සොවින් පිරි මගේ හදවත


 

 

 

පියල් ප්‍රේමනාත් ජයතිලකයන්ගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ සුගායනයෙන් හා ස්වර සංරචනයෙන් ද යුතු මෙි ගීමිණ ශෝකී හැඟීම් දනවයි.

පෙමතෝ ජායති සෝකෝ
පෙමතෝ ජායති භයං
පෙමතෝ විප්පමුත්තස්ස
නත්හි සෝකෝ කුතෝ භයං

(ප්‍රේමයෙන් ශෝකය ඇතිවෙයි.ප්‍රේමයෙන් බිය හට ගනී.ප්‍රේමයෙන් වෙන්වූ විට ශෝකයක් හෝ බියක් හට නොගනී.)- උද්දාල ජාතකය


" ඔහු බුද්ධියට වඩා දියුණු කළ  හැඟීම් ඇත්තෙකි යි මට නිසැකවම වැටහිණි. ඔහු අනුන්ට දැක ගත හැකි සේ කෝප නොවීය; ශෝක නොවීය; ඔහු තමාගේ දයාව, කරුණාව, ආදරය වචනවලට නඟා කටින් පිට නොකළේය. එහෙත් ඔහු අප මෙන් කෝප වන්නෙක් විය. කෝපය නැඟුණු වහාම  ඔහු එය අනුකම්පාවට හරවා ගත්තේය. කෝපය වුවද ආදරය වුවද මැඩ ගන්නට වෑයම් කරන්නා සිතින් පීඩා විඳියි. අරවින්ද ගෑනියකට ආලය නොකරන, කෝප නොවන කෙලෙසුන් මැඩ ගත්තකු ලෙස ජීවත් වූයේ තමාගේ ඇතුළු  හදට වද දීමෙන් බව නිසැකය. අරවින්දගේ චරිතය හාරා ගරා එහි ඇති තිරුවාණ ගල් හා බොරළු මෙන්ම මැණික් ද සෙවීමට මා තුළ දැඩි කුහුලක් හට ගත්තේය"
විරාගය - 4 වැනි පිට

 

මිනිසා විඳින අනවරත ශෝක සන්තාපයේ විශ්වීය අන්තර්ගතය ප්‍රේමය යි. ප්‍රේමය වූකලි සදාතනික වෙිදනාවේ උල්පත යි. බුදුන් දෙසු පරිදි ප්‍රේමය නිසා ශෝකයත් බියත් උපදියි. එහෙත් ප්‍රේමයෙන් වියෝවූවෝ බැඳීම්වලින් විනිර්මුක්ත වූවෝය. ඔවුහු ප්‍රේමයේ ඇතුළාන්තය, යථාර්ථය දකිති. ඇතමෙක් ප්‍රේමයෙන් බැටකා වීතරාගී අපිස් ජීවිත ගත කරති. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාවෙි  අරවින්ද සහ මහාචාර්ය එදිරිවීර  සරච්චන්ද්‍රයන්ගේ පෙ⁣මතෝ ජායති සෝකෝ නාට්‍යයේ  උද්දාල බමුණා ද ප්‍රේමය ඉදිරියේ අද්භූත හැසිරීම් නිරූපණය කළ චරිත බව කීම අතිශයෝක්තියක් නොවෙි. විරාගයේ අරවින්ද ජයසේන සරෝජනීගේ ප්‍රේමය පිළිගත්තේ ද ප්‍රතික්ෂේප කළේ ද නැත. ගුඪත්වයේ ගිලී අපිස් ජීවිතයක් ගත කළ අරවින්ද ජයසේන කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවූයේ ය.

ස්වර්ණතිලකා කතා වස්තුව ඇසුරෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ පෙමතෝ ජායති සෝකෝ නාට්‍යයේ එන උද්දාල බමුණාට ද කලක් කාන්තාවන් එපාවී තිබිණි. කිසිදු කාන්තාවක් දෙස නොබැලු ඔහු අවසානයේදී ස්වර්ණතිලකා නමැති සැඩොල් කුලයේ උපන් රූමත් ස්ත්‍රියට පෙම් කළේය. මිනිසාගේ  මානව සම්බන්ධතා හා ඇවතුම් පැවතුම් කෙතරම් සංකීර්ණ දැයි මෙකී කතා පුවත් ද්වයෙන් ම සුවිශද වෙයි. එහෙත් මෙකී අභූතරූපී ලක්ෂණවලින් හෙබි චරිත සාහිත්‍ය කලාවට නැංවූණු කල්හි රසිකයාට ආස්වාදය ගෙන දෙයි. ස්වර්ණතිලකා කතා වස්තුවෙි එන උද්දාල බමුණා ද විරාගයේ අරවින්ද ද යටකී අභූතරූපී චරිත ලක්ෂණවලින් පොහොණි පුද්ගලයෝ දෙදෙනෙක් වූහ. ඔවුහු දෙදෙන ප්‍රේමය ඉදිරියේ පරාජිතයෝය. ප්‍රේමයේ සුඛාස්වාදය, පරමානන්ද සම්භෝග ශෘංගාරය නොවිඳි ඇතැම් වල්ලභයෝ සහචරණියට ගතු කියති. එපමණක් නොව  ප්‍රේමයට ද පරිභව කරති. මෙි විශ්වයේ තථ්‍ය ප්‍රේමයක් නැතැයි මැසිවිලි නගති. තතු එසේ වූව ද ප්‍රේමයේ අධ්‍යාත්මික ප්‍රහර්ෂයට, විප්‍රලමිභ ශෘංගාරයට ලොබ ලිය වඩන්නෝ එහි සදාතනික වෙිදනාවේ ම ඇලී ගැලී ජීවත් වෙති.ඇතමෙක් විරහා ගීත ම ගයති.දුක ම වපුරති.

මෙනයින් අප තූළ ශෝකය දනවන ගීත අපගේ ප්‍රියත ම ගීත බව කීම ද අතිශයෝක්තියක් නොවෙි. මිනිසා තුළ ආශා නිරාශා ඇතිවී නැතිවී යයි. පෙම් බැඳුම් ද එසේය. තත් ක්ෂණයකින් සියල්ල සිඳී බිඳී සුනුවිසිනු  වෙයි. ප්‍රේමයෙන් පරාජිතයෝ ද අපරාජිතයෝ ද අවසානයේ ප්‍රේමය හේතුවෙන් ම ශෝකයටත් බියටත් පත්වෙති. සියල්ල අසුබවාදීව දකින ප්‍රේමවන්තයෝ ද සිටිති. ආශා, අපේක්ෂා, අභිලාෂ, පැතුම්, සිහින ඉපදී මිය යයි.⁣ ස්වභාව ධර්මයේ නියාම එසේය. ඒ කිසිවක් මිනිසාට මර්දනය කළ නොහැකි ය. ජීවිතයේ ස්වභාවය, මනු දහම තේරුම් නොගත් ඇත්තෝ සදා බියෙන්, සැකයෙන්, ශෝකයෙන් ජීවත් වෙති. මෙි ගීතයේ කථකයා ද  අතීතයේ ප්‍රේමයේ ප්‍රහර්ෂය අධ්‍යාත්මික සුවය වින්දේ ය. එහෙත් අද ඔහුට එකී ප්‍රේමයෙන් එබඳු සුඛානන්දයක් සුඛප්‍රහර්ෂයක් නැත. ඔහු ජීවිතය දෙස ගැඹුරු  විදර්ශනාවකින් බලයි. ප්‍රේමයේ යථාර්ථය විනිවිද දකියි.

සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා

මෙි ගීතයෙන් වර්ණිත වන්නේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය කැප කළ අව්‍යාජ ආදරවන්තයකුගේ ස්වයං පාපොච්චාරණය යි. ඉකුත් වී ගිය ප්‍රේමයක් ගැන ළතැවිල්ලෙන්, කනස්සල්ලෙන් පසුවන මෙි කථකයාට දැන් ඉතිරි වී ඇත්තේ දුකත් වෙිදනාවත්, කඳුළත් පමණි. මෙි වූකලි විප්‍රලමිභ ශෘංගාරයෙන් පරිපෝෂිත අනගි ගීමිණකි. වියෝගයෙන් නැගෙන වෙිදනාව සිතට මෙන්ම ගතට ද ගෙන දෙන්නේ ඉවසා දරාගත නොහැකි අපහසුතාවකි. තුවාලයේ වෙිදනාව දන්නෝ තුවාලකරුවෝය. මෙි කථකයා එකල මහත් ආසාවෙන්, අභිරුචියෙන් ඇය හා සයනාසනයේ නිදි දෙව්දුව වැළඳ ගත්තේ ය. එහෙත් අද ඔහුට එම යහන විස කටුවලින් පිරුණු තැනකි. එහි සැතපීමත් වදයකි. මෙි සියල්ල සිහිවන කල්හි කථකයාගේ සිතත් ගතත් කකියයි.

ගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත්
ඉනුත් නැහැ සුවේ
කනත් බිහිරි වී නැති මුත්
අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක්
මෙතෙක් නැහැ ඇසී


ප්‍රේමය වනාහි උත්තරීතර ම මානව සබඳතාවකි. ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය එහි කූටප්‍රාප්තිය යි. සමාන අධ්‍යාත්මයන් ගෙන් යුතු ස්ත්‍රී - පුරුෂ යුවළක් අතර ඇති වන්නාවූ පරමාදර්ශී කායික මානසික ඇල්ම, බන්ධනය බිඳී ගිය පසු උනුන් එකිනෙකාට දැනෙන වේදනාව දුක අපමණ ය. එය වචනයෙන් විස්තර කළ නොහැකි ය. මෙි කථකයාට සිදුවී ඇත්තේ  එකී සන්තෑසිය ම නොවෙි ද? තම ඇස් දෙක ⁣හොඳින් පෙනුණත් කන් දෙක යහමින් ඇසුණත් එයින් කිසිදු සුවයක් හෝ අමුත්තක් වී නැති බව ද ඔහු කියයි. මෙි සියලු පසිඳුරන් නිරුපද්‍රිතව තිබුණ ද කථකයාට කිසිම දවසක එයින් හොඳක් හෝ මිහිරක් ඇසී නැත. සාහිත්‍ය රසයෙන් සුපෝෂිත නොවුවද මෙි ගීපාදවල අර්ථය රමණීය නොවෙිද?

දෙඅත් සහ දෙපා කොරවී
නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක්
මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක්
අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක්
මෙතෙක් නැහැ ඇසී


ඔහු ආබාධිතයෙක් නොවූයේ ය. එහෙත් ඔහුට විශ්වයේ කිසිදු සතුටක් සම්පතක් අත්කර ගැනීමට නොහැකි විය. තමා හැරපියා ගිය පෙම්වතිය ඒ සියල්ල ඔහුගෙන් උදුරා ගත්තාය. ඔහු ජීවත් වූයේ ඇය වෙනුවෙනි. එහෙත් අැයට ඒ ගැන නිනව්වක් නැත. මිහිරි යන වචනය පමණක් ඔහු අසා තිබුණ ද එහි අන්තර්ගත අරුත මෙතෙක් අසා නැති බව ද ඔහු කියයි. මෙනයින් කථකයා පුන පුනා කියන්නේ තථ්‍ය ප්‍රේමයක් ලොව නැති බව නොවෙිද? තතු එසේ වූව ද මානවසංහතියට ප්‍රේමය තරම් සාධුතර මංගල්‍යයක් තවත් තිබෙිද? අගනා ගේය පද මාලාවකින් ද  මියුරු මියැසියකින් ද  කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද  විභූෂිත මෙි ගීමිණිරුවන කරුණරසයෙන් අප සිත් අමන්දානන්දයට පත් කරයි.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ