භූමිදානයේ වැඩ ලහිලහියේ කළ බවට ලකුණු
ලියා හමාර නොකළ ඉතිහාස කතා අතර ටූටන්කාමන්ගේ කතාව ද එකකි. ඔහු දීර්ග කාලීනව ජීවත් වෙන්නේ මියගිය පසුවය. ටූටන්කාමන්ගේ සොහොන් ගැබ, එහි තැන්පත් කර තිබුණු විවිධ භාණ්ඩ පමණක් නොව ඔහුගේ මමිය පිළිබඳව ද නොකඩවා කරනු ලබන පර්යේෂණ මඟින් විටින්විට අලුත් තොරතුරු හෙළිවේ. මීට වසර තුන්දහසකට පමණ පෙර වයස අවුරුදු දහඅටේදී මියගිය මේ ලාබාල පාරාවෝ පිළිබඳව, දැනට පවතින ඉහළම තාක්ෂණය උපයෝගී කරගනිමින් මෑතකදී කරන ලද පර්ෙය්ෂණයකින් හෙළිවුණු අලුත්ම තොරතුරු කීපයකි මේ.
ටූටන්කාමන් මැලේරියාවෙන් මියගිය බව තීරණය වූයේ ඔහුගේ මමිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමේදී එහි තිබී සොයා ගන්නා ලද මැලේරියා විශබීජ හේතුවෙන්ය. ටූටන්කාමන්ගේ අස්ථි බිඳීගිය පාදයක් ආශ්‍රිතව සුව නොවූ තුවාලයක් පිළිබඳ සලකුණු ද සොයාගෙන තිබුණි. එබැවින් මෙතෙක් තීරණය වී තිබුණේ කකුලේ අස්ථි බිඳීයාමෙන් සුව නොවූ තුවාලයකින් ටූටන්කාමන් පීඩා විඳිමින් සිටියදී, මැලේරියාව වැළඳීමෙන් මියයන්නට ඇති බවය.
ටූටන්කාමන්ගේ මමිය පිළිබඳව ඉහළම නව තාක්ෂණය යොදාගනිමින් මෑතකදී කරන ලද පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත්තේ එම මමියේ වම්පස ඉළ ඇට කීපයක් අඩු බවය. එම ඉළ ඇටවලින් ආරක්ෂාව සපයන හදවත ද ටූටන්කාමන්ගේ මමිය තුළ දක්නට නැත. මෙතෙක් සොයාගෙන ඇති පාරාවෝවරුන්ගේ මමියන්ගෙන් හදවත නොතිබුණු එකම මමිය ටූටන්කාමන්ගේ මමිය ලෙස පිළිගැනේ. එවකට මිසර ශිෂ්ටාචාරය අනුව පරලොවේදී විවිධ කාරණා සඳහා තිබිය යුතුම අවයවයක් ලෙස සලකා මෘතශරීර මමිකරණය කිරීමේදී හදවත ඉවත් නොකිරීමේ සම්ප්‍රදායක් අනුගමනය කර තිබුණි. ටූටන්කාමන්ගේ දණහිස ආසන්නයේ ද තුවාලයක සළකුණු ඇති අතර, වම් පස ගාත්‍රා ප්‍රදේශයේ අස්ථිය ද බිඳී ඇත. මේ පිළිබඳව දීර්ග ලෙස කර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ටූටන්කාමන් කිසියම් අනතුරකින් සිදු වූ ඉළ ඇට බිඳීයාමෙන් හදවතට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මියයන්නට ඇති බවය. මෙම තුවාල සිදුවෙන්නට ඇති ආකාරය පිළිබඳව අධ්‍යයනය ද උක්ත පර්යේෂණයේම කොටසක්ව තිබුණි.
මිසරයේ ලක්සෝර් මිටියාවතේ දෙවොලේ ඇති කැටයම් අතර ටූටන්කාමන් අසුන් විසින් අදිනු ලබන රෝද දෙකක් සහිත විවෘත්ත යුද කරත්තයක නැගී දුණුදිය ඇද සිටින කැටයමක් ද වේ. මේ අනුව එවකට මිසරය තම සතුරන් සමග කරන ලද සටන්වලට තම හමුදාව සමග ගැටවර ටූටන්කාමන් ද සහභාගි වූ බව පිළිගැනීමට සිදුවී ඇත. ටූටන්කාමන්ගේ අස්ථි බිඳී ඇති ආකාරය සහ මෙම කැටයම පිළිබඳව දීර්ග ලෙස අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසන්නේ සටන් බිමේදී තම යුද කරත්තයෙන් වැටුණු ටූටන්කාමන්, එම රථයේම රෝදයකට යටවී වම්පස ඉළ ඇට කීපයක් බිඳී හදවතට බරපතළ තුවාල සිදු වී මියයන්නට ඇති බවය.
මිසර පාරාවෝවරුන්ගේ මිටියාවතේ මෙතෙක් සොයාගෙන ඇති සොහොන් කුටි සමග සසඳා බැලීමේදී ටූටන්කාමන්ගේ සොහොන් කුටිය කුඩාම සොහොන් කුටිය බව පැහැදිළිය. එය ඉතා කුඩා කාමර හතරකින් පමණක් සමන්විත වූවකි. ආදාහනාගාරය දිගින් සහ පළලින් අඩුය. අවසානයේ ටූටන්කාමන්ගේ මමිය සතපා තිබුණු රනින් කළ මංජුසාව (මිනී පෙට්ටිය) බහා තිබුණු එකක් තුළ එකක් වෙන සේ සකසා තිබුණු ශෛලමය සහ රන්මුවා දැවැන්ත පෙට්ටි ආදාහනාගාර තුළට ගැනීම සඳහා එහි බිත්තියක් කඩා ඇති බවට ද සළකුණු ඇත. ආදාහනාගාරයට යාබදව ඇති අනෙකුත් කුඩා කාමරවල පාරාවෝට පරලොවදී පාවිච්චිය සඳහා අවශ්‍ය දෑ තැන්පත් කිරීමේදී ද එහි ඉඩකඩ අඩු බැවින්, වෙනත් සොහොන් කුටිවල මෙන් එම භාණ්ඩ පිළිවෙළකට ඇසිරීම වෙනුවට අපිළිවෙළට ගොඩගසා තිබුණි. මේ කරුණුවලින් හෙළිවී ඇත්තේ ප්‍රභූවරයකු වෙනුවෙන් කලින් සූදානම් කර තිබුණු කුඩා සොහොන් කුටියක් ටූටන්කාමන් ආදාහනය සඳහා හදිසියේ යොදාගෙන ඇති බවය.
ටූටන්කාමන්ගේ මමිය තැන්පත් කර තිබුණු මංජුසාව ද ඔහුගේ උසට සරිලන මංජුසාවක්ව නොතිබුණකි. අවසන් මොහොතේ කුඩා මංජුසාවකට අමතර කෑල්ලක් පිරිවද්දා ටූටන්කාමන්ගේ උසට ගැලපෙන පරිදි එය සකස් කළ බවට සළකුණු ඇත.
ටූටන්කාමන්ගේ මමියට පළඳා තිබුණු සුප්‍රසිද්ධ රන්මුවා වෙස්මුහුණ පිළිබඳව කරන ලද දීර්ග පර්යේෂණයන්ගෙන් නව කරුණු රැසක් හෙළිවී ඇත. මෙම රන්මුවා වෙස්මුහුණ දෙස පිටතින් බැලූ පමණින්ම එහි කන්පෙතිවල සිදුරු ඇති බව පෙනේ. මිසර ශිෂ්ටාචාරයේ කරාඹු පැළඳුවේ කුඩා දරුවන් සහ කාන්තාවන් පමණි. වැඩිහිටි පිරිමි පක්ෂය කරාඹු පැළඳුවේ නැත. වළලු මාල පැළඳුව ද කර්ණාභරණ පැළඳූ පාරාවෝ කෙනෙකුන් පිළිබඳව මෙතෙක් කිසිම සාක්ෂියක් ලැබී නැත. මේ නිසාම ටූටන්කාමන්ගේ මමියට පළඳවා තිබුණු රන්මුවා වෙස්මුහුණ කාන්තාවක් සඳහා කලින් පිළියෙල කර තිබුණක් ලෙස පිළිගැනේ.
ටූටන්කාමන්ගේ වෙස්මුහුණේ ඇතුල්පැත්ත පරීක්ෂා කර බලනවිට වෙස්මුහුණේ හිස් පළඳනා කොටසින් මුහුණ ආවරණ කොටස පසු අවස්ථාවක ඉවත් කර, එය මදක් ලොකු කර ඇණ දමා යළි පිරිවද්දා ඇති බවට සළකුණු ඇත. මෙම වෙස්මුහුණ ද පෙර අවස්ථාවක කාන්තාවක් සඳහා පිළියෙල කර තිබුණු කුඩා වෙස්මුහුණක් අවසන් මොහොතේ ටූටන්කාමන් වෙනුවෙන් අලුත්වැඩියා කර ගත්තකි.
ටූටන්කාමන්ගේ සිරුර තැන්පත් කර තිබූ අයුරු
සොහොන් කුටිය තුළ අපිළිවෙළට දමා තිබූ ටූටන්කාමන් පරිහරණය කළ භාණ්ඩ
ටූටන්කාමන්ගේ මමිකරණය කර ඇති මෘතදේහය දැවී ගිය ආකාරයෙන් තද කළු පැහැයක් ගෙන ඇත. මේ පිළිබඳව කර ඇති පර්යේෂණ වාර්තාවේ මෙසේ සඳහන්ය. ඉවත් කළ යුතු අවයව ඉවත්කර බෙහෙත් ගල්වන මෘතදේහය හණ තෙල්වලින් පොඟවා හොඳින් වියළා ගත් වෙලුම්පටිවලින් වෙලීම මමිකරණයේ මුල්ම පියවරවලින් එකකි. ඉන්පසුව එය නැවත නැවත පිරිසිදු වෙලුම්පටි ස්ථර කීපයක් වෙන සේ වෙලනු ලබයි. මුහුණු ආවරණ සහ වෙනත් ආභරණ පළඳවා මුල්ම මංජුසාව තුළ තැන්පත් කෙරෙන්නේ ඉන්පසුවය. එහෙත් ටූටන්කාමන්ගේ මමිය වෙලීම සඳහා යොදාගෙන ඇති හණ තෙලින් පොඟවාගත් වෙලුම් පටි හොඳින් වියළී යාමට පෙර, මමිය වෙලීම සඳහා යොදාගෙන ඇත. නොවේලුණු හණ තෙල් මංජුසා කීපයක් තුළදී වාතයට අනාවරණය නොවීමෙන් සිදු වූ රසායනික විපර්යාසයකට අනුව නිපදවූණු අධික තාපය, ටූටන්කාමන්ගේ දේහය පිළිස්සී යාමට හේතුවී ඇත.
නව පර්යේෂණයන්ට අනුව ටූටන්කාමන් මියගොස් ඇත්තේ සටන් බිමේදී සිදු වූ හදිසි අනතුරකින්ය. ඔහුගේ මෘතදේහය මමිකරණයේදී සැලකිලිමත්ව එය කර නැත. මමිය බහාලූ මංජුසාව, සොහොන් කුටිය මෙන්ම ටූටන්කාමන්ගේ වෙස්මුහුණ ද වෙනත් අය වෙනුවෙන් කලින් සූදානම් කර තිබුණු දේය. එහෙත් පර්යේෂණ වාර්තාවක් නිකුත් වූ පමණින් එහි අඩංගු කාරණා අනුව ඉතිහාසය වෙනස්වෙන්නේ නැත. එම මතයන් තවත් විමසා බලා සම්මුතියකට පැමිණි පසුව පමණක් ඒ අනුව ඉතිහාසය වෙනස් කෙරේ. එතෙක් මේ සියල්ල තවත් එක් මතයක් පමණි.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය