තාක්ෂණය ඔස්සේ කෘෂි අංශයේ අප නොසිතන පෙරළියක් කළ හැකි ය. අද ඊශ්‍රායලය වැනි රටවල් කරමින් සිටින්නේ මෙයයි.

සේවා අංශයේ ද අපට දැනෙන වෙනසක් කරමින් ආර්ථිකයට සැලකියයුතු දායකත්වයක් සපයාගත හැකිව තිබේ. විශේෂයෙන් පරිගණක ආශ්‍රිත ක්ෂේත්‍රයේ අපට පුළුල් වීමට ඇති අවස්ථා එමට ය. ඉදිරි කාලයේ දී ලංකාව ඩිජිටල්කරණයට ලක්කිරීම හරහා මේ විභවයන් තවත් පුළුල් වනු ඇත. සේවා අංශයේ ම සංචාරක කර්මාන්තය තුළ විශාල පිම්මක් ගත යුතු ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කිරිම අත්‍යවශ්‍ය දෙයකි. මහින්ද රාජපක්ෂ යුගයේ මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය කළේ ද, කටුනායක අලු‍ත් පර්යන්තය ඉදිකිරීමට පටන් ගත්තේ ද මේ සඳහා ය. අවාසනාවකට මත්තලින් ප්‍රයෝජන නොගෙන එහි වී ගඩඩා කළ අතර, කටුනායක දෙවැනි පර්යන්තයේ ඉදි කිරිම අත්හිටවුන ලැබුණි. මේවායින් රටට වූයේ විශාල හානියකි. තාමත් අපට එම විනාශයෙන් ගොඩ ඒමට නොහැකි ව තිබේ.

ගෝඨාභය යුගයේ කෝවිඞ් වසංගතය නොඑන්නට අපට සමස්ත ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත හැකිව තිබුණි. ඊට හොඳම නිදසුන නම් මෙරට ඉතිහාසයේ වැඩිම අපයනන ආදායම එම කාලයේ එනම් 2021 වසරේ අත්කර ගැනීමයි. එය ඩොලර් බිලියන 13කි. ඊට පෙර එය 10 හෝ වැඩිම 11 විය. මේ ජයග්‍රහණය අත්කරගත්තේ කෝවිඩි සමයේ බවද අමතක නොකළ යුතු ය. අනිත් අතින් එම කාලයේ ආනයන ආදේශක හඳුන්වාදීම හරහා වෙළෙඳ ශේෂයේ ද සැලකියුතු දියුණුවක් ඇති විය. උදාහරණයක් ලෙස කහ ආනයනය අත්හිටුවීමෙන් විදේශවලට යන ඩොලර් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය.

මේ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ දැක්මක් ඇතිව ගමනක් ගියහොත් අපට නිසි ගමනාන්තයට තිරව ගියහැකි බවයි. මහින්ද යුගයේ ද, අභියෝග මැද වුව ගෝඨාභයගේ වසර දෙක තුළ ද කියාපාන්නේ එම සත්‍යයි. එහෙත් ජාතියේ අවාසනාවට අවස්ථා දෙකම අප අහිමි කරගත්තේ, රංබිජු දමන කිකිළිය මරා බඬේ ඇතිබව අප සිතූ බිජු ඩැහැ ගැනීමට වූ නොතිත් තණ්හාව ඉස්මතු වීමෙනි. දැන්වත් අප මෙය තේරුම්ගත යුතු ය. කෙටි හා ඇස් ගිනිකණ වට්ටන ව්‍යාජ පොරොන්දුවලට නොරැවටී මෙවර බුද්ධිමත්ම තීරණය ඔබ විසින් ගත යුත්තේ මේ නිසා ය. පසුගිය කාලයේ ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ඇති වූ සංවාදය තුළ හා ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ඉහත දක්වන ලද තිරසාර ප්‍රගතිකයක් සඳහා වන මාවත ඉදිරිපත් කර ඇත්තේ තරුණ, එහෙත් මෙරට ආර්ථික විප්ලවය කළ සම්ප්‍රදායෙන් පැවත එන නාමල් දැක්ම’ තුළ පමණි. ඊට අනුව, වසර 10ක් තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 180ක් කිරීමේ වැඩපිළිවෙළ තිබේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ