ලෙනාඩ් වුල්ෆ්
ආදම්ගේ සහ ඒවගේ තරුණ විය සහ මහළු විය එකවර පෙන්නුම් කරන මයිකල් ආංජෙලෝ විසින් කරන ලද චිත්‍රයකි මේ.
“දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙලූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. දෙවියන්වහන්සේ නැගෙනහිර දිසාවෙහි ඒදන්හි උයනක් මවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටවූ සේක.” (බයිබලයේ උප්පත්ති කතාව 2-7) ඔහුට මනුෂ්‍යයා යන තේරුම ඇති “ආදම්” යන නම තැබීය.
“දෙවියන්වහන්සේ ඔහුගේ (මනුෂ්‍යයාගේ) ඉළ ඇටයෙන් ස්ත්‍රිය සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණවූ සේක.” (උප්පත්ති කතාව 2-22) ඇය “ඒව” නම් විය.
“ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක් විය. ඔහු මළේය.” (බයිබලයේ උප්පත්ති කතාව 5-5) ඒවගේ මරණය පිළිබඳව සටහනක් බයිබලයේ උප්පත්ති කතාවේ නැත.
මෙහි පහත ඇති සටහන ලෙනාඩ් වුල්ෆ් විසින් කොටස් පහකින් ලියන ලද ස්වයං චරිතාපදානයේ ශ්‍රී ලංකාවේ ඔහු ගතකරන ලද කාලය පිළිබඳව සඳහන්ව ඇති දෙවැනි පොතේ (GROWING) තැන තැනින් උපුටා ගන්නා ලද කතාවට අදාළ කොටස්වලින් සකසාගත් පරිවර්තනයක් බව සැලකුව මැනෙවි.
“1906 වසරේ අගෝස්තු මස මන්නාරමේ උපදිසාපතිවරයා රෝගාතුරව නිවාඩු ගිය බැවින් වැඩබලන උපදිසාපතිවරයා ලෙස මට එහි යාමට සිදුවිය. මාසයක කාලයකට වුව ද යාපනයෙන් බැහැරව සිටීමට සිදුවීම පිළිබඳව මෙන් ම, වසර එකහමාරක වැනි සුළු කාලයක සේවා පළපුරුද්දෙන් පසුව තාවකාලික වුව ද උපදිසාපති තනතුරකට පත්වීම පිළිබඳව ද මම සතුටට පත්වීමි.
මන්නාරම දිස්ත්‍රික්ක වපසරිය වර්ග සැතපුම් හාරසියයක් පමණ විය. මන්නාරම, ඉන්දියාවත් ලංකාවත් යාවී තිබුණු ආදම්ගේ පාලම කැඩී බිඳී ගොස් ඉතිරිව ගිය භූමියක නිර්මාණය වූ එක් දූපතක් විය. මෙම දූපත සැතපුම් දහඅටක් දිගු වූ අතර, සැතපුම් දෙකක් පමණ පළල විය. එහි වැඩි ප්‍රදේශය ජනශුන්‍ය වනාන්තර ප්‍රදේශ විය. මන්නාරම් දූපතේ එකම නගරය වූවේ ද මන්නාරම ම පමණි. එහි කච්චේරිය ද උපදිසාපති නිල නිවෙස ද අධිකරණ ශාලාව ද පිහිටියේය. ඒ දිනවල මන්නාරමේ වර්ග සැතපුම් හාරසියයට ම සිටි එකම සුදු මිනිසා මම පමණක් ම වීමි.
ඉඩම් නඩුවක් විභාග කිරීම සඳහා මන්නාරමේදී මට නගරයෙන් බැහැර සැතපුම් දාහතරක් පමණ දුර තැනකට යාමට සිදුවිය. එතැන් සිට දූපතේ උතුරු තුඩුවට තිබුණේ සැතපුම් හතරක දුරක් පමණි. එදින රාත්‍රිය ගතකිරීම සඳහා ප්‍රදේශයේ ගම්මුලාදෑනියා ලවා කුඩා බංගලාවක් එහි සූදානම් කරවා ගතිමි. එදින උදෑසනින් ම මම අසු පිටින් ගමන ආරම්භ කළ අතර, මගේ අඩුම කුඩුම සහ ආහාර රැගත් සේවකයෝ බරකරත්තයකින් ගමන් කළහ. වැලි බිමෙහි කරත්ත පාරවල් මිස නිසි මාර්ග එහි නොවීය.
මා පැමිණි ඉඩම් නඩුව සන්ධ්‍යා වනවිට අසා අවසන් කළ අතර අඳුර වැටීමට පෙර දූපතේ උතුරු තුඩුවට ගොස් ආදම්ගේ පාලම දැකබලා ගැනීමේ ආශාවක් මා තුළ විය. එතැන හැඳින්වූවේ තළෙයිමන්නාරම ලෙස ය. එතැනදී අතිවිශේෂ වූ දෙයක් මම දැකබලා ගතිමි. ඒ ආදම්ගේ සහ ඒවගේ සොහොන ය.
තලෙයිමන්නාරමේ වූ ආදම්ගේ සහ ඒවගේ සොහොන් දෙක එකිනෙකට සමාන්තරව පිහිටි එකක් යාර තිහක් පමණ දිගින් ද යාර පහක් පමණ පළලින් ද අඩි තුනක් පමණ උසින් ද යුත් සුමුදු වැලි කඳු දෙකකි. ඒ වැලි කඳු දෙක එකිනෙක පිරිසිදු සුදු පැහැති කපු රෙද්දෙන් මුළුමනින් ම වසා තිබුණි. සොහොන වටා දැවයෙන් කළ ආරක්ෂිත වැටක් වූ අතර, එහි පසෙක සොහොනට ඇතුළුවීම සඳහා දොරටුවක් විය. මුලාදෑනිවරු තිදෙනකු ඒ සොහොන භාරව සිටියහ. ඒ සොහොන ආදම්ගේ සහ ඒවගේ සොහොන් බව මට කීවේ ඔවුන් ය.
ආදම්ගේ සහ ඒවගේ සොහොන ආසන්නව දැකබලා ගැනීමට අවශ්‍ය නම් පාවහන් ගලවා තබා එහි ඇතුළුවන ලෙස මුලාදෑනිවරු මට ගෞරවනීයව ආරාධනා කළහ. පාවහන් උනා දැමූ මම දොරටුවෙන් ඇතුළුව ආදම්ගේ සහ ඒවගේ සොහොන දැකබලාගතිමි.”
යටියන ක්ලැරන්ස් කොස්තා.
ෂෙසානෝ, රෝමය,
ඉතාලිය.