මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව එවැනි එකක්ය. ඉදිරියට එන්නේ ජනපතිවරණයක් නොව මහ මැතිවරණයක් යැයි කියන පිරිසක් ද සිටිති. ඒ අදහස ගැනත් සාකච්ඡා කිරීම වැදගත්ය. රටේ ආර්ථික තත්වයේ වත්මන් ස්වභාවය ගැන ද කථා කිරීම කාලෝචිතය. එහෙත් මා මේ සතියේ ලියන්නට බලාපොරොත්තු වන්නේ මේ එකක්වත් ගැන නොවේ.
මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ රටේ ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින විවේචන කීපයක් පිළිබඳවය. පසුගිය අරගල කාලයේ සමහරුන් කීවේ පාර්ලිමේන්තුව රටට අවශ්‍ය නොවන දෙයක් බවයි. 225 ම එපා යන සටන් පාඨය ආවේත් ඒ තත්වය නිසාය. රට ගොඩ ගන්නට නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ‘අතුගා දැමිය යුතු’ යැයි කියන අන්තවාදී මතයක් ද ඒ අතර විය. මේ සියලු විවේචන මතු වූයේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටුවන්නේ නැතැයි ජනතාව අතර පිළිගැනීමක් තිබීම නිසාය.
මේ තත්වය මේ වන විට තවදුරටත් වර්ධනය වී ඇත. මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට භාජන වූ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මගින් පෙන්නුම් කළේ ද එම ආයතනයේ ස්වාධීන පැවැත්මට සිදු වී ඇති අර්බුද ජනක තත්වයේ තරමය. ඊට අමතරව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා තේරීම සම්බන්ධයෙන් ද පෙන්නුම් කළේ පාර්ලිමේන්තුව පිළිබඳ සමාජයේ තිබෙන බරපතළ විවේචනය නිවැරැදි බවය.
කෝප් කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර කාරක සභා අතර ඉතාමත් වැදගත් එකක් ලෙසින් පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) හෙවත් කෝප් කාරක සභාව පිළිගනු ලැබේ. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිවීමත් සමග මෙම කාරක සභාව පිහිට වුණේ 1979 වර්ෂයේදීය. ඊට පෙර කාලවල තිබුණේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් ‘කෝපා කාරක සභාව’ පමණක්ය. 1960 දශකයේ සහ 70 දශකයේ කෝපා කාරක සභාව මෙහෙයවනු ලැබුවේ බර්නාඩ් සොයිසා මහතා විසින්ය.
කෝප් කාරක සභාව පිහිට වූයේ ස්ථාවර නියෝග 120 යටතේය. එහි මූලික අභිමතාර්ථය වන්නේ රාජ්‍යයට අයිති පොදු ව්‍යාපාරවල මූල්‍ය තත්වය සහ පරිපාලන තත්වය පසු විපරම් කිරීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 150 වගන්තිය යටතේ විගණකාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල යටතේ ඔහු විගණනය සිදුකරනු ලැබූ රාජ්‍ය ව්‍යාපාරවල වාර්තා සලකා බැලෙන්නේ ද කෝප් කමිටුව හමුවේය.
වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ගැටලුකාරීත්වයක් මතු වූයේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා එහි සභාපති තනතුරේ වැඩ කරන දවස්වලය. ක්‍රිකට් ආයතනයේ විමර්ශනය අවස්ථාවේ එම කෝප් සභාපතිවරයාගේ හස්ත සංඥාවක් වීඩියෝ එකක් හරහා සමාජ ජාලවලට මුදා හැර තිබුණි. එම හස්ත සංඥාවෙන් කියවුණේ වෙනත් මන්ත්‍රීවරයකු ඇසූ ප්‍රශ්නයකට ‘පිළිතුරු නොදෙන ලෙස ඉගි කිරීමය.’ මේ කාරණයත් සමගින් 2023 නොවැම්බර් මාසයේ සිට කෝප් කමිටුවේ වැඩ කටයුතු අත්හිටුවන්නට සිදුවිය. මාස 02 ක් පමණ කාලයක් කෝප් කමිටුව රැස් වූයේ නැත. 2024 ජනවාරි 27 දින සිට පාර්ලිමේන්තු වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග එම කෝප් කමිටුව නිමා විය. මේ දවස්වල කතා කෙරෙන නව කෝප් කමිටුව පත් වූයේ මේ සිද්ධියෙන් පසුවය.
මෙවර කෝප් කමිටුවේ සභාපති ධුරයට ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කළේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාය. ආණ්ඩුව පැත්තට ඡන්ද වැඩි නිසා ඔහු කෝප් සභාපතිවරයා බවට පත් වූ අතර එම පත්වීමට විරෝධය පාමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කෝප් කමිටුවෙන් මේ වන විට ඉල්ලා අස්වී හමාරය.
මෙවැනි තත්වයක් මීට පෙර කවරදාවත් මතු වූයේ නැත. විගණනය මත සිදුකරන පාර්ලිමේන්තු පසු විපරමක් සඳහා සමාජයේ යම් පිළිගැනීමක් සහිත මන්ත්‍රීවරයකුගේ මූලිකත්වයෙන් යුතු කෝප් කමිටුවක් පත් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යභාරය විය යුතුය. එසේ නොවුණහොත් පාර්ලිමේන්තු කමිටු සමාජයේ විහිලුවට ලක්වීම අනිවාර්යය. මේ දිනවල සිදුවෙමින් පවතින්නේ එවැන්නකි. මේ තත්වය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ අනුර දිසානායක මහතා කීවේ ‘රංජිත්ව එපා නම් අපි දෙන්නේ රෝහිත’ වැනි ‘ගේමට ගේමක් දෙන’ හැඟීමකින් ආණ්ඩු පක්ෂය කටයුතු කරන බවය. එතුමාගේ මෙම නිරීක්ෂණය නිවැරදිය. මේ වගේ ප්‍රාථමික ‘ගේම් න්‍යායකින්’ පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටුවලට සභාපතිවරුන් පත් කිරීමෙන් විභාග වෙන්නේ පාර්ලිමේන්තුව සතු පිළිගැනීමය.
දැන් කෝප් කමිටුවේ විපක්ෂයේ කිසිදු සාමාජිකයෙක් ඉතිරි වී නැති ගාණය. එම කමිටුව තවදුරටත් පාර්ලිමේන්තු කමිටුවක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කමිටුවක් බවට දැන් පත් වී ඇත. එවැනි ඒක පාක්ෂික කාරක සභාවකින් මධ්‍යස්ථ පාර්ලිමේන්තු පසු විපරමක් සිදුවන්නේ යැයි සිතිය නොහැකිය. මේ පිළිබඳව තීරණයක් නොගතහොත් රටේ තිබෙනන ‘පාර්ලිමේන්තුව පිළිකුල් කිරීම’ තවත් වර්ධනය විය හැකිය.
විශ්වාසභංග යෝජනාව
මේ දිනවල සාකච්ඡා වූ අනෙක් වැදගත්ම කාරණය වූයේ කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවය. ආණ්ඩු පක්ෂයේ ‘කෝකටත් උස්සන අත්’ මේ සඳහාත් කිසිදු වග විභාගයකින් තොරව ඉස්සුණු බව සැබෑවක්ය. එහෙත් මේ විශ්වාසභංග යෝජනාව මගින් ඉදිරිපත් වූ කරුණු හුදු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ‘අත් එසවීමෙන්’ යටපත් කළ හැකි ඒවා නොවේ.
වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙතෙක් ඉතිහාසයේ යම් වැදගත් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළ අයෙක් බව සැබෑවක්ය. එහෙත් ඔහුගේ ඒ ධනාත්මක අතීතයට යම් ආකාරයක කලු පැල්ලමක් මේ විශ්වාසභංග යෝජනාව සමගින් වැටී ඇත.
විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත කරුණු දෙස බලන විට ඒවා ප්‍රධාන තේමා දෙකකට ගොනුකර බැලිය හැකිය. එයින් එකක් වන්නේ කථානායකවරයකු වශයෙන් වත්මන් කථානායකවරයා මධ්‍යස්ථ කෙනෙක් නොවන බවය. මධ්‍යස්ථභාවය යනු කථානායකවරයාගේ අනුලංගනීය ගුණයක් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පිළිගත් තත්වයකි. මේ විශ්වාසභංගයෙන් කීවේ වත්මන් කථානායක ‘ආණ්ඩු පක්ෂයේ කථානායකවරයෙක්’ මිස පාර්ලිමේන්තුවේ මධ්‍යස්ථ කථානායකවරයෙක් නොවන බවය.
මේ යෝජනාවේ දෙවැනි තේමාව වන්නේ කථානායකවරයා නව නීති හැදීමේ ක්‍රියාවලියේ දී පටිපාටියට විරුද්ධව වැඩ කර ඇති බවය. ඒ කියන්නේ හරියට නීති හදන්නට ඉඩ නොදී පක්ෂපාතී ස්ථාවරවල සිටිනවා කියන එකය. පසුගිය දිනක සම්මත වූ ‘මාර්ග ගත ක්‍රමවල ආරක්ෂාව පනත’ සම්මත කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණ සමහරක් නොසලකා හරිමින් බව එහි ඇති තර්කයයි.
මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ඒ ආකාරයෙන්ම කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් නොවූ බව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී ද පිළිගෙන ඇති බවයි. එහි අදහස වන්නේ එම පනත සම්මත කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ සමහර නිරීක්ෂණ මග හැරී ඇති බැවින් ඒවා ඇතුළත් කර අලුත් පනත් සංශෝධනයක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවයි. එයින් ඔප්පු වෙන එක කාරණයක් වන්නේ කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව නිවැරැදි බවයි.
මගේ යෝජනාව වන්නේ කථානායකවරයකුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවක් යම්තම් වැඩි ඡන්දයෙන් සම්මත වූවාට කථානායකවරයකුට එම පාර්ලිමේන්තුව සාර්ථකව මෙහෙයවීමේ හැකියාවක් නැති බවයි. ඇමැතිවරයකුට එරෙහිව එන විශ්වාසභංග යෝජනාවක් වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම සහ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ‘එකකින් හෝ ජය ගැනීම’ අතර බරපතළ වෙනසක් පවතින බව මගේ මතයයි. කථානායකවරයකුට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවක් අවම වශයෙන් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්වත් පක්ෂ නොවුණහොත් එම පාර්ලිමේන්තුව එකී කථානායකවරයාගේ මූලිකත්වය ප්‍රතික්ෂේප කරන එකක් ලෙසින් සැලකිය යුතු බව මගේ යෝජනාවයි. කථානායකවරයා ‘කොක්කෙන් හරි හෝ කෙක්කෙන් හරි’ බහුතරය ලබා ගනිමින් විශ්වාසභංග යෝජනාවක් ජයගැනීම නිවැරැදි නොවන බවත් 225 න් 150 ක් වත් එකඟ නැතිනම් කථානායකවරයාගේ විශ්වාසය එම පාර්ල්මේන්තුව තුළ නොමැති බව පිළිගත යුතු බව මගේ අදහසයි.
ව්‍යවස්ථාදායක සභාවේ ගැටලුව
මෙම විශ්වාසභංගයට සම්බන්ධ තවත් කාරණයක් වන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව මතු වී ඇති ගැටලුවයි. ව්‍යවස්ථාදායක සභාව තුළ මූලිකත්වය ගන්නේ ජනාධිපති, අගමැති, විපක්ෂනායක යන තිදෙනාගෙන් කවුරුවත් නොවන තත්වයක සහ එහි මූලිකත්වය ව්‍යවස්ථාවෙන්ම කථානායකවරයා වෙත පැවරී ඇති තත්වයක ඔහු (කථානායක) ක්‍රියා කළ යුත්තේ ඉතාමත් විනිවිදභාවයෙන් යුක්තවය. නීතියේ ඇති සිද්ධාන්තයක් වන්නේ ‘නීතියට අනුව වැඩකරනවා සේම එසේ නීතියට අනුව වැඩකරනවා යන්න අන් අයට පෙනෙන්නට තිබිය යුතු’ බවයි.
ව්‍යවස්ථාදායක සභාව කථානායකවරයා විසින් මෙහෙයවනු ලබන්නේ එසේ ‘සාධාරණ ආකාරයෙන් නීතිය පසිඳලනවා’ යන පෙනුමෙන් නොවේ. මෙය රටේ ඉහළම නෛතික යාන්ත්‍රණයක (ව්‍යවස්ථාදායක සභාවේ) අනාගත ක්‍රියාකාරීත්වය කෙරෙහි වැරදි පූර්වාදර්ශයක් ගොඩ නගන බවද ඉතාමත් පැහැදිලිය.
අවසාන වශයෙන් මගේ යෝජනාව වන්නේ ‘මෙරට පාර්ලිමේන්තුව රටට අනවශ්‍ය දෙයක්.’ ලෙසින් මතුවන තර්කයට පිළිතුරක් දිය හැක්කේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිවැරැදිව ඉටුකිරීම හරහා බවය. ඒ සඳහා කථානායකවරයාගේ වගකීම හා කමිටු සභාපතිවරුන්ගේ වගකීම විශාලය. එය තේරුම් නොගතහොත් ස්ථීර වන්නේ ‘පාර්ලිමේන්තුව එපා’ යන වැරදි තර්කය පෝෂණය වීමය. එසේ නොකිරීම අපේ වගකීමය.
(*** මහාචාර්ය චරිත හේරත්)