කෝටා ක්‍රමයට එරෙහිව ගිනිගත් බංගලාදේශය


 
  • ප්‍රචණ්ඩත්වය පැතිරෙයි. පොලිස් ප්‍රහාර දරුණුයි. 
  • සතියක් තුළ මියගිය ගණන 197ක්. 
  • වෙඩි වැදුණු බහුතරය සරසවි සිසුන්. 
  • ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ රැකියා කෝටා ක්‍රමය වෙනස් කරයි. 

 

මේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටක් වන බංග්ලාදේශයෙන් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත් සිරස්තල කිහිපයක්. මේ වෙනවිටත් බංග්ලාදේශයේ අන්තර්ජාල සබඳතා ස්ථාපනය කොට ඇත්තේ අඩ වශයෙනි. බංග්ලාදේශ රූපවාහිනියේ සේවය කරන මා මිත්‍ර අබ්දුල්ලා එවු වට්ස්ඇප් පණිවුඩයක දැක්වුනේ විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ තම ආයතනයට දැඩි හානි සිදුව ඇති බවයි. 
 
 
මොකක්ද මේ හිටිහැටියේ හටගත් කලබැගෑනිය ? එය බංග්ලාදේශ ඉතිහාසයේ ඉතා කෙටි කලක් තුළ සිදුවූ දරුණුතම ලේ වැගිරීමට හේතුවක් වූයේ කෙසේද ? මේ පිළිබඳ විමසා බැලීමයි මේ කෙටි සටහනේ අරමුණ..
 
දකුණු ආසියානු කලාපය තුළ රාජ්‍ය ක්ෂේත්‍රයේ තීරණාත්මක කරුණක් වන්නේ රජයේ රැකියාවන්ය. ශ්‍රී ලංකාවේ සරසවි අධ්‍යාපනය නිමවා රැකියා වෙළෙඳපොළට පිවිසෙන බොහෝ තරුණ තරුණියන්ගේ අපේක්ෂාව ආණ්ඩුවේ රස්සාවක් ලබාගැනීමයි. මෙය අපට පමණක් පොදු දෙයක් නොවේ. අද ඉන්දියාවේ ආර්ථිකය ශීඝ්‍ර දියුණුවක් අත්කරගෙන තිබේ. එහෙත් තරුණ කොටස් අතර විරුකියාව බහුලය. එය ප්‍රතිශතයක් ලෙස 17.8 % කි. මෙවර අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි කිරීමට හේතු වූ වැදගත් සාධකයක් වන්නේ මේ විරැකියා සංසිද්ධියයි. ඉකුත් සඳුදා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රථම අයවැය තුළින් අපේක්ෂා කළ මූලික අරමුණක් වන්නේ විරැකියාව පිටුදැකීමේ වැඩසටහන් හඳුන්වාදීමයි. ඉන්දීය ආර්ථිකය කොතරම් ශක්තිමත් වුවද එරට බොහෝ තරුණ තරුණියෝ තවමත් රජයේ රැකියා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නේ ඒ තුළ ඇති රැකියා සුරක්ෂිත බව හා ප්‍රතිලාභ මෙන්ම සම්ප්‍රදායික වශයෙන් ආණ්ඩුවේ රැකියා සතු අභිමානයද පදනම් කරගනිමිනි. නේපාලයට, පාකිස්ථානයට හා බංග්ලාදේශයටද මේ තත්ත්වය පොදුය. 
 
බංග්ලාදේශයේ තරුණ විරැකියාව 2022 සංඛ්‍යාලේඛනවලට අනුව 12.54 % කි. වසරකදී රජයේ පුරප්පාඩු වන තනතුරු 600-700ක් සඳහා අයදුම් කරන තරුණ තරුණියන්ගේ ගණන සාමාන්‍යයෙන් ලක්ෂ 6 ඉක්මවන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. සරසවි සිසුන්ගේ මූලික ඉලක්කය ව්‍යවසායකත්වයන් හෝ බංග්ලාදේශයේ ශීඝ්‍රයෙන් දියුණු වන ඇඟළුම් කර්මාන්තයේ ඉහළ රැකියාවක් නොව, රජයේ කවර හෝ රැකියාවක් ලබාගැනීමයි. මේ නිසා බංග්ලාදේශයට ඇඟළුම් කර්මාන්තය සඳහා විදේශීය විශේෂඥ සහය ලබාගැනීමට සිදුව තිබේ. එය එක් උදාහරණයක් පමණි. 
 
රජයේ රැකියා ලබාදීමේදී කෝටා ක්‍රමයක් අනුගමනය කිරීම බංග්ලාදේශය මුල් යුගයේ සිටම අනුගමනය කළ ප්‍රතිපත්තියකි. 1971 වසරේ පාකිස්ථානයෙන් වෙන්ව නිදහස ලැබීමෙන් පසු බංග්ලාදේශයේ නායකත්වයට පත්වූ ප්‍රථම අගමැති ෂෙයික් මුජිබර් රහ්මන් හෙවත් වත්මන් අගමැතිනි ෂෙයික් හසීනාගේ පියා විසින් 1972 වසරේදී කෝටා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. මෙය වරින්වර අභියෝගයට ලක්වුවද පාලක අවාමි ලීගය මෙය පවත්වාගැනීමට දැඩි උනන්දුවක් දක්වයි. මෙම කෝටා ක්‍රමයේදී රජයේ රැකියාවලින් සියයට44ක් පළමු පන්තියේ හා දෙවැනි පන්තියේ රැකියා ලෙස වෙන්කර තිබේ. එය යොමුවන්නේ කුසලතා පදනම අනුවයි. ඉතිරි සියයට56 පහත සඳහන් ආකාරයෙන් බෙදී යයි.
 
බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ගේ දරු මුනුපුරන්ට - 30% ක්
 
කාත්තාවන්ට – 10% ක්
 
පසුගාමී දිස්ත්‍රික්කවල ජනතාව සඳහා - 10% ක්
 
සුළු ජාතිකයන් සඳහා - සියයට10 ක් 
 
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා - 1% ක් වශයෙනි.
 
 
මෙහිදී මතභේදය හටගෙන ඇත්තේ 30% ක නිදහස් සටනේ විරැ දරු මුනුපුරු කෝටාව සම්බන්ධයෙනි. එය අවාමි ලීගය තම ආධාරකරුවන්ට සැලකීම සඳහා තබාගෙන සිටින වරප්‍රසාදයක් බව විපක්ෂ කණ්ඩායම් මෙන්ම සිවිල් සංවිධාන හා සිසු සංවිධානද චෝදනා කරති. මේ නිසා වාසි ලබන්නේ පාලක පක්ෂ දේශපාලනයට සම්බන්ධ පිරිස් බව ඔවුන්ගේ චෝදනාවයි. එහෙත් අගමැතිනි ෂෙයික් හසීනා එය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඇය පවසන්නේ මෙය නිදහස් රණවිරුවන්ට කරන නින්දාවක් ලෙසයි. නිදහස් විරුවන්ට වරප්‍රසාද නොදී එදා බංග්ලාදේශ නිදහසට විරුද්ධව ක්‍රියා කළ පිරිසගේ දරු මුනුපුරන්ට වරප්‍රසාද ලබාදෙන්න දැයි අගමැතිනිය පෙරළා ප්‍රශ්න කරයි.
 
 
 
 
කෝටා ක්‍රමයට විරුද්ධව පළමු වෙඩිමුරය පත්තු වූයේ 2018 වසරේදීය. වසර කිහිපයක් පුරා පැවති     සිසු    නොසන්සුන්තාවල ප්‍රතිඵලයක් ලෙස සරසවි කේන්ද්‍ර කරගනිමින් එදා ද වර්තමානයේ මෙන්ම උද්ඝෝෂණ රැල්ලක් හටගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණය තීන්දු කළේ කෝටා ක්‍රමය නවතා දමන්නටය. මේ අනුව 2018 වසරේ සිට නිදහස් විරැ කෝටාව අත්හිටුවා තිබිණ. එහෙත් එම තීන්දුව අභියාචනාධිකරණය හමුවට ගොස් තිබිණ. එම නඩුවේ තීන්දුව ලෙස ඉකුත් ජුනි 7 වෙනිදා මහාධිකරණය තීන්දු කළේ නිදහස් විරු කෝටාව යළි ස්ථාපිත කිරීමටයි. එය අළු යට තිබූ ගිනි පුපුරු යළි පත්තු කිරීමක් බඳු විය. ජනතාව අතර යළි නොසන්සුන් තත්ත්වයක් වර්ධනය විය.  
 
විශේෂයෙන්ම සිසු ප්‍රජාව නැවතත් දැඩි සේ කම්පාවට පත්ව තිබිණ. මුලින් ආරම්භ වූ සුළු සුළු විරෝධතා පසුව රට පුරා විහිදී ගිය උද්ඝෝෂණ රැල්ලක් බවට පත්විය. එහි ප්‍රතිඵලය අප පසුගිය සතියේ දුටු මහා විනාශයයි. 

සිසු උද්ඝෝෂණ වඩාත් දරුණු මුහුණුවරක් ගත්තේ ඊට බංග්ලාදේශ විපක්ෂ කණ්ඩායම් වන බෙගම් කලිඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය හා ජමාති ඉස්ලාම් කණ්ඩායම සම්බන්ධ වීමත් සමගයි. ඒ අනුව සිසු උද්ඝෝෂණ දේශපාලන මුහුණුවරක් ගත් අතර ඉන් තමන් ක්‍රියාකාරී බව ජනතාවට ඒත්තු ගැන්වීමට විපක්ෂ කණ්ඩායම් සමත් විය. මෙතෙක් වරින් වර ඔවුන් කළ වැඩ වර්ජන හා උද්ඝෝෂණවලට වඩා සිසු විරෝධතා රැල්ලේ පාවී තම දේශපාලනික අරමුණු කරා යාමක් විපක්ෂ කණ්ඩායම් අපේක්ෂා කළ බවක් පෙනේ. කෙසේ වෙතත් රජයට උද්ඝෝෂණ මර්දනය කිරීමට මෙන්ම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමටද, මේ දේශපාලනික ආගමනය හේතු විය. රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස සිසු උද්ඝෝෂණ රැල්ල ආණ්ඩු පක්ෂය විසින් හඳුන්වනු ලැබීය. එහෙත් සිසු සංගම් මෙන්ම විපක්ෂ කණ්ඩායම්ද මෙය ප්‍රතික්ෂේප කරති. කලහකාරී හැසිරීම් සම්බන්ධයෙන් රජය විපක්ෂ ක්‍රියාකාරීන්ට චෝදනා කරයි. ඒ හරහා රජය උත්සාහ කරන්නේ පොලිසිය දියත් කළ ප්‍රහාර රැල්ලට සාධාරණ හේතුවක් එක් කිරීමට බව එරට මාධ්‍ය විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙයි. 

පොලිසියේ ප්‍රතිචාරය බෙහෙවින්ම දරුණු විය. මුලින් කඳුළුගෑස් එල්ල කළද, පසුව රබර් උණ්ඩ යොදාගනිමින් උද්ඝෝෂකයන්ට පහරදීම සිදුවිය. විශාල වශයෙන් ජීවිත හානි සහ තුවාල සිදුවීම් වාර්තා වූයේ එම රබර් උණ්ඩ ප්‍රහාරයත් සමගයි. ධකා අගනුවර රෝහල් ප්‍රකාශ කළේ තම වාට්ටු තුවාලකරැවන්ගෙන් පිරී ගිය අතර මළසිරුරු විශාල වශයෙන් මෘත ශරීරාගාර වෙත ​ෙගනා බවයි. සංඛ්‍යාත්මක වශයෙන් කොපමණ මියගියේ දැයි පැහැදිලි නැත. එහෙත් දැනට විශ්වාස කළ හැකි සංඛ්‍යාව ලෙස දැක්විය හැක්කේ බොහෝ මාධ්‍ය වාර්තාවල දක්නට ලැබෙන මරණ 197 සංඛ්‍යාවයි. ඇතැම් විට එම අගය 200 ඉක්මවිය හැකි බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් රජය පවසන්නේ, මරණ සංඛ්‍යාව නිශ්චය කළ හැක්කේ නිසි පරීක්ෂණයකින් පසුව පමණක් බවයි. 

කෙසේ වුවද සාමාන්‍ය වැසියන් සිය ගණනක් නිරායුධව සිටියදී මියගොස් තිබේ. මෙය ඕනෑම රජයකට අභියෝගයකි. බංග්ලාදේශයේ හමුදා රජයක් හෝ ඒකාධිපති පාලනයක් නොපවතින බැවින් මේ අභියෝගයට මුහුණ දීමට පාලක පක්ෂයට සිදුවේ. දරුණුම ඛේදවාචකය වෙන්නේ තමන් ආදරයෙන් කවා පොවා උස්මහත් කොට සරසවියට යැවූ දූ පුතුන් පිරිසක් දෙමාපියන්ට අහිමි වීමයි.
 

  • ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ