දේශපාලන පක්ෂ ජනතාවගේ යහපතටද? පක්ෂයේ යහපතටද?


පසුගිය ඉරිදා අවසන් වූ ප්‍රංශ මහා මැතිවරණයෙන් වාමාංශික සන්ධානය ජයග්‍රහණය කිරීම නිසා සිදුවීමට ගිය මහා ලේ වැගිරීමක් වැළැක්විණි. මැතිවරණයේ පළමු වටයේ ජයග්‍රාහකයා වූ අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලි පක්ෂය දෙවැනි වටයේදී තුන්වැනි තැනට වැටුණේ ජනාධිපති එමැනුවෙල් මැක්‍රන්ගේ උපක්‍රමශීලි බව නිසාය. 
මැක්‍රන්ගේ පක්ෂය හා ඔහුට සහාය පළකළ තවත් පක්ෂ ගණනාවක්ම  වාමාංශික සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා තම අපේක්ෂකයන් 200කට අධික සංඛ්‍යාවක් තරගයෙන් ඉවත් කර ගත්තේය. ඒ නැෂනල් රැලි පක්ෂයට හොඳ තරගයක් දීමට වාමාංශික සන්ධානයට අවස්ථාවක් දීමටය. එම උපක්‍රමය සාර්ථක විය. මුල්වටයේ ප්‍රතිඵලය දෙවැනි වටයේදී උඩු යටිකුරු විය. වාමාංශික සන්ධානය මුල් තැනට පත්වූ අතර, නැෂනල් රැලි පක්ෂය තුන්වැනි තැනට ගියේය. සුළු ජාතික විරෝධී අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලි පක්ෂයට බලය ලැබුණා නම්, රට පුරා කලබල 
ඇතිවීම කිසිවෙකුට වැළැක්විය නොහැකිව තිබිණ. 


මුල් වටයේ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් දෙවැනි වටයේ එන මෙවැනි දේශපාලන පෙරළි බටහිර ලෝකයේ සිදුවන්නේ රටවල් එකක දෙකක පමණි. ඒ විවෘත මනසකින් යුතු ඡන්ද දායකයන් සිටින ප්‍රංශය, ඉතාලිය වැනි රටවල පමණි.
ප්‍රංශයේ හැම පක්ෂයක්ම පාහේ කලින් කලට කැඩී බිඳී යයි. අලු‍ත් පක්ෂ, සන්ධාන බිහිවෙයි. ප්‍රංශය සමග සසඳා බලන කල මහා බ්‍රිතාන්‍යයේ දේශපාලනය මඳක් ඒකාකාරීය. වසර සියයකට ආසන්න කාලයක සිට එහි ආණ්ඩු මාරුවන්නේ ප්‍රධාන පක්ෂ දෙක වන කොන්සර්වේටිව් හා කම්කරු පක්ෂ දෙක අතරය. ඉඳහිට මෙම පක්ෂ කුඩා පක්ෂ සමගද සභාග ආණ්ඩු පිහිටුවයි. එවිට ඒකාකාරී දේශපාලනයට කිසියම් හෝ කලඑළියක් ලැබෙයි. මෙවර මහ මැතිවරණයෙන් කෙයා ස්ටාර්මගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණේ වසර 14ක්  එක දිගට 
බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය ඒ වෙනවිට ජනතාවට 
එපාම වී තිබුණු නිසාය. 


ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ඒකාකාරීම දේශපාලනය තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. එහි සභාග ආණ්ඩු නැත. පසුගිය වසර 170 කට ආසන්න කාලයක් තුළ මාරුවෙන් මාරුවට බලයේ සිටියේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ දෙක පමණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව මේ දිනවල වැඩි වැඩියෙන් කතාවෙන මාතෘකාවක් ඇත. ඒ තවදුරටත් එක්සත් ජනපදයට දේශපාලන පක්ෂ අවශ්‍යද යන්නයි. බරපතළ චෝදනා හතරකට වරදකරු වූ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෞඛ්‍යයෙන් පිරිහෙමින් සිටින ඩිමොක්‍රටික් පක්ෂයේ අසූ එක් හැවිරිදි ජෝ බයිඩ්න්නුත් අතර මෙවර ජනාධිපති මැතිවරණ තරගය පක්ෂ දේශපාලනයේ ඇති දුර්වලතා වෙනදාටත් වඩා පෙන්වන බව ජනතාවගේ අදහසයි. චෝදනා හතරකට වැරදිකරු වුවත්, දිගටම ඡන්ද ව්‍යාපාරය කරගන යෑමට ට්‍රම්ප්ට හැකිව තිබෙන්නේ, ඇමෙරිකානු ව්‍යවස්ථාවේ ඇති දුර්වල කමක් නිසාය. ඒ බරපතළ චෝදනාවලට වැරදිකරුවෙකුට ජනාධිපති අපේක්ෂකත්වය අහිමි වන බවට ප්‍රකාශයක් එහි නොමැති නිසාය. ට්‍රම්ප් වැරදිකරුවෙකු ලෙස උසාවියෙන් ප්‍රකාශ කළේ මැතිවරණ ව්‍යාපාරය අතරමැදදීය. ඡන්ද ව්‍යාපාරයට මාස ගණනක් ගතව ඇත. මැතිවරණයට මාස හතරක් තිබියදී දැන් ඩිමොක්‍රටික් පක්ෂය සිය අපේක්ෂකයා පක්ෂය මාරු කිරීමට උත්සාහ කරන්නේ ජනපති බයිඩ්න් තරග කිරීමට සුදුසු   ​ෙසෟඛ්‍ය තත්ත්වයක නොමැති නිසාය. ඒ වෙනුවට උප ජනාධිපති කමලා හැරිස් අපේක්ෂකයා කරගැනීමට පක්ෂය අරඅඳිමින් සිටියි. 
රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය අපේක්ෂකයන් තෝරාගෙන ඇත්තේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත සලකා බලා නොවන බව බොහෝ දෙනාගේ අදහසයි. 
1856 සිට අද දක්වාම ඇමෙරිකා එක්සත් ජනපදය පාලනය කර ඇත්තේ මෙම පක්ෂ දෙකයි. දේශපාලන පක්ෂ එදිනෙදා ඇමෙරිකානු සමාජ ජීවිතයේද කොටසකි. අති විශාල ස්වේච්ඡා සේවක සංඛ්‍යාවක් මේ පක්ෂ දෙකටම සිටින්නේ ඒ නිසාය. 
එහෙත් අද ඇමෙරිකානුවන්ගෙන් බොහෝ දෙනෙකු සිතන්නේ මේ පක්ෂ දෙකම ජනතා සුබසිද්ධියට වඩා සිතන්නේ තම පක්ෂවල දේශපාලන ස්ථාවරත්වය ගැන බවයි. බලයේ සිටියත් විපක්ෂයේ සිටියත් මෙහි වෙනසක් නැති බවත් ඡන්ද දායකයෝ සිතති. ඔවුන් පවසන්නේ තමන්ට ඡන්දය දීමට තරම් අපේක්ෂකයෙකු පක්ෂ දෙකේම මෙවර නැති බවයි. 
අද ඇමෙරිකානු ජනතාව අතර පක්ෂ දේශපාලනය පිළිබඳව ඇතිව ඇති කලකිරීම හා සමානම කලකිරීමක් හරියටම මීට ශතවර්ෂයකට පමණ පෙරද ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබිණ. එම අදහස කොතරම් ප්‍රබල වූවාද කිවහොත් එය දේශපාලන පක්ෂ විරෝධී ජාතික ව්‍යාපාරයක් බවට පත්විය. පසුව අසල්වැසි කැනඩාවේද එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම ව්‍යාපාරය මුල පිරුවේය. පක්ෂපාතීත්වයෙන් තොර එකමුතුව නැතිනම් නොන් පාර්ටිසන් ලීගය යනුවෙන් හැඳින්වූ මෙම ව්‍යාපාරය 1910-1930 අතර කාලය තුළ ඇමෙරිකාවේ සහ කැනඩාවේ දේශපාලනයට බලපෑම් කළේය. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී පදවි ප්‍රාප්ත වෙනවිට ඔහු සමග පත්වූ පාර්ලිමේන්තුවේ නැතිනම්  කොංග්‍රසයේ දේශපාලන පක්ෂ තිබුණේ ද නැත. සියලු‍ම නියෝජිතයෝ ස්වාධීන සාමාජිකයෝ වූහ. ජනාධිපති ජෝර්ප් වොෂිංටන්ගේ සමීපතමයෝද මුල් කාලයේ දේශපාලන පක්ෂ සංකල්පය පිළිබඳව දැඩි විරෝධයක් දැක්වූහ. එහෙත් කෙටි කලකින් කොංග්‍රසයේ බෙදීමක් ඇති කර පක්ෂ දෙකක් පිහිටුවා ගත්තේද මුලින්ම දේශපාලන පක්ෂවලට විරුද්ධව මත පළකළ ජනාධිපතිගේ කිට්ටුවන්තයින් වූ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ ජේම්ස් මැඩිසන්ය. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ෆෙඩරල් පක්ෂය ආරම්භ කළ අතර, එම පක්ෂයට විරුද්ධව මැඩිසන් සිය සගයෙකු වූ තෝමස් ජෙෆර්සන් හා එක්ව ඩිමොක්‍රටික් - රිපබ්ලිකන්ස් නමින් පක්ෂයක් පිහිටුවා ගත්තේය.


පසුකාලීනව තෝමස් ජෙෆර්සන් ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපති  ලෙස තේරී පත්වූ අතර ජේම්ස් මැඩිසන් හතරවැනි ජනාධිපති ලෙස පත්විය. 
දේශපාලන පක්ෂවලින් තොර පාලනයක් පිළිබඳ සංකල්පය අදද සම්පූර්ණයෙන්ම ඇමෙරිකාවෙන් මුලිනුපුටා දැමීමට හැකි වී නොමැත. ඇමෙරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ මන්ත්‍රණ සභාවට තවමත් නියෝජිතයන් පත්වන්නේ ස්වාධීන අපේක්ෂකයන් ලෙසය. මීට අමතරව කැනඩාවේද පළාත් හා ප්‍රාදේශීය සභා බොහොමයකම ඡන්ද අපේක්ෂකයන්ට පක්ෂ නැත. 
අද මහා බ්‍රිතාන්‍යයට අයත් ෆෝක්ලන්ත දූපත ඇතුළු දූපත් ගණනාවක් පාලනය කරනු ලබන්නේද පක්ෂවලින් තොර පාලන ඒකක විසිනි. මීට අමතරව පැසිෆික් සාගරයේ පිහිටි නයාරූ ඇතුළු නිදහස් දූපත් ගණනාවකම දේශපාලන පක්ෂ නැත. මිලියන 300ක පමණ ජනතාවක් සිටින ඉන්දුනීසියාවේ ඉහළ මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්ට දේශපාලනයේ නිරතවීම නීතියෙන්ම තහනම්ය. ඔවුන් පත්වන්නේ ස්වාධීන අපේක්ෂකයන් ලෙසය. පිලිපීනයේ ග්‍රාම සභා ඡන්ද සඳහාද ඉදිරිපත් විය හැක්කේ ස්වාධීන අපේක්ෂකයන්ට පමණි. මීට අමතරව මැදපෙරදිග රටවල් ගණනාවකම දේශපාලන පක්ෂ ක්‍රියාත්මක නොවේ.  
ඕමානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ අතර වේ. ලිබියාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාගැනීමේදී ස්වාධීන අපේක්ෂකයන් හා දේශපාලන අපේක්ෂකයන් යන දෙපිරිසටම අවස්ථා ලැබේ. පාර්ලිමේන්තුවේ ආසන 200න් 120ක්ම දෙන්නේ ස්වාධීන අපේක්ෂකයන්ටය.
දේශපාලන පක්ෂ නොමැති රජයන් පිළිබඳව ඇති විවේචන අතර දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ඇති ගැටලු‍ව ප්‍රධාන වේ. පක්ෂයක් නොමැතිව රජයේ තීරණ පිළිබඳව අවසාන වශයෙන් වගකීම භාරගන්නේ කවුද යන්න පක්ෂ නොමැති පාලනයකදී පැහැදිලි නැත. 
එහෙත් අනෙක් අතට ස්වාධීන නියෝජිතයන්නේ පමණක් සැදුම්ලත් රජයක ජනතා පරමාධිපත්‍යය වැඩියෙන් ආරක්ෂා වීමේ ප්‍රවණතාවක් ඇත. ඒ ජනතා නියෝජිතයන් දේශපාලන පක්ෂවලට වගකිවයුතු නැති නිසාය. ඔවුන් වගකියන්නේ ජනතාවට පමණි. ජනතා විශ්වසනීයත්වය රැකගැනීම සඳහා ඔවුහු ජනතාව වෙනුවෙන් වැඩියෙන් කැපවෙති. 
ඇමෙරිකාවේ ජාතික දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන් නැති කිරීම පිළිබඳ කතිකාවත වැදගත් වුවත් එහි ප්‍රායෝගික බව පිළිබඳව ප්‍රශ්නයක් ඇත. කෙසේ වුවත් ප්‍රාන්ත මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින් හෝ පක්ෂවලින් තොර දේශපාලනයට යොමුවීම ඇමෙරිකාවට පමණක් නොව ලොව ඕනෑම රටකට වැඩදායී වනු ඇත.