මෙය මා විසින් මාස හතරක කාලයක් පුරා කරන ලද නිල නොවන සමීක්ෂණයක වාර්තාවකි. පවුලේ බිරිඳ හෝ සැමියා හෝ සමග දරුවන් මව්බිම සිටියදී, වඩාත් හොඳ අනාගතයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එකසිය තිස්හතරදෙනකු මෙම සමීක්ෂණය සඳහා දායක කරගතිමි. සමීක්ෂණයක ස්වරූපයෙන් නොව සුහද සාකච්ඡාවක් ලෙස මෙම පිරිස සමග කෙරුණු තොරතුරු හුවමාරුවේදී හෙළිවුණු බහුතරයක පොදු ආකල්ප සහ අත්දැකීම් මෙම ලිපියට පදනම් වේ.
බිරිඳ හෝ සැමියා හෝ සමග දූ දරුවන් මව්බිම තබා, වඩාත් හොඳ අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා වෘත්තීය හේතූන් මත විදෙස්ගතව සිටින බොහෝදෙනකු රට හැර දමා පැමිණ ඇත්තේ, මූල්‍යමය ප්‍රශ්න විසඳාගත් පසුව හැකි ඉක්මනින් ආපසු මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙනි. මොවුන්ගෙන් ඇතැමකුගේ ඉලක්කය හොඳ මූල්‍යමය තැන්පතුවකි. තවත් කෙනකුන්ගේ අරමුණ වී ඇත්තේ ගෙයක් දොරක් වැනි නිෂ්චල දේපොළ ය. දරුවන්ගේ අධ්‍යාපනය, දියණියන්ගේ දෑවැද්ද අරමුණු කරගෙන විදෙස්ගත වූවෝ ද මේ අතර වෙති. රටින් බැහැර වීමේදී ආපසු ඒම පිළිබඳව බොහෝ දෙනකු තුළ වූ කාල තීරණය, කාලයත් සමගම විවිධ හේතූන් මත බිඳවැටී ඇත.
විවිධ දුෂ්කරතා මැද විදේශයකදී අරමුණු මුදල කරා ළඟා වුව ද විදේශීය මුදල් ඒකක හමුවේ රුපියල නොකඩවා බාල්දු වීම හේතුවෙන් ඉහළ ගිය භාණ්ඩ සහ සේවා ගාස්තු, වසර කීපයකට පෙර තීරණය කරන ලද “ටාගට් මුදල” ඒ වනවිට නොවටිනා මුදලක් කර හමාරය. ඉන්පසු සිදුවෙන්නේ අල්ලාගත නොහැකි ගොදුරක් පිටුපස හමා යෑම ය. මෙම හඹා යාම මව්බිමට යළි ස්ථිර පදිංචිය සඳහා යාමේ දිනය, සීමා මෙන් ම කොන්දේසි ද විරහිතව කල් දමයි.
සියලු ප්‍රශ්න විසඳෙන තුරු විදෙස්ගතව සිටින්නා පවුලේ තම අඩුව පිරිමැසීමට උත්සාහ ගන්නේ ගෙදරට මුදල් එවීමෙනි. කාලයත් සමගම මොවුන් පවුල් ජීවිතය ලෙස සලකන්නේ මාසය අවසානයේදී ගෙදරට මුදල් යැවීම සහ ගෙදර ඇත්තා විදේශ විනිමය ලබාගැනීම ය. මෙම පියවරේදී විදේශයක සිට මුදල් උපයන්නාගේ ජීවිතය කටුක වන අතර, මව්බිම සිට මුදල් ලබන්නාගේ වගකීම වැඩි වෙයි. නඩත්තුව සඳහා දරුවන්, ගේදොර ඉඩකඩම් ඇත්නම් මේ වගකීම වඩාත් බරපතළය. මව්බිම සිටින්නා බුද්ධිමත්ව මෙම වගකීම ඉටුකරන්නේ ද නැද්ද යන වග වෙනමම සාකච්ඡා කළ යුතු කරුණකි.
ගෙදරින් ඉල්ලා සිටින මුදල ඇති සැටියෙන් යවා ඇඟ බේරා ගැනීමට තනිව විදෙස්ගතව සිටින බොහෝදෙනකු පුරුදු වී සිටිති. මුදල යවා වගකීම්වලින් මිදී සිටීම මෙන් ම, එම මුදල ලබා යුතුකම්වලින් මිදී සිටීම ද පහසුකමක් ලෙස දෙපස සිටින දෙදෙනාම සලකති. මෙම තත්ත්වය වෙනත් විෂයක් සම්බන්ධව Comfortable Zone ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන තත්ත්වයට බොහෝ සෙයින් සමානය. එබැවින් මෙය “සහන කළාපය” ලෙස හැඳින්වුව ද වැරදි නැත. මෙම කළාපයේ රැඳී සිටීම මුදල් එවන්නාට මෙන්ම මුදල් ලබන්නාට ද පහසුකමකි. මෙම පහසුකම ඇතැමුන් සලකන්නේ මානසික විමුක්තියක් ලෙස ය. දීර්ඝ කාලීනව මෙම සහන කළාපයේ ජීවත්වන්නකුට පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග තාවකාලික හමුවීමකට මිස, දීර්ඝ කාලීන සහජීවනයකට සිතක් නැත. දීර්ඝ කාලීන සහජීවනය දෙපාර්ශ්වයටම පුරුදු නැත. හිරිහැරයකි.
විදේශයක සිට ගෙදර නඩත්තුවට මුදල් එවන බොහෝදෙනකු මව්බිමට නිවාඩුවකට හෝ පැමිණි අවස්ථාවක, මුදල් ලබන්නා එම මුදල වැයකරනු ලබන මෙතෙක් නොදුටු ආකාරය දැක අසහනයට පත්වෙයි. මුදල ලබන්නා ද මුදල එවන්නා හමුවේ මෙතෙක් ලද මුදල වැය කළ ස්වෛරී නිදහස සීමා වීම කරදරයක් ලෙස සලකයි. මේ නිසාම මව්බිමට පැමිණි විගසින් පිටමං වීමේ මෙන් ම, පිටමං කිරීමේ ද චේතනාව දෙදෙනා තුළම ලැගුම් ගනී.
විදේශයක සිට පවුලේ නඩත්තුවට මව්බිමට මුදල් එවන බොහෝදෙනකු කියන්නේ එම මුදල ඉපයීමට දරන වෙහෙස නොතකා මුදල ලබන්නා ආවාට ගියාට මුදල් නාස්ති කරන බව ය. විදේශයක සිට මුදල් ලබන්නා නිදහසට කරුණු ලෙස කියන්නේ ලංකාවේ ජීවත් වීමට කෙතරම් මුදලක් තිබුණත් මදි බව ය. ඇමතුම ලංකාවෙන් නම්, දුරකථනය නාදවන විට ම ඒ මුදල් ඉල්ලීමට බව තමන් දන්නා බව බොහෝදෙනකු කියති. මාසය අගදී මුදල් ඉල්ලීමට මිස ඊට අමතරව සුවදුක් සොයා බැලීමක් සිදුනොවන බවට ද ඇතැමකු චෝදනා කරති. කොටින් ම බොහෝ පවුල් සබඳතා මූල්‍යමය ගනුදෙනුවකට පමණක් සීමා වී ඇත.
දැළි පිහියෙන් කිරි පැණි කන සමහරුන් මමත් ගැහැනියක්, මමත් පිරිමියෙක් හෝ ඒගොල්ල එහෙ ඉඳගෙන මොනව කරනව ද කවුද දන්නෙ, අපිට කියල ජීවිතයක් නැද්ද, ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කරති. මෙම සංඛ්‍යාව සමීක්ෂණයට දායකවූවන්ගෙන් සියයට පනහකටත් වැඩි ය.
මෙම සමීක්ෂණය සඳහා දායක වූ, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සෙවීමට විදෙස්ගත වූ කීපදෙනකු කීවේ, දැන් ඔවුන් මුදල් සොයන්නේ දරුවන්ගේ නොව මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බව ය. විදෙස්ගතව වෙහෙසී එවන ලද මුදලින් නිසි ප්‍රයෝජන නොගෙන, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන, නිසි වයසට පෙර විවාහ වී දරුවන් මල්ලන් හදාගෙන, ඔවුන්ගේ නඩත්තුව සඳහා විදෙස්ගත වූවන් විදේශයට ම තීන්දු කළ කතා ද හිඟ නැත.
විදෙස්ගත මව හෝ පියා විසින් එවන්නට යෙදුණු මුදලින් උපරිම ලෙස තම අධ්‍යාපන කටයුතු නිමවා, ජීවිතය සාර්ථක කරගත් දරුවන් පිළිබඳව කතා බොහෝ ය. මේ අතර තම මවට හෝ පියාට විදේශයකට වී තවත් දුක් නොවිඳ මව්බිමට එන ලෙස ඇවටිලි කරන දරුවෝ ද වෙති. එහෙත් මේ දෙමාපියන් කියන්නේ දරුවන්ට බරක් වීමට තමන් අකමැති බව ය. ප්‍රතිපත්තිය කෙසේ වුව ද මොවුන් ද අවශ්‍යතාව සඳහා මුදලක් ගෙදරට යවා සහන කළාප ජීවිතයට ඇබ්බැහි වූවෝ වෙති.
කුමක් සඳහා දැයි නොදැන වුව ද අව්‍යාජව අදහස් ප්‍රකාශ කරමින් මෙම සමීක්ෂණයට සහභාගී වූ සැමටම ස්තුති කරමි.
කල්ප ගුරුගේ
මිලානෝ.