මාවවුලන් රැපුරාම රංචු ගැසීලා


 

 

 

කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද සංකලනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගී මිණ ⁣සහෝදර ප්‍රේමයත් මානව බන්ධුත්වයත් රසික චිත්තයට ගෝචර කරයි.

අයියා මලෝ සහෝදර ප්‍රේමය පිළිබඳ පමණක් නොව අක්කා - නංගී,අයියා - නංගී, අක්කා - මල්ලි සහෝදර ප්‍රේමය ගැන ද බොහෝ කවි ගී ලියැවී ඇත. වී පෑලකට රණ්ඩු වී නිවෙස හැරපියා ගිය  වැඩිමහල් සොහොයුරකු ගැන බාල සොහොයුරා පශ්චාත්තාප වන අපූරු ගීතයක් ගූණදාස කපුගේ ද ගායනා කළේය. "අයියණ්ඩියේ නුඹ ගියදා අපේ නිවසේ" නමැති එකී ගීතය සහෝදර ⁣ප්‍රේමයේ පමණක් නොව වැඩිමහල් සොහොයුරකුගේ ආත්මාර්ථකාමීත්වයත් දේපළ තෘෂ්ණාවත් අපරිණත බවත්  නිරූපණය කරයි. මෙි වූකලි සහෝදර ⁣ප්‍රේමයේ අඳුරු පැතිකඩක් නොවෙිද? මිල මුදල් දේපළ තෘෂ්ණාවෙන් සහෝදරකම ද අමතක කළ අයියණ්ඩියකු ගැන කපුගේ එසේ ගැයුව ද  කුලරත්න ආරියවංශයෝ ඊට හාත්පසින්ම වෙනස් අයියා මලෝ ප්‍රේමයක් ගැන උදම් අනති. මෙි වූකලි මානවබන්ධුත්වයෙන් පිරුණු ආධ්‍යාත්මික ⁣සහෝදර ප්‍රේම වෘතාන්තයකි. මෙකී ප්‍රේමය ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය තරම්ම සුන්දරය. එහෙත් ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය මෙන්ම සහෝදර ප්‍රේමය ද සමාජ ආර්ථික තතු හා ඊර්ෂ්‍යා ක්‍රෝධ, මද, මාන මාත්සර්යාදී වෙිරම්බවාතයන්ට ගොදුරු වෙි.

වර්තමාන සමජයේ මෙන් නොව අතීතයේ තිබු  විස්තීර්ණ පවුල් සංස්කෘතිය තුළ  සහෝදර ප්‍රේමයට වැඩි ඉඩක් තිබිණි. එකම පවුලේ සහෝදර සහෝදරියෝ දහ දොළොස් දෙනා එකාමෙන් සහෝදර බැම්මෙන් බැඳී ජීවත් වූහ. ඔවුහු සබෑම සහෝදරයෝය. පවුලේ අගහිඟකම් තිබුණ ද එකබඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරියෝ එකිනෙකාට වෙනස්කම් නොකළෝය. එහෙත් අද සමාජයේ තත්වය ඊට හාත්පසින්ම වෙන්සය. අද කෙනකුට සහෝදරයකුගේ හෝ සහෝදරියකගේ සෙනෙහස, ළෙන්ගතුකම, ළබැඳියාව, සබැඳියාව එතරම් තදට නොදැනේ. තාක්ෂණික ලෝකයේ සයිබර් අවකාශයේ සැරිසරන්නෝ  යාන්ත්‍රිකයෝය. ඔවුහු වින්දනය නිර්වින්දනය කළ සමාජයක ජීවත්වන සිත්පිත් නැති රොබෝවරයෝය. මෙකී පිරිස සහකම්පනයෙන් විනිර්මුක්ත වූවෝය. ඔවුනට අනෙකාගේ දුක, වේදනාව කඳුළ, සුසුම ගැන වගේ වගක් නැත. සුහුරු දුරකතනය හෝ පරිගණකය ඔවුනගේ ලෝකය යි. ඊට ඇබ්බැහි වී සිටින තරුණයාට සහෝදරයකු තියා අම්මා තාත්තාවත් මතක නැත.


යුග පෙරළියත් සමඟ සිදුවූ  ආකල්ප පෙරළිය හේතුවෙන් මෙකී සන්තෑසිය උදාවූ බව කීම අතිශයෝක්තියක් නොවෙි. මවක හා දරුවකු අතර පවත්නා ජීවවිද්‍යාත්මක සම්බන්ධය මෙන්ම  එකමවකගේ කුසේ උපන් සහෝදර සහෝදරියන්ගේ බැම්ම ද බලවත්ය. මිනිසා වනාහි ක්ෂීරපායි සත්වයෙකි. එහෙත් අන්‍ය ක්ෂීරපායි සතුන් හා මිනිසා අතර බලවත් වෙනසක් පවතී. අන්‍ය ක්ෂීරපායි සත්තු වැඩිකල් නොයා මවගෙන් වෙන්ව ස්වාධීන වෙති. එහෙත් මිනිස් ළදරුවා දිගු කලක් තිස්සේ මවු උණුසුමෙහි ජීවත් වෙයි. සත්ව රාජධානියෙහි මෙන් නොව මනුසත් උයනේ අවියෝජනීය වෙසෙස් බැඳීම් ඇත.⁣ සහෝදර ප්‍රේමය ද එබඳු සුවිසල් බැම්මකි. මෙකී බැඳීම් ලේසි පහසුවෙන් අකාමකා දැමිය නොහැකිය. කුලරත්න ආරියවංශයෝ මෙි මහඟු ගීමිණිරුවනින් සුවිශද කරනුයේ යටකී මානවබන්ධුත්වය නොවේද?

 

මාවවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

මෙි කථකයා පවුලේ වැඩිමලාය. මෙි වූකලි අයියා මලෝ පමණක් සිටින පවුලක් විය හැකිය. ගැඹුරු සොඳුරු අතීතාවර්ජනයක යෙදෙමින් ඔහු ළඟ නැති බාල සොහොයුරා ගැන ළසොවින් තැවෙයි. ඔහුට තම ප්‍රාණසම මලණුවන් පිළිබඳ ඇත්තේ ආධ්‍යාත්මික ⁣සහෝදර ප්‍රේමයකි. කෙසේ හෝ මෙි කථකයාගේ මලණුවන් අද ඔහු අසල නැත. මල්ලිගේ වියෝව කෙසේ සිදුවූවා දැයි අපි නොදනිමු. ඇතැම් විට ඔහු සිදාදියේ බලවත් තනාන්තරයක් දරන රැකියාවක නියැළෙමින් සිටිනවා වන්නට ද පුළුවන. එසේත් නැත්නම් අකල් වියෝවකට ගොදුරු වන්නට ඇත. එහෙත් කථකයා තූළ සෙමෙන් මෝරා එන අතීත මතකය ප්‍රබලය. තම මලණුවන්ගේ මතක චිතකය අවුළමින් කථකයා සොඳුරු අතීතාවර්ජනයක යෙදෙයි. මාවවුලා යනු ගම්ගොඩෙි පමණක් නොව සෙයිලමේ ද සිටින   නිශාචර පක්ෂියෙකි. උන් මහරෑ ගස්වල, ඔය බඩවල සැරිසරයි. මීගස්වල ⁣මීමල්, මීගෙඩි කන්න මාවවුලෝ රංචු පිටින් එති. මාවවුලෝ මීගෙඩි, මල් අනුභව කොට ගහ පාමුල ම වසුරු හෙළති. එම වසුරු පොහොර බවට පත්වෙි. මෙනයින් මීගස යනු කප්රුකකි. එහෙත් මෙි මීගස් යට වැටී තිබෙන මී අහුලන්න සතුන් පමණක් නොව මිනිස්සු ද යති. ගමෙි කොල්ලෝ කුරුට්ටෝ ද රංචු පිටින් ඇවිත් මී අහුලති. මෙි ගීපාදවලින් උද්දීපනය කෙරෙන්නේ එකී රස පරිසරය යි. එහෙත් ඒ රස පරිසරය මෙි කථකයාට අද එදා මෙන් සොඳුරු නොවෙි. එදා තම සුරතල් මලණුවන් සමඟ මී අැහිදින්නට ගිය ද අද ඔහුට එහි යන්න වෙන්නේ තනිවමය. මෙි වුකලී මළපාළු හැඟීමක්, සියුම් ශෝකයයක් කථකයාගේ  අධ්‍යාත්මය වසා පැතිරී ගිය අවස්ථාවක් නොවේද? පැටිවියේ, වැලි කෙළියේ දෙදෙනා එකතුවී ගම පුරා ගිය ගමන් බොහෝය. ඒ සියල්ල ඔහුගේ මතකය අවුඵවයි. තමාගෙන් වියෝවී සිටින මලණුවන්ගේ ඇවැසියාව අද ඔහුට තදින්ම දැනේ. එහෙත් එදා තම ප්‍රාණසම මලණුවන් සමඟ විඳි සුන්දරත්වය අද ඔහු තනියම විඳින්නේ කෙසේද? අද ඔහුට සහෝදර ප්‍රේමයේ ප්‍රහර්ෂය අතීත මතකයක් ම පමණි.


දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

අයියා මලෝ දෙදෙනා බොහෝවිට ගමන් බිමන් යන්නේ එකටය. මල්ලිගේ ලෝකයේ සදාතනික වීරයා වන්නේ ද අයියා ය. තම මලණුවන්ට කිසියම් කරදරයක් සිදුවන සෑම මොහොතක ම පිහිටට එන්නේ ද අයියා ය. එකල්හි ගමෙි කුරුඳු කැලෑවට දර කඩන්න මල්ලි සමඟ ගිය හැටි ඔහුට සිහිවෙයි. එහෙත් දිනක් එම ගමනේදී මල්ලි අයියා ඉස්සර කරගෙන ගොස් මඟ වරද්දා ගත්තේ ය. ඒ මොහොත කථකයාගේ මතකය අවුස්සයි. එදා මල්ලි බියෙන් ඇඬු හැටි පවා ඔහුට සිහිවෙයි. කුරුඳු කැලේදී මඟ වරද්දගෙන එදා  මලණුවන් වින්ද පාළුව දුක අද තමන්ටත් දැනෙන බව ඔහු කියයි. පහත සඳහන් පදපෙළ කෙතරම් රමණීය ද?


නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

කුලරත්න ආරියවංශයෝ එම සිද්ධිය විස්තර කිරීම සඳහා සරල, සුගම බස් වහරක් යොදා ගනිති. හදබස කෙරෙහි වැඩි නැඹුරුවකින් ගීත ලියන ආරියවංශයෝ තමා ලියන සෑම වචනයකට ම ගීතවත් බවක් ආරෝපණය කරති. එහෙත් ඒ කිසිවකුදු සක්ක පද නොවෙි. කුලරත්න ආරියවංශයන්ගේ බොහෝ ගීත අපරිණත බවත් ඒවා බොළඳ, ඔිලාරික නොගැඹුරු ගීත බවටත් ඇතමෙක් චෝදනා කරති. එහෙත් සියලු විවෙිචන සත්‍ය නොවෙි. කුලරත්න ආරියවංශ යනු විශිෂ්ට ගේය පද රචකයෙකි. ගැමි සුන්දරත්වය මවා පාන මෙි ගීතය වූව ද විශිෂ්ට ගීතයකි. සරල, සුගම පදවැලක් වූව ද එයින් මතුකරන සහෝදර ප්‍රේමයේ අධ්‍යාත්මික බැඳීම ප්‍රබලය. මෙි ගීතය ඇසෙන සෑම මොහොතක ම කේ.ජයතිලකයන් "චරිත තුනක් " නමැති නවකතාව මට සිහිපත් වෙයි. එම නවකතාවෙි සහෝදරයන් තිදෙනකුගේ චරිත ලක්ෂණ මෙන්ම ගති පැවතුම් පිළිබඳ අපූරු කතා වින්‍යාසයක් ඇත. චරිත තුනක් නවකතාවෙි වැඩිමහල් සොහොයුරු ඉසා ද මෙි ගීතයේ කථකයා මෙන් තම සොහොයුරන් දොදෙනාට ආදරය කරයි. විවිධ හැලහැප්පීම්, අඬදබර මැද ගලා ගිය සහෝදර ප්‍රේම⁣යේ අවසානය ඛෙිදවාචකයකි. එහිදී මෙි ගීතයේ කථකයා මෙන් ඉසා ද තම මලණුවන් දෙදෙනා පිළිබඳ පසුතැවෙයි.

 

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

මෙි කථකයා මතක සැමරුම් පටුවත දිගේ ඉදිරියට ම යයි. එහිදී ඔහුට තම මලණුවන්ගේ තවත් සොඳුරු මතක සිහිවෙයි. දෙදෙනා ම රෑ නින්දට ගියේ පැදුරු කොටයක් බිම එළාගෙනය. එහිදී අයියා කියන ඇතැම් හොල්මන් කතා මල්ලි අසා සිටියේ තරමක් බියෙනි. ඇඟ කිලිපොළා යන එකී හොල්මන් කතා මල්ලි අහගෙන හිටියේ මවකට තුරුළු වී නිදන කුඩා දරුවකු මෙනි. මෙි කථකයාට තම මලණුවන්ගේ උණුසුම් සංස්පර්ශය එදා මෙන්  අදත් දැනෙයි. එකී සුන්දර අතීතය කථකයාගේ මතකය අලුත් කරයි. එහෙත් ඒ සුන්දරත්වය අද ඔහුට  සුඛාස්වාදය කළ නොහැකිය. ඔවුහු ⁣ දෙමංසලක තනවී සිටිති. එදා ගෙවූ සොඳුරු ළමා ලෝකය අද නැත. අද ඔවුහු වැඩිහිටියෝය.

මිනිසාගේ බාල ලෝකය සුපිරිසුදුය. සුනිමලය. නිකලෙස්ය. එහි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වෛරය පිරී නැත. එහෙත් වැඩිහිටි ලෝකය අපිරිසුදුය. ජුගුප්සිතය. කෙලෙස්ය. එහි ආගම්, කුලමල, ජාති, වර්ගාදී භේද හෝ ලෝභ, ද්වෙිෂ මෝහයෙන් පිරී ඇත. ඇතැම් වැඩිහිටියෝ කුහකයෝය. ඇතමෙක් තරුණයන්ට වළ කපති. ඔවුනගේ දියුණුවට බාධා කරති. උගුල් අටවති. යටිකූට්ටු වැඩ කරති. ඔවුහු කුහකත්වයේ ම ඇලීගැලී මරණමංචකයේ ද දුක්විඳ මියයති. තතු එසේ වන හෙයින් ඇතුළතින් බෙදුණු ජීවිත ගත කරන වැඩිහිටියන්ට තාවකාලික සැනසුම පිණිස කළ හැක්කේ බාලක චිත්තසන්තානයට එබී බැලීම පමණි. මෙි ගීතයයේ කථකයා කරන්නේ ද එයයි. මෙි වූකලි වැඩිහිටි ලෝකයේ හිඳ බාල ලෝකයේ සහෝදර ප්‍රේමයේ අධ්‍යාත්මික සුවය විඳින වැඩිමහල් සොහොයුරකුගේ ආත්මීය අඬහැරය යි.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ