පාලම කැඩුණු පසු
අගෝස්තු මස 14 වැනි දින ඉතාලියේ ජෙනෝවා හි මොරන්දි පාලම (Ponte Morandi) රථ වාහන මගීන් ගමන් කරමින් තිබිය දී නොසිතූ ලෙස කඩා වැටුණි. මේ ලිපිය ලියනු ලබන මොහොත වෙන විට අනතුර සිදු වී සතියක් ගත වී තිබුණ ද අතුරුදන් වූවන් සෙවීම රෑ දහවල් තවමත් නොකඩවා සිදුවෙයි. සුන්බුන් අතර තිබී මෙතෙක් මළ සිරුරු 41 ක් සොයා ගෙන ඇත. මේ අතර විවිධ ජාතිකයන් මෙන්ම විවිධ වයස්වලට අයත් වුවෝද වෙති. මෙතෙක් සොයා ගන්නා ලද මළ සිරුරු 19 ක් වෙනුවෙන් අගෝස්තු මස 18 වැනිදා රාජ්‍ය ගෞරව සහිත අවමංගල උත්සවයක් පැවැත්වුණු අතර ඉතිරි මළ සිරුරු පවුලේ ඥාතීන් විසින් පුද්ගලිකව මිහිදන් කිරීමට භාර ගෙන ඇත.
පාලම කඩා වැටුණු මොහොතේ සිටම සියල්ලෝම කතා වෙන්නේ මේ ශෝකදායි පුවත පිළිබඳවය. ඇතැමුන් මෙයට දැනටමත් දේශපාලන මුහුණුවරක් දී හමාරය. ජාත්‍යන්තර මාධ්‍යය ද තවමත් මේ අනතුර පිළිබඳව කතා කරයි. මිනිසා එසේය. කතා බහ කිරීමට යමක් සිදුවිය යුතුමය. ගංවතුර උවදුර පිළිබඳව කතා කිරීමට ගං වතුර ගැලිය යුතුමය. නාය යාම ද එසේමය. නියඟය පිළිබඳව අලුතින් කිවිය යුතු නැත. එහෙත් යළි ටික දිනකින් මේ සියල්ල අමතකව යයි.
එකම දෙය පිළිබඳව වුවද බැලීමට විවිධ පැතිකඩවල් ඇත. මොරන්දි පාලම කඩා වැටීම පිළිබඳව මෙතෙක් බොහෝ අය බොහෝ දේ කියා ඇති බැවින් ඒ දෙස වෙනත් කෝණයකින් බැලීම හොඳය. පාලමක් යනු දෙකොණක් යා කරන පුරුකය. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා අප සැම පවුලේ මෙන්ම සමාජයේ ද සම්බන්ධීකරණ පුරුක්ය. කොටින්ම අපි සමාජයේ කිසියම් දෙකොණක් යා කරන පුරුකක් වෙමු. පාලමක් කඩා වැටීම යනු යා කෙරී තිබුණු ප්‍රදේශ දෙකක් යළි හුදකලා කිරීමකි. හුදකලා වීම භූමික අගයකට වඩා සංවේදී ආකාරයෙන් බලපාන්නේ සමාජය තුළදීමය. පවුල තුළ හෝ සමාජය තුළ හෝ යා කරන පුරුකක් බිඳී ගිය විට සම්බන්ධීකරණය යළි ප්‍රකෘතිමත් කිරීම දුෂ්කරය.
පවුලේ හෝ සමාජයේ හෝ අඛණ්ඩ බව රකින පුරුක් බිඳී යන විවිධ ආකාරයන් ඇත. එය මරණය පමණක් නොවේ. මරණය යනු අපට වැළකිය නොහැකි වෙන්වීමේ එක් ස්වරූපයක් පමණකි. විකල්ප සෙවිය යුත්තේ පුරුක් බිඳී යාමට පෙරය. බිඳී ගිය පසු නොවේ.
මොරන්දී පාලම කඩා වැටුණු පසුව ඒ අවට ප්‍රදේශය අනතුරුදායක බව ප්‍රකාශ කරමින් ප්‍රදේශවාසීන් දැනට ඉවත් කර ඇත. රජය විසින් මේ අයට නවාතැන් පහසුකම් සලසා ඇතුව ද තම නිවසින් දුරස් වීම අවතැන් වීමකි. ජනශූන්‍ය ප්‍රදේශය තුළ දැනටමත් සොරුන්ය. මේ සියල්ල පුරුකක් බිඳී යෑමේ අනිසි ප්‍රතිඵලයන්ය. මේ සියල්ල පවුලේ හෝ සමාජයේ හෝ පුරුකක් බිඳී යෑම සමඟ යසට ගලපා ගත හැකිය.
පාලම කැඩුණු පසුව ගමනාන්තය දක්වා යෑමට වෙනත් මාර්ග පහසුකම් සැලසුවද පාර දිගය. ඒ පාලම මතින් ගිය ගමන නොවේ. වාහන තදබදය වැඩිය. යළි දෙකොණ යා කෙරෙන තුරු අපහසුකම් බොහෝය. එහෙත් කාලයත් සමඟම මෙම අපහසුකම්වලට පුරුදු වීමට මිනිසා සමත්ය. පවත්නා වාතාවරණයට හුරුවීම සත්වයාගේ සිරිතය. එහෙත් ගැලවී ගිය සම්බන්ධීකරණ පුරුකක අඩුව කිසිදා මකාලිය නොහැක.
අනෝමා ගමලත්
රෝමය - ඉතාලිය.