අඟහරු ග්‍රහයා මත ප්‍රථමයෙන් ම පා තබන මානවකයා හෝ මානවිකාව ලොව කොතැනක හෝ දැනටමත් උපත ලබා ඇති බව යුරෝපා අභ්‍යාවකාශ ආයතනයේ ප්‍රධානියා වන ජර්මන් ජාතික ජෝන් ඩියෙට්‍රිෂ් වර්නර් කියයි. ඩියෙට්‍රිෂ් මේ වචනවලින් නොකියා කියන්නේ මේ ශතවර්ෂය මැදභාගය වෙන විට මිනිසකු අඟහරු ලොවට පා තබන බවය. තාරකා විශේෂඥයකු වන ඉංග්‍රීසි ජාතික ස්ටීවන් හෝකිංග් කියා ඇත්තේ පරිසර දූෂණය මෙයාකාරයෙන්ම සිදුවුවහොත් තව වසර සියයක් ගත වෙන විට පෘතුවිය මානවයාට වාසය සඳහා සුදුසු තැනක් නොවන බවය. මේ කරුණු සියල්ල සලකා බලා විද්වතුන් පවසන්නේ මේ ශත වර්ෂය තුළ මිනිසා විකල්ප ජනපදයක් ලෙස අඟහරැ ග්‍රහයා මත ජනාවාස බිහි කිරීම සහතික බවය.
පෘතුවියේ සිට අඟහරු වෙත ගමනේ ප්‍රධානතම දුෂ්කරතාව වෙන්නේ ග්‍රහලෝක දෙක අතර ඇති දුර ප්‍රමාණයයි. අඟහරු ග්‍රහයා පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කරන කාලයේදී පවා ග්‍රහලෝක දෙක අතර අවම දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන පනස් හයකි 56. දැනට මිනිසා සතු දියුණුම තාක්ෂණය උපයෝගී කරගෙන වුවද අඟහරු පෘතුවියට ආසන්නයෙන්ම ගමන් කරන කාලයේදී පෘතුවියේ සිට අඟහරු ග්‍රහයා වෙත යාමට අවම මාස හයක කාලයක් ගතවේ.
අඟහරු ග්‍රහයා පෘතුවියට දුරස්ව ගමන් ගන්නා විට ග්‍රහලෝක දෙක අතර උපරිම දුර කි.මී. මිලියන තුන්සිය හැටකි (360). අද පවතින ඉහළම අභ්‍යාවකාශ ගමන් තාක්ෂණය අනුව වුවද මේ දුර ගමන් කිරීමට මිනිසා ඔරොත්තු දෙන්නේ නැත. එබැවින් අඟහරු ග්‍රහයාගේ සිට යළි පෘතුවියට පැමිණීම සඳහා ග්‍රහලෝක දෙක ආසන්නයෙන්ම ගමන් කරන කාලය වෙනතුරු බලා සිටීමට සිදුවේ. මෙම කාලය උදාවෙන්නේ පෘතුවි කාල නිර්ණ මිනුම් දඬු අනුව වසර දෙකකට වරකි. මින් අදහස් කරන්නේ අඟහරු වෙත ගොස් ආපසු පෘතුවියට පැමිණීමට පිටත්වීම සඳහා වසර දෙකක කාලයක් බලා සිටිය යුතු බවය.
පෘතුවියේ සිට චන්ද්‍රයා කරා ගමන් දුර කි.මී. ලක්ෂ හතරක් පමණ වන බැවින් අද මිනිසා සතු තාක්ෂණයට අනුව දින කිහිපයකින් මේ ගමන නිමා කළ හැකිය. පෘතුවියේ සිට චන්ද්‍රයා වෙත ගමනේදී කිසියම් අකරතැබ්බයකදී ගමන අතරමග අතහැර ආපසු හැරී ඒමේ අපහසුතාවයක් ද නැත. ඇපලෝ 13 යානය මෙය අත්හදා බලා ඇති බැවින් සඳ ගමනකදී ආපසු හැරී ඒමේ ක්‍රමවේදය දැනටමත් මිනිසා දනී.
අද මිනිසා සතු අභ්‍යවකාශ ගමන් යානාවලට පෘතුවියේ සිට අඟහරු දක්වා ගමන් මග දුර වැඩි බැවින්, ගමන අතරමග විවේකයක් සඳහා අභ්‍යවකාශයේ රඳවා තබන තාවකාලික නැවතුම්පොළක් ද දැනටමත් සිතා බලමින් ඇත. මේ ගමනේදී චන්ද්‍රයා තාවකාලික නැවතුම්පොළකට සුදුසු බව ද තවත් කෙනෙකුගේ අදහසකි. දැනට පර්යේෂණ සඳහා අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ද 2024දී විශ්‍රාම යාමට නියමිතය.
ව්‍යාපෘතියේ වියදම හා එක් එක් රට සතු අභ්‍යවකාශ තාක්ෂණය තක්සේරු කර බැලීමේදී අඟහරු ග්‍රහයේ ජය ගැනීම තනිව එක් රටකට පමණක් කළ නොහැක්කකි. සඳ ජය ගැනීම සඳහා ඇමෙරිකාව දියත් කළ ඇපලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය වෙනුෙවන් වැය වී ඇත්තේ ඇමෙරිකාව එවකට වියට්නාම් යුද්ධය සඳහා වසරකට කළ වියදමට සමාන මුදලකි. එහෙත් අඟහරු මතට මිනිසෙකු යැවීමට ඇපලෝ ව්‍යාපෘතිය සඳහා දැරූ වියදම මෙන් හැට ගුණයක වියදමක් දැරීමට සිදුවෙනු ඇත.
පසුව ප්‍රතිලාභ බෙදාගැනීමේ කොන්දේසි මත වුවද අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව ලැබූ රටවල් කීපයක් එකමුතුවීමෙන් තොරව අඟහරු ජයගැනීම හෝ අඟහරු මත ජනාවාස බිහිකිරීම හෝ අපහසු වනු ඇත. එහෙත් මෙවන් හවුලකදී ඉන්දියාව හා චීනය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. දැනට අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානය ගැන පවා ඉන්දියාව තැකීමක් කරන්නේ නැත. චීනය අභ්‍යවකාශයේ රඳවා තැබීම සඳහා නීල මන්දිරය නමින් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් දැනටමත් නිර්මාණය කරමින් සිටී.
අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණු රටවල් එකමුතුව එක සුපිරි මොළයක් හෝ සුපිරි බුද්ධි මණ්ඩලයක පාලනය යටතේ අඟහරු ජයගැනීම සඳහා ආයතනයක් පිහිටුවා ගැනීම පහසු කටයුත්තක් නොවෙනු ඇත. එහෙත් සංචාරක ව්‍යාපාරය පවා අභ්‍යවකාශය දෙස නෙත් හෙළා සිටින යුගයකි මේ. ප්‍රතිලාභ බෙදාගැනීමේ කොන්දේසියක් මත හෝ අඟහරු ජය ගැනීමට නම් සමූහ ව්‍යාපෘතියක් පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතුව ඇත. කෙසේ වුවද පෘතුවි ගෝලය මත පවා දේශගුණික විපර්යාස හා වෙනත් ස්වභාවික විපත් සාර්ථකව කළමනාකරණය කර ගැනීම දුෂ්කරය. මිනිසාට අඟහරු මත ජනාවාස පිහිටුවීමට පෙර ඒ සඳහා තවත් බොහෝ පර්යේෂණ කිරීමට සිදුවෙනු ඇත.
කිසියම් දිනෙක අඟහරු මත ජනාවාස පිහිටවූ විටෙක අඟහරු නේවාසිකයන්ගේ ආහාර පිළිබඳව දැනටමත් කෘෂිකාර්මික පර්යේෂණ පවත්වමින් සිටිති. අඟහරු වාතාවරණය රසායනාගාර තුළ කෘත්‍රිමව නිර්මාණය කර පේරූ රටේ විද්‍යාඥයින් පිරිසක් විසින් කර ඇති කෘෂි වගා පර්යේෂණයකදී සොයාගෙන ඇත්තේ අඟහරු මත අර්තාපල් සාර්ථකව වගා කළ හැකි බවය.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ,
රෝමය, ඉතාලිය.