ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්


චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමුවේ අනුගමනය කළේ, ප්‍රහාරක පිළිවෙතක් නොව ආරක්ෂාවීමේ පිළිවෙතකි. එහෙත් වත්මන් වෙළෙඳ යුද්ධයට මුහුණ දීමට, ජනාධිපති ෂී ජින් පිං ගේ නායකත්වයෙන් චීනය බොහෝ HOME WORK කර ඇති බවක් පෙනේ. මූලිකම ලක්ෂණය, චීනය ට්‍රම්ප්ගේ බදු ප්‍රහාරවලට බියක් නොදැක්වීමයි. දෙවැන්න එකටෙක කිරීමට පෙළඹීමයි. ට්‍රම්ප් චීන නිෂ්පාදන සඳහා තීරු බදු අවස්ථා කිහිපයකදී ඉහළ නැංවීය. මුලින් 20%ක් දෙවැනුව 57%ක් අනතුරුව 120%ක් 145%ක් හා 245% ක් වශයෙනි. 

චීනය ඇමෙරිකානු නිෂ්පාදන ආනයනය මත ක්‍රියාත්මක ප්‍රති බදු 125% දක්වා ඉහළ නංවා ට්‍රම්ප්ට සරදමක්ද කර තිබේ. චීන වෙළෙඳ අමාත්‍යංශය ඉකුත්දා ප්‍රකාශ කළේ,  ට්‍රම්ප් “තීරුබදු සංකල්පය” විහිළුවක් බවට පත්කර ඇති බවයි. දෙවැනුව, ඉකුත් බ්‍රහස්පතින්දා චීන රජය සඳහන් කළේ, ට්‍රම්ප්ගේ බදු ඉලක්කම් සෙල්ලමට තවදුරටත් තමන් සම්බන්ධ නොවන බවකි.  ඒ වෙනුවට, චීන පාර්ශ්වය විකල්ප ක්‍රමවේද කරා යොමුවී තිබේ.  එම ක්‍රියාමාර්ග රාජ්‍යතාන්ත්‍රික, වෙළෙඳ හා ප්‍රචාරාත්මක වශයෙන් කොටස් කිහිපයකට වෙන් කළ හැක.  

චීනය හැරුණු කොට, ලොව බොහෝ ප්‍රබල රටවල් දැන් ඇමෙරිකාව සළකන්නේ තම පොදු සතුරා ලෙසයි. ඇතැම් රාජ්‍යයන් ඇමෙරිකාව සමග තානාපති සබඳතා අත්හැරීම ගැන පවා සාකච්ඡා කරමින් සිටී. මෙය අනිවාර්යයෙන්ම ඇමෙරිකාව ලෝකයේ අංක එකේ බලවතා ලෙසට පවත්වාගෙන යන භූමිකාවට අභියෝගයකි. බටහිර බළකඳවුරේ නායකත්වය ඇමෙරිකාව වෙතින් යුරෝපයට සංක්‍රමණය වෙන බවක් දක්නට ලැබේ. අද වෙනවිට බටහිර බලවතුන් අතර සංධානගතවීම යුරෝපා සංගමය කේන්ද්‍ර කර ගනිමින් සිදුවෙන බවක් පෙන්නුම් කරන අතර කැනඩාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය ආදී රටවල් ක්‍රමයෙන් ඇමෙරිකාවෙන් ඈත් වී යුරෝපයට ළංවෙන බවක් පෙන්නුම් කරයි.  

ට්‍රම්ප් ආගමනය මෙතෙක් ගෝලීය බල කේන්ද්‍රයේ පැවති ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරකට යොමු කරන බවක් පෙනේ. ඊට ප්‍රධාන හේතුව, ට්‍රම්ප් ඇමෙරිකාවේ අභ්‍යන්තරය පමණක් ඉලක්ක කරගනිමින්, ඔහුට වඩාත් සමීප වෙළෙඳ ලෝකය හරහා ඇමෙරිකාව තවදුරටත් ධනවත් කරලීමේ ඉලක්කයක් සපුරාගැනීමට කර ඇති සැළසුම යැයි පැහැදිළි වේ. මෙය ට්‍රම්ප් බලයට පත්වීමට කලකට පෙර සිටම ඔහුගේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ බළකදවුර තුළ අඳිනු ලැබූ සැළැස්මකි. ඒ ගැන කිසිදු සැකයක් නොවන්නේය. රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වඩා ට්‍රම්ප්ගේ රජය තුළ ලොකු බලයක් ගැබ්ව ඇත්තේ ව්‍යාපාරිකයන්ටයි. මේ කෝටිපති මුදලාලිලා හා අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරින් නිරන්තරයෙන් වෙළෙඳ හා දැඩිමතධාරි උපායමාර්ගයන් කෙරෙහි අවධානය යොමු කරනවා විනා, ගෝලීය වශයෙන් ඇමෙරිකාවේ බලතුලනාත්මක කේන්ද්‍රය කෙරෙහි අවධානයක් යොමුකරන්නේද  යන්න ගැන ලොව පුරා ප්‍රශ්න කරනු ලබන කුකුසට ලක්වූ කාරණයකි. 

අනෙක, ට්‍රම්ප් බදු ප්‍රහාරය තුළ, චීනයට ලොව දෙවැනි ආර්ථික බලවතා හා ආසියානු කලාපයේ ප්‍රධාන බල කේන්ද්‍රය ලෙස මෙතෙක් රඟපෑ නිහඬ භූමිකාව අතහැර, තම සැබෑ ස්වරූපය  පෙන්වා දීමේ අවස්ථාවක් ලැබී ඇතැයි යන්න ගෝලීය විද්වත් මණ්ඩලවල සාකච්ඡාවට ලක්වෙන කරුණකි. එහෙත් එය නියමිත කාලයට පෙර උදාවූ අවස්ථාවක්ද යන්න ගැන පවා සාකච්ඡාවට ලක්වේ. ඒ මන්ද,  වෙළෙඳ යුද්ධය නිසා චීනයට ද  ඉතා බරපතළ හානියක් සිදුවීමේ ප්‍රවණතාවයි. 

2017-2018 වකවානුවේ පැවති ට්‍රම්ප් - චීන පළමු වෙළෙඳ යුද්ධය හා 2019 සිට පැවති කොවිඩ් 19 වසංගතය චීනයේ ආර්ථික වර්ධන වේගය අඩාළ කිරීමට හේතු වූ බව නොරහසකි. 2017 සිට  චීන ආර්ථික වර්ධන වේගය 7-6% අතර විචලනය වූ අතර, කොවිඩ් වසංගතයෙන් පසු එම අගය 5-4% මට්ටමේ දෝලනය වෙයි. ඉකුත් වසරේ 5% ක් වූ එම අගය මේ වර්ෂයේ 4.6% ලෙස පුරෝකථනය කර තිබුණද වෙළෙඳ යුද්ධය නිසා එම අගය කුමන මට්ටමක පවතිනු ඇත්ද යන්න ප්‍රශ්නයකි. චීනය,  ට්‍රම්ප් 2.0 යුගය එළැඹීමට පෙර සිටම මේ අවදානම සැළකිල්ලට ගෙන තිබූ අතර, වෙළෙඳ යුද්ධය මෙතරම් බලවත් වේද යන්න ඔවුන් උපකල්පනය කර තිබුණාද යන්න ප්‍රශ්නයකි. කෙසේ වෙතත්, චීනය දැන් ඇමෙරිකානු වෙළෙඳ අධිකාරියට එරෙහිව සටන් වැදීම අරඹා තිබේ. ඒ අතරින් ගෝලීය වශයෙන් ඉකුත් සතියේ වඩාත් අවධානයට ලක්වූයේ චීනය දියත් කළ සමාජ මාධ්‍ය මෙහෙයුමයි.. 

TIK TOK මෙහෙයුම

ශ්‍රී ලංකාව හා ආසියානු රටවල් කිහිපයක ජනයා, නව අවුරුදු උදාව සමරමින් විවේකීව ගතකළ ඉකුත් සතියේ සඳුදා වෙනවිට චීනය සුවිශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කරන බවක් පෙන්නුම කළේය. එය වාණිජ කටයුතු සඳහා වඩාත් ප්‍රකට TIK TOK  සමාජ මාධ්‍ය ජාලය යොදාගත් මෙහෙයුමක් බවට පත්ව තිබිණ. චීනයේ ‘බයිට්ඩාන්ස්’ නම් සමාගම විසින් මෙහෙයවනු ලබන TIK TOK  සමාජ මාධ්‍ය ජාලය, ජෝ  බයිඩන් ජනාධිපතිවරයාගේ සමයේදී ඇමෙරිකාව තුළ තහනම් කිරීමට පියවර ගත්තද, ට්‍රම්ප් බලයට පැමීණි පසු එම තහනම අත්හිටුවීමට පියවර ගත්තේ ඇමෙරිකානු වෙළෙඳ ප්‍රජාවට ඉන් අත්වෙන අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමිනි. එහෙත් චීනය දැන් එම TIK TOK  සමාජ මාධ්‍ය ජාලයම ට්‍රම්ප්ගේ බදු වැඩපිළිවෙලට එරෙහිව ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය ලෙස යොදාගනු දක්නට හැක. TIK TOK   ජාලය ඉකුත් 14 වැනි සඳුදා සිටම චීන වෙළෙන්දන්ගේ පණිවුඩවලින් පිරී යන්නට විය. ඒ චීනයේ නිෂ්පාදනය කරන බටහිර ජනප්‍රිය සන්නාමයන් සහිත වෙළෙඳ භාණ්ඩ ඇමෙරිකානු වෙළෙඳපොළට වඩා බෙහෙවින් අඩු මුදලකට අමෙරිකානු පාරිභෝගිකයන්ට ලබාදීමට තමන්ට හැකියාව ඇති බව චීන නිෂ්පාදකයන්ගේ හා වෙළෙඳුන්ගේ පණිවුඩ තුළ ගැබ්වූ ප්‍රධානතම අදහස විය.  

ඉන් ඔවුන් ඇමෙරිකාවට පමණක් නොව ඇමෙරිකානු සමාගම් හා ආනයනකරුවන්ට ද අභියෝග කරන බවක් දක්නට ලැබිණ. TIK TOK ජාලයේ ඇතුළත් බොහෝ වීඩියෝවල දැක්වුණේ, ඇමෙරිකානු සන්නාම සහිත භාණ්ඩ බොහොමයක් චීනයේ නිෂ්පාදනය කරන බවයි.   වෙළෙඳුන් කියා සිටියේ එම නිෂ්පාදනවල ‘නම’ අමෙරිකානු වුවත් සියලු වැඩ තමන්ගේ බවයි.  ඒවා නිෂ්පාදනය කරන තාක්ෂණය, ඒවායේ මෝස්තර සැකැස්ම හා ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය තමන් සතු බව චීන වෙළෙන්දෝ කියා සිටියහ.  එතැන් සිට TIK TOK  ජාලය පත්වූයේ චීන වෙළෙඳ ප්‍රචාරණ මාධ්‍යයක් බවටයි. ඇතැම් වෙළෙන්දෝ ඇමෙරිකානු ජනතාවට ලංසු ඉදිරිපත් කළහ. වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 38000 කට අලෙවිවෙන ඉහළ සන්නාමයක් සහිත මෝස්තර නිර්මාණ ගණයේ කාන්තා අත්බෑග්, එම සන්නාමය පමණක්  නොමැතිව අනෙක් සියලු සමානකම් හා “ඔරිජිනල්” තත්ත්වය ආරක්ෂා කරගනිමින් හා ඊට අවශ්‍ය සහතිකයක් ලබාදෙමින් ඩොලර් 1400ක් වැනි මුදලකට ලබාදීමට තමන්ට හැකි බව චීන නිෂ්පාදකයෝ කියා සිටියහ. මේ නිෂ්පාදන “MADE IN USA”‍ ලෙස සටහන් කර ඇති ඇමෙරිකානු නිෂ්පාදන සැබැවින්ම “MADE IN CHINA ”‍ බව නිෂ්පාදකයෝ කියා සිටියහ. 

මෙතෙක් කල් ඇමෙරිකානු පාරිභෝගිකයන් ඉතා ඉහළ මිල ගණන් ගෙවා ඇත්තේ සන්නාමයට මිස ඒවායේ නිෂ්පාදනය පදනම් කරගනිමින් නොවන බව චීන නිෂ්පාදකයෝ කියා සිටියහ. මෙය ඇමෙරිකානු පාරිභෝගිකයන්ගේ ඇස් අරවන්නක් විය හැකි බවට මතයක් පළවෙන්නට විය. චීන  TIK TOK  මෙහෙයුමේ සාර්ථකභාවය කෙතරම් දැයි කිව නොහැකි මුත්, සත්‍ය වශයෙන්ම එය ඇමෙරිකානු මුල්පෙළේ සමාගම් වලට හා සන්නාමයන්ට එල්ල කළ මරු පහරකි. මේ අනුව ඔවුන්ට තවදුරටත් චීනයේ සිට තම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකළ හැකිද යන්න ප්‍රශ්නයකි. 

මේ අභියෝගය ඇමෙරිකානු සමාගම් හමුවේ පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා 2017 මුල් වෙළෙඳ යුද්ධය පැවති සමයේ සිටම සඳහන් කරන කරුණකි. ලාබ ශ්‍රමය සොයා ගෝලීය ආයෝජන කරා යොමුවුණු ඇමෙරිකානු බහුජාතික සමාගම්, ආපසු ඇමෙරිකාව වෙත පැමිණ තම නිෂ්පාදන ක්‍රියාවලිය ඇමෙරිකානු භුමියේ සිටම ක්‍රියාත්මක කිරීමේ වාතාවරණයක් සකස් කරගන්නා ලෙස ට්‍රම්ප් පුන පුනා ඇමෙරිකානු ආයෝජකයන්ට හා දැවැන්ත සන්නාම සහිත සමාගම්වලට කියා සිටින්නකි. මීට දෙසතියකට පෙර පවා, ට්‍රම්ප් ඇමෙරිකානු සමාගම්වලින් ඉල්ලා සිටියේ චීනය හා වියට්නාමය වැනි ආසියාතික රටවල ස්ථාපනය කර ඇති තම නිෂ්පාදනාගාර ඇමෙරිකාවට රැගෙන එන ලෙසයි. මෙතුළින් ඇමෙරිකානු ජනතාවට වාසි සැලසීම හා රැකියා අවස්ථා බහුලවීම යන සාධක කෙරෙහි ට්‍රම්ප්ගේ අවධානය යොමුවෙන බව පැහැදිළිය. 

එහෙත් ඇමෙරිකානු ආයෝජකයන් හා නිෂ්පාදන දැවැන්තයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වෙන්නේ, ආසියාතික රටවල ඔවුන්ගේ ආයෝජන ක්‍රියාවලියට නිසි පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ආසියාතික රටවල දී මෙන්ම වත්මන් ඇමෙරිකාවේ පවතින්නේ ද යන්නයි. අනෙක් අතට,  ඇමෙරිකානු ක්‍රමය තුළ ඇති දැඩි කම්කරු රෙගුලාසි හා නීති රීති මේ මහා ආසියානු නිෂ්පාදනාගාරය තුළ නොමැති බව නොරහසකි. ඒ නිසා ආසියාවේ දී ව්‍යාපාර හා නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවූ ආකාරයෙන් ඇමෙරිකාවේ එය කළ හැකිද හා ආසියාවේ දී එම රටවල් ලබාගත් ලාභය වත්මන් ක්‍රියාවලියෙන් අත්පත් කරගත හැකිවේද යන්න ගැන පවතින්නේ බරපතළ ප්‍රශ්නාර්ථයකි. එම ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ද කෙටිකාලීන ක්‍රියාවලියක් නොවන බව පැහැදිලිය. 

බදු යුද්ධයේ සැබෑ තත්ත්වය

අන්තර්ජාතික වෙළෙඳාමේ දී අධික බදු යන්න “ඉතා බරපතළ අසාර්ථක” ක්‍රමවේදයකි. ගෝලීය නිදහස් වෙළෙඳ සංකල්ප බිහිවෙන්නේද අධික බදු ආදියෙන් පීඩිතව තිබූ ලෝක වෙළෙඳ රටාව ආරක්ෂා කරගැනීමටයි. මේ නිසා ට්‍රම්ප් බදු ක්‍රියාවලිය ද දිගුකාලීන පියවරක් නොවේ යන්න ඉතා පැහැදිළිව සඳහන් කළ හැක. ට්‍රම්ප්ගේ ඒකායන පරමාර්ථය නම්, ඩොලර් ට්‍රිලියන 1.2ක් වෙන ඇමෙරිකාවේ අවාසිදායක වාර්ෂික වෙළෙඳ පරතරය අඩුකර ගැනීමයි. අන්තර්ජාතික වෙළෙඳාමේ දී ඇමෙරිකාව ලබන පාඩුව යම් තාක් දුරකට හෝ සමනය කර ගැනීම ට්‍රම්ප් බලයට පත්වූ දා සිට සිදුකරන දේශන, සාකච්ඡා හා මාධ්‍ය වැඩසටහන් වලදී පෙන්වා දුන් කරුණකි.  දැනට ගෝලිය ආර්ථික විද්වතුන්ගේ අදහස නම්, බදු යන්න ට්‍රම්ප් කතාකරන්නට යොදාගන්නා භාෂාව බවයි. ඒ හරහා ලැබෙන පණිවුඩය අවබෝධ කර ගැනීම ග්‍රාහකයාගේ කාර්ය භාරයකි. ට්‍රම්ප් සාමුහික වශයෙන් විදේශ රටවල් සඳහා සාකච්ඡා මේසය විවෘත කරන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇතුළු රටවල් 75 කට අධික සංඛ්‍යාවක් මේ සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට සූදානමින් පසුවෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හා සෙසු රටවලටද දන්වා ඇත්තේ තම සාකච්ඡා මේසය විවෘතව පවතින බවකි. 

ට්‍රම්ප් මේ පිළිබඳව කතා කිරීමේ දී සඳහන් කරන මූලික කාරණයක් නම් තමන් සියලු‍ දෙනාට සවන්දීමට විවෘත බවයි. කෙසේ වෙතත් වෙළෙඳ යුද්ධයෙන් වෙන බලපෑම ඇමෙරිකානු අභ්‍යන්තරයට ද ඉතා තදින් දැනෙමින් පවතින නිසා එක රැයින් ගැටුමකට එළැඹි රටවල් සමග සංධානයකට එළැඹීම පහසු කරුණක් නොවෙනු ඇත. මේ වෙනවිට ට්‍රම්ප් බද්දට එරෙහි පළමු නඩුව ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණය හමුවේ ගොනු කොට තිබේ.  චීනය යුරෝපය හා කැනඩාව වැනි රටවල් ඇමෙරිකාව මහහැර වෙළෙඳ වාසිය තහවුරු කරගත හැකි මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං ඉකුත් සතියේ තම අසල්වැසි රටක් වන වියට්නාමයේ චාරිකා කළේය. එහිදී වියට්නාම නායකයන් හා චීන ජනපති අතර පැවති සාකච්ඡාවල මූලික මාතෘකාවක් වී ඇත්තේ ට්‍රම්ප් බද්දයි. මේ වෙනවිට ආසියානු කලාපයේ එකිනෙකාට එරෙහි පසමිතුරන් පවා තම තමන් අතර වෙළෙඳාම වැඩිකිරීම ගැන සාකච්ඡා පවත්වන බව පෙනේ. 

අප දකුණු ආසියානු කලාපයේ ට්‍රම්ප් බද්දෙන් වැඩිපුර අභියෝගයට ලක්වෙන රටවල ඒකායන අපෙක්ෂාව වෙන්නේ, තම තමන් මුහුණ දී ඇති විවිධ ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න හමුවේ, ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන්, පනවා ඇති ට්‍රම්ප් බද්ද කෙසේ හෝ සමථයක් මගින් ඉවත් කරවා ගැනීම හෝ ලිහිල් කරවා ගැනීමයි. ඒ තුළින් තම දේශීය ආර්ථික අභිලාෂයන් හා ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කරවීමයි. ඉන්දියාව ඇතුළු රටවල් දැන් පෙළගැසී ඇත්තේ එම ඉලක්කය සපුරා ගැනීමටයි. 

මුලින් සඳහන් කළ පරිදි, ට්‍රම්ප් බද්ද තාවකාලික විය හැක. එහෙත් කෙටිකාලීනව හෝ ඉන් ලැබෙන අහිතකර බලපෑම දරාගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අභියෝගයකි. උදාහරණ වශයෙන්, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදෙමින් පවතින මොහොතක පැනවූ ට්‍රම්ප් බද්ද, මෙරට ඇඟලු‍ම් හා නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට හා ඒ ආශ්‍රිත රැකියාවලට එල්ල කරන්නේ අහිතකර බලපෑමකි. බංග්ලාදේශය ද මුහුණ දී ඇත්තේ එවැනිම වාතාවරණයකටයි. පාකිස්ථානයද පවතින්නේ අයි එම් එෆ් මූල්‍ය පහසුකමක ආධාරයෙනි. මේ නිසා ට්‍රම්ප් බදු අර්බුදය ඉක්මනින් සමථයකට පත්නොවන්නේ නම් ලෝකය තුළ නව අර්බුද ගණනාවක් සඳහා එය මූල බීජය වීමේ අවදානමක් ඇත.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ