මහින්ද දිසානායකයන් විසින් විරචිත, ගුණදාස කපුගේ ස්වර රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මෙි ගී මිණිරුවන විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
චිරන්තන සාහිත්‍යයේ අවිච්ඡින්නව ගලා එන වදන් නිර්භය ලෙස භාවිත කරන ගේය පද රචකයෝ සුදුර්ලභයෝ ය. සම්භාව්‍ය සාහිත්‍ය ගැඹුරින් පරිශීලනය නො කොට අපූර්වත්වයෙන් පොහොණි ගී පද සංකල්පනා බිහිකළ නොහැකි ය. අපූර්වත්වය යනු පෙර නොවූ විරූ යන්න ය. ඇතමෙක් සම්භාව්‍ය සාහිත්‍ය පොතපත අඳුරේ අතපත ගාමින් එහි බබළන ඇතැම් වචන (නිරුක්තිය පවා නොදැන) අසුරු පිටින් උදුරා ගීතයට ඔබ්බවති. එහෙත් එබඳු කෘත්‍රිම වදන් ඇමුණුම්වලින් සාර්ථක ගීතයක් නිර්මාණය කළ නොහැකිය. කව්සිළුමිණ, කාව්‍යශේඛරය, සැලළිහිණිය, ගුත්තිලය, අමාවතුර, බුත්සරණ, ධර්මප්‍රදීපිකාව ආදී මෙකී නොකී සම්භාව්‍ය සාහිත්‍ය කෘති නොකියවා ලියන කවිය මෙන්ම ගීතය ද කඩදාසි ගෙවල් බඳුය. එහි ජීවිතය නැත. තථ්‍ය ප්‍රේමය ද නැත. මෙබඳු අරුත් සුන්, වන්ද්‍ය ගී පද සංකල්පනා තුළ ඇත්තේ සක්ක පද පමණි. එබැවින් ගේය පද රචකයකු සම්භාව්‍ය සාහිත්‍ය කෘති පරිශීලනය කළ යුතුම ය. එසේ නො කොට කිසිදු දිනෙක උසස් ගේය පද රචකයකු විය නොහැකි ය. පෙර පරපුරේ විශිෂ්ට ගේය පද රචකයෝ මෙකී නොකී සියලු සම්භාව්‍ය සාහිත්‍ය කෘති පරිශීලනය කළෝ ය. ඔවුහු එයින් උපරිම ඵල නෙළා ගත්හ. ඇතමෙක් මහා ගේය පද රචකයන්ගේ ලැයිස්තුවේ ද ස්ථානගත වූහ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්. රත්නායක, සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ ධර්මවර්ධන, රත්න ශ්‍රී විජේසිංහ ආදීහු චිරන්තන සාහිත්‍ය සම්පාදනයෙන් සුපෝෂිත මහා ගේය කාව්‍ය සිත්තරුවෝ ය.
රජරට ප්‍රදේශයයෙන් ගේය පද රචනයට සුපිළිපන් මහින්ද දිසානායකයෝ ද යටකී ගේය පද රචකයන් මෙන් සම්භාව්‍ය සාහිත්‍යයෙන් පෝෂිත සුකීර්තිමත් කිවිසුරෙක් වෙති. ඔවුහු ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ වැනි ප්‍රවීණයන්ට විශිෂ්ට ගී ලියූහ. මහින්ද දිසානායකයෝ වෘත්තියෙන් සිංහල ගුරුවරයෙක් ද වෙති. කලක් අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා වූයේ ද දිසානායකයන් ය. ගුරු ජීවිතයෙන් ඉසිඹුලන්ට පෙර ඔවුහු උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහාකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස ද සේවය කළහ.
මෙි වූකලි මහින්ද දිසානායකයන් විසින් විරචිත සාහිත්‍ය රසයෙන් අනූන තවත් අපූරු ගීමිණකි. මෙි ගීතයට පසුබිමින් තිබෙන්නේ ගුරුළුගෝමීන්ගේ ධර්මප්‍රදීපිකාව කෘතියේ එන සුළු කළිඟුදා වතයි. අමාවතුර ලියූ ගුරුළුගෝමීහු ධර්මප්‍රදීපිකාව නමැති ග්‍රන්ථයේ ද කතුවරයෝ ය. ධර්මප්‍රදීපිකාවෙි පරිකතා රාශියක් ඇත. ඒ අතරින් "සුළු කළිඟුදා වත" ප්‍රේමයේ විප්‍රලම්භය මොනවට පැහැදිලි කරයි. ධර්මප්‍රදීපිකාව යනු අර්ථ ධර්මය දැක්මට එළිය දෙන පහනය. මෙි වූකලි අපූරු සම්භාව්‍ය කෘතියකි. මෙහි එන ඇතැම් පරිකතා ජීවිතය ඥානනය කිරීමට මහඟු අත්වැලක් සපය යි. සුළු කළිඟු කුමරු සහ සාගල නුවර මදු රජුන්ගේ දියණිය අතර ඇතිවන නුගිනුරා ප්‍රේමය ගීතයේ පසුබිම අර්ථ ගන්වයි. සැලමුතු ප්‍රේමයේ ද පදනම කායසංසර්ග රාගය යි. රාගයෙන් තොර ප්‍රේමයක් නැත. කෙනකු තුළ තවෙකෙකු අරබයා උපදින ප්‍රේමය එසේත් නැත්නම් තථ්‍ය ප්‍රේමයක් බවට පත්වන්නේ අනෙකා ද එයට සාධනීය ප්‍රතිචාරයක් දැක්වූහොත් පමණි. මෙනයින් අන්‍යෝන්‍යත්වයට පත්වූ ප්‍රේමය විවාහය සඳහා ද මනා පදනමකි. එහෙත් මෙි ගීතයෙන් සුවිශද වන්නේ පෙම්වතුන්ගේ වියෝගය ගැබ් වූ විප්‍රලමිභ ශෘංගාරය යි. විප්‍රලම්භ ශෘංගාරයේ පතුලේ පවතින්නේ ශෝකය යි.
ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇව්ළුණා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ
මෙි ගීතයේ කථක සුළු කළිඟු කුමරුන් තමා හැරපියා ගිය පෙම්වතිය පිළිබඳ පශ්චාත්තාප වෙයි. ඇගේ වියෝව ශෝක සන්තාප තැවුල් ගෙන දුන්න ද ඇගේ මධුර මනෝහර රූපය ද රස සංස්පර්ශය ද ඔහුට සිහිවෙයි. කථකයාගේ සිතෙහි උපදින කාම සිතුවිලි මෙන්ම ජීවන ලාලසාව ගීතයේ පුමුඛ ආරම්මණය යි. මෙහිදී බඹර සැණකෙළි මල්විල නමැති රූපකය මගින් සුවිශද වන්නේ සම්භෝග ශෘංගාර සුව මතකය නොවෙිද? කථකයාගේ ඇස් මානයේ දිස්වන්නේ රතිකෙළියෙන් සුඛාස්වාදය විඳින බඹර සැණකෙළියකි. එහෙත් ඔහුට මෙකී දසුන වෙිදනාවකි. විප්‍රලමිභ ශෘංගාරය දනවන සත් සියක් සියපත් පිරි මල්විල දුටු මතින් ඔහුට සිහිපත් වන්නේ ඇය වෙන්වී ගිය දිනය යි. එදින ඔහුගේ සිතෙහි ඇවිළී ගිය ළසෝ ගින්න කැලෑවක ඉබෙි හටගන්නා ලැවි ගින්නක් තරම් ප්‍රබල විය. කථකයා නෙළුම්විල අබියස අතීතාවර්ජනයෙන් මතක චිතකය අවුළමින් පවසන්නේ මෙකී විරහා දුක නොවෙිද? සොබාදහමෙි සුන්දරත්වය මොනවට පැහැදිලි කරන නෙළුම්විල අද ඔහුට දනවන්නේ සුඛස්පර්ශය නොව දුඃඛස්පර්ශය යි. මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නොවීම ලෝකස්වභාවය යි. බොහෝ පැතුම් ඉටු නොවෙි. සිතු දේ නොම වී නොසිතූ දේම වෙයි. ප්‍රේමානිසංස ද එසේ ය.
සියපතක් මත විසුළ පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
සියපත හෙවත් නෙළුම්මල මත වැටී විසිරුණු පිනි බිඳු චණ්ඩ මාරුතයකට හසුවී සර සර හඬින් පොළොව මත පතිත වනු දැකීමෙන් කථකයාට සිහිවන්නේ තමා ඇයගේ හදමඬල රිදවූ නිමෙිෂයක ප්‍රියාවියගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණු ආකාරය යි. මෙි වූකලි කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? රචකයා මෙහිදී ගොඩනගන ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ නොවෙිද? බඹර සැණකෙළි මැද සොබාදහමෙි සුන්දරත්වය, අසිරිය දුටුව ද පරාජිත ප්‍රේමියාට එය වින්දනය කිරීමට නොහැකි ය. ගීතයේ දෙවැනි අන්තරා කොටසෙහි එන "හෙත" නමැති යෙදුම සිංහල ගීත වංශයේ කිසිදු ගේය පද රචකයකු මීට පෙර භාවිත නොකළ වචනයකි. හෙත යනු වැටීමෙි ධාතුවෙන් පිළිපන් අසම්භාව්‍ය ක්‍රියවයි. මෙනයින් ගීතයේ සාර්ථකත්වයට මෙබඳු පරිපූර්ණ වචන යොදාගැනීම කෙතරම් ඖචිත්‍ය ද? විසුළ, හෙත, මමන, යුරු වැනි චිරන්තන සාහිත්‍යයේ එන වදන් භාවිත කරමින් චිත්ත රූපික බස්වහරකට උරුමකම් කීමට මහින්ද දිසානායකයෝ සමත් වෙති. ඔහුගේ භාෂා භාවිතය එතරම් ම ප්‍රශස්ත ය.
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමන'යුරු දැක
ඔබේ ලවනත සැදුණ මීවිත
මත් කළා මතකයි මගේ සිත
සතර අත පෙති විහිදමින් මලේ මකරන්ද සුවඳ වහනය වෙයි. මනෝහර වූ නෙළුම්විලෙහි මධුසර ලොල් වූ බඹරු නානා කුසුම්හි බී බී මත්ව ගුමුනද නංවති. මෙබඳු සොබාසිරි අසිරි නෙත ගැටෙන කළ කථකයාට සිහිවන්නේ එකල ඇගේ ලවන් මත සැදුණු මීවිත තමා සුඛානන්දයෙන්, සුඛප්‍රහර්ෂයෙන් උරා බී මත් වූ ආකාරය යි. මල්මී යනු මල් පැණි හෙවත් මකරන්දය. මමන'යුරු යන්න වෑහෙනා, වහනය, හමන යන අර්ථ දනවයි. "මමන" යනු බමන නොවෙි. බමන වූකලි කැරකිල්ල යි. සුළු කළිඟුදා වතෙහි ද මෙම වදන හමුවෙයි. ඇගේ නාදළු සදිසි දෙතොල් ඔඩමෙි තැවරුණු මුවමී (කෙළ) පවා ඔහුට ගෙන දුන්නේ ඉමිහිරි සුගන්ධයක්, රසයක් නොවෙිද? ඒ සොඳුරු මතක රස පහසින් සුසැදි සම්භෝග ශෘංගාර සුව ඔහු කෙසේ නම් අමතක කරන්නද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ