පොම්පේ නගරයේ නටබුන් අතරින් විසූවියස් කන්ද දිස්වෙන අයුරු
අයර්ලන්තය ස්පාඤ්ඤය මිසරය ග්‍රීසිය සහ බැබිලෝනියාව දක්වා පැතිර තිබුණු රෝම අධිරාජ්‍යය, ක්‍රිස්තු වර්ෂ එකසිය දාහත් වැන්න වෙනවිට වර්ග කිලෝමීටර හතළිස්හතර ලක්ෂයක භූමි ප්‍රමාණයක් වසා පැතිර සිටි මහා අධිරාජ්‍යයක් විය. මෙම අධිරාජ්‍යයේ පරිපාලන මධ්‍යස්ථානය වූ රෝමයේ සුඛවිහරණය සඳහා සියලුදේ සපයන ලද්දේ යටත් විජිතයන් විසින් ය. එරිත්‍රියාව සහ මිසරය එවකට රෝමයේ ධාන්‍යාගාර විය. මේ රටවල සිට රෝමයට ධාන්‍ය ප්‍රවාහනය කළ මීටර් හතළිස්පහක් දිගැති දැවැන්ත නෞකා වෙරළාසන්නයට යාත්‍රා කිරීමට තරම් රෝම නෞකා තොටුපොළ වූ ඔස්ටියා ගැඹුරු වරායක් නොවීය. මේ හේතුවෙන් රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන වරාය ලෙස න්‍යාපොලිස් (වර්තමාන නාපොලිය) සමුද්‍ර බොක්කේ වූ පොට්සෝලි වරාය යොදා ගැණුනි. ජැටි ක්‍රමයට නිර්මාණය වූ න්‍යාපොලිස්හි පොට්සෝලි වරාය එවකට අධිතාක්ෂණික වරායක්ව තිබුණි.
නෞකා මගින් න්‍යාපොලිස් වරායට ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ, කුඩා සමුද්‍ර යාත්‍රා මගින් රෝමයට ගෙන එන ලදී. රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන වරාය න්‍යාපොලිස්හි පිහිටා තිබුණු බැවින්, රෝමයේ ඒ ප්‍රදේශයේ චමත්කාරය දැක තිබුණහ. එවන් ආකර්ෂණයක් රෝමය අවට නොවීය. එදවස විසූවියස් කන්දක් නොව, න්‍යාපොලිස් සමුද්‍ර බොක්ක අසල පිහිටි ඉහළට එසවී ගිය උස්බිමක් පමණක් විය.
රෝම අධිරාජ්‍යයේ පරිපාලන නිලධාරීන් ඉහළ වැටුප් ලබන ධනවතුන් පිරිසක් වූහ. රෝම සොල්දාදුවකු වසර විසිපහක හමුදා සේවයේ යෙදිය යුතු වූ අතර, විශ්‍රාම යාමේදී ඔවුහු විශාල අර්ථසාධක අරමුදලකට හිමිකම් කීහ. රෝම අධිරාජ්‍යය යටතේ වහළුන්ගේ තත්ත්වයේ ද විශේෂත්වයක් විය. ස්වාමියාගේ කරුණාව යටතේ නිදහස ලබාගන්නා වහලෙකුට, තම දක්ෂතාවෙන් සමාජයේ ඉහළ තත්ත්වයකට නැගගැනීමේ බාධකයක් නොවීය. මෙලෙස ධනවතියන් වූ නාට්‍යාංගනාවෝ ද අභිසරුලියන් ද පිළිබඳ කතා රෝම ඉතිහාසයේ හිඟ නැත. සතුන් හෝ මිනිස් සටන් සඳහා තීන්දුවෙන වහලෙකුට තම දක්ෂතා පෙන්වා එම සටන් ජයගැනීමේ හැකියාව තිබුණි නම්, වහල්භාවයෙන් නිදහස පමණක් නොව ජයග්‍රහණයේදී ලැබෙන මුදලින් ධනවතකුවීමේ නිදහස ද තිබුණි.
එදා රෝමයේ කොලෝසියමේ සටන් කළ ඇතැම් සටන්කාමී වහලෙකු (GLADIETOR) ලබා ඇති වැටුප, ප්‍රතිශතයක් ලෙස අද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු ලබන වැටුපට සමානව තිබී ඇත. මෙලෙස අධිරාජ්‍ය තුළ සුපිරි ධනවතුන් පිරිසක් වූහ. එහෙත් රෝමයෙන් පිටත තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් විය.
ක්‍රි. පූ. අසූවේදී පමණ රෝම හමුදාවෙන් විශ්‍රාම ලද දෙදහසක පමණ පිරිසක් තම පවුලේ අනෙකුත් සාමාජිකයන් ද සමග න්‍යාපොලිස් සමුද්‍ර බොක්ක අවට ප්‍රදේශය ජනාවාස කිරීම සඳහා රෝමයෙන් නික්මුණහ. රෝමයේ තවත් ධනවතුන් ද ඔවුන් අනුගමනය කළහ. එවකට රෝම අධිරාජ්‍යයා වූ නීරෝ අධිරාජ්‍යයාගේ උප මෙහෙසිය වූ පොම්පෙයා කුමරිය ද මේ අතර වූවාය. (ඇය විසූ ප්‍රදේශය පොම්පේ නමින් විය.) මොවුන් විසින් ජනපද පිහිටුවා ගන්නා ලද ප්‍රදේශය කොර්නේලිආ, වෙනේරිආ, පොම්පෙයියානාරුම් ජනපදය (වර්තමාන පොම්පේ සහ එර්කොලානෝ) ලෙස ලේඛණගත විය.
රෝමයේ සිට න්‍යාපොලිස් වෙත පැමිණි පිරිස ධනවතුන් වූ බැවින්, එම ජනපදයේ ඉදිවූවේ සුවිසල් මන්ධිර ය. සෑම නිවසක්ම පාහේ නිවැසියන්ගේ ධනවත්භාවය පිටතට පෙන්වීමේ කැඩපතක් බඳු විය. නිවාස චිත්‍රයෙන් කැටයමෙන් සහ උද්‍යානයෙන් අලංකාර විය. රෝම අධිරාජ්‍යයේ සෞභාග්‍යයේ සහ බලපරාක්‍රමයේ සංකේත වර්ණය වූ රතු පැහැය බිතුසිතුවම් පමණක් නොව බිත්ති පිංතාරුව සඳහා ද මොවුන් විසින් වැඩියෙන් යොදාගන්නා ලද්දේ තම රෝම සම්භවය පෙන්නුම් කිරීමට ය. නිවෙස් තුළ ගෘහපතියාගේ අභිමානය දැක්වෙන සිතුවම් වූ අතර, සංවිධානාත්මක ගණිකා නිවාසයක බිත්ති පුරා රාගී හැඟීම් දනවන සිතුවම් විය. ජල පහසුකම් සහිත වැසිකිළි ද පිහිනුම් තටාක ද එළිමහන් නාට්‍යාගාර මෙන්ම දෙවොල් ද එහි විය. පොම්පේ සහ එර්කොලානෝ ජනපද ජනාවාස වූයේ හතු පිපෙන්නාසේ කඩිනමින් ය. එහෙත් ඒ ජනාවාස පිහිටුවා ගැනුනේ වසර දහස් ගණනකට පෙර වියැළී ගිය ලාවා තට්ටුවක් මත බව ඔවුහු දැන සිටියේ නැත.
විසූවියස් ගිනි කන්දේ ලාවා සහ අළුවලට අසුවූ මිනිසකුගේ සිරුරක් සංරක්ෂණය කර ඇති අන්දම
පොම්පේ සහ එර්කොලානෝ නව නගරද්වයට වසර එකසියහැටක් පිරීමට ආසන්නව තිබුණි. පැරණි ලියවිල්ලක පරිවර්තනයේ වරදකින් එම දිනය ලෙස මෙතෙක් පිළිගැනුනේ ක්‍රි.ව. හැත්තෑනවයේ අගෝස්තු මස විසිහතරවැනිදා ලෙස ය. එහෙත් 2018 වසරේ පොම්පේ නටබුන් නගරයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් ලද ශාක්ෂිවලට අනුව, එය සිදුව ඇත්තේ ක්‍රි. ව. හැත්තෑනවයේ ඔක්තෝබර් මස විසිහතරවැනිදා බව සනාථ විය.
ක්‍රි. ව. හැත්තෑනවයේ ඔක්තෝබර් මස විසිහතරවැනිදා තවත් දිනකට හිරු පායා ආවේය. වේලාව පෙරවරු දහයට ආසන්න වෙමින් තිබුණි. පොම්පේ සහ එර්කොලානෝ වැසියෝ තම සුපුරුදු දෛනික චාර්යාවේ යෙදී සිටියහ. නගරයේ වීදි ක්‍රියාශීලී විය. සල්පිල් ජනයාගෙන් පිරී තිබුණි. එහෙත් හදිසියේ හිරු අඳුරු විය. පොළොව දෙදරීමත් සමඟම මහා දුම් වළාවක් ගලා ආවේය. සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි සිතාගැනීමට තරම්වත් කාලයක් කිසිවකුටත් නොවීය. අළු සහ කුඩා ගල්කැබලි වැස්සක් සමගම ආඝ්‍රාණය කිරීමට අපහසු විෂ වායුවකින් ප්‍රදේශය වැසී ගියේය. දසදහසක් වූ පොම්පේ වැසියන්ගෙන් දෙදහසක්ම මේ විෂ වායුව ආඝ්‍රාණය කිරීමෙන් ක්ෂණිකව මරණයට පත්වූහ. තවත් පිරිසක් ගොඩනැගිලි කඩාවැටීමෙන් මිය ගියහ. ඇතැමෙකු ජීවිතය පතා මුහුද දෙසට දුවන්නට වූහ. එහෙත් මරණයෙන් පළා යාමට කිසිවකු සමත්වූවේ නැත.
ඒ මොහොතේ එර්කොලානෝ ඉරණම ද එලෙසම විසඳෙමින් තිබුණි. රාත්‍රිය පහන් වීමට ආසන්න වෙනවිට මීටර හයක් උස අළු සහ ගල් කැබලි තට්ටුවකින් පොම්පේ සහ එර්කොලානෝ නගරද්වය වැසීගොස් තිබුණි.
පසුදින හිරු නැගෙනවිට පොම්පේ සහ එර්කොලානෝ නගර දෙක වසා සිටි අළු සහ ගල් කැබලි තට්ටුව මතින් ගිනියම් වූ ලාවා ගංගාවක් ගලා යමින් තිබුණි. මෙතෙක් කන්දක් නොවුණු විසූවියස්, දැවැන්ත සක්‍රීය ගිනිකන්දක්ව නගර මස්ථකයේ බලා සිටියාය.
යටියන ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.