තාත්තා


කෙටි කතාව

 

 

අද මගේ 27 වැනි උපන් දිනේ. කේක් ගෙඩිය කපලා තාත්තා මට කේක් කෑල්ලක් කැව්වේ 28 වැනි උපන් දිනේට වෙන කෙනෙක් කේක් කවයිදෝ කියන හැඟීම යටිහිතේ හංගාගෙන වාගෙයි කියලා මට හිතුණා. මල්ලිගෙයි, මගෙයි උපන් දිනයට කේක් ගෙඩියක් අරන් දෙන්න තාත්තා කවදාවත් අමතක කළේ නැහැ. 

 
තාත්තා කියන්නේ අපට ජීවමාන දෙවි කෙනෙක්. අපේ අම්මා නැති වුණත් මව් සෙනෙහස ලැබුණෙත් අපට තාත්තාගෙන්. මල්ලියි, මායි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කෙරුවා. මව් කිරි බිව්වට, මව් කිරි සුවඳ දැනුනේ තාත්තා තුළින්. තාත්තාගේ ලේ කිරට නොහැරණු එකයි පුදුමේ.   
තාත්තා, තරුණ වියේ සිටම ජීවිතේ අමාරුවෙන් ගැටගහ ගත්තු කෙනෙක්. සාමාන්‍ය පවුලක රජයේ මධ්‍යම පංති ලිපිකරුවෙක්. තම සොහොයුරියන් දෙදෙනාටත් උදව් කරමින් ලැබෙන ආදායමෙන් යම් සුළු මුදලක් ඉතුරු කර ගන්නත් අමතක කරලා තිබුණේ නෑ. හරියට කුරුල්ලෝ බිත්තර දාන්න කූඩු හදනවා වාගේ.... ටජ් මහලක් නොවුණට පුංචි ගේ කෑල්ලක් අටවගෙන විවාහ යෝජනාවකින් කර කාර බැඳගන්න ඇත්තේ දහසක් බලාපොරොත්තු හද බැඳගෙන වෙන්නැති. නමුත් අද ඒ හැමදේම හීනයක් වෙලා.   
මම වැඩිවිය පැමිණුන වෙලාවේ අම්මා කෙනෙකුගෙන් විය යුතු යුතුකම් ඉටු කළෙත් තාත්තා. ඒ ශරීරේ පුරාවට දිව්වේ මවකගේ සෙනෙහස. එදා මට ජීවිතේ මේ තරම් අවබෝධයක් නොතිබුණාට අද මට තේරෙනවා! දැනෙනවා! මතෙකට එනවා!   


අම්මා අපිව දාලා යනකොට මට අවුරුදු 06යි. මම පළවෙනි පංතියේ. මල්ලි මොන්ටිසෝරි. තාත්තා පුහු ආටෝපයෙන් තොර සාධාරණව ජීවත් වුණු කෙනෙක්. මල්ලියි, මායි මේ ලෝකෙට බිහි වුණාම තාත්තා මුළු ලෝකෙම ජයගත්ත වාගේ හිතුවා. සුඛෝපභෝගී ජීවිතයක් නැතත් කිසිම දේකින් අඩුපාඩුවක් නැතුව අම්මටයි, මල්ලිටයි, මටයි හැමදේම ඉටු කළා. අම්මා රැකියාවක් කළේ නෑ. වැඩ ඇරිලා ආවාම ගෙදර වැඩවලටත් තාත්තා බෙහෙවින් උදව් කළා. තාත්තාගේ අක්කලා, අපේ නැන්දලා පදිංචිව හිටියෙත් අපේ ගෙවල් කිට්ටුවමයි. නැන්දලත් අපිට හරියට අත්වැලක් වුණා.   
මගේ අවුරුදු 27 පුරාවට තාත්තාගෙන් දැක්කේ මව් සෙනෙහස දෝරෙ ගලා යන පිය සෙනෙහසක්. අපිට කවදාවත් ජීවත් වෙන්න වුවමනා ක්‍රමය කියලා දුන්නේ නෑ. තාත්තගේ මුළු ශරීරයෙන්ම අපි දැක්කේ, අපට ජීවත් වෙන්න වුවමනා මාර්ගයයි.   


අම්මා අපිට දාලා යනකොට අපිට කිසිම තේරුමක් නෑ. අද වෙනකල් අම්මා ගැන වැරදි දෙයක් කියලත් නෑ. මට මතක් වෙනවා. නැන්දලා හිටපු ගමන්....   
“මල්ලියේ මේ දරුවෝ දෙන්න තවම පොඩි. උන්ට අම්මා කෙනෙක් ඕනෑ.”   
“මේ අක්කේ. මට මගේ පාඩුවේ ඉන්න දෙනවද? මගේ දරුවන්ට තව අම්මෙක් එපා. මට තව ගෑණියෙකුත් එපා!”   
“ඉතින් මේ කෙල්ල ලොකු වෙනකොට”   
“තව ගැණියෙක් ගත්තත් ඔච්චරයි. ගෑනු මට තිත්තයි. මේ දරුවන්ට උගන්නලා උස් මහත් කරන්න මට පුළුවන්!”   
අපිට ඒ කාලේ කිසි අඩු පාඩුවක් තිබුණේ නැහැ. වාහනයක් නැති වුණාට පරණ වාහනයක් ගන්න බැරිකමක් තිබුණෙත් නැහැ. වාහනයකට වැඩිය අපේ අනාගතේ ගැනයි තාත්තා හිතුවේ.   


අම්මා දැක්කේ සරුව පිත්තල ලෝකයක්. බිස්නස්කාරයෝ! පල් හොරු... හුඟක් අය ළමයින්ව ඉස්කොලෙට ගෙනාවේ තමුන්ගේ කාර්වලින්. ඒ කාලේ අම්මා අපිව ඉස්කෝලෙ එක්ක යන කොට එක අන්කල් කෙනෙක් අපිටත් ලිෆ්ට් එකක් දුන්නා නිතර, නිතර. ඒ අන්කල් බිස්නස්කාරයෙක්. ඒ අන්කල්ගේ පුතා හිටියේ මල්ලිගේ මොන්ටිසෝරි පංතියේ. තාත්තා මේ බව දැන ගත්තට කවද‌ාවත් වරදක් හිතුවේ නෑ තාත්තා ළඟ තිබූ මිනිස්කම තුළින්.   
එදා මගේ පළමු වසරේ අවසන් දවස. එදත් අන්කල් අපිට ලිෆ්ට් එකක් දුන්නා. එදා අම්මා මාව ඉස්කෝලෙට දාලා එන්න හදන කොට මාව බදාගෙන ඇඬුවා මතකයි. එදා ඒ ඇයි කියලා තේරුමක් තිබුණේ නැහැ. උදේ ඉස්කෝලෙට අපිව දාලා ගෙදර ගිය අම්මා දවල් අපිව ගන්න ආවේ නැහැ. තාත්තා අපිව දවල් ගෙදර අරන් ආවා. අපි එනකොට අම්මා ගෙදර හිටියෙත් නැහැ.   


එදා ඉඳලා අපිට අම්මා වුණේ අපේ තාත්තා. වැඩට යන්න කලින් කෑම උයලා රෙදි සෝදලා ඔෆිස් ගිහින් ආවමත් කෑම උයලා කවලා, පොවලා අපිව බලා ගත්තා. තාත්තා උදේටයි, නැන්දා දවල්ටයි අපිව ඉස්කෝලෙට ගෙනිච්චා. පාර පනින කහ ඉර වාගේ තාත්තට ඔෆිස් පොතේ රතු ඉර වැරදුනෙත් නෑ ඒ කාලේ.   
මම කවදාවත් දුක කියන දේ ඒ මුහුණේ දැක්කේ නෑ. මේ හැමදේම දරාගෙන කොහොම හිටියද දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි. නොකිව්වට පොඩි තරහක් එක්ක ලොකු කළකිරීමක් තිබුණා. කිසි දෙයක් නොවුණ ගානට ජීවත් වුණේ. හැමදේම තේරුම් ගන්න අපිට භාර කළා වෙන්නැති.   
අම්මා ගෙදරින් ගිය දවසේ ඉඳලා මල්ලිටත් වැඩිය තාත්තා ආරක්‍ෂා කළේ මාවයි. නැවුම් මලක් වාගේ පර නොවෙන්න, පිපුණ මලේ සුවඳ අඩු නොවෙන්න නොදී මැණිකක් රකින නාග රාජයෙක් වාගේ. මට තේරෙන්න ගත්ත දවසේ ඉඳලා මල්ලිට මම අම්මා කෙනෙක් වුණා. 

 
“පුතේ, අක්කව පරිස්සම් කර ගන්න ඕනෑ.”


මල්ලිට තේරෙන්න ගත්ත දවසේ ඉඳලා තාත්තා මුමුණපු වචන පෙල ඕකයි. අම්මව රකුසෙක් අරගෙන ගියා වාගේ මාවත් රකුසෙක් අරගෙන යයි කියලා... හිතුණද?   
මල්ලියි, මායි බහ තේරුවේ තරුණ වියට පත් වුණේ තාත්තා නොදුන් කිරිවල, කිරි සුවඳ හැමූ නිසාමයි. ජීවිතේ කවදත් මල්ලියි, මායි වරදක් කරන්නේ නැහැ. තාත්තා ළඟ තිබූ පිරිපුන් පිය සෙනෙහස මව් සෙනෙහසට වඩා උතුම් වුණා. අපිට දුන්න ශක්කිය, ධෛර්යය, එයාගේ මුළු ජීවිතයමයි.   
අම්මා රැවටුණු ඒ ලෝකේ සරුව පිත්තල කඩා වැටෙන්න වැඩි කලක් ගියේ නැහැ. ගෙදරින් ගිය දවසේ ඉඳලම අම්මා ඇඬුවා. ඇයි අඬන්න, අපිව දාලා ගියේ? මුල් දිනවල අම්මා අපිව බලන්න හොරෙන් ඉස්කෝලෙ ළඟට ආවා. අපිට බදාගෙන ඇඬුවා. දවසක් අපි ගෙදර එනකොට අම්මා ඇවිත් හිටියා. නැන්දා තාත්තට කතා කළා. තාත්තා ඇවිත් නිහඬව සියලු දේ විසඳා නැවත අම්මට ගෙදරින් යන්න කිව්වා. එදා තමයි අන්තිම දවස අම්මා අපේ ගෙදරට ආව. අන්කල් අම්මව පන්නලා. මුළු ජීවිතේම පසුතැවෙනවා. අම්මා සිය දහස් වරක් තාත්තාට ආයාචනා කළා. නමුත් තාත්තා අඳ, ගොලු, බිහිරෙක් වගේ හිටියා.   


මල්ලි අම්මගේ ඡායාවවත් දකින්න කැමති වුණේ නෑ. නොතේරෙන කාලේ අම්මා ගැන පව් කියලා හිතුනට දැන් මට එහෙම හිතෙන්නේ නෑ. මව් සෙනෙහස අපේ ලෝකෙන් තුරන් වෙලා. තාත්තා, අපිව තනි කළේ නැහැ. හැමදේටම කරට කර හිටියා. 

 
කැම්පස් යන්න ලකුණු දෙකක් අඩු වුණා. මම රැකියාවට ගියාම තාත්තා පැන්ෂන් ගත්තා. නැවත මැදපෙරදිග රැකියාවට ගියා. අපිට අලුත්ම අලුත් කාර් එකක් අරන් දුන්නා. මාව දීග දෙන්න දෑවැද්ද සොයා ගත්තා.   


හැමෝටම පෙම්වතුන් ඉන්න ලෝකේ මම පෙම්වතෙක් සොයා ගත්තේ නැහැ. සොයා ගන්න එපා කිව්වෙත් නැහැ. මට හිටපු අම්මත්, නැදෑයත්, පෙම්වතත් ඒ මගේ තාත්තා. ඒ රූපය තුළින් දුටු චරිතයට මට වචන නැහැ......! පෙම්වතෙක් සොයලා, දෑවැද්ද එකතු කරලා, තාත්තාගේ සතුටත්, දුකත් කවදා හරි මම දීග යන දවසයි. ලෝබකමින් හරි දෙන්න හදන්නේ, එයා සතුව ජීවිතේ පුරාවට තියාගන්න බැරි, කවදා හෝ අන්සතු වස්තුවක් බව දන්නා නිසා වෙන්න ඇති. හිතේ දුක අද දරා ගත්තේ 28 වැනි උපන් දිනයට වෙන කෙනෙකුට මා හිමි වෙන නිසාවෙන්ද?   

 


අනෝමා ගමලත්  
රෝමය, ඉතාලිය.