සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ
සරුංගලේ බට පතුරෙන්
නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා
රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා
හැඩකෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ
අපේ ළමයි තාම බිමයි
සරුංගලේ නුඹ වෙනුවෙන්
ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා
උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා
මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ
රට හැර යන අපේ ළමයි
ගේය පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය : විශාරද නන්දා මාලනී
සංගීතය : විශාරද නන්දා මාලනී
කලා විශාරදයෝ සාහිත්‍ය කලාවේ මුඛ්‍ය අරමුණු දෙකක් පෙන්වති.එකක් නමි සමාජ යථාර්ථය නිරූපණය කිරීමයි. මෙහි යථාර්ථය යනු මිනිසා මුහුණපා සිටින දිශාවයි. අනික් කරුණ නමි හැඟීමිවලින් මානව හදවත සුපෝෂණය කිරීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ සහ ස්වර සංරචනයෙන් සුසැදි මේ ගීතය පූර්වෝක්ත කලා අරමුණු දෙකම සාක්ෂාත් කරගෙන ඇතැයි මම විශ්වාස කරමි.
දශක හතරකට වඩා පැරැණි මේ ගීතය 80 දශකයේ කළු ජූලියත් සමඟ සුපිළිපන් දේශපාලන යථාර්ථය සුවිශද කිරීමට ගත් වෑයමකි.මතුපිටින් සරල, සුගම පද මාලාවක් ලෙස පෙනුණ ද මේ ගීතයේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් දේශපාලන යථාර්ථයක් විද්‍යමානවේ.මහැදුරු සුනිල් ආරියරත්නයන් මෙි ගීතයට විෂය කොට ගෙන තිබෙණුයේ බුද්ධි ගලනය (Brain Drain) යි.
බුද්ධි ගලනය වූකලි දකුණු ආසියාවටම පොදු සාධකයකි.මෙහි මහපොදු සාධකය රටේ ආර්ථික බෙලහීනතාවයි.අසූව දශකයේ ලාංකේය ඉතිහාසයයට අඳුරු පැල්ලමක් එකතු කළ කළු ජූලියත් සමඟ රටේ උගත් බුද්ධිමත් තරුණ විද්‍යාර්ථීහු රට හැර ගියහ.
විවිධ හේතු නිසා උපන් බිම අතහැර දියුණු යැයි සමිමත රටවලට ආකර්ෂණීය වැටුප් අපේක්ෂාවෙන් ඇතැමි වෘත්තිකයෝ සංක්‍රමණය කරති.එහෙත් මවුබිම හැර යන තැනට රටෙි දැන උගත් තරුණ පරපුර පෙලඹුණේ කුමන හේතුවක් අරබයාද ?
නිදහසින් පසු සිරිලක දියුණුවේ මිණිමුතු කිරුළ වැජඹේ යැයි කලාකරුවෝ කල්පනා කළහ. සුද්දා යටතේ අභාවයට ගිය ඒ පුරාතන සෞභාග්‍යය නව දේශීය පාලකයන් ප්‍රතිනිර්මාණය කරනු ඇතැයි කලාකරුවෝ අවංකවම අපේක්ෂා කළෝය. එහෙත් එවැන්නක් සිදු නොවීය.
බ්‍රිතාන්‍යයන් දේශීය ධනපති පන්තිය වෙත බලය මාරු කළේ තමන් වෙනුවෙන් බෙදා පාලනය කිරීමටය.එහෙත් තටිටු මාරු ක්‍රමයට රට පාලනය කළ දේශපාලනඥයෝ ක්‍රමයෙන් රට අරාජික කළහ.
බහුවාර්ගික, බහුභාෂක, බහුආගමික රටක සිංහලයන් පමණක් ඔසවා තැබීමට ඇතැමි බඩගෝස්තරවාදී දේශපාලනඥයෝ උත්සුක වූහ. ඔවුහු දෑකුල භේද ද ජාති ආගම් භේද ද ඇවිස්සූහ.
එපමණක් නොව ඔවුහු මේ භේද අවිකොට ගෙන සුළුජාතික හා ආගමික කණ්ඩායම් මර්දනයට ද වධබන්ධනයට ද ලක් කළහ. ඇතමෙක් ව්‍යාජ දේශප්‍රේමීත්වයක් ආරෝපණය කර ගනිමින් සිංහලයා ගොනාට ඇන්ද වූහ.උතුරේ සහ දකුණේ සිවිල් අරගලවලට හේතුභූත වූයේ ද මේ අපරිණත දේශපාලන හැසිරීමයි.
මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් පසුගිය කාලේ තරුණ පිරිසක් නිර්පාක්ෂික අරගලයක් පවා දියත් කළහ.ඒ තුළින් කිසියම් දේශපාලන ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගත්ත ද අරගලයේ සැබෑ අරමුණු ජයග්‍රහණය කළා දැයි අපි නොදනිමු.
රටේ මැද පන්තිය පැතු දේශපාලන ක්‍රම වෙනස (political system change ) නමි ඉන් සිදු නොවීය. අමනෝඥ දේශපාලනඥයෝ තවදුරටත් රට අගාධයට ඇද දමමින්, කටමැත දොඩවමින් යෙහෙන් වැජඹෙති. මහපොළොවේ දේශපාලන යථාර්ථය එසේය.
අපි මුලින්ම ගීතයේ ස්ථායි කොටස විමසා බලමු.
සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට
යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ.
පාට සවි කඩදාසියෙන් හැඩ වැඩ කළ ලස්සන සරුංගලයක් ඉහළ බොල් අහස් කුස වලාකුළු පිරිමදිමින් නිදහසේ පාවෙයි. නිසංසලේ වරල් සලමින් උඩු ගුවනේ සැරිසරන මේ සරුංගලේ හැදුවේ කවුද? මෙි සරුංගලේ ලස්සනට නිර්මාණය කළේ වෙන කවුරුවත් නොව අපේ රටේ පීඩත පන්තියේ ජනතාව.මෙහිදී රචකයා අපේ ළමයි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නෙ ඒ දුප්පත් අහිංසක ජනතාවටයි.එහෙත් අද ඒ සරුංගලේ මවුබිම, නැදිමයිලන් අතහැර එතෙර බලා යන්න හදයි.මෙහිදී රචකයා අසන්නෙ "උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ " යනුවෙනි.තම මවුරට තරමි සුන්දර තැනක් මිහිපිට කිසිදු පුද්ගලයකුට නැතැයි කීම මුසාවක් නොවේ. එහෙත් අපි තවමත් තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි. වසර 74 කට පසු අප කවර නමි සමාජයක් ද නිර්මාණය කොට ගෙන තිබෙන්නේ ? මෙි සරුංගලේ සංකේතාර්ථය කුමක්ද? ඒ තමයි විද්‍යාර්ථීයා.
මේ විද්‍යාර්ථීහු වෙන කවුරුවත් නොව ඈත ගමි දනව්වල දුප්පත් මවුපියන්ගේ අහිංසක දරුවෝ. නිදහස් අධ්‍යාපනයෙන් ඇස් පාදගෙන සරසවි වරමි ලබා ගමි දොරෙන් එළියට පැමණ ඉණිමඟේ ඉහළට ගිය මේ දරුවෝ අද උපන් බිම අතහැර වෙනත් රටකට තම ශ්‍රයමය, දැනුම විකුණන්න යති. මේ වූකලි කවර නමි අභාග්‍යයක්ද?එහෙත් රට වළපල්ලටම ගොස් ඇත්නම් ඔවුන් වෙන කුමක් කරන්නද? උපන් බිම හැරගිය පමණින් ඔවුනට විතරක් ඍජුවම දොස් කිව හැකිද ? ඊට වෙනත් වගකිවයුත්තන් සිටිත්ද? සිටි නමි ඔවුහු කවරහුද?
ණය බරින් බංකොලොත් රටක් බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තවදුරටත් අතීතයේ තිබුණු සුන්දර සිරිබර සිරිලක නොවෙි.වත්මන් ශ්‍රී ලංකාව ආර්ථික අහේනියෙන්, උද්ධමනයෙන්, දරිද්‍රතාවෙන්, මන්දපෝෂණයෙන් පෙළන බංකොලොත් රටකි.භාණ්ඩාගාරය හිස්, අසමත් රාජ්‍යයක, දේශපාලන පල් හොරුන් වැජඹෙන පාර්ලිමේන්තුවක, කුඩිඩන් පාතාලයන් රජ කරන සමාජයක ලෝකයට හතරඅතේ ණය වෙච්ච රටක් තවදුරටත් ඉන්න හිතෙන රටක් නොවෙයි.
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ යැයි මෙහිදී සුනිල් ආරියරත්නයෝ අපෙන් අසති. උපන් බිමේ තතු මෙසේ නමි අපි කුමක් කරන්නෙමුද ? වෙනත් රටකට ගොස් හෝ ජීවිතය සුඛිත මුදිත කරගැනීම යුක්ති යුක්ත නොවේද? වසර 74 ක කුජීත දේශපාලනයේ ශේෂ පත්‍රය මෙයයි. දියුණුවක් පේනතෙක් මානයක නැත. සැමතින්ම රට අගාධයේය.
සරුංගලේ බට පතුරෙන්
නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා
රැලිකෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා
හැඩකෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ
අපේ ළමයි තාම බිමයි
බට පතුරු කපා, ලාටු උලා, කොළ අලවා මේ සරුංගලේ හැඩ කළේ අපේ ළමයි. සරුංගලේ නමැති මේ විද්‍යාර්ථීයාට උගවන්නේත් නැණස පාදන්නේත් සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ගුරුවරුන්. සරුංගලය උඩ අරින්න නූල් පන්දුව දුන්නෙත් එකී පීඩත පන්තියේ ජනතාවම නොවේද ? සරුංගලේ වෙනුවෙන් අරගල කළේත් ගුටි කෑවේත් මිය ගියේත් ඒ දුප්පත් අහිංසක ජනතාවම නොවේද? එහෙත් පීඩත පන්තියේ ජනතාව ආදරෙන් නිර්මාණය කළ මේ සරුංගලය අද නූල කඩාගෙන සත් සමුදුරින් එහා වෙතත් රටක ගොසිනි.
සරුංගලේ නුඹ වෙනුවෙන්
ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා
උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා
මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ
රට හැර යන අපේ ළමයි
යුරෝපීය රටවල රස්සා කරන ඇතමෙක් අහස සූරන මාලිගවල සුරසැප විඳිති. එහෙත් අර පීඩත පන්තියේ ජනතාව හරියට ඉන්න හිටින්නවත් නැති කටුමැටි ගෙයක, පැල්කොටයක එදාවේල සරිකර ගන්න තාමත් මහපොළොව සමඟ ඔට්ටු වෙති. නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළාගත් මේ පිරිස කොහේ හෝ දියුණු රටක සුදු කරපටි රැකියාවල (White Collar Jobs) නිරත වූවද ඉක්මනින්ම තමන් උපන් මවුබිම, සමාජ පන්තිය අමතක කරති. ඇතමෙක් අධ්‍යාපනයේ හිනිපෙත්තට ගිය ඉණිමඟට පයින් ගසති.
සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් ඔවුහු යහමින් හමිබ කළ ද එකුදු ඩොලරයක් ලංකාවට නොඑවති. විදේශ විනිමය මත ආර්ථිකය රඳා පවතින රටකට එසේ කිරීම කෙතරම් දුරට සදාචාරාත්මක දැයි අපි නොදනිමු. එහෙත් අතීතයේ සිට වර්තමානය තෙක් අනවරතයන් සිදුවන මේ බුද්ධි ගලනය හේතුවෙන් රට තවදුරටත් ප්‍රපාතයට තල්ලුවීම නමි වැළැක්විය නොහැකිය.
බොහෝ රසිකයන් අවිඥානිකව රස විඳ ඇති මේ ගීතය කිසිදා සංකල්පීය විචාරයකට භාජනය වී නැත. එබැවින් එබඳු විචාරයක් දැන් අවශ්‍යය. බුද්ධි ගලනය වැනි සමාජයේ ප්‍රබල ගැටලුවක් පිළිබඳ කිසිදු සංවාදයක් නොමැති සමයක සිය දුරදක්නා නුවණින් ගීතයකින් හෝ එබඳු කතිකාවක් ගොඩනැගීම ගැන මහැදුරු සුනිල් ආරියරත්නයන්ට අපි ස්තුතිවන්ත වෙමු.
මේ ගීතය පුරාවට ව්‍යාංගාර්ථ මතුකරමින් වක්‍රෝත්තිය රැකීමට මහැදුරු ආරියරත්නයන් යත්න දැරූව ද අවසන් පැදි පෙළෙන් එය ගිලිහී ගිය බවක් පෙනේ. කවියක් පවා පරිපාකයට පත්වන්නේ එහි ඇති ධිවනිතාර්ථපූර්ණ ගුණය සුවිශද වීමෙනි. වාච්‍යාර්ථය ඉක්මවා ගිය තැන ධිවනිය උපදියි.
සරුංගලේ නුඹ වාගෙයි
රට හැර යන අපේ ළමයි
පූර්වෝක්ත වාක්‍ය දෙකත් පොල්ලෙන් ගැසුවාක් මෙන් නොකියා වක්රෝත්තියෙන්ම කිව්වේ නමි ගීතයේ පරිපූර්ණත්වයට වඩාත් උචිත යැයි ද මම සිතමි. කෙසේ වූවද මේ ගීතය වෙනුවෙන් මහැදුරු සුනිල් ආරියරත්නයන් වැය කළ නිර්මාණ ශ්‍රමය අගය කළ යුතුය.මේ සා ඔහුගේ දේශපාලන අරමුණ උදාරය. සරල පද වැලකින් සංකීර්ණ සමාජ දේශපාලන යථාර්ථයක් විස්මිත අයුරින් ඔහු අප හමුවේ දිග හරියි. නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ පෞරුෂය ද ඊට දෙස් දෙයි.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ