ගුවන් යානයක් ගුවන්තොටුපොළක සිට ඉහළට එසවීම මෙන්ම එය ගොඩබෑම ද අතිශය භාරධූර කටයුත්තක් වන නිසා ස්වයංක්‍රීය තාක්ෂණය දියුණු ලෝකයේ පවා තාමත් එම කාර්ය දෙකම කරනු ලබන්නේ මිනිස් ගුවන් නියමුවකු විසින් ය. මිනිස් ජීවිත සිය ගණනක ජීවිතවලට වගකියන එම ක්‍රියාව ස්වයංක්‍රීය පද්ධතියට බාරදීම නොකරන්නේ නිර්මාණශීලී මිනිස් නායකත්වය එහි දී අත්‍යවශ්‍ය බැවිනි.
කෙසේ වෙතත්, යානය ඉහළට එසවීමෙන් පසු ගොඩබෑම දක්වා වන අතරතුර කාලයේ දී බොහෝ විට එය ධාවනය කරනු ලබන්නේ ස්වක්‍රීය නියමු පද්ධතිය විසින් ය. මිනිස් ගුවන් නියමුවන් එම කාලයේ දී බොහෝ විට නිදා ගන්නා බව කියවේ.
රටක පාලනය හා එහි වර්ධනය සම්බන්ධයෙන් ද ගුවන් යානයේ කතාව අතිශයින් ම අදාළ වේ. රටක් ඉහළට එසවීම ඉතා භාරධූර කටයුත්තකි. එය පැහැදිලි නායකත්වයක මගපෙන්වීම යටතේ සිදුවිය යුත්තකි. ඉදිරි දැක්ම, සැලසුම්සහගත බව හා ක්‍රියාවට නැංවීම යන අංශ තුන මනාව එකතු කරගෙන යා යුතු ගමනකි. ඉහළට ගිය පසු එය බොහෝ විට ස්වයංක්‍රීයව ඉදිරියට යනු ඇත.
ලොව සියලුම රටවල් පාහේ නැගී ඇත්තේ එවන් ගමනක් යමිනි. යුරෝපා රටවල් ගත්ත ද ආසියාවේ රටවල් ගත්ත ද අපට එය මනාව දැකගත හැකි ය. සිංගප්පූරුව ලී ක්වන් යූ යටතේ අද තිබෙන තැනට නැගුණේ ය. මැලේසියාව මහතීර් මොහොමඩ් යටතේ නැගුණේ ය. චීනය නැගීමට පටන් ගත්තේ ඩෙන් ෂියාවෝ පෙන් යටතේ ය. මේ අතර, මේ සියලු රටවල නැගීම පිළිබඳ මූලික අවදිය ගැන වන කතාන්දර ඉතා දුෂ්කර ඒවාය. නීරස ඒවා ය. එවක එකී සමාජය විසින් ඇතැම්විට විස්වාස නොකළ ඒවාය. ජනතාවගෙන් බොහොමයක් දෙනා බැහැර කළ හා විරෝධය දැක් වූ ඒවා ය. එහෙත් එම කතන්දර අද ඉතා සුන්දර ඒවා වී තිබේ. ඒවා ගැන පොත් හා කවි ද ලියනු ලැබේ. රොමෑන්තික කතාමාලා ගොතනු ලැබේ. ඒවා සමරුනු ලැබේ.
මේ ආශ්‍රයෙන් අපට ඉගෙනගත හැකි පාඩම් බොහොමයකි. අපට යම් අත්දැකීමක් ලබන විට එය නීරස විය හැකි ය. කැපකිරීම් කළ යුතු විය හැකි ය. සමහර අවස්ථාවල අප ඉච්ඡාභංගත්වයට පවා පත්විය හැකි ය. එහෙත් අදාළ කටුක අත්දැකීමෙහි ප්‍රතිඵල පසුකාලීනව මහා ජයග්‍රහණය සැමරුමක් විය හැකි ය.
රටක් ලෙස අප ඉදිරියට යාමට නම් මේ අනිවාර්ය යථාර්ථය අප පිළිගත යුතුව තිබේ. සාර්ථකත්වය සඳහා කෙටි මාර්ග නැත. ඇති සියලු ඒවා අතිශය දුෂ්කර ඒවා ය. සීරුමාරුවෙන් යා යුතු ඒවා ය. කෙටිකාලීන ප්‍රතිඵල මත පමණක් අප විස්වාස තබා තීන්දු ගන්නේ නම් අපට කිසිදු සාර්ථකත්වයක් අත්කරගත නොහැකි ය. කෙටිකාලීන සාර්ථකත්වයක් පෙන්වාදෙනසුළු විජ්ජා අප ඉදිරියේ ප්‍රදර්ශනය විය හැකි ය. එහෙත් ඒවා රුවට පෙනෙන සබන්බෝල සේ පෙනී යළි පිපිරී අතුරුදන් වේ.
අපේ ලංකාවේ වත්මන් දේශපාලන කතිකාවේ පවතින විශේෂිත ස්වභාවයකි. එනම් එය තුළ අප තීන්දු තීරණ ගනිමින් ඇත්තේ සුදු හා කළු වශයෙනි. දේශපාලන බලවේග පිළිබඳ තක්සේරු කරන්නේ ද එසේ ය. මෙහි දුර්වලතාව කුමක්ද? ඒ නම් මේ දෙක මිශ්‍රවීමෙන් සැදෙන අළු පාට ගැන අප නොසිතීමයි. අපට අළු ලෝකයක් ඇත්තේ ම නැත. අපට ලෝකය එක්කෝ සුදු ය, නැතිනම් කළු ය. සුදු පාට තුළ කළු පාට ද, කළු පාට තුළ සුදු පාට ද අපට දැකීමේ හැකියාවක් නැත්තේ ඇයි?
අප ඉතිහාසයේ සිට ම බොරුවලට රැවටී බොහෝ විනාශකාරී තීන්දු ගෙන තිබේ. අපගේ සිංහලයේ අවසන් රජු, ඉංග්‍රීසීන් විසින් බලයෙන් පහ කරන ලදුව මදුරාසියේ වෙල්ලෝරයේ සිර අඩස්සියේ සිට වර්ෂ 1832 ජනවාරි 30 වැනිදා අවසන් හුස්ම හෙළීය. මියෙන විට 52 වැනි වියෙහි පසු වූ ඔහු ගැන අද ද අපට ඇත්තේ ඉංග්‍රීසින් විසින් හා බලලෝභී උඩරට ඇතැම් සිංහල රදලයන් විසින් ගොතන ලද ව්‍යාජ කතන්දර ය. ජෝන් ඩොයිලි නම් කුමන්ත්‍රණකරු විසින් රජුට එරෙහිව තම ප්‍රචාරක යාන්ත්‍රණය තුළ සාර්ථක වීද කිවහොත් උඩරට රාජධානිය තමා සතු කර ගැනීමට ඉංග්‍රීසි ජාතිකයන්ට මහ දෙයක් කරන්නට ඉතිරිව තිබුණේ නැත. එය බන්දේසියක තබා දුන් සේ ය. ඒ තරමට, ඒ තැනට රජු එපා කර තිබුණි. අද ද රජුගේ සියලු යහපත් වැඩ අමතකව අපට සිහිපත් කරවන්නේ ඔහු විසින් කරන ලදැයි කියන ඇහැලේපොළ කුමාරිහාමිට හා දරුවන්ට මරණ දඬුවම ලබා දීමයි. ඇහැලේපොළ විසින් තම බලලෝභය නිසා ඉංග්‍රීසීන් සමග එකතුව රජුට හා සිංහල රාජ්‍යට එරෙහිව කළ කුමන්ත්‍රණ ගැන අපගේ පොදු කතිකාවේ නැත. අපගේ සාහිත්‍ය තුළ පවා ශ්‍රී වික්‍රම නොසණ්ඩාලයකු ලෙස හංවඩු ගසා ඇත. දැඩි ලෙස මතට ලොල් වූවකු ලෙස ප්‍රචාරය කර ඇති රජු, ඉංග්‍රීසින් විසින් අල්ලාගෙන නැවෙන් මදුරාසිය බලා ගිය සති හතරක ගමනේ දී එකදු අවස්ථාවක හෝ නැවේ කාර්ය මණ්ඩලයෙන් මත්පැන් ඉල්ලා නොසිටි බව ඔහු කැටුව ගිය ඉංග්‍රීසි ජාතිකයා ලියා තබා ඇති බව මහාචාර්ය ගණනාථ ඔබේසේකර ස්වකීය The Doomed King කෘතියේ සඳහන් කර ඇත. මතට ඇබ්බැහි වූවකුට එතරම් කාලයක් මතින් තොරව සිටිය හැකි ද?
අපගේ ඉතිහාසයේ අප අන්දවා තිබෙන තැන් ගැන අප විසින් නැවතත් සිතා බැලිය යුතු වේ. මන්ද එම ඇන්දීම පිටුපස තිබෙන්නේ අහිංසක කතාවක් නොවේ. එය සපුරා දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන ලද තිර පිටපතකි.
2015 වසරේ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය මෙන්ම 2022 අරගල ව්‍යාපාරය ද ශ්‍රී වික්‍රමට එරෙහිව කළ ව්‍යාපාරයේ පොදු ලක්ෂණ ඇත. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ පරාජය වන්නේ ඔහු විසින් පමණ ඉක්මවා වැඩ කරන ලද නිසාය. එනම් ජනතාව ඉල්ලූ දෙයට අමතරව රටේ දිගුකාලීන යහපත වෙනුවෙන් කළ සේවය නිසා ය. 2005 දී ජනතාව මහින්දගෙන් ඉල්ලා සිටියේ යුද්ධය අවසන් කරන ලෙස ය. ඒ වන විට සිහිනයක් ව තිබූ එය ඇත්තට කරනු ඇතැයි මෙරට බොහෝ අය සිතුවේ නැත. මහින්ද එය කළේ නොසිතූ ලෙස ය. ඒ මතු නොව, ඔහු රටේ ආර්ථිකය 4 ගුණයකින් වැඩි කළ අතර රටේ දිළඳුකම අඩකින් අඩූවූවේ ය. රටේ ණයබර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2005 වන විට තිබූ සියයට 102 සිට 2014 දී සියයට 71කට අඩු කළේ ය. ඔහු විසින් රටේ දිගුකාලීන යහපත වෙනුවෙන් කරන ලද බොහෝ දේ මෙහි අමුතුවෙන් නොකිය යුතු තරම් ය. එහෙත් මේ සියල්ල තිබිය දී ඔහුට එල්ල කළ චෝදනා ගොන්න අති විශාල ය. බොහෝ අය ඒවාට රැවටී මහින්ද පරාජය කළේ ය.
මේ ගිය සතියේ උමා ඔය ව්‍යාපෘතිය අවසන් කොට රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එකතු කළ බව වාර්තා විය. මෙම ව්‍යාපෘතියට එරෙහිව එවක ගොඩනැගූ ව්‍යාජ කතිකාව ඔබට අමතකව නැති බව නිසැකය. එය රටට මහා විනාශයක් බව කීමට මාර්ක්ස්වාදී පක්ෂයක් විසින් නොකරන ලද දෙයක් නැති තරම් ය. ඉන් හොරකම් කර ඇති බව ද කීවේ ය. එම බොරුවලට හසුව ව්‍යපෘතිය නැවැත්වූයේ නම් අද රටට මෙගාවෝට් 120ක් නැත. එම ප්‍රමාණය ද ගත යුතු වන්නේ පෞද්ගලික ඩීසල් බලාගාරවලට රුපියල් කෝටි ගණන් මහජන මුදල් වැය කරමිනි. මෙම ව්‍යාපෘතිය රැකගෙන අද ප්‍රතිඵල රටට ලබාගත්ත ද, මීට වඩා රටට ප්‍රතිඵල ගෙන දීමට නියමිතව තිබූ මහින්ද සැලසුම් කළ සාම්පූර් ගල් අඟුරු බලාගාරය නවතා දැමීමට ඉහත දේශපාලන බලවේගයට හැකි විය. සාම්පූර් වෙතින් ලබා ගැනීමට නියමිත ව තිබූ මෙගාවොට් ප්‍රමාණය 500කි. එය ක්‍රියාත්මක වූයේ නම් අපට 2030 වනතුරුවත් විදුලි අර්බුදයක් එන්නේ නැත. ඒවා සියල්ල නැවතූ දේශපාලන කයිවාරුකරුවන් අද රට හැදීමට ජනතාවගෙන් බලය ඉල්ලීම කොතරම් හාස්‍යක් ද?
2022 අරගලයේ දී කළ ප්‍රචාරයක් වූයේ ආර්ථික අර්බුදය ආවේ රාජපක්ෂවරුන් විසින් රටේ ඩොලර් ටික කන්ටේනර්වල පටවාගෙන උගන්ඩාවට ගෙන ගිය නිසා බවයි. එක්තරා නීතිඥවරයකු විසින් ම මෙම ප්‍රකාශය කළේ අලුත්කඩේ සිටය.
මේ අවස්ථා සියල්ලෙන් ම අපට පෙනී යන්නේ මේ රට සෑදීම සඳහා අවංක උත්සාහයක් ගත් සෑම අවස්ථාවකම ව්‍යාජත්වය වපුරා ඒවා බිම ඇද දැමූ බවයි. ඒ නිසා ම අද වනතුරුත් අපට රට ගැන ඉදිරි සැලසුම් ගැන කතා කරමින් සිටීමට පමණක් සිදුව ඇත. ඒ ලැබුණු සියලු ස්වර්ණමය අවස්ථාවලට පයින් ගැසීමෙනි. ඒ අනුව, අප දැන්වත් මේ යථාර්ථයට අවදි විය යූතු ය. ව්‍යාජ දේශපාලන කයිවාරුවලට නොරැවටී ඉදිරි දැක්මක් ඇතිව රට වෙනුවෙන් තීන්දු ගන්නා දේශපාලන නායකත්වයකට මග විවර කොට, ඒ දෙස ඉවසීමෙන් බලා සිටීමට ද විනයක් හදාගත යුතු ය. එසේ නොවන්නේ නම්, අපට මේ සියවස ද ගෙවා දැමීමට සිදුවනු ඇත්තේ අනාගත ක්‍රියාමාර්ග ගැන හෑලි ලියමින් මිස ක්‍රියාමාර්ගවල ගමන් කරමින් නොවේ.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ